නයිටිංගේල්ගෙ කතාවක් | සිළුමිණ

නයිටිංගේල්ගෙ කතාවක්

 “රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

නුඹෙ මුව පෙනේ පරවුණ කුසුමක් ලෙසට”

 

සුනිල් එදිරිසිංහයන් මෙහෙම කියන්නෙ ඇඟලුම් කර්මාන්තයෙ ඉන්න යුවතියො ගැන . ඒත් රෑ වැඩ මුරයට යද්දි මුහුණෙ තියෙන සිනාවම පහුවෙනිදා උදේ වැඩ මුරය අවසන් කරල ගෙදර යද්දිත් තියෙන යුවතියො පිරිසකුත් අපි අතර ඉන්නව. ඒ තමයි හෙදි සොයුරියො.

පාරේ තොටේදි දැක්කම තියෙන සුන්දරකමටත් වැඩිය සුදු පාට නිල ඇඳුම ඇන්දම තවත් සුන්දර වෙලා පෙනෙන හිතවතිය පහුගිය දවසක අහම්බෙන් වගේ මුණ ගැහුණේ් අහස යට පිටුවක් පුරවන්න දේවල් මගෙ හිතට එකතු කරලයි.

“සිළුමිණ පත්තරේට ලියන අහස යට ලිපිය මම කියවන්නෙ ටිකක් අමාරුවෙන් “ එහෙම කියලයි එයා කතාව පටන් ගත්තෙ.

ඇයි ඒ කියල අහන්නත් කලියෙන් ඉතිරි ටික කියන්න ගත්ත.

“අපේ රස්සාව ඇතු‍ෙළ තියෙන්නෙ දුක් කන්දක්. මිනිස්සුන්ගෙ වේදනා එක්ක ජීවත්වෙලා ගෙදර ගිහිල්ල දරුවොත් එක්ක ගෙවන කාලයෙන් පස්සෙ ඉතිරි වෙන වෙලාවට පොතක් පත්තරයක් කියවනව. ඒ පොත්, පත්තර පිටුවලත් තියෙන්නෙ මහා ශෝකාන්ත වුණොත් අපිට ජීවිතේ සතුටක් දැනෙන එකක්ම නැහැනෙ.

“කමක් නැහැ, මා ළඟත් තියෙනව අවුරුදු ගානක හෙද රස්සාවෙන් එකතු කරගත්තු කඳුළු කතාවක්. ඒක ලැබෙන්න සලස්වන්නම්” කියපු ඇය දවස් දෙකකින් විතර මට ලියුමක් ගෙනල්ල දුන්න.

“මා ආදරය කළ කමල්ට,

මේ ලිපිය ඔබ අතට පත් වන විට මා සිටින්නේ කොහේදැයි ඔබවත් මාවත් නොදැන සිටිනු ඇත. ඔබ හා මා හඳුනා ගත් කාලය මේ තරම්ම කෙටියෙන් අවසන් කරන්නට සිදු වුයේ මා නිවැරැදි ලෙස හඳුනාගන්නට පළමුව ඔබ මගේ අම්මා කවුදැයි කියා හඳුනාගත් නිසා වන්නට ඇති. පළමු කොටම මා කවුරුන්දැයි ඔබට නොකීම ගැන පසුතැවිලි වෙමි. මම විශ්වාස කළේ මා නිවැරැදිව තේරුම් ගත් පසු මා කවුදැයි යන්න ඔබට ප්‍රශ්නයක් නොවනු ඇත යන්නය. කමල්, මා ඔබට මෙතරම් ආදරය ක‍ළේ ඇයිද යන්න මගේ හදවතින් ඇසිය යුතු ප්‍රශ්නයකි. මගේ ජීවිතය පුරාවටම රැඳි හුදෙකලාවට ඔබෙන් මා ලද්දෙ විශාල අස්වැසිල්ලකි. මෙය මම ඔබට ලියන ලිපියකටත් වඩා මාගේ ජීවිතයේ අවසානය පිළිබඳව කරන පාපෝච්චාරණයක් වන්නටද පුළුවන.

“මගේ තාත්තා කවුදැයි මම නොදනිමි. අම්මා බෝහෝ කල් කොළඹ නිවසක මෙහෙකාරකම් කොට ඇත. අවසානයේ ඇය ගෙදර පැමිණ ඇත්තේ ගැබිනියක ලෙසය. අවජාතක දරුවෙකු ලෙස උපන් මාත් ආච්චි අම්මාත් ජීවත් වුණු පැ‍ලේ හැමදාමත් අග හිඟ කමින් අඩුවක් නොතිබිණි. ආච්චි කොහේ හෝ නිවසක වැඩ කිරිමෙන් ලැබෙන සොච්චමෙන් ජීවිතය ගැට ගහ ගත්තාය. මට යන්තම් තේරෙන අවදිය වන විට මා නිවසේ තනිකර අම්මා ද නිවසින් පිටව ගියාය. මුලදී ඇය හවස් වන විට ගෙදර පැමිණියත් අන්තිමයේදි ඇය රාත්‍රියටත් ගෙදර නොපැමිණියාය. ඇය කොහේ යන්නේ දැයි කුමක් කරන්නේදැයි මට වැටහීමක් නොතිබිණි. අම්මා නිවසට පැමිණි හැම විටම ආච්චි සමඟ දබර කරගත්තාය. “මට මේ කෙල්ලව හදාගන්න ඉඩ දීලා උඹ යන තැනක පලයන්‘‘. ආච්චි දැඩිව ඉල්ලා සිටියාය. අවසානයේදි ආච්චිත් මමත් ගෙදර තනි වීමු. මා හුදකලාව හැදෙද්දි ඉඳ හිට අම්මා ගැන තොරතුරු දැන ගන්නට ලැබිණි. ඇය දැන් නගරයේ ප්‍රසිද්ධ ගණිකාවක් විය. ඉඳහිට වත් ඇය මා බලන්නට නොපැමිණීම ගැන ඇත්තටම මම සතුටු වීමි. ජිවත් වීමට යමක් කළ යුතු යැයි මට හැඟිණි. නගරයේ ගාමන්ට් එකට ගමේ තරුණියන් ගියද නගරයේ රැකියාවකට යන්නට මම මැළි වීමි. ඒ කොහේදි හෝ අම්මා දකින්නට ලැබේ යැයි යන සැකය නිසාය. නිවසට ආසන්නයේ දුරකතන මධ්‍යස්ථානයේ ලැබුණු රැකියාව මගේ ජිවිතයට ලද විශාල අස්වැසිල්ලක් වුණි. ජිවත් වීමට ආච්චිට යම් පමණක හෝ සහනයක් ලබා දීම හැරුණුකොට ගෙදරට වී ගෙවන ජීවිතයෙන් මා හෙම්බත් වී සිටියෙමි.

“කමල්” ඔබ මට හමු වු අයුරු අමුතුවෙන් ලිවිය යුතු කතාවක් නොවේ. ඔබ මගෙන් ආදරය විමසූ දින මා තැති ගත්තේ පිරිමින් කෙරේ මා තුළ වු බිය නිසාය. අවසානයේදි මටත් හොරා මගේ හිත ඔබට ආදරය කළේය. මට ජිවිතය පිළිබඳ ප්‍රබෝදයක් ඇතිවිය. ජිවිතය කෙතරම් සුන්දර දැයි හැඟිණි.

“සියලු දේ මම ආච්චිට නොවළහා කීවෙමි. ඇය කිවේ මගේ ජීවිත කතාව ඔබට කියන ලෙසටය. නමුත් ඒ කිසිවක් ඔබට නොකියන්නට හේතුව ඔබ මා හැර යාවිදෝ යන හැඟීම නිසාය. මා සේවය කළ තැනට පැමිණ ඔබගේ අම්මා සහ නංගි මට කී වචන ගැන කම්පා වුව ද ඔබ ගැන සිතීමෙන් මම සිත හදා ගත්තෙමි. ගහේ කටු උල් කරන්නේ මොකට දැයි අම්මා මගෙන් ප්‍රශ්න කළාය. ඒ කිසිවකින් මම දුක් නොවෙමි. ඔබ මට දුන් දුරකතන ඇමතුම මේ තීරණය ගැනීමට හේතුවිය. ඇය මගේ අම්මා බව දනී නම් මා සමඟ කිසිවිටෙකත් සම්බන්ධ නොවන බව ඔබේ මුවින් පිටවිය. මම හොඳ කෙනෙකු විය නොහැකි බව ඔබ පුන පුනා කීවේය.

“කමල්, මට තවත් කිසිවක් ඉතිරිව නැත. මම තව බලා සිටිය යුත්තේ පණමෙන් මා රැක ගත් ආච්චිගේ මරණය පමණකි. මා මේ ගත කරන්නේ මගේ ජිවිතයේ අවසන් හෝරා කීපය වන්නට ඇති. කමල් මා වෙනුවෙන් මගේ අවසන් ඉල්ලීම ඉටු කරන්න. මගේ මරණ පරීක්ෂණයෙන් පසු දැන ගන්න මා අම්මාගේ දියණියම දැයි කියා..

මම ලසන්තිකා

ඒ ලියුම ගැන පහුගිය දවසක හෙද සොයුරිය කියුවෙ මෙහෙමයි.

“මම එතකොට වැඩ කෙරුවෙ වස විස බීල රෝහල් ගත වෙන අය ඉන්න වාට්ටුවක. මරණය ප්‍රාර්ථනා කරල සිය දිවි හානි කරගන්න හදන අය ගැන අපිට ලොකු අත්දැකීමක් තියෙනවා ඉස්පිරිතාලෙට ගේද්දි එයාලට මැරෙන්න ඉඩ දෙන්න කියල කියුවත් අන්තිමේදි ජීවත්කරවන්න කියලා හඬා වැලපෙනව අපි දකිනව. ඒත් මේ යුවතිය අවසානය වෙනකම්ම මරණය ඉල්ලා හිටිය. මේ ලියුම මගෙ අතට දීල එයා ඉල්ලුවෙ එයා හැරගිය ප්‍රේමවන්තයාගෙ අතට දෙන්න කියල. ඒත් මට ඔහුව මුණ ගැහු‍ෙණ නැහැ.

සියදිවි හානි කර ගැනීම සාධාරණය කරන්න නෙමෙයි, එහෙම මැරෙන අය අතර මෙහෙම දේවලුත් වෙන බව කියන්නයි මේ ලියුම ඔයාට දුන්නෙ.

“අහස යට කොච්චර සුන්දර දේවල් සිද්ධවුණත් සංවේදී මිනිස්සුන්ට වැඩිය මතකයෙ රැඳෙන්නෙ දුක දැනෙන දේවල් . ඒව තමයි මගෙ අතිනුත් අකුරුවෙන්නෙ” කියල මම කියද්දි

‘‘ඒත් ඉඳල හිටලවත් හිත සතුටුවෙන දෙයක් ලියන්න ” ලොකු ඇස් දෙක පුංචි කරල ඇය කියුව. 

 

Comments