ටෙක්සාස් හොල්මන | සිළුමිණ

ටෙක්සාස් හොල්මන

මේ අරුම පුදුම හොල්මන් කථාව ඇරඹෙන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ කුලී නිවෙසකිනි.එහි 26 හැවිරිදි ඩී. ඈන් නමැති කාන්තාව ඇගේ දරුවන් හා ඇයට වඩා වයසින් වැඩි සැමියා සමඟ කලක් එහි දිවි ගෙවුවා ය. ඇගේ සැමියා ‍රෝගී තත්ත්වයේ පසු වූ නිසා දරුවන් බලා කියා ගැනීමට අමතරව සැමියා පිළිබඳවද විශේෂ සැලකිල්ලක් යොමු කිරීමට ඩීට සිදු විය. මේ සියල්ලටම අමතරව මේ නිවෙසේ තවත් අයකු සිටින බව ඇයට ඉවෙන් මෙන් දැනිණි. නමුත් කිසි දිනක එම අද්භූත තැනැත්තිය ඩීට හමු වී නැත.

එහෙත් එම තත්ත්වය වෙනස් වූයේ 2002 පාස්කු ඉරිදා දිනයේ දී ය. පාස්කු ඉරිදා පවුලේ උදවිය සමඟ ආගමික වතාවත්වලින් පසු කෙළිසෙල්ලම් හා විනෝද ක්‍රීඩාවල යෙදී සිටි ඩීට වත්ත කොනේ රෝස පැහැති ගවුමක්, සපත්තු යුවලක් හා අත් බෑගයක් සහිත අද්භූත කාන්තාවකගේ රුවක් දැකගත හැක විය. ප්‍රථම වතාවට දුටු මේ කාන්තාව මෙතෙක් නිවෙසේ වහන්ව සිටි තැනැත්තිය බව ඩී.වටහා ගත්තා ය.

එහෙත් ඈ තමා දෙස ඇසිපිය නොහෙළා බලා සිටින අතරතුර හිටි හැටියේම ‘‘ඔහුට දැන් ඔබව අවශ්‍ය වී තිබෙනවා “යනුවෙන් පවසා අතුරුදන් විය.

වහා නිවෙස පිටුපසට දිව යද්දී ඩී ගේ එක් දරුවෙක් ‘‘තාත්තා වැටිලා හොඳටම අමාරුයි‘‘ කියා කෑගසමින් ඈ වෙත දිව ආවේ ය.

වහා නිවෙස පිටුපසට ගිය ඩී ‍ට දැකගත හැකි වූයේ ඇය ගේ සැමියා උඩ පැනීම සඳහා යොදා ගනු ලබන උපකරණයෙන් බිම ඇද වැටී කකුල කැඩී සිහි නැතිව වැටී සිටින ආකාරයයි‍. සැමියා රෝහල්ගතකර ඩීට ද එහි නැවතීමට සිදුවිය. රෝස පැහැති කාන්තාව ඩී සමඟ එම කාමරයේ ම සිටියා ය. ඩී යන යන සැම තැනකම රෝස පැහැති කාන්තා හොල්මන ද ගියේ සුවච කීකරු මිතුරියක් ‍ලෙසට ය. ඩී ගේ සියලු ක්‍රියාකරකම් පිළිබඳ ඇය සෙවිල්ලෙන් සිටින බව ඩී ට වැටහිනි.කෙසේ වෙතත් දින තුනකට පසු රෝලෙන් ඇයගේ සැමියා පිටව යා යුතු වුවත් ඔහු ඉතාම දුර්වල තත්ත්වයෙන් පසු වූ නිසා ඔහු වත්තන් කරගෙන නිවෙස ට ගෙන යාමට ඩීට සිදු විය. ඔහුට සයනයේ වැතිරෙන්නට සලස්වා ආපසු හැරුණු ඩීට දැකගත හැකි වූයේ රෝස පැහැති හොල්මන ඈ දෙස තරහින් ඔරවා ගෙන සිටින ආකාරයයි.

ඒ වන විට හොල්මන ඩී සහ සැමියා සිටි කාමරයේ දොර ළඟ සිටගෙන සිටියා ය. ඩී එම කාමරයෙන් පිටතට ගොස් දොර වැසීමට තැත් කළ විට රෝස පැහැති හොල්මන එය වැලැක්විය .මේ හොල්මන දැකීමේ හැකියාව තිබුණේ ඩී ට පමණක් බැවින් ඇය බැන වැදීමට හෝ වෙනත් දෙයක් කීමට තැත් කළහොත් සැමියා ඩීට පිස්සු යැයි සිතනු ඇතැයි යන බිය නිසා ඩී කාමරයෙන් පි‍ට විය.

ඩී තුළ ඒ වන විට රෝස පැහැති හොල්මන කෙරේ පැවැති නොසන්සුන් භාවය කෝපයකට පෙරළී ඇති නමුත් ඇය හොල්මන අමතක කරලීමට සිතාගෙන දරුවන්ට කෑම පිළියෙළ කිරීම ඇරඹී ය. කෙසේ වෙතත් හොල්මන් කාන්තාව තමාට නිදහසේ සිටීමට ඉඩ නොදන බව ඩී දැන සිටියා ය. එම හොල්මන තම නිවෙසේ සිටින බව ඈ ‍හොඳින් දැන සිටි නමුත් ඇගේ පිටුපස මෙසේ නිරතුරුවම සිටීම ඇය ට පැවසිය නොහැකි කරදරයක් බවට පත් වී තිබිණි.

අවසානයේ ඉවසා සිටිය නොහැකි තත්ත්වයට පත් ඩී තම පිටුපස සිටගෙන සිටින රෝස පැහැති කාන්තා හොල්මන අමතා‘‘මොනවද උඹට ‍ඕනෙ‘‘ කියා මහ හඬින් ඇසුවා ය.

ඇගේ උස් හඬ දෙස ශෝකාකූල බැල්මක් හෙළූ හොල්මන අතුරුදහන් විය. ඇය ඩීට උදව් කිරීමට සූදානමින් සිටි නමුත් එය කරදරයක් බවට පත් වී තිබීම වටහා ගත් හොල්මන ඩී අතහැර ගියා ය. ඩී සහ දරුවෝ එදා රාත්‍රියේ සතුටින් ආහාර ගැනීම ඇරඹූ හ.

අහර‍ගෙන අවසන්ව ඉඳුල් පිඟන් රැගෙන මුළුතැන් ගෙට යමින් සිටි ඩී ට යළි රෝස පැහැති හොල්මන මුණගැසිණි. ඇයගේ මුහුණේ තිබුණේ කෝපය මිශ්‍ර පිළිකුල් සහගත පෙනුමකි.

‘‘ඔක්කොම ඉවර වුනාට පස්සේ ද එයා ගැන බලන්නේ' යනුවෙන් ඉතා පහත් හඬින් පවසා ඈ යන්නට ගියා ය.

ඩී රැගෙන ආ පිඟන් විසිකර දමා වහාම ස්වාමියා සි‍ටි කාමරයට දිව ගියා ය. ඒ වන විට ඉවසා ගත නොහැකි වේදනාව සමනය කරගැනීම සඳහා වේදනා නාශක පෙති ගැනීමට සයනයෙන් නැගී සිටි ඇයගේ සැමියා සයනය අසල වැ‍ටී සිටියේ ය. ඩී සහ දරුවන් ආහාර ගන්න නිසා ඔවුනට කරදර කිරීම නොකළ සැමියා අපහසුවෙන් එම පෙති ගැනීමට තැත් කරද්දී ඇද වැටී තිබිණ. වහාම වැටී සිටි තැනින් ඔසවා සයනය මත සැමියා තබා මඳක් බිරාන්නව සිදු වූ දේවල් ගැන ඩී සිතන්නට වූවා ය.

ඒ රෝස පැහැති කාන්තාව මෙතෙක් ඇය වෙත ක්‍රියා කළ ආකාරය ඩීට වටහා ගත හැකි විය. ඇය මෙතෙක් ඇයට මහත් සේ උදව් කිරීමට ඉදිරිපත් වූ ආකාරයත් ඒ ගැන සැලකීම නොදැක් වූ විට ඇය කෝප වූ ආකාරයත් ඩී ට ක්‍රමයෙන් වැටහෙන්නට විය. ඈ තම මිතුරියක් ලෙස තමා පිටුපස සිටින බව වටහා ගත්තා ය.

මේ රෝස පැහැ කාන්තා හොල්මන කවුද?

ඩී මේ ගැන නිවෙසේ අයිතිකරුගෙන් අසා සිටියා ය. ඇය එම නිවෙසේ අයිතිකරු‍ගේ මෑණියන් බවත් ඇය වයස අවුරුදු 50 දී අකලයේ මියගිය බවත් ඔහු පැවැසුවේ ය.

නිවෙසේ හිමිකරු ඔහුගේ මෑණියන්ගේ ඡායාරූපයක් ඩී ට පෙන්වූයේ ය. එය කළු සුදු ඡායාරූපයකි. රෝස පැහැයට තම මව ඉතා ප්‍රියකළ බවත් ඈ සතුව තිබූ සියලු ඇඳුම් පැළඳුම් ඇතුලු සියලු දේ රෝස පැහැති බවත් ඔහු පැවැසුවේ ය.

ඩී තම රෝගී සැමියාට හරිහැටි නොසැළකීම නිසා මෙසේ ඈ පිටුපස සිටි අතර ඇයට කීමට තිබූ අදහස් පැවැසූ රෝස පැහැති නෝනා අතුරුදහන්ව ගියා ය. ඉන් පසු ‍ඩී ට එම හොල්මන දැකගත නොහැකි වුව ද ඇය තවමත් එහි රැඳී සිටිමින් සිය පවුල ගැන උනන්දුවෙන් බලා සිටින බව ඩී වටහාගෙන සිටින්නී ය. 

 

Comments