ඉන්දි­යාවේ සංචා­ර­යට පෙර තොණ්ඩ­මන් රහ­සක් කියයි‍ | සිළුමිණ

ඉන්දි­යාවේ සංචා­ර­යට පෙර තොණ්ඩ­මන් රහ­සක් කියයි‍

දවස පුවත්පතට සම්බන්ධව සිටි යුගයේ නන්දන තෙන්නකෝන් සහ මගේ ද ප්‍රවෘත්ති දඩබිමක් වූයේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් ඇමැතිවරයාගේ අමාත්‍යාංශයයි. දැන් නන්දන මවුබිම පත්‍රයේ ය.

තොණ්ඩමාන් ඇමැතිවරයා ළඟ ඕනෑතරම් ප්‍රවෘත්ති තිබුණි. මේ දඩබිමට වැදී, දේශපාලන රහස්, අනාවැකි පමණක් නොව ඇතැම් විට කැබිනට් කතා බහ පවා රිසිසේ දඩයම් කර ගැනීමට අපි සමත් වීමු. කාකොටාගත්තේ නැතිව ඒ සැම ප්‍රවෘත්තියක්ම අප දෙදෙනාගේම නමින් ලිවීමට ද අපි පුරුදුව සිටියෙමු.

ඇමැති කාර්යාලයකට ඇතුලත්වීමට එදා අදමෙන් අමාරුවක් ද තිබුණේ නැත. පස්වරු 3.00 පමණ වනවිට තොණ්ඩමාන් ඇමැතිවරයා විවේකීව සිටී. මේ සුබ හෝරාව බලා නන්දනත් මමත් ඔහුගේ කාර්යාලයට පිවිසෙමු.

කොල්ලුපිටිය මංසන්ධියේ ගාලු පාරට මුහුණලා කාර්යාලය පිහිටා තිබුණි. අප දෙදෙනා දුටු ගමන් ඇමැති ලේකම් රාමනාදන් මහතා අප පිළිගෙන ඇමැති කාර්යාලයට යාබද විවේකාගාරයට කැඳවාගෙන යයි. කාර්යාලයේ සිටින තොණ්ඩමාන් ඇමැතිවරයා අපට අතවනා ආචාර කොට එසැනින් අප කාර්යාලයට ගෙන්වා ගැනීමට සැදී පැහැදී සිටියේ ය.

පලතුරු යුෂ බීම වීදුරු දෙකක් සියතින් ම අපට පිළිගන්වා ඔහු ම කතා බහට මුල පුරයි. රසකැවිලි ඇතොත් ඒවා ද දෙයි. කොහේ හෝ සංචාරයක ගොස් එනවිට රැගෙන ආ බෝල් පොයින්ට් පෑන්, ඉන්දියානු තො‍රොම්බල් භාණ්ඩ යමක් ඇතොත් ඒවා ද පරිත්‍යාග කරයි. මයි ඩියර් යනුවෙන් අප අමතයි.

පිටරටින් කිරි පිටි ආනයනය කිරීමට ඉතා විරුද්ධ වූ තොණ්ඩමාන් ඇමැතිවරයා කඳුකරයේ දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමට ඇප කැපවී ක්‍රියා කළේ ය. කොටගල නගරයේ ඔහු විසින් අරඹන ලද වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ගැන කතා කළේ මහත් ආඩම්බරයෙනි. ඉන්දියාවේ හස්ත කර්මාන්ත ශ්‍රී ලංකාවේ ද නිපදවිය යුතු යැයි කීය.‍ එසේ ම යුද්ධය නවත්වා රට තුළ සාමකාමී පරිසරයක් තිබිය යුතු යැයි ද කීවේ ය.

දිනක් අප සමඟ කතා බහේ නිරත වෙමින් සිටිය දී ඔහුගේ දුරකතනය නාද විය. විනාඩි 10 ක් පමණ දුරට ඇදී ගිය දුරකතන සංවාදය අතරතුර ඔහු සිනාසුණේ ය. වරෙක සැරෙන් පිළිතුරු දුන්නේ ය. තොණ්ඩමාන් ඇමැතිවරයා දුරකතනය විසන්ධි කළේ තෑන්ක් යූ සිරිල් කියමිනි. කෙසේ හෝ වේවා තොණ්ඩමාන් මහතා මහත් සේ සසල වූ බවක් දිස්විය.

සංසුන් වූ පසු ඔහු කීවේ තමා හෙට ඉන්දියාවට යන බවයි. ආ විගස (HOT NEWS) උණුසුම් ප්‍රවෘත්තියක් දෙනවා යැයි ද ඔහු කීවේ ය. උණුසුම් පුවත කල් නොයවා සොයා ගැනීමේ අදහසින් අපි විවිධ ප්‍රශ්න ඇසීමු. උණුසුම් පුවතත් දැන් ලැබුණු දුරකතන ඇමතුම ගැනත් විමසන විට ඇමැතිවරයාගේ මුවින් රහස පිටවිය.

“මම ඉන්දියාවේ මගුල් ගෙදරක යනවා ඒ ගමන් උමා මහේස්වරන් මුණ ගැහෙනවා. ඔහු ඉතා ම සාධාරණව හිතන, උතුරේ යුද්ධයට සාමකාමී විසඳුමක් අවශ්‍යයි කියන කෙනෙක්. මේ යුද්ධය නවත්වන්න ඕනෑ. මට දැන් කතා කෙළේ සිරිල් මැතිව් ඇමැතිවරයා. කොටින් එක්ක සාකච්ඡාවට ඔහු කැමැති නෑ. ආණ්ඩුවෙන් අස්වෙනවා කියල තර්ජනය කරනවා.

“එයාගේ තර්ජන මට වැඩක් නෑ. මේ යුද්ධය නවත්වා ගන්න ආණ්ඩුවේ බිග් ෂොට්ස් (ලොකු උදවිය) මේකට උනන්දුයි. මෙසේ තොණ්ඩමාන් ඇමැතිවරයා විශාල රහසක් හෙළි කෙළේ ය.

“ඒවා ලියන්න යන්න එපා ඉන්දියාවේ යනවා කියල පොඩියට දැම්මට කමක් නෑ” කියමින් ඔහු කතාවට සමුදුන්නේ ය.”

කාර්යාලයට ගොස් මේ සිද්ධිය අපේ ප්‍රධානියා වූ රෝහණ ගමගේ මහතාට සැල කළ විට “ගන්නවා ගන්නවා” ඕක විගහට ලියනවා. ඕක පොඩි කතාවක් නෙමේ ඕයි. පොඩි පොඩි කතා තමා ලොකු ලොකු කතා බවට පත්වෙන්නේ. ඕක ඉන්දියාවෙ පත්තරවල ලස්සනට පළවෙයි” යනුවෙන් කෑ ගැහුවේ එහාට මෙහාට දුවමිනි. ඒ ඔහුගේ සිරිතයි.

පසුවදා දවස පත්‍රයේ සහ සන් පත්‍රයේ ද දිනපති පත්‍රයේ ද කොලම් 8 ක ප්‍රධාන සිරස්තලය සහිත ප්‍රධාන පුවත අප දෙදෙනාගේ ප්‍රවෘත්තියයි. නන්දන සහ මගේ නම ද පොයිට් 12 අකුරෙන් ලොකුවට පළ විය. ‍සන් පත්‍රයේ කර්තෘ රෙක්ස් ද සිල්වා මහතා එකල DPA ජර්මන් පුවත් සේවයේ කොළඹ වාර්තාකරුයි. මේ පුවත ලෝකය පුරා ප්‍රසිද්ධ කිරීමට ඔහු වගබලා ගත්තේ ය.

රෝහණ ගමගේ මහතා බියර් පානය කෙළේ අලුත්කඩේ උසාවියට යාබද රෝයල් හෝටලයෙනි. පී.එච්. සේනාරත්නට හෝ මට ඇතැම් දිනවල ඔහු බියර් බීමට ඇරියුම් කරයි. අර ප්‍රවෘත්තිය පළවූ දින මට දවල් කෑම සහ බියර් සංග්‍රහයක් පැවැත්වීමට ද ඔහු අමතක කෙළේ නැත. අවාසනාවට එදින දහවල නන්දන කාර්යාලයේ සිටියේ නැත. සිටියා නම් ඔහුට ද මේ සංග්‍රහය හිමිවනවා ඒකාන්තය. රෝහණ මහතා මට කීවේ නන්දනත් එක්කම එනවා යනුවෙනි.

දෙතුන් දිනක් යත්ම අපේ පුවත පළ දැරුවේ ය. තොණ්ඩමාන් මහතාට ගල්මුගුරු මෙන් ම මල් පොකුරු ද ගලා ආවේ ය. තොණ්ඩමාන් - උමා සාකච්ඡා පිළිබඳව ඉන්දියාවේ පුවත්පත් ද විශාල අවධානයක් යොමු කර තිබුණි. ඉන්දියා සංචාරය නිමාකොට කොළඹට පැමිණි තොණ්ඩමාන් මහතාට මාධ්‍යවේදීන්ගෙන් ගැලවීමක් ලැබුණේ ද නැත.

පළ කරන්නට එපා කී පුවතත් පළ කිරීම නිසා නැවත තොණ්ඩමාන් මහතාට මුහුණදීම මටත් නන්දනටත් අසීරුවක් වූ නමුත් අපි ඔහුගේ කාර්යාලයට ගියෙමු. රාමනාදන් මහතා හමුවීමු. පෙර පරිදි අප දෙදෙනා සාදරයෙන් පිළිගත් ඔහු ඇමැතිවරයාගේ ඇස් දිස්ටියට ලක්වන අන්දමට අප දෙදෙනාට වාඩි‍වන්නට කටයුතු යෙදීය. කිසිදු අමුත්තක් නොවූ ලෙස අප දෙස බැලූ තොණ්ඩමාන් ඇමැතිවරයා අප දෙදෙනා ළඟට කැඳවන ගමන් “මම නම් හොඳින්. උඹල දෙන්න කොහොමද” යැයි අසමින් කිසි අමුත්තක් නැතිව පලතුරු බීම දෙකක් පිළිගැන්වීය.

“බයි ද වේ. උමා මහේස්වරන් ඉස් අ වෙරි රීසනබල් පර්සන් ( උඹල දන්නවද උමා මහේස්වරන් ඉතාම සාධාරණ කෙනෙක්)” යැයි කී තොණ් ඩමාන් ඇමැතිවරයා අප දෙදෙනාට කුඩා තෑගි දෙකක් ද පිරිනැමීය. ඒ හැර උමා සමඟ වූ කතා බහ ගැන කිසිවක් කීවේ නැත.

“සිරිල් මැතිව් ඇමැතිවරයා ආණ්ඩුව සමඟ විරසකව සිටින බවට පුවත් පළවූ අතර ඔහු සිය කර්මාන්ත ඇමැති ධූරයෙන් ඉවත්වන බවට ද ඉඟි පළවිය. ජේ.ආර්. ජයවර්ධන මහතා සිරිල් මැතිව් ඉවත් කොට ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා ඇමැතිවරයා ලෙස පත් කෙළේ ය. “ඇමැති මැතිව් ඉවතට” යනුවෙන් දවස පත්‍රය එම පුවත මුල් පුවත ලෙස පළ ‍ෙකළේ ය.

මේ සිදුවීම්වලින් පසුව ද තොණ්ඩමාන් මහතා අපට විවිධ තොරතුරු ලබාදුන්නේ ය. ඔහුගේ සම්පූර්ණ නම සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ය. ඇඟපත කළුම කළු වුව ද ඔහු නමේ හැටියටම සෞම්‍ය භාවයේ මූර්තියක් බඳු චරිතයකි. දේශපාලනයෙන් සමුගත් පසු ‍තලවකැලේ ඔහුට අයත් වැවන්ඩල් වත්තට වී සිය චරිතාපදානය ලිවීමට සිතා සිටින බව ඒ මහතා කීවේ ය. ඔහු සිය චරිතාපදානය ලිව්වා ද නැද්දයි නොදනිමි. 

 

Comments