දෙවියෝ සහ භූතයෝ | සිළුමිණ

දෙවියෝ සහ භූතයෝ

 ඉර දවසේ වැඩ අහවර කරල ගිලෙන්න පොඩ්ඩකට කලියෙන්, එතකොට මම කැකිරාව ටවුම පේන නොපෙනෙන මානේ, ඒ කියන්නෙ රේල් ගේට්ටුව පහුකරල ඕළුකරඳ වැව කිට්ටුව. එක පාරටම පාරේ වම් පැත්තෙන් ගහකට මුවා වෙලා ඉඳපු පොලිස් නිළධාරීයෙක් පාරට පැනල අත දැම්ම. මීටර් දහයක් පහළොවක් ඉස්සරහට ගිහින් නතර කරල වාහනේ ඉස්සරහ ලාච්චුවෙ තිබුණ ලයිසන් ඉන්ෂුවරන්ස් කොළත් අරගෙන බැහැල රාළහාමි ළඟට ගියා.

“ඉස්සරහ ලොකු ලයිට් දෙකෙන් එකක් පත්තුවෙන්නෙ නෑ නේද” කියපුවම මම ආයිත් වාහනේ ලඟට ගිහින් ලොකු ලයිට් දෙකේ එළිය දාල බැලුව. ඇත්ත තමයි වම් පැත්ත පත්තුවෙන්නෙ නැහැ.

බොනට් එක ඇරල ලයිට් එක ලඟ වයර් ටික එහෙට මෙහෙට කරද්දි යන්තම් දෝසෙ හරිගියා. වයර් එකක තිබුන දුර්වල සම්බන්ධ කමක් වෙන්න ඇති.

බොනට් එක වහල ආයිත් රාළහාමී ළඟට ගිහින්,

“දැන් හරි, පෙන්නල දුන්නට බොහොම ස්තුතියි , අපි තව ගොඩාක් දුර යන්නත් තියෙනව” කියද්දි

“කොහේ ඉඳලද ඒන්නෙ” කියල ටිකක් ගාම්භීරව ඇහුව.

“අපි කළුතරටත් එහා, අනුරාධපුරේ ගියා ආපහු යන ගමන් “

“ස්තුතියෙන් නම් අපිට වැඩක් නැහැ. ප්‍රධාන මාර්ගයේ තනි ලයිට් එකෙන් ධාවනය ලොකු වැරද්දක්නෙ” සාජන් මහත්තයත් එක්ක කතා කරල බලන්න කියපුවම

“ඔය වරදට දඩ කොළ ලියන්න බැහැ , උසාවි දාන්න වෙනව” කියන ගමන් අඩි කිහිපයක් එහායින් හිටපු සාජන් මහත්තයා ටිකක් ළඟට ආව.

“අයියෝ එහෙම කරන්න එපා, කිලෝමීටර් දෙතුන් සියයක් දුර ඉඳන් උසාවියට එන්නෙ කොහොමද, අනේ උසාවි දාන්න එපා” කියල මම පුංචි කෙඳිරිල්ලක් දැම්ම.

එතකොට සාජන් මහත්තයා තවත් සැර වෙලා.

“අපි මේ පාරට බැහැල ඉන්නෙ වැරදි කරපු අය අල්ලන්න, වැරද්දක් කරල අහුවුණ අය යවන්න නම් අපි මේ රස්සාව කරල වැඩක් නැහැනෙ “ කියල ටිකක් සද්දෙට කියුවෙ.

“උසාවියට නොදා , මට දඩ කොළයක් ලියල දෙන්න බැරිද “ මගෙ ලයිසන් එක අතට අරගෙන දෙපැත්තට හරව හරව බලන රාළහාමිගෙන් මම ආයිත් ඇහුව.

ටිකක් වෙලා නිහඬව හිටපු සාජන් මහත්තය “ ගොඩාක් දුර පළාතක හින්ද පොඩි උදව්වක් කරන්නම්, වෙන වරදක් කරපු විදිහට දඩ කොළයක් දෙන්නම්” කියල දඩ කොළ පොතයි උඩ සාක්කුවෙ තිබුණ පෑනයි අතට ගත්ත.

“දැන් තැපැල් කන්තෝරු වහලනෙ, මට ආයිත් කැකිරාවට එන්න වෙනව නේද ලයිසන් එක ගන්න “ කියපුවම ,

“ඔව් ඒක නම් එහෙම තමයි” කියල

“එහෙම නම්, දඩ මුදල මට දෙන්න හෙට මම තැපැල් කන්තෝරුවට ගෙවන්නම්” රාළහාමි කියුවෙ ලොකු ලෙන්ගතුකමකින් වගේ ,

ඉක්මනට සාක්කුවෙන් ගත්තු රුපියල් පන්සියය රාළහාමිගෙ අතේ තියල එයාගෙ අතේ තිබුණු ලයිසන් එක මගෙ අතට ගත්ත.

ආපහු වාහනේට ඇවිත් රාළහාමි එක්ක වුණ ගනුදෙනුව ගැන කට්ටියට කියපුවමයි කවුද කියුවෙ “ඒ රාළහාමි කොච්චර හොඳද තැපැල් කන්තෝරුවට ගෙවන්න තියෙන අමතර රුපියල් පනහත් එයාගෙ අතින් ගෙවනව” කියල.

තවත් කෙනෙක් කීවෙ දඩය ගෙව්වෙ ආණ්ඩුවට නෙමෙයි කියලයි.

කොහොම වුණත් ඒ තරමට ප්‍රශ්නය විසඳගත්තු එකට හැමෝම සතුටු වුණා.

එතකොට නම් වෙලාව රෑ දහයට විතර ඇති. වීදුරුව උඩට වැටෙන වැහි බින්දු ලතාවකට වයිපරේ දෙපැත්තට තල්ලු කරනව. කොළඹ පැත්තෙ ඉඳන් නුවර පැත්තට යද්දි තෝලංගමුව ස්කෝලෙ පහුකරල මහ කන්ද නගිද්දි ගොර ගොර සද්දෙට හති ඇර ඇර කන්ද නගින ලොකු ලොරිය පහු කෙරුව විතරයි. වැහි කබායක් ඇදගෙන ටෝච් එකක් අතින් අරගෙන පාරට පැනපු රාළහාමි කෙනෙක් වාහනේ නවත්තන්න අණ කෙරුවෙ.

“පොලීසියෙන්, ඉර කැපුව නේද? “ තැතිගැස්මකින් වම් පැත්තෙ සීටි එකේ ඉදන් බිරිඳ ඇහුව.

ඉඩක් තියෙන තැනක් බලල නවත්තල වාහනෙන් බහින්න හදද්දි දොර ළඟට ආපු රාළහාමි විදුරුව පහත් කරන්න කියල වීදුරුවට තට්ටුවක් දාල සංඥාවක් කෙරුව.

“බහින්න ඕනැ නැහැ, වැහි පොද වැටෙනව ,

‘කොහෙද මේ කලබලෙන් යන්නෙ”

“ නුවරට” මම මිමිනුව.

“ඉතින් මෙච්චර හදිස්සියෙන් “

“හෙට නුවර මඟුල් ගෙයක් තියෙනව ඒකට යන්නෙ , පොඩි තුන් දෙනත් එක්ක රෑට ඉන්න තැනක් හොයාගන්නත් ඕනැ, ඒකයි ටිකක් ඉක්මනට යන්නෙ “ කියද්දි එයාගෙ අතේ තිබුණ ටෝච් එක පිටුපස්සෙ සීට් එක දිහාට හැරෙව්ව. පොඩි තුන්දෙනා එකා පිට වැටිල නිදා ගෙන ඉන්නව දැකල

“මහත්තයො පහුගිය දවස්වල මෙතන බරපතල අනතුරුවුණා, මහත්තයා ආපු විදිහත් බොහොම අවදානම්. මේ වැස්ස වෙලාවට පාරත් ලිස්සනව. ඉරිත් කපාගෙන වාහනයක් ඉස්සර කෙරුව වංගුවෙදි.” කියද්දි

“මම වැරද්ද පිළිගන්නව “ මම කියුව.

“මහත්තයා වැරද්ද කෙරුවෙ මට නෙමෙයි මහත්තයගෙ නෝනටයි දරුවන්ටයි. කොච්චර පරක්කුවුණත් ජීවිත අවදානමටකට දාල වාහන එලවන්න එපා.

“ඉස්සරහටත් දිගටම වහිනව හෙමින් යන්න”

ඉස්සරහින් ආපු වාහනයක එළියෙන් මට එයාගෙ මුහුණ පෙනුණ. මම හිතෙන්නෙ මගෙ වයසින් බාගයක්වත් ගෙවපු නැති කෙනෙක්.

“අපි යන්නම් “ මම කියුව

“ බුදු සරණයි , පරිස්සමෙන් යන්න” කියල ආයිත් කියද්දි

“ බුදුසරණයි “ මමත් කියුව,

මට දඩ කොළයක් දුන්න නම් මම ඒක ගෙවල ආයිත් ඉර කපාවි. ඒත් දැන් ඉර කපන්න හදන හැම වෙලාවකම වාහන එළියෙන් දැකපු ඒ පොලිස් නිළධාරිය මතක් වෙනව. 

 

Comments