මාධ්‍ය භාවි­ත­යට ශාන්තිකර්මයක් | සිළුමිණ

මාධ්‍ය භාවි­ත­යට ශාන්තිකර්මයක්

අද අපේ රටට අන් කවරදාකටත් වඩා හරවත්, රසවත්, ගුණවත් මාධ්‍ය කලාවක අවශ්‍යතාව දැනෙමින් තිබේ. මෙරට ජනතාවගේ ‘හිතන අවකාශය‘ නව අදහස්වලින් පුරාවලනු වෙනුවට අද මෙහි අරක්ගෙන ඇත්තේ දැනුමින් ඉතාම දිළිඳු කිසිදු කටකමසිරියාවක් නොමැති දෙඩවීමක් යැයි පැවසීම අතළොස්සක් වූ පූරකවරුන්ට හා වරියන්ට කරන නිගාවක් නොවනු ඇත. රේඩියෝ සේවාවන් ගත් කල ඔවුන්ගේ එකම ඉලක්කය වී ඇත්තේ කුමන හෝ කුණුහරුපයක් දෙපැත්ත කැපෙන ලෙස පවසා ශ්‍රාවකයාගේ පහත් ආශයන් තෘප්ත කර තම ‘රේට්ස්‘ වැඩි කර ලාබ ඉපයීමය. ඔවුන් අපෙන් අසන්නේ “අපි මොන මඟුලක් කිව්වත් මිනිස්සු අහනව නම් උඹලට ඇති රුදාව මොක්ද“ කියාය. එසේ නම් වත්මන් එෆ් එම් නාලිකා ගැන කුමක් කියන්නද? මේ අතර තවමත් සිය අභිමානය හා ගෞරවය රැකගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පැවතීම සතුටට කාරණයකි.

රූපවාහිනිය මුලින්ම මෙරටට හඳුන්වා දෙනු ලැබූවේ අධ්‍යාපනික අර්ථයකිනි. ඒ අනුව මුලින්ම බිහි වූයේ ස්වාධීන රූපවාහිණී අයතනය යි. පසුව ජාතික රූපවාහිනිය බිහිවිය. මේ රූපවාහිනි ආයතන දෙක පමණක් පැවති සමයේ ඉතාම ගුණාත්මක, හරවත් අධ්‍යාපනික වැඩසටහන්, ළමා සළරූ (කාටූන්), සංගීත වැඩසටහන්, ටෙලිනාට්‍ය හා ප්‍රවෘත්ති ආදිය විකාශනය විය. උදෑසන සිට දිවා කාලය දක්වා විකාශනය වූයේ අධ්‍යාපනික වැඩසටහන් පමණය. සවස පහෙන් පසුව බොහෝ විට විනෝදාස්වාදය මූලික කරගත් වැඩසටහන් විකාශනය වූ අතර ඒවා හුදු වාණිජ පරමාර්ථය ඉක්මවූ සාරවත් නිර්මාණ ය. එසේම එවායේ සේවය කළේ මෙරට සිටි ප්‍රබුද්ධ නිර්මාණ කරුවන්ය. එකල ජනතාවගේ අදහස් ඉතාම සාධනීය මට්ටමක පැවතුන අතර, බොහෝ දෙනා පතපොත කියවන්නාක් මෙන් රූපවාහිනියෙන් හෝ රේඩියෝව මඟින් දැනුම උකහ ගත්තේය. තේවිස් ගුරුගේ, ටයිටස් තොටවත්ත, පරාක්‍රම නිරිඇල්ල, සෝමවීර සේනානායක, තිස්ස අබේසේකර, සුනන්ද මහේන්ද්‍ර, ප්‍රේම කීර්තිද අල්විස්, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම...ආදී දැනුමින් පිරිපුන් බොහෝ කලාකරුවන් මේ මාධ්‍යයේ ගැවසිණි. එනිසා අපගේ ළමා කාලය හරවත්ව ගෙවීමට හැකි වූ අතර, වැඩිහිටියන් බවට පත්වන විට ගුණාත්මක ටෙලි නිර්මාණවල ගුණ සුවඳ නොවඩුව වින්දේය.

අනූව දශකයේ මුල්භාගයේ මෙරට පෞද්ගලික නාලිකා ස්ථාපිතවීමත් සමඟ එතෙක් යහපත්ව පැවති මාධ්‍ය අවකාශය පිරිහීමට පටන් ගත්තේය. මාධ්‍ය සදාචාරය තුට්ටුවකට මායිම් නොකරන මේ පෞද්ගලික මාධ්‍ය ආයතන මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ ලාභය මූලික පදනම ලෙස තබාගෙනය. එහි ප්‍රතිඵලය වී ඇතිතේ සියලු මානව සාරයන් ඉවත් කළ ලාබය මූලික කරගත් වානිජ සංස්කෘතියක් නිර්මාණය වීමය. මේ තුළ තවදුරටත් විනෝදය යනු මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන සංස්කෘතික ප්‍රපංචයක් නොව එය බාල බොළඳ වානිජ විනෝදයකි.

මෙම වාණිජ විනෝදය විසින් බිහි කළ නව මාධ්‍ය සංස්කෘතිය තුළ කිසිවිටෙකත් යහපත් අපේක්ෂාවන්ට ඉඩක් නොමැතිය. ඒ වෙනුවට ඔවුන් නව ජීවිතයක් අපට යොජනා කරමින් තිබේ. මේ විදියට කන්න, මේ විදියට බොන්න, මේ විදියට නාන්න, මේ විදියට අඳින්න මේ විදියට කතා කරන්න, මේ විදියට විනෝද වෙන්න, මේ විදියට ජීවත් වෙන්න ...යනාදී වශයෙන් එම මාධ්‍ය මඟින් බලපෑම් කරයි. කොටින්ම හාත්ස්‍යයොත්පාදක නාට්‍යකදී අපට සිනා නොගිය ද ඔවුන් කොක් හඬලා සිනාසේ.

එවන් පසුබිමක මෙරට සංස්කෘතික විනෝදයන් පිළිබඳව කතීකාවක් ගොඩනැංවීම අවශ්‍යම පියවරකි. සංස්කෘතික දෙපාර්තමේන්තුව හා ජාතික රූපවාහිනිය, සංස්කෘතික කලාවන් සංරක්ෂණය කිරීමේ අරමුණින් පැවැත් වූ 18 සන්නි ශාන්තිකර්මය ගැන මෙහිදී යමක් සටහන් කරන්නේ සංස්කෘතික විනෝදය මුලට ගත් මාධ්‍ය සම්පුදාය එයින් පිළිබිඹු වන බැවිනි.

අප මුලින්ම මෙම කාර්ය පිළිබඳව රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළෙමු.

“ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාව විදියට අභාවයට යමින් පවතින සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කර ඒ දායාද ඉදිරි පරම්පරාවට ආරක්ෂා කර දීම අප සතු යුතු කමක් මෙන්ම වගකීමක් ද වනවා. හුදු ලාභය අරමුණු කරගෙන අනෙකුත් ටෙලිවිෂන් මාධ්‍යයන් කටයුතු කරමින් සිටින අවධියක ඒ මාර්ගයේ ගමන් නොකර වෙනත් මාධ්‍ය භාවිතයක් රටට හඳුන්වා දෙන්නයි අපි උත්සාහ කරන්නේ. එහි පළමුවන පියවර ලෙස මේ වසරේ පෙබරවාරි මාසයේ අපේ 35වන සංවත්සරයට සමගාමීව කොහොඹ කංකාරියක් රූපවාහිනී පරිශ්‍රයේ පවත්වනු ලැබුවා. එය වසර තිහකට පමණ පසුව කළ විශිෂ්ටතම කොහොඹ කංකාරියක් බවයි. පැවසෙන්නෙ. එය නැරඹූ විද්වතුන් හා සාමාන්‍ය ජනතාවගේ මතය එයයි. ඒ දිරිමත් කිරීම අගය කිරීම පන්නරයක් කොටගෙන 18 සන්නි ශාන්තිකර්මය සංරක්ෂණය කිරීමේ කාර්ය ආරම්භ කළා. මෙහි දී විශේෂයෙන්ම අපේ අවධානය යොමු වුණේ මේ පිළිබඳව හදාරණ විද්‍යාර්ථයින්, හා පාසල්දරුවන්. ඔවුන්ට මේ දේවල් දැක බලා ගන්න තිබෙන අවස්ථාව හරිම විරලයි. අනාගතය වෙනුවෙන් මේ සංස්කෘතිකාංග සංරක්ෂණය කර දීමේ අරමුණ පෙරදැරි කරගෙන අපි මේ කටයුත්තට මුල පිරුවා. මේ සඳහා සංස්කෘතික දෙපාර්තමේන්තුවත් විශාල සහයෝගයක් අපට ලබාදෙනවා. දීර්ඝකාලීන වැඩපිළිවෙලක් විදියට මේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සඳහා අප මේ සත් කාර්යයට උරදී ක්‍රියා කරනවා. අප පැවත්වූ 18 සන්නි ශාන්ති කර්මයට බොහෝ විදේශිකයින් සහභාගි වුණා. ඒවගේම ස්වාමින්වහන්සේලා, කුඩා දරුවන්, පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හා ආචාර්යවරුන්, සාමාන්‍ය ජනතාව ආදී විශාල පිරිසක් මීට සහභාගිවී සිටියා. ඔවුන් එසේ උනන්දුවක් දැක්වීම සතුටට කාරණයක්.

අපි මේ සඳහා තෝරාගත්තේ බෙන්තර සම්ප්‍රදාය අනුව සිදු කරනු ලබන 18 සන්නි ශාන්ති කර්මයයි. පහත රට සම්ප්‍රදාය තුළ මාතර සම්ප්‍රදාය හා බෙන්තර සම්ප්‍රදාය ලෙස මේ 18 සන්නි ශාන්ති කර්මය කිසියම් වූ වෙනස්කම් සහිතව රඟ දක්වනවා. මිට ප්‍රථම මාතර සම්ප්‍රදායේ එන 18 සන්නි ශාන්ති කර්මයක් කැමරාකරණය කර ඇතත් බෙන්තර සම්ප්‍රදායේ ශාන්ති කර්මයක් ඒ ආකාරයෙන් පටිගත වී නොමැති බවයි බොහෝ විද්වතුන්ගේ අදහස වී තිබුණේ. ඒ නිසා අපි මේ ශාන්ති කර්මය පවත්වා එය සංරක්ෂණය කිරීමට පියවර ගත්තා. එක් පැත්තකින් මාතර සම්ප්‍රදායේ හා බෙන්තර සම්ප්‍රදාය තුළ පවතින වෙනස් කම් අධ්‍යනය කිරීමටද මෙය මහත් රුකුලක් වේවි.“

පහතරට නර්තන සම්ප්‍රදාය ඉතා පැහැදිලි ලෙස චූල නර්තන සම්ප්‍රදායන් තුනකට බෙදා දැක්විය හැකිය. එනම් බෙන්තර සම්ප්‍රදාය, මාතර සම්ප්‍රදාය හා රයිගම සම්ප්‍රදාය වශයෙනි.

මේ නර්තන සම්ප්‍රදායන් මූලික සම්ප්‍රදායට අයත් ආකෘතික ලක්ෂණවලින් සමන්විත වුවද ඒ කී සම්ප්‍රදායට යටත්ව සිය අනන්‍යතා ලක්ෂණද එක්කරගෙන ඇත. මේ වෙනස් කම් කෙරෙහි ඒ ප්‍රදේශයේ පවතින සංස්කෘතික නිර්මිතයන් මෙන්ම ඔවුන් අතර පවත්නා ඇදහිලි විශ්වාස හා ඒ ඒ ප්‍රදේශයට අයත් ශාන්ති කර්මවල ආභාෂයද බෙහෙවින් බලපා ඇත. මෙහිදී වෙන් වෙන් වශයෙන් මෙම චූල සම්ප්‍රදායන් ගැන විමසිය යුතු වුවද අද දින අපගේ සාකච්ඡාවට බඳුන් වන බෙන්තර සම්ප්‍රදාය පිළිබඳව රූපවාහිනී පරිශ්‍රයේ රඟදැක් වූ දහ අට සන්නි ශාන්තිකර්මය භාරව කටයුතු කළ ආචාර්ය ලාල් බෙන්තරගේ මහතා ගෙන් අප විමසීමක් කළෙමු. එහි දී ඒ මහතා මෙසේ අප සමග පැවසීය.

“රූපවාහිනී සංස්ථාවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් එක් වී කරපු මේ කටයුත්ත ඉතා අනභිබවනියයි. ඒකට හේතුව පහතරට නර්ථන කලාවේ පවතින ගුරුකුල අතරින් බෙන්තර සම්ප්‍රදාය පවත්වාගෙන එන බෙන්තර ගුරුකුලය කියන්නේ 18සන්නි ශාන්ති කර්මයට වෙනස් ආකාරයේ මුහුණුවරක් ලබා දීමට සමත් වූ ගුරුකුලයක්. මාතර ගුරුකුලය විසින් රඟදක්වන 18 සන්නි ශාන්තිකර්මයෙන් වෙනස්ව වෙනත් අංග ඊට ඇතුළත් කර තිබෙනවා. මාතර සම්ප්‍රදාය අනුවත් සන්නියකුම සඳහා වෙස් මුහුණු පාවිච්චි කරනවා. බෙන්තරත් සන්නි යකුමෙත් වෙස්මුහුණ පාවිච්චි කරනවා. නමුත් මාතර සන්නි 18 සඳහා පමණයි වෙස් මුහුණු පාවිච්චි කරන්නේ. බෙන්තර සම්ප්‍රදාය ඉන් ඔබ්බට ගොස් ජනතාව පුදනු ලබන යක්ෂයින් උදෙසාද වතාවත් සිදු කරනවා. වෙස් මුහුණු පැලඳ පූර්ව රංගයක් වශයෙන් එය ඉදිරිපත් කරනවා. ඒ අනුව කළු යකා, රීරි යකා, අභිමානා, යක්ෂණී අවතාර තුන සහ මරුවා නැටීම සිදු කරනු ලබනවා. මීට අමතරව කළුයකා, රීරියකා ආදී අංගයන් සංවාද සහිතව ඉදිරිපත් කරනවා. වෙස්මුහුණු සහිතව කරන රඟනයන් ඒ අතර ප්‍රධානයි. එමෙන්ම මේ ගුරුකුල දෙක අතර, ගායන ශෛලියේද වෙනස්කම් පවතිනවා. උදාහරණයක් ලෙස යකා ගේ තාත්තා කවුද, යකාගෙ අම්මා කවුද, ආතුරයා අඳුරන්නෙ කොහොමද, එයාට උපද්‍රව කළේ කොහොමද යනාදී වශයෙන් හඳුන්වා ඒ උපද්‍රව්‍ය දුරුකර ආතුරයාට සෙත් පැතීමත් සිදු කරනු ලබනවා.

මාතර සම්ප්‍රදායෙන් වෙනස්ව මේ දේවල් බෙන්තර සම්ප්‍රදායට එකතු වෙන්න ප්‍රධාන හේතුව තමයි විවිධ ආක්‍රමණ වගේම සංක්‍රමණවලට බෙන්තර ප්‍රදේශය නිරාවරනය වී පැවතිම. ඒ නිසා විවිධ සංස්කෘතීන් මෙයට එකතු වී තිබෙනවා. මේ නර්තන පරම්පරාවේ බොහෝ ශිල්පීන් පන්සල් සිතුවම් ඇඳපු හා පිළිම අඹපු උදවිය යි. ඒ අය කල්පනා කළා නිකන්ම වෙස් මුහුණක් පැලඳීමෙන් ඵලක් නැහැ. සංවාද ශීලීව කතා කළ යුතුයි. ඒ සඳහා කට සෙලවිය හැකි ආකාරයට මුහුණු සකස් කළ යුතු ය කියලා. ඒ අනුව වෙස්මුහුණු කලාව විවිධ වෙනස් කම්වලට ලක්වුණා. මන්ද එසේ කළහොත් පමණයි මෙහි සජීවී ගුණය රැක ගත හැකිවන්නේ. මාතරට අයත් මේ අවශ්‍යතාවය හඳුනාගෙන මේවා පසුකාලිනව වෙනස් කර තිබෙනවා. මෙහිදී වැදගත්වෙන්නේ දහඅට සන්නිවලට අමතරව, යකුන් පිළිබඳ අංගයක් මේ තුළට එකතු කර තිබීමයි. නිකම්ම කවි කියනවට වැඩිය කිසියම් සජිවි භාවක් ඇති කළොත් පමණයි මිනිස්සුන්ට පහසුවෙන් මේ සමඟ එකතුවිය හැක්කේ. ඒ ගැන කල්පනා කරපු ශිල්පීන් කවි කීමට අමතරව බොහෝ සංවාද එකතු කර තිබෙවා.

බෙන්තර සම්ප්‍රදාය වඩාත් ප්‍රචලිතව ඇත්තේ බෙන්තර ගඟ දෙපස පිහිටා ඇති කළුතර දිස්ත්‍රිකයත් ගාලු දිස්ත්‍රික්කයත් අතර අලුත්ගම,බෙන්තර, වළල්ලාවිට කෝරළය, අමබලන්ගොඩ ආදී ප්‍රදේශවලයි. බෙන්තර සම්ප්‍රදායේ පුරෝගාමියා ලෙස බොහෝදෙනාගේ පිළිගැනීමට ලක්ව ඇත්තේ අති දක්ෂ නර්ථන ශිල්පියකු වන බෙන්තර අමරස ගුරුන්නාන්සේයි. මමත් එතුමාගේ ගෝලයෙක්.“

සන්නි යකුම හෙවත් දහඅට සන්නිය යනුවෙන් හඳුන්වන්නේ භූත බලවේගයන් විසින් රෝගී කරන ආතුරයා ඉන් මුදා සුවපත් කිරීමයි. ඒ අනුව සන්නි යනු රෝගයයි.

එබඳු රෝග දහ අටක් පවතින බව මෙහිදී මූලික වශයෙන් හඳුනාගනු ලැබේ. යෝගරත්නකාරයෙහි සන්නි තෙල් යනුවෙන් හඳුන්වා දී ඇත්තේ රෝග නාශක බෙහෙත් තෙල් පිළිබඳවය. මෙම සන්නි දහ අටට මුල්වී ඇත්තේ හෙළ වෙදකම තුළ හඳුනා ගැනෙන වා, පිත්, සෙම් තුන්දොස් කිපීම නිසා හටගන්නා රෝග පිළිබඳවය. ඒ අනුව ඒ ඒ භූතයා වෙස්ගන්වා ශාන්තිකර්ම සිදු කිරීම මෙමගින් සිදුවේ. එම බලවේග ඔවුන් හඳුන්වන්නේ යක්ෂ බලවේග ලෙසය. ආතුරයාගේ වේලපත්කඩය බැලීමේ සිට බොහෝ සංස්කෘතිකාංග මීට ඇතුළත්ව තිබේ.

ජාතික වටිනාකම් හා ලාංකීය සංස්කෘතිකාංග සංරක්ෂණය කිරීමේ අදියරක් ලෙස දහ අට සන්නි ශාන්තිකර්මය ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීමට පියවර ගැනීම වානිජ විනෝදය කේන්ද්‍රකරගත් හරසුන් වැඩසටහන්වලට අභියෝගයකි. එමෙන්ම සංස්කෘතික විනෝදයට මඟ පෙන්වන මාධ්‍ය භාවිතාවක් ද වෙයි. තමන් වාණිජ මාධ්‍යකරණයේ පෙරගමන් කරුවන් බවට උදම් අනන මාධ්‍ය ආයතනවලට තමන් නිරතව සිටින්නේ කවර භූමිකාවකද යන්න නැවතත් සිතා බලන්නට කාලය පැමිණ ඇති බව ද මෙවැනි වැඩසටහන් මඟින් සිහිපත් කරයි. 

 

Comments