ශ්‍රී ලංකාවෙහි අධ්‍යාපනය සම්බන්ධ ව අවශ්‍ය වන්නේ ප්‍රතිසංස්කරණයක් නොව විප්ලවයකැ’ යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෑතදී ප්‍රකාශ කළේ ය. වරක් අධ්‍යාපන අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති එතුමාගේ ප්‍රකාශය දුරදක්නා නුවණකින් කරන ලද්දක් ලෙස සැලකිය යුතු ය. බොහෝ රටවල මෙවැනි විප්ලව සිදුකර ඇති අතර තවත් රටවල් එම කාර්යයෙහි නිරතව සිටී.
පසුගිය දශක කීපය තුළ අප රටෙහි පාසල් අධ්‍යාපනයේ විශාල වෙනසක් කිරීම ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කර ඇත්තේ ප්‍රතිසංස්කරණ (Reforms) යන පදයයි. එම පදයෙන් ගම්‍ය වන්නේ තිබෙන ක්‍රමයට නැවත සකස් කරන බවයි. එහෙත් වර්තමාන ප්‍රස්තූනය අනුව නම් මේ යෙදුම ප්‍රමාණවත් වන්නේ නැත. ඒ සඳහා සමහර රටවල යොදා ගන්නා Transformation යන අර්ථයෙන් ‘විපර්යාසය’ යන පදය යෙදීම සුදුසුවේ යැයි සිතමි. ‘විප්ලවය’ යන පදයෙහි ඇති දේශපාලන ස්වරය ද එහි නැති බව වඩාත් යෝග්‍ය වීමට හේතු වේ.
අධ්‍යාපනය පුද්ගලයා ද සමාජය ද වෙනස් කරන ප්‍රධාන බලවේගයක් වෙයි. එහි දී ශීඝ්‍රයෙන් වෙනස් වන සමාජය මෙහෙයවන අධ්‍යාපනය ද වෙනස් විය යුතු ය. එපමණක් නොව අධ්‍යාපනය සමාජ පරිනාමයට ඉදිරියෙන් ගමන් කළ යුතුව ඇත.1972 න් පසු අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් සිදු වූයේ 1997 දී ය. ඒ අදට අවුරුදු 20 කට පෙර ය. එතැන් පටන් රටේ ආර්ථික, සමාජ, දේශපාලන ක්ෂේත්‍රවල සිදුවන විපර්යාසය විස්තර කළ නොහැකි තරම් ය. එහෙත් එම වෙනස අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පිළිබිඹු නොවී ය.
අධ්‍යාපනයෙහි වගකීම අනාගත පුරවැසියන් බිහි කිරීම යැ’ යි කියනු ලැබේ. අනාගත ලෝකය වූ කලී ක්ෂණිකව වෙනස් වන්නා වූ ද අතිශයින් ව්‍යාකූල වන්නා වූ ද අතිශයින් සංකීර්ණ වන්නාවූ ද පුරෝකථනය කළ නොහැක්කක් වන්නා වූ ද එකක් වෙයි.
අපගේ අධ්‍යාපනය මඟින් සූදානම් කළ යුත්තේ ඉහත කී සමාජයෙහි සාර්ථක ව ජීවත්වීමට සමත් වන පුරවැසියන් ය. මෙය කෙතරම් අසීරු කාර්යයක් දැයි තේරුම් ගැනීම අපහසු නැත. කෙසේ වුව ද එය අධ්‍යාපනයේ වගකීමක් ලෙස පිළිගත යුතුව ඇත.
2018 දී 1 වන ශ්‍රේණියට ඇතුළත් වන ශිෂ්‍යයා පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අවුරුදු 13 කට පසුව ය. එනම් 2031 දී ය. එවිට ශිෂ්‍යයාගේ වයස අවුරුදු 18/ 19 ක් වෙයි. ඔහු තමාට ම වගකිව යුතු ජීවිතයක් අරඹන්නේ තව අවුරුදු කීපයකට පසුව ය.
විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපනයක් ලබා රැකියාවකට ප්‍රවේශ වීමට තවත් අවුරුදු නවයක් ගත වුවහොත් ඔහු සැබෑ ජීවිතය අරඹන්නේ ක්‍රි.ව. 2040 න් පසුව ය. එහෙයින් අප අධ්‍යාපනය සම්බන්ධව විපර්යාසයක් කළ යුත්තේ අවම වශයෙන් 2040 න් පසු උදාවන ලෝකය සඳහා ය. මෙය කළ හැක්කේ තිබෙන අධ්‍යාපන ක්‍රමයට පැලැස්තර දැමීමෙන් නොවේ. තිබෙන ක්‍රමය පදනම් කර ගත් නමුත් නව චින්තනයකින් යුතු නව ක්‍රමයක් ලෙසට ය. එනම් අධ්‍යාපන විපර්යාසයක් ලෙසට ය. ක්‍රි.ව. 2040 න් ඔබ්බට කෙසේ වෙතත් අනාගතයට උචිත විය හැකි අධ්‍යාපනයක් ගැන යමක් සඳහන් කළ හැකි ය.
අධ්‍යාපනය කෙළින් ම පුද්ගල සංවර්ධනයට ද සමාජ සංවර්ධනයට ද හේතුවේ. පුද්ගල සංවර්ධනය ගැන සිතන විට පුද්ගලයාගේ පෞරුෂ වර්ධනය එක් පැත්තක ද ඔහුගේ ජීවන වෘත්තිය තවත් පැත්තක ද පවතී. සෑම කෙනෙකුටම ජීවන වෘත්තියක් හෙවත් රැකියාවක් අවශ්‍ය වෙයි. එය ඔහුගේ උගත්කමට දක්ෂතාවට හා පුහුණුවට ගැළපෙන ආත්ම අභිමානයෙන් සහ තෘප්තියකින් යුතුව ඉටු කිරීමට සමත් වන්නක් විය යුතු ය. එම සමත් බව සඳහා රැකියා ලෝකය ඉල්ලා සිටින නිපුණතා සංවර්ධනයක් අනිවාර්යයෙන් ම අත්‍යවශ්‍ය වෙයි.
මෙහිදී අදහස් කෙරෙන්නේ තිබෙන රැකියා ඇබෑර්තු සඳහා යෝග්‍ය සුදුසුකමක් ලබාගැනීම නොවේ. ඕනෑම රැකියාවකට යෝග්‍ය කුසලතා ද ලබාගත් නිපුණතා අවශ්‍ය වීට වෙනත් රැකියාවක් සඳහා මාරු කර ගැනීමේ හැකියාව ද පැවතිය යුතු බව ය.
අනාගත අධ්‍යාපනයෙන් ලබන ප්‍රතිඵල සමාජ සංවර්ධනය සඳහා යොදා ගැනීමට සමත් විය යුතු ය. ආර්ථික ක්ෂේත්‍රය ගැන පමණක් සිත යොමු කරමු. ‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක්’ ගැන නිතර සාකච්ඡා කෙරේ.
මෙම ආර්ථික ක්‍රමයේ විශේෂ ලක්ෂණවන්නේ එහි ප්‍රාග්ධනය ලෙස යොදාගන්නා බුද්ධිමය හැකියාවයි. එහි ස්වාභාවික සම්පත් අත්‍යවශ්‍ය නොවේ. (ශ්‍රමය) වෙනුවට බුද්ධිය භාවිත කෙරේ. චින්තනය මඟින් කෙරෙන නිර්මාණ භාණ්ඩ සහ සේවා ලෙස සැළකේ. ඒවා මූලධර්ම, න්‍යාය, උපදේශන, ව්‍යාපාරික රහස් ආදිය වේ. නිර්මාණී චින්තනය, කල්පිත, විශ්ලේෂණාත්මක චින්තනය, තර්කානුකූල චින්තනය, සිහින ආදිය මඟින් කෙරෙන නිර්මාණ අපනයනය කළ හැකි අතිශයින් ලාභ ලැබිය හැකි, පෞද්ගලික මෙන් ම සමාජයේ ද ආර්ථිකය වර්ධනය කරන සාධක වේ.
අනාගතයට අවශ්‍ය අධ්‍යයනය ඕනෑම තැනක ඕනෑම වෙලාවකදී ලබා ගැනීමට හැකි වන ජීවිතය පුරාම පවතින්නක් විය යුතු ය. ඉගෙන ගන්නා ගමන් රැකියාවක් ද රැකියාවක් කරන ගමන් අධ්‍යාපනයක් ද ලැබිය හැකි විය යුතු ය.
පරිගණක, ටැබ්ලට්, අයි පෑඩ් හා දුරකථන ආදිය ඉගෙනුම් උපකරණ යොදා ගැනීම අවශ්‍ය වේ.
අන්තර්ජාලය භාවිත කිරීම පමණක් නොව ඒ මඟින් විවිධ පාඨමාලා හැදෑරීමට සමත් විය යුතු ය. රටේ භෞතික විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට තරග නොකර ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාලයන්හි පාඨමාලා හැදෑරීමට සමත් විය යුතු ය. අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ රැකියාවල නිරත වීමට ද හැකියාව ලැබිය යුතු ය.
මෙම ඉලක්ක සැබෑකර ගත හැක්කේ ශ්‍රී ලංකාවේ පවත්නා පාසල් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමෙන් නොව විපර්යාසයකට භාජන කිරීමෙන් ය.