සර් එඩ්වින් විජේ­රත්න සෝල්බරි සාමි හමුවේ ගොවියකු වෙයි | සිළුමිණ

සර් එඩ්වින් විජේ­රත්න සෝල්බරි සාමි හමුවේ ගොවියකු වෙයි

කෑගල්ලේ ප්‍රකට දේශපාලන චරිතයක් වූ සර් එඩ්වින් විජේරත්න මහතාගේ අභාවය සිදු වූයේ 1968 ඔක්තෝබර් මස 19 වනදාය. ඔහුගේ අවමඟුල පැවැත්වුණේ කෑගල්ලේ රන්වලදීය.

සර් යනු එකල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ගරුසරුව පිරිනැමීමකි.

සර් රාසික් ෆරීඩ්, සර් උක්වත්තේ ජයසුන්දර, සර් නිකුලස් ආටිගල, සර් සිරිල් ද සොයිසා, සර් ඔලිවර් ගුණතිලක යනාදි වශයෙන් වූ “සර්වරුන්” රාශියක් එකල පුවත් මවන්නෝ වූහ. ඔවුනගේ නම් නිතර දේශපාලනයේ හා සමාජ ජීවිතයේ කතාබහට ලක්විය.

සර් එඩ්වින් විජේරත්න අවමඟුල දවස පුවත්පතට වාර්තා කිරීමට දවස ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී රෝහණ ගමගේ මට අණ කෙළේය. ඡායාරූප ශිල්පියා ගාමිණී හේමසිරිය. කොළඹ සිට කෑගල්ල දක්වා ගමන් කෙළේ නිතර ලෙඩ දෙන පරණ ස්කෝඩා රියකිනි. තමන්ට හැකි උපරීම වේගයෙන් වරකාපොළ තෙක් පැමිණි මේ රථය අනතුරුව කහින්නට පටන් ගත්තේය. කැස්ස උත්සන්නව සුවාසේ ඇද එකපාරටම පාර මැද නැවතිණි.

අද මෙන් එදා කුලී රථ ද තිබුණේ නැත. අවමඟුලට යෑමට මඟක් සොයමින් මහ පාරේ මඟ බලා සිටින විට බදිඋද්දීන් මොහමඩ් මහතාගේ ඕපල් රෙකාඩ් රිය කෑගල්ල දෙසට එනු දුටු ගාමිණි කැමරා බෑගය ද ඔසවාගෙන පාරට පැන්නේය. වහා මෝටර් රිය ද නවත්වන ලදී. ඉදිරියට දිව ගිය ගාමිණි අපට වූ සංතැසිය බදි උද්දීන් මොහොමඩ් මහතාට විස්තර කෙළේය. ඒ මහතාට පින් සිදුවන්නට අවමඟුලට යෑමට අපට හැකි විය.

අවමඟුල් උත්සවයට ළඟා වන විට ඩඩ්ලි සේනානායක අගමැතිවරයා සිය කතාව නතර කළා පමණි. “බෙලිගල් කෝරලයටත්, මුළු රටටත්, විශාල සේවයක් ඉටුකළ සර් එඩ්වින් විජේරත්න මහත්මාට නිවන් සැප ලැබේවා”යි ඩඩ්ලි සේනානායක අගමැතිවරයා සිය ගොරෝසු කටහඬින් පවසනු පමණක් ඇසුණි.

ගාමිණි එහාට මෙහාට පනිමින් ඡායාරූප ගත් නමුත් මා සිටියේ මහත් වූ කරදරයකය. කතා පටිගත කිරීම්, ප්‍රවෘත්ති ඒකක ආදිය රාජකාරි කටයුතු කළේ ඉතා වැදගත් රාජ්‍ය උත්සව ආදියේ පමණි.

සිය කතාව අවසන් කළ අගමැතිවරයා විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමීපයට ගියේය. අගමැතිවරයා අසලින්ම හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කවියා රැඳී සිටියේය. මේ වන විට ඔහු අගමැතිවරයාගේ “නිල නොලත්” ප්‍රවෘත්ති නිලධාරියාය. හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න කවියා අසලට ගිය මම මට සිදු වූ අකරතැබ්බය ඔහුට පහදා දුනිමි. අගමැතිවරයා ද මේ කතාවට සාවධානව ඇහුම් කන් දෙන බවක් ද මට හැඟී ගියේය.

ප්‍රබල නායකයන් හිස පිටුපසට කරකවා නොබලන බව මා අසා ඇත. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා පිටුපස නොබලාම, අතින් සංඥාවක් කොට පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතා කැඳවා වචනයක් දෙකක් කතා කෙළේය.

එසැණින් මා පසෙකට කැඳවූ පී. කේ. ඩී. කවියා අවමඟුල් උත්සවයේදී අගමැතිවරයා කළ කතාවේ සංක්ෂිප්තයක් මට විස්තර කර දුන්නේය. ඩඩ්ලි සේනානායක මහතා සිය කතාවේ දී මෙසේ පවසා තිබු බව මගේ පැරැණි සටහන් පොතේ සඳහන් වේ.

බුද්දේගල වලව්වට අයත් විජේරත්න මහත්මයාගේ පියා නොතාරිස්වරයෙක්. විජේරත්න මහත්මයා නීතිඥයෙක් ඒ වාගේම ලංකා ජාතික සංගමයේ සභාපතිවරයෙක් ඇමැතිවරයෙක්, තානාපතිවරයෙක් විදියට කටයුතු කළා. සෝල්බරි කොමිෂන් සභාව මහජන සාක්කි විමසීමට කෑගල්ලට පැමිණි අවස්ථාවේ එම කොමිසම ඉදිරියට ගොස් අදහස් ප්‍රකාශ කරන ලෙස ඔහු බෙලිගල් කෝරලේ ජනතාවට උපදෙස් දුන්නා.

ඔහුට පුත්තු තුන්දෙනයි. නිශ්ශංක විජේරත්න සිවිල් නිලධාරියෙක්. තිස්ස විජේරත්න නීතිඥයෙක්. කුඩා විජේරත්න දොස්තරවරයෙක්. මේ තුන්දෙනා තුන් ආකාරයකින් රටට සේවය කරනවා” යැයි ඩඩ්ලි සේනානායක මහතා සිය කතාවේ දී සඳහන් කර ඇත.

රැස්වීම අවසන්ව කඩිනමින් කාර්යාලයට යෑමට බදි උද්දීන් මොහොමඩ් මහතාගේ සහාය පැතූ විට ඔහු ඊට එකඟ විය. පළමුවෙන්ම කෙළේ අපගේ අබලන් වූ රථය ගැන සොයා බැලීමය. අවට සිටි කාර්මිකයන් දෙදෙනෙක් මහපාර අයිනේ ජංගම ගරාජයක් ඉදිකර රථය අලුත්වැඩියා කරමින් සිටියහ. තව පැයක් දෙකක් ඒ සඳහා ගත වන බව ද ඔවුහු කීහ. එහෙයින් බදි උද්දීන් මොහොමඩ් මහතාගේ රියෙන් කොළඹ යන්නැයි අපගේ රියැදුරා ද අපට උපදෙස් දුන්නේය.

ඒ අසලම වූ ජිනදාස තලගුලි කඩේ ඉදිරිපස විශාල පිරිසක් රැඳී සිටියහ. ඉදිරියේම සිටියේ ප්‍රතාපවත් උඩු රැවුලක් සහිත ජිනදාස මුදලාලිය. ඔහු ඩඩ්ලි සේනානායක මහතාගේ හිතවතෙකි. සේනානායක මහතා වරකාපොළ ඔස්සේ ගමනක් යන විට ජිනදාස මුදලාලි හමු වෙයි.

ජිනදාස මුදලාලි සහ ඩඩ්ලි සේනානායක මහතාගේ ඡායාරූප ජිනදාස තලගුලි කඩේ ඉහළම තැනක එල්ලා තබා ඇති අයුරු අදටත් දක්නට ලැබේ.

බදි උද්දීන් මොහොමඩ් මහතාගේ රියෙන් කොළඹ බලා එන විට ඔහු රසවත් කතා කීපයක් කීවේය.

සෝල්බරි කොමිසමේ සාමාජිකයන් මහජන සාක්කි විමසීම සඳහා කෑගල්ලට එන විට සර් එඩ්වින් විජේරත්න මහතා උඩුකයේ ඇඳුමක්වත් නැතිව උදැල්ලක් ද අතැතිව කුඹුරක් ළඟ සිටියේය. සෝල්බරි සාමිවරයා ප්‍රධාන නියෝජිත පිරිස සිය මෝටර් රථ නවත්වා මේ ගොවියා සමඟ කතාබහ කෙළේය. ගොවියා ද ගොවිතැන ගැන ද රටේ දේශපාලනය ගැන ද සිය අදහස් ප්‍රකාශ කෙළේය.

ලංකාවේ සාමාන්‍ය ගොවි ජනයා පවා හොඳින් ඉංග්‍රීසි කතා කරන බවත්, සාමාන්‍ය ජනතාවට පවා උසස් දේශපාලන දැනීමක් ඇති බවත් සෝල්බරි කොමිසමට ඒත්තු ගිය බව කියමින් බදි උද්දීන් මහතා මහ හඬින් සිනාසුණේය.

“ඕක ඩී. එස්. සේනානායක කරපු වැඩක්. එඩ්වින් විජේරත්න ගොවියා වගේ උදැල්ලකුත් අරගෙන මහ පාරේ සිටියේ ඩී. එස්. සේනානායක කීමට අනුවයි” සිනාවට හේතුව ද බදි උද්දීන් මොහොමඩ් මහතාගෙන්ම හෙළි විය. බදි උද්දීන් මහතා කියු අන්දමට එඩ්වින් විජේරත්න මහතා ආමන්ඩ් ද සුසා නම් එඩිතර ඉංග්‍රීසි පුවත්පත් කර්තෘවරයා යටතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කර තිබේ. ආමන්ඩ් ද සුසා සමසමාජ පක්ෂයේ ඩොරික් ද සුසා මහතාගේ පියාය.

ගම්පොළ සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා වූ මොහොමඩ් මහතා වසර 10ක් පමණ කාලයක් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ප්‍රකට අධ්‍යාපනඥයෙකි. 

 

Comments