ට්‍රයම්ප්, වොක්ස්වෝ­ගන්, පියට්, මයි­නර් සමඟ රජ ගමන් ගිය ප්‍රබ­ලයෝ | Page 3 | සිළුමිණ

ට්‍රයම්ප්, වොක්ස්වෝ­ගන්, පියට්, මයි­නර් සමඟ රජ ගමන් ගිය ප්‍රබ­ලයෝ

70 දශකයේ දේශපාලන රැස්වීමක කාර් නැවතුම් පොළට ගිය විට ඒ ඒ රථ දුටු ගමන් රැස්වීමට පැමිණ ඇති නායකයන් ‍ගැන සිතා ගත හැකි විය. මෝටර් රථවලින් බිමට බැස මහජනයා අතර ගැවසීම ඔවුනගේ පුරුද්දයි. සමසමාජ පක්ෂයේ රැස්වීම්වල 203 රථ කීපයක් දැකීමට ලැබිණි. එස්. එම්. පෙරේරා මහතාගේ මෝටර් රිය කදිම ලෙස ඔප දමා තිබුණු නමුත් රොබට් ගුණවර්ධන මහතාගේ 203 මෝටර් රථය වයසට වඩා පැරැණි පෙනුමක් ගෙන දුන්නේය.

1953 අගෝස්තු 12 වනදා පවත්වන ලද මහජන උද්ඝෝෂණය හෙවත් 53 හර්තාලය නිසා මතු වූ දේශපාලන අර්බුදය නිසාම ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය.

පසුව සේනානායක මහතා නැවත දේශපාලන බිමට විත් 1960 මාර්තුවේ දී යළි අගමැති විය. 1965 ද යළි යළි අගමැති පදවියට පත්ව 1965 දක්වා එම තනතුර දැරීය.

60 - 70 දශකයන්හි ක්‍රියාකාරී දේශපාලනයේ මුල් පෙළේ නායකයකු වූ සේනානායක මහතා ශාසනික හා සාමාජිකමය අවස්ථාවන් ද මඟ හැරියේ නැත.

සේනානායක මහතා බොහෝ උත්සව අවස්ථා සඳහා සහභාගි වූයේ තමාගේ කුඩා “ට්‍රයම්ප් හෙරල්ඩ්” රථය සියතින්ම පදවාගෙනය. කෝට් බෑය ගළවා ඉදිරිපස අසුනේ එය එල්ලා රිය පදවාගෙන යන සේනානායක මහතා දැකීම එදා සුලභ දර්ශනයකි. ඔහු ගමන් කෙළේ තනිවමය.

රුක්මන් සේනානායක මහතා සේනානායක පවුලේ තවත් සාමාජිකයෙකි. ඩඩ්ලි සේනානායක හිටපු අගමැතිවරයා ඔහුගේ මහප්පාය. මේ මෝටර් රිය ගැන පසුගියදා ඔහුට මතක් කළ විට ඔහු කීවේ එහි අංකය 424 බවය. රථයේ කාණ්ඩය තමාට මතක නැතැයි ද ඔහු කීවේය. රුක්මන් සේනානායක මහතාගේ පියා රොබට් සේනානායකය. ඔහු ඩඩ්ලිගේ එකම සහෝදරයාය.

රුක්මන් සේනානායක මහතා පවසන අන්දමට ඩඩ්ලි සේනානායක මහතා සතුව පොන්ටියැක් නම් මෝටර් රථයක් තිබිණි. එහි අංකය 6567 ය. මෝටර් රථ ධාවකයකු ලෙස එකල ප්‍රසිද්ධව සිටි බර්ටි විමලසේන මහතා පවසන්නේ තමාගේ මතකයේ හැටියට එම පොන්ටියැක් රිය ෆයර් බර්ඩ් ස්පෝට් රියකි. ඔහුට ද රියේ කාණ්ඩය මතක නැත.

ඩී. එස්. සේනානායක මහතා පාවිච්චි කර ඇත්තේ රෝල්ස් රොයිස් වර්ගයේ රියකි.

70 දශකයේ දේශපාලන රැස්වීමක කාර් නැවතුම් පොළට ගිය විට ඒ ඒ රථ දුටු ගමන් රැස්වීමට පැමිණ ඇති නායකයන් ‍ගැන සිතා ගත හැකි විය. මෝටර් රථවලින් බිමට බැස මහජනයා අතර ගැවසීම ඔවුනගේ පුරුද්දයි.

සමසමාජ පක්ෂයේ රැස්වීම්වල 203 රථ කීපයක් දැකීමට ලැබිණි. එන්. එම්. පෙරේරා මහතාගේ මෝටර් රිය කදිම ලෙස ඔප දමා තිබුණු නමුත් රොබට් ගුණවර්ධන මහතාගේ 203 මෝටර් රථය වයසට වඩා පැරැණි පෙනුමක් ගෙන දුන්නේය. බොහෝ විට මේ රථය පණ ගැන්වූයේ තල්ලු කිරීමෙනි. රොබට් ගුණවර්ධනගේ රථය අවශ්‍යවී නම් අවිස්සාවේල්ල දක්වාම තල්ලු කරගෙන යෑමට වුවද අවශ්‍ය පිරිස් බලයක් එදා රොබට්ට තිබිණි.

එස්. ද එස්. ජයසිංහ මහතා එජාපයේ ප්‍රබලයෙකි. ඔහුගේ කළු පැහැති 403 රිය රාජකීය විද්‍යාලය ඉදිරිපිට දී රිය අනතුරකට පත්ව ඔහුගේ තරුණ පුත්‍රයා ද රිය තුළ මිය ගියේය. එම අනතුරේ සෝචනීය ඡායාරූප පාවිච්චි කිරීමෙන් වළකින ලෙස එදා පොලීසියම පුවත්පත්වලින් කාරුණික ඉල්ලීමක් කෙළේය.

කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවගම මහතා ද පාවිච්චි කෙළේ වොක්ස්වාගන් රියකි. රත්නපුර නගරයේදී සිදු වූ මෝටර් රථ අනතුරකින් ඔහු ද මිය ගියේය. වොක්ස්වාගන් රියක් පාවිච්චි කළ තවත් මන්ත්‍රීවරයෙක් වූයේ ගම්පහ එස්. ඩී. බණ්ඩාරනායකය. කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල වෙනුවෙන්ම ඔහු සිය රථය කැප කෙළේය.

උස මහත පුද්ගලයකු වූ කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි මන්ත්‍රීවරයා පාවිච්චි කෙළේ සෙල්ලම් භාණ්ඩයක් බඳු කුඩාම කුඩා ෆියට් රියකි. මේ රියේ ඉතා අමාරුවෙන් වාඩිවී සෝමවීර මහතා රිය පැදවූයේ යාබද අසුනේ කවුරුන් හෝ වාඩි කරගෙනය. බොහෝ විට එම අසුනේ පී. මලල්ගොඩ කවියා වාඩිවී ගමන් කෙළේය.

සී. පී. ද සිල්වා මහතා පෞද්ගලික රියක් ලෙස වැඩියෙන්ම භාවිත කෙළේ පැරැණි විලීස් ජීප් රියකි. උප දිසාපතිවරයකු ලෙස රාජකාරි කළ ඒ මහතා විලීස් ජීප් රියට ප්‍රිය කළා විය යුතුය.

සමහර මන්ත්‍රීවරු දුම්රියෙන් ගමන් කළහ. ඒ සඳහා ඔවුනට බලපත්‍ර නිකුත් කර තිබිණි.

කොළඹට පැමිණි මන්ත්‍රීවරුනගේ නිල නිවස්නය වූයේ ශ්‍රාවස්ති මන්දිරයයි. මේ වන විට බස්නාහිර පළාත් සභා මහ ඇමැති කාර්යාලය පිහිටුවා ඇත්තේ ශ්‍රාවස්තියේය. ද්‍රවිඩ මන්ත්‍රීවරු මෙන්ම සිංහල මන්ත්‍රීවරු ද හෝටල් මෙට්‍රපොල්හි නවාතැන් ගත්හ. ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලත් ජනාධිපති මන්දිරයත් අතර පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලේ පහත මහලේ මෙට්‍රපොල් හෝටලය පිහිටියේය.

සිය නිවස වූ ශ්‍රාවස්ති මන්දිරය දොස්තර ආතර් ද සිල්වා මහතා විසින් ජාතියට පරිත්‍යාග කරන ලදී. කොළඹ කොටුව බේලි වීදියේ පිහිටි බ්‍රිටිෂ් ඉන්ඩියා හෝටලය මෙන්ම තරුණ ක්‍රිස්තියානි ආපන ශාලාවට ද ඇතැම් මන්ත්‍රීවරු ගොඩවැදී සිටිනු දක්නට ලැබිණි. එම ආපන ශාලාවට යාබද කොණ්ඩා කපන ස්ථානයෙන් කොණ්ඩය කැපීමට පුරුදු වූ මන්ත්‍රීවරු ද වූහ.

කොම්පඤ්ඤ වීදියේ මන්ත්‍රීවරු ගැවසුණු තවත් ස්ථානයක් නම් කාසල් හෝටලයයි. අවුරුදු 144ක් පමණ පැරැණි මේ ගොඩනැඟිල්ල ඉදිකරවන ලද්දේ මොරටුවේ චාල්ස් හෙන්රි සොයිසා දානපතියා විසිනි. 70 දසකය වන විට හෝටලයේ ව්‍යාපාරික කටයුතු කරගෙන ගියේ කැස්බෑව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩික්සන් ජේ. පෙරේරා මහතාගේ පියා වූ ඩග්ලස් පෙරේරා මහතා විසිනි.

ටී. බී. තෙන්නකෝන්, රෝයි රාජපක්ෂ, වී. ටී. ජී. කරුණාරත්න, පී. බී. ජී. කළුගල්ල නිතර මෙහි ආගිය දේශපාලනඥයෝය. ඇතැම් දිනවල ඔවුහු සිය ඡන්ද දායකයන්ට මෙහිදී කෑම බීමට ආරාධනා කර ඔවුන් ගෙන්වා ගත්හ. කාසල් හෝටලය කඩා බිඳ දැමීම ගැන ඉකුත් දා බලවත් වාද විවාද හටගත්තේ පැරැණි ගොඩනැඟිලි ආරක්ෂා කිරීමේ පිළිවෙත කඩවන බව කියමිනි.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඒ යුගයේ ගමන් කෙළේ කළු පැහැති මොරිස් මයිනර් 1000 රථයකිනි. ඔහුගේ ඡන්ද දායකයන් විසින් මුදල් එකතු කර මේ රථය මිලට ගෙන ප්‍රේමදාස මහතාට එය පරිත්‍යාග කරන ඡායාරූප පවා පුවත්පත්වල පළ විය.

පමුණුවේ සුචරිතෝදය සමාජ සේවා මධ්‍යස්ථානයේ අධිපති අඹේගොඩ ඤාණනන්ද හිමිපාණන් බැහැදැකීමට ප්‍රේමදාස මහතා නිතර පැමිණියේ මේ මයිනර් රියෙනි.

බණ්ඩාරනායක මහතාගේ මෝටර් රියක් කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි කවියාට තෑගි දුන් අන්දම එකල ප්‍රසිද්ධ විය.

බණ්ඩාරනායක මහතාගේ නිවෙසේ පසෙක පැරැණි අච්චු කන්තෝරුවක සුන්බුන් ගොඩගසා තිබිණි. තමාට මේ භාණ්ඩ ටික දෙන මෙන් සෝමවීර මහතා ඉල්ලා සිටියේය. සෝමවීර මහතා බණ්ඩාරනායක මහතාගෙන් එම භාණ්ඩ ලබාගෙන ඒවා පටවාගෙන යෑම සඳහා බණ්ඩාරනායක මහතාගේ පරණ මෝටර් රිය ද ඉල්ලා ගත්තේය.

මෝටර් රියත් අච්චු කන්තෝරුවත් ඉල්ලාගෙන යන්නට ගිය සෝමවීර චන්ද්‍රසිරි මහතා නැවත ඒවා ආපසු දුන්නේ නැත. බණ්ඩාරනායක මහතා සමඟ දේශපාලන වශයෙන් අමනාප වූ සෝමවීර මහතා බණ්ඩාරනායක ආණ්ඩුව නිසා මහජනයාට අරක නෑ මේක නෑ යනුවෙන් දොස් පැවරීමට පුරුදු විය.

එවැනි දොස් කීමක් අසා සිටි බණ්ඩාරනායක මහතා ඔව් ඔව් හාලුත් නෑ පිටිත් නෑ මගෙ අච්චු කන්තෝරුවත් නෑ, පරණ කාර් එකත් නෑ යැයි උස් හඬින් පවසා ඇත.

මේ කතාව පාර්ලිමේන්තුවේ දී සිදුවීයැයි ද මා අසා ඇත. බණ්ඩාරනායක මහතා තමාට මෝටර් රියක් හා අච්චු කන්තෝරුවක් තෑගි දුන් බවට සෝමවීර මහතා පුවත්පතක ප්‍රවෘත්තියක් පළ කරගත් බවට ද කතාවක් තිබේ.

කෙසේ හෝ වේවා අච්චු කන්තෝරුව සහ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ තිබුණු බව නම් දනිමි.

වැලිගම හිටපු මන්ත්‍රී පානී ඉලංගකෝන් මහතා බණ්ඩාරනායක පවුලට ද නැදෑකම් ඇත්තෙකි. දිනක් ඔහු සිය ගම් පළාතේ පයින්ම ඇවිදගෙන යද්දී බයිසිකලයක් පදිමින් ආ දරුවෙක් ඔහු ඉදිරිපිට දී බයිසිකලයෙන් ඇද වැටිණි. බයිසිකලයේ ඉදිරිපස රෝදය සහ හැඬලය ද ඇදවී දරුවාට ද සුළු තුවාල සිදු විය.

බයිසිකලයේ හැඬලයේ ඇද කුද දිග හැර ගැනීමට සූදානම් වූ දරුවා බයිසිකලයේ ඉදිරිපස රෝදය දෙකකුල් අතර සිර කරගෙන සිටින මෙන් පානී ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා සිටියේය. දරුවාගේ කීමට අවනත වූ ඉලංගකෝන් මහතා එසේ කෙළෙන් බයිසිකලයේ ඇද කුද දිග හැරගෙන දරුවා යන්නට ගියේය.

“මේක සමාජ සේවයටම කැපවූ කකුල් දෙකක් මේ වැඩකට නැති කකුල් දෙකෙන් එහෙම හරි සමාජ සේවයක් කරන්නට ලැබීම සතුටක්” යැයි පානී ඉලංගකෝන් මහතා මේ සිද්ධිය සිහිපත් කෙළේ මිතුරු හමුවකදීය. 

 

Comments