
කලබලය සහ කඩිනම යන දෙකෙහි වෙනස කිසිදා පටලවා නොගත් නිසා පුරුද්දට මෙන් කිසිවක් අවුල් කැර නො ගන්නා ගාල්ලේ අද්වකාත් බොනී අල්විස් 1967 ජූලී 16 දා ඉරිදා පෙරවරු 11.02 ට යෙදුණු සුබ මොහොතින් මීගලෑව මුදියන්සේලාගේ ගංගා රූපසිංහ සමඟ විවාහ වූයේ ද මහ අලකලංචි පොකුරක් මැද්දේය. බොනීට වඩා ගංගා වසර 12 කින් වයසින් බාල වූ අතර ඇය මීට පෙර විවාහ වී සිටියේ ගුරුවරයකු සමඟ ය. ඒ දික්කසාද නඩුවට ගංගා වෙනුවෙන් පෙනී සිටියේ බොනී අල්විස් ය. නඩුවේ තීන්දුව ලැබෙන්නටත් පෙර බොනී තුළ ගංගා කෙරෙහි ආල ඇල්මක් හටගත් අතර ගංගා ද ඊට අනුකූලතාව පළ කරන ලීලාවෙන් පසුවූවාය. එහෙත් ඒ වනවිටත් ගංගා වතු අධිකාරීවරයකු සමඟ රහසිගත පළහිලව්වක පැටළී සිටින බවත් බොනී හොඳාකාරව දැන සිටියේ ය. මේ අතර එක් සති අන්තයක ගංගාගේ මහගෙදරට අහම්බෙන් ආ බවක් ඇඟ වූ බොනී නඩුවේ තීන්දුවෙන් පසුව ගංගා විවාහ කැර ගැනීමට තමා කැමති බැව් ඇගේ දෙමාපියන්ට කෙළින්ම කී අතර ඒ ඇසූ ගංගාගේ පියා පුවක් ගහක් මෙන් ඉද්ද ගැසුණා මිස මුහුණේ ඉරියව්වකින්වත් නොමනාපය නොපෙන්විය. මේ නිහඬ ප්රතිචාරය කුමක්දැයි වහා පසක් කොට ගත් බොනී වචනයෙන් වචනය ගලපමින් විත්තිවාචකය ඉදිරිපත් කෙළේ ඔහුට සුපුරුදු වෘත්තීය ස්වරයෙනි. ' ... ගංගා මට වඩා අවුරුදු දොළහක් බාලයි ..ඒත් මටත් තාම පණහ පැනලා නෑ .. ඒ නිසා ඒක අපේ කසාදෙට අවහිරයක් නෙවෙයි. ඊ ළඟට මම කලින් කසාදෙන් දික්කසාද වුණ බවත් ඇත්ත. දැං ගංගාත් දික්කසාද වුණ කාන්තාවක්. ඉතිං එතනත් ප්රශ්නයක් නෑ .. ඔය ඔක්කොටමත් වඩා ගංගා මට කැමතියි. දැං වුවමනා වෙන්නේ වැඩිහිටියන්ගේ අවසරය විතරයි. ..' යි කී ඔහු හුනස්නෙන් නැගිට ආපසු යෑමට හැරෙමින් මෙසේ කීවේය. ' මට හදිසියක් නෑ .. හොඳට හිතලා බලලා උත්තරයක් දෙන්න ... මොකෝ මේ නඩුවෙන් ගැලවුණත් ගංගා ඊ ළඟට තවත් නඩුවකට පැටළෙන්න ඉඩ තියෙනවා .. '
ඊ ළඟ සති අන්තයේ උදෑසනින්ම ගංගාගේ මව සහ පියා බොනීගේ බංගලාවට පැමිණියේ ඔවුන්ගේ වොක්ස්වැගන් රථයේ පසුපස ආසනය පිරෙන්නට ගොඩගසා තිබූ කැවිලි කදමලු පුරවාගෙනය. පහත රට තේ වතු කිහිපයක් සහ කුඩා තේ කොළ කර්මාන්තශාලාවක් පවත්වා ගෙන ගිය රූපසිංහ මුදලාලි ගෙවුණු සතියම කල්ගත කෙළේ නොරිස්සුමිනි.
ගංගා ඔහුට සිටි එකම දරුවාය. එක කරදරයකින් ඇය ගලවන්නට ගොස් දැන් සිදුව තිබෙන්නේ ඊටත් වඩා ලොකු කරදරයක පැටළීමටය. බොනීවත් තරහ කර නොගෙන නඩුවත් දිනාගෙන කෙල්ලවත් බේරාගත යුතු යැයි සිතූ ඔහු ඊට උපායක් කල්පනා කෙළේය.
මේ හදිසි ගමන යොදා ගත්තේ ඒ වෙනුවෙනි. ඔවුන් දැකීමෙන් පුදුමයට පත් වූ බොනී විමතියෙන් මදහස දල්වා බලා සිටියදී වහා රථයෙන් බැසගත් රූපසිංහ ; ' ගුඩ් මෝනිං සර් ! ' යි ගරුසරුව ඔහුට සුබපැතුවේය. ඒ ඇසූ බොනී හඬ උස් කරමින් ' ආ.. වෙරි ගුඩ් මෝනිං අන්කල් ..වෙරි ගුඩ් මෝනිං .. ආ ආන්ටිත් ඇවිත් නේ.. කෝ .. එම්ජීආර් ආවේ නැද්ද .. ' යි ඇසුවේය. තමා ඔහුට 'සර්'' යැයි අමතා දුරස්ථ බව හිතාමතා ම පෙන්නුම් කළ මුත් ඔහු තමාට අන්කල් ..ආන්ටි යැයි අමතා සමීප බව අගවනු ඇසීමෙන් ඇති වූ පසුබෑම සිත කීරී ගාන්නා සේ දැනුණත් ඊටත් වඩා කුතුහලය වූයේ ' එම්ජීආර් ' යැයි කීවේ කාටදැයි වටහාගත නොහැකි වූ හෙයිනි. 'කාටද ද සර් එම්ජීආර් කිව්වේ ?' යි රූපසිංහ පුදුමයෙන් මෙන් ඇසුවේය.
' කාටද ඉතිං ... ' යි රහසිගත ප්රීතියක් මවාපාන ස්වරයෙන් කී බොනී තම කලිසම් සාක්කුවට අත යවා ලා දම්පැහැති ලේන්සුවක් එළියට ගෙන එහි රතු නූලෙන් ගෙත්තම් කර තිබූ ඉංග්රීසී වැල් අකුරු රටාවක් පෙන්නුවේ ය 'love you bonny - mgr ' යනුවෙන් එහි සඳහන් විය.
' මට හරි පුදුමයි අංකල් මේ ලා දම්පාට මම කැමතිම පාට ...එයා ඒක කොහොම දැන ගත්තද මන්දා ...අන්නේකයි එයා මගේ හිත තේරුම් ගන්න පුළුවන් කෙනෙක් .. ' යි ලේන්සුව පෙන්වමින් කෝල කොලු ගතියෙන් යුතුව බොනී කියාගෙන කියාගෙන යත්දී මේ ලේන්සුව ගැනවත් ඔහු කියන කිසිම දෙයක අගක් මුලක්වත් වටහාගත නොහැකිව රූපසිංහ තුෂ්නිම්භූතව බලා සිටියේ ය. ' මේ විතරක් නෙවෙයි එන්නකො පෙන්වන්න ...' යි කියමින් පෙරැත්ත කරමින් ඔවුන් දෙදෙනාව තම නිදන කාමරය වෙත බලාත්කාරයෙන් තල්ලුකරගෙන යන්නාක් මෙන් කැඳවාගෙන ගිය බොනී ; ' තම සුවිසල් උඩුවියන් සහිත නිදන ඇඳ සහ ඇතිරිලි කොට්ට උර පෙන්වමින් ඒවායේ පෙර මෙන් ම ඉංග්රීසි වැල් අකුරෙන් ගෙත්තම් කැර තිබූ 'love you bonny - mgr ' යන වැකිය යළි යළි පුනරුච්චාරණය කෙළේය. මෙය තවදුරටත් ඉවසිය නොහැකි තැන ' කවුද සර් මේ එම්ජීආර් ' කියන්නේ ' යි රූපසිංහ ප්රශ්න කෙළේ ය. ' ඇයි අංකල් තාම තේරුණේ නැද්ද .. මීගලෑව මුදියන්සේලාගේ ගංගා රූපසිංහ ...මගේ අනාගත භාර්යාවනේ ' යි බොනී ස්ථිර හඩින් කීවේය. ඒ ඇසීමත් සමඟ ම කපා හෙළූ කෙසෙල් කඳක් මෙන් රූපසිංහගේ දිරි බිඳී ගියේය. ' එහෙනං සර් අපි ගිහිං එන්නං ... මේ අපි දෙන්නා මාතර මළ ගෙදරකට යමිං ගමං .. සර්වත් බලාගෙන යන්න හිතාගෙන ආවේ .. ' යි කී රූපසිංහ සිය බිරිඳවත් ඇදගෙන බොනීගෙන් හනිකට සමුගත්තේ ය.
එදිනම හැන්දෑවරුවේ ගංගාගේ මහ ගෙදරට ගිය බොනී ඇයට මෙසේ කීවේය. ' අද උදේ ඔයාගේ අම්මයි තාත්තයි මාව මුණ ගැහෙන්න ආවා. එයාලා බොහොම කලබලෙන් ආවේ .. ඔයා කවුද මේ කඩප්පුලි වතු සුපිරින්ටන් කෙනෙක් එක්ක පටලැවිලා කියලා එයාලා බයයි .. ඔහොම ගියොත් ඒක මේ නඩුවට අවාසියක් වෙන්න පුළුවන්... නඩුව දිනුවට පස්සේ ඔයා මොන තීරණයක් ගත්තත් මට කමන්නෑ ...දැනට ඒ මිනිහට ඔයා තෑගි හැටියට දුන්නු මොනවත් තියෙනවද .. ? ' යි ඇසුවේය. ඒ සංවාදයෙන් පසුව ගංගාවත් තම රථයට නංවා ගත් බොනී වතු බංගලාවට ගොස් සුපිරින්ටන් හමුවි ඇය විසින් ඔහුට දී තිබූ සිහිවටන තෑගි ආපසු ඉල්ලා ගත්තේ ය.
1967 ජූලී 14 දා සිකුරාදා දිවා කාලයේදී ගංගාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබිණ. පසුදින සෙනසුරාදා පාන්දරින් ම මාපලගම ගුරුන්නාන්සේ හමුවීමට ගිය බොනී විවාහය සඳහා හෙට දවසේ නැකතක් ශුද්ධ කර දෙන්නැයි කීවේය. ' මේ කෝණ මාසේ මොන මගුල් නැකත් ද සර් .. තව දවස් දෙක තුනක් ඉවසන්නකෝ රවි ග්රහයා මිථුනෙන් පැන්න හැටියේ කෝණේ ඉවරයි නේ .. ' යි ගුරුන්නාන්සේ කීවේය. ' රවි මිථුනෙන් පැනලා කෝණේ ඉවර වෙනකං හිටියොත් සුපිරින්ටන්කාරයා ගංගව රටිනුත් පන්නලා තියේවී ' යි තමාට ම කියාගත් බොනී ගුරුන්නාන්සේ අමතා මෙසේ කීවේය.
' එහෙනං කමක් නෑ .. මගුල පැත්තක දාමුකෝ .. ඔය දවසේ සුබ වෙලාවක් ඇත්තෙම නැද්ද ' යි නිකමට මෙන් ඇසුවේය. ' මොකෝ නැත්තේ උදේ 11.02 ට ගුරු හෝරාව ගුරුගේ පංචම හෝරාව ගුරු සූක්ෂ්ම හෝරාව බොහොම බලවත් වෙලාවක් ..' යි ගුරුන්නාන්සේ ඊට උත්තර දුන්නේ ය.
ඊට පසුදින 1967 ජූලී 16 දා ඉරිදා පෙරවරු 11.02 ට බොනී අල්විස් සහ ගංගා රූපසිංහ විශේෂ බලපත්ර යක් යටතේ විවාහ වූහ. එයින් විසි වසරකට පසුව ඔවුන්ගේ විවාහ සැමරුම මහත් උත්සවශ්රීයෙන් පැවැත්විණ.
' මේක හරි පුදුමයක් නෙ බොනී තමුසෙට වඩා නෝනා තරුණයි නෝනට වඩා තමුසේ තරුණයි .. දෙන්නගෙම වයස යන්නේ පුදුම ක්රමේකට නේ .. 'යි ඔහුගේ වෘත්තීය සගයන් මෙන්ම දුටු දුටු අය සුබ පතමින් කීවේය. ' මේක සංසාරගත බැඳීමක් වෙන්නැති .. බලහංකො මෙච්චර වයසට ගිහිනුත් මේ දෙන්නගේ මාර ලව් එකක් නෙ තියෙන්නේ .. ' යි බොනීගේ මිතුරකු කාටත් ඇසෙන්නට උස් හඬින් කීවේය.
මේ සියල්ල සිනාමුසු මුහුණින් අසා සිටි බොනී තම බිරිඳ සිප ගනිමින් ඇගේ කනට කොඳුරා මෙසේ කීවේය. ' හපොයි මේකේ ඇත්ත කතාව මුං එකෙක්වත් දන්නෑනේ ඉතිං .. මං තව එක දවසක් පරක්කු වුණා නං මේ එටර්නල් ලව් එක අර සුපිරින්ටන්කාරයා එක්ක ලන්ඩන්වල තමා නතර වෙන්නේ .. ' යි කීවේ තම බිරිඳ පවා විසිවසරකට පසුව පුදුමයට පත් කරමිනි.
අවසානයේ උත්සව සභාව ඇමතූ බොනී මෙසේ කීවේය ; 'එටර්නල් ලව් එකක් වුණත් ඔඩොක්කුවට නිකංම වැටෙන්නේ නෑ .. ඒක වුණත් ලැබෙන්නේ ඉස්සර වුණ කෙනාට තමා'