ටක්..ටක්...ටක් කවුද ආවේ ? මනු­ස්ස­යෙක් | සිළුමිණ

ටක්..ටක්...ටක් කවුද ආවේ ? මනු­ස්ස­යෙක්

 ටක්..ටක්...ටක්... කවුද ආවේ ?, රාස්සයෙක්, මොකට ද ආවේ ? පාටක් හොයන්න... මොන පාටද? රාස්සයා පාටක් හොයන්න පටන් ගත්තා. දවස් ගණන්, අවුරුදු ගණන්, මේ පොළොවෙ ඇවිද ඇවිද ගෙවල්වලට ගිහින් දොරට තට්ටු කර කර, නොයෙක් භාෂාවලින් කතා කරලා, පාටක් හොයන්න පටන් ගත්තා.

හඳ පොළොවට එන්නේ රාත්‍රීයට. තරු පිරිවරා ගෙන හඳ අහසේ එක එක විදිහට පේනවා. තරු කළුවරේ නතර වෙලා මුළු වෙලාවෙම පොළොව දිහා බලා ඉන්නවා. සමහර දවසට ආයේ කවදාවත් එන්නේ නෑ වගේ හඳ හැංගෙනවා. තවත් සමහර දවසට පුදුම තරම් ආලෝකය පුරෝගෙන හඳ පොළොව දිහා බලා ඉන්නවා. පොළොවෙ ඉන්න මිනිස්සු හඳ දිහා බලාගෙන සිය ජීවිතේ රිද්මය වෙනස් කරගන්නවා. ඇති වී නැති වී යන හඳ එළිය වෙනුවෙන් මහ පොළොවේ උත්සව පවත්වනවා. ඒ හැම දේකම එකිනෙකාට ආවේණික රිද්මයක් සහා හුරුපුරුදු පවතිනවා. හැම මනුස්සයෙක්ම ඉරත්, හඳත් සමඟ සිය ජීවිතයේ පවතින බොහෝ දෑ හුවමාරු කර ගන්නවා. ඒ හැම තැනකින්ම නින්නාද වෙන රිද්මයක් හුළඟත් එක්ක එකතුවෙලා පොළොවෙ හැම තැනකටම පැතිරෙන්න පටන් ගත්තා.

“ඔබේ සතුරාට ‍ප්‍රේම කරනු වෙනුවට, මිතුරන්ට දැනට වාඩා ටිකක් හොඳින් සලකන්න”.

-එඩ්ගාර් වොට්සන්-

ඒ යහපත් සුළඟ හමාගෙන නව සඳ උදා වෙන්න පටන්න ගත්තා. නව සඳ උදාවීමත් සමඟ ඉස්ලාමීය දින දර්ශනයේ නව වැනි මාසයේ රාමසාන් උපවාස කාලය ආරම්භ වෙනවා. ඉස්ලාම් ආගම අඳහන මිනිසුන් ස්ත්‍රී, පුරුෂ, බාල මහලු , දුප්පත් පොහොසත් භේදයකින් තොරව නෝම්බි උපවාසය සිදු කරනවා. බඩගින්නත්, පිපාසයත්, දරා සිටිමින් කයෙන් හා වචනයෙන් සංවරව හැසීරීමට උපවාස කාලය තුළ දී සෑම ඉස්ලාම් භත්තිකයෙක්ම ආගම හා බැඳී සිටිනවා. එය ලෝව පුරා ජීවත් වෙන සෑම ඉස්ලාම් භක්තිකයෙකුට ම පොදු ධර්මයක්. මිනිසුන්ගේ බඩගින්න අඳුරගන්න උපවාස සීලය ආරක්ෂා කරන්න බාල මහලු ඇති නැති පරතරයකින් තොරව පොළොවේ ජීවත්වෙන හැම මනුස්සයෙක්ම උස්සාහ කරනවා. උපවාසය අත්හරින දවසෙදී අනෙකාගේ වේදනාව තුනී කරන්න මිනිස්සු තමන් උපයාගත් කොටසෙන් පංඟුවක් නැති බැරි මිනිස්සු වෙනුවෙන් පරිත්‍යාග කරනවා. අනෙකාගේ බඩගින්න සැබෑවටම අත්දකින මිනිස්සු ජාති ආගම් භේදයක් නැතුව කෑම බීම හුවමාරු කරගන්නා අපූරු ආදරයක් මිනිස්සු ගාව ගැවසෙනවා. ඒ හැම වෙලාවකම හැම භූමියකම මිනිස්සු තුළින් පොළොවෙ තියෙන හැම වර්ණයක්ම විහිදෙන්න පටන් ගත්තා.

“ඔබේ ජීවිතයේ සෑම උදෑසනක්ම ජීවිතය, ආරම්භවීමක් ලෙසින් සිතන්න”.

-ජෝන් රස්කින්-

මිනිස්සුන්ගේ ජීවිත හඳත් එක්ක අලුත් වෙලා. අනෙකාට ප්‍රේම කරන්නත්, ඔහු ගැන හොයා බලන්නත් මිනිස්සු පටන් අරන්. එකම ඉර එළියෙන් හඳත්, පොළොවත් අලෝකමත් වෙනවා. හඳට වැටෙන ඉර එළිය හඳ එක එක විදිහට බාරගන්නවා. හඳ දිගේ පොළොවට එන එළිය මිනිස්සු එක එක විදිහට බාරගන්නවා. ඒ තුළින් සිය ජීවියේ පැවැත්ම තුළ ශික්ෂණයක් ඇති වෙන්න පටන් අරන්. මිනිස්සු අලුත් ඇඳුම් අරගන්නවා. නැති බැරි, දුප්පත් මිනිස්සුන්ට පොහොසත් මිනිසුන් ඇඳුම්, හාල්, පොල් නොයෙකුත් කෑම බීම වර්ග පරිත්‍යාග කරනවා. මිනිස්සු මිනිස්සු අතර ඇති නැති පරතරය දියවෙලා ගිහින් එකිනෙකා මානව ප්‍රේමයෙන් සිප වැළඳගන්නවා. ඔවු නොවුන් ජීවිත වෙනුවෙන් සුභ පතා ගන්නවා.

අහමඩ් ඉර එළිය වැටෙන්න කලින් කෑම කෑවා. කාලා ඉවර වෙලා ඉර එළිය පොළොවට වැටෙනවත් එක්කම යාඥා කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඉඳන් හවස් වෙලා ඉර පොළොවෙන් යනකම්ම කෙල පොදක් තරමවත් ගිලින්නෙ නැතුව උපවාස කරන්න පටන් ගත්තා. පැයෙන් පැය ගෙවිලා ගිහින් ඉර එළිය පොළොවෙන් අතුරුදහන් වුණා. මේ විදිහට වේල් දෙකක් මඟ හරිමින් දින විසිනමයක් පුරා පැවති රාමදාන් උපවාස කාලය අවසාන වෙලා හැමදෙනාම එකතුවෙලා ඉෆිතාර් උස්සවය පවත් වනවා. පන්සලේ වත්ත හැම පාටකින්ම බබලන්න පටන් අරන්.

ඉස්ලාම් භක්තිකයන් සිය උපවාසේ අත්හැරියට පස්සේ ඉෆිතාර් උස්සවය සිංහල බෞද්ධයන් සහ භික්ෂුන් සමඟ පන්සල් භූමියෙදී සමරනවා. ඔවුනොවුන් අනෙකා හඳුනා ගනිමින් සුභ පතා ගන්නවා.

රසීමා කෑම පීරිසියක් අරගෙන ඉන්දීවරීලගේ ගෙදර ගියා. වටලප්පන් සුවඳට ගෙදර හැමෝම වටවෙන්න පටන් ගත්තා. මුළු පොළොවම, මිනිස්සුන්ගේ සංතෝෂයෙන් ආලෝකමත් වෙන්න පටන් අරන්. මිනිස්සු තවත් මිනිස්සු එක්ක හිනා වෙනවා. හැම මනුස්සයෙක්ගේම හිත්වලත්, ඇස්වලත් සන්තෝෂය පිරිලා තවත් මනුස්සයෙක් එක්ක බොහෝම ළෙන්ගතු කමින් කතා කරනවා. ආගිය තැන් ගැන මුණ ගැහුණු මිනිසුන් ගැන තොරතෝමචියක් නැතිව තවත් මනුස්සයෙක් එක්ක තොරතුරු හුවමාරු කර ගන්නවා.

රාස්සයා අහසට නැඟලා මහා මුහුදෙන් වට වෙච්ච මේ අපූරූ දූපත දිහා බලා ඉන්න පටන් ගත්තා. හිරු හැමදාමත් කිසිම වෙනසක් කරන්නෙ නැතිව එළියත් අඳුරත් පොළොවට දෙනවා. කඳුමුදුන් උඩින් වැටෙන එළියම යි කඳු පාමුල මිටියාවතට වැටෙන්නෙත්, මහා විශාල ගස් මතට වැටෙන ඉර එළියම යි, තණකොළ වලට වැටෙන්නෙත්. මහ ගල් පර්වත මතට වැටී දිලිසෙන එළියම යි. බොරළු මත වැටෙන්නෙත්. ගංගා දිගේ ගලන එළියමයි මහා මුහුදට වැටෙන්නෙත්. සතා සිවුපාවුන්ට වැටෙන එළියමයි මිනිස්සුන්ටත් වැටෙන්නේ. මේ භූමියට වැටෙන ඉර එළියම තමයි පෘථිවියේ හැම පොළොවකටම වැටෙන්නෙත්. රාස්සයා ඉක්මණට පොළොවට බැහැලා මිනිස්සු ගාවට කිට්ටු කරලා පාටක් හොයන්න පටන් ගත්තා.

දවස් ගණන්, අවුරුදු ගණන්, මේ පොළොවෙ ඇවිද ඇවිද ගෙවල්වලට ගිහින් දොරට තට්ටු කර කර, නොයෙක් භාෂාවලින් කතා කරලා, පාටක් හොයන්න පටන් ගත්තා. ඒත් රාස්සයට පාටක් හොයා ගන්න බැරිවුණා. ජීවිතේ එළියයි අඳුරයි මිනිස්සු බෙදා ගන්න පටන් අරන්. ඒ ආලෝකයෙන් මිනිස්සුන් ගේ හිත් ආලෝකමත් වෙන්න පටන් අරන්. මිනිස්සු අනෙකාව විශ්වාස කරන්න පටන් අරන්. අනෙකාගේ වර්ණයත් එක්ක එකතුවෙලා මානව ප්‍රේමය පොළොවෙ හැම තැනම පිළිවෙලට විසිරෙන්න පටන් අරන්. මිනිස්සු අනෙකාගේ වර්ණයට ආදරය කරමින් ඒ වර්ණයත් සමග හාදවෙලා හඳ එළිය යට මිනිස්සු ඇහැරෙන්න පටන් අරන් .

එකම ඉරත්, හඳත් යට සිය අනෙකාව මිනිස්සු මානව ප්‍රේමයෙන් වැළඳගන්න පටන් අරන්. එකිනෙකාට ආශිර්වාද කරගන්න පටන් අරන්. ඒ තුළින් විහිදෙන අපූරූ වර්ණයන්ගේ චමත්කාරෙයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙන්න පටන් අරන්.පොළොවෙ කිසිම පාටක් තනි වෙලා වෙන් වෙලා නෑ. හැම පාටක්ම අනෙක් පාටත් එක්ක එකතුවෙලා. රාස්සයට හිතාගන්න බෑ. රාස්සයාට පාටක් හොයාගන්න බැරි වුණා. ආයි කවදාවත්ම තනි පාටක් හොයාගන්නත්, මේ පොළොවෙ වර්ණ තනිවෙන්නේ නෑ කියලා දැනෙන්න පටන් ගත්තා. රාස්සයා ආයිත් කවදාවත් නොඑන්න මේ පොළොවෙන් අතුරුදහන් වුණා.

දැන් මේ පොළොවේ ඇහෙන්නේ මිනිස්සු කෑම වර්ග පුරෝපු පිඟන් අතින් අරන් අනෙකාගේ ගෙදර ගිහින් දොරට තට්ටු කරන දයාබර හඬක් විතරයි. ටක් ..ටක්... ටක්..කවුද ආවේ? මනුස්සයෙක්. 

 

Comments