චින්තනය හඳුනාගෙන පාලනයට අවනත වීම | සිළුමිණ

චින්තනය හඳුනාගෙන පාලනයට අවනත වීම

 ලොකු මාමාගේ හදිසි පැමිණීම පිළිබද අත්තම්මා කලබල නොවූවාය. මොන දේ සිදු වුණත් සවස් වරුවේ පන්සල් යාම සඳහාම ඇය වෙන් කළාය. ඒ සඳහා මඟ අහුරා ගැනීමට කිසිවක් ඈඳා නොගත්තාය. ඇඳිරි වැටී ගෙන එන තෙක්ම ඒ වෙනුවෙන් කැප කළ ඇය ගෙදර එන විට රෑ බෝවී තිබුණි.

අත්තම්මාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ලොකු මාමා සාලයේ හාන්සි පුටුවට වී සිටියේය. අත්තම්මා උගුර පාදමින් ඉස්තෝප්පුවට ගොඩ වූවාය. ලොකු මාමා හිස ඇල කර අත්තම්මා දෙස බැලුවේය. ඇය සීරුවට අඩිය තබා ඉස්තෝප්පුවේ කනුව අල්ලා ගත්තාය. ඇගේ මුහුණේ විඩාබර බව සාලයේ එල්ලා තිබූ ගෑස් ලාම්පුවේ එළියෙන් මට හොඳට පෙනුණි. කවුරු තනි නොතනියට සිටියත් නැතත් ඇගේ සවස්වරු පන්සල් ගමන නම් නතර නොවීය.

කුමන වැඩ තිබුණත් ඇය ප්‍රවෘත්ති නැරැඹීමට රාත්‍රියට රූපවාහිනිය අසලින් ඉඳගත්තාය. එහෙත් කිසිවිටකත් ඇය කිසිවකු විවේචනය නොකළාය. මේ නිසා අන් අය කතා කරන හිස් වචන ඇය කතා නොකළාය. දරුවනේ පලක් ඇති දෙයක් කියන්න. ඇය කිවේ එලෙසය.

‘‘ඇයි අම්මා ඔතන. එන්න මෙතනට.“

ලොකු මාමා ඇඳි පුටුවක් පෙන්නුවේය. අත්තම්මා ලොකු මාමාට සමීපව වාඩි වූවාය.

‘‘අද මං කොළඹ ආවේ එන්නම ඕනේ නිසා. බොහෝම අමාරුවෙන්. පෙට්‍රල් නැති නිසා වාහනේ එන්නත් බැහැනේ. චින්තයි, පොඩි දෙන්නයි නම් කෝච්චියේ එන්න කැමැති වුණේ ම නැහැ.

‘‘ළමයි වුණහම හැමදේටම පුරුදු වෙන්න ඕනේ‘‘

‘‘ඒක නම් ඉතිං එහෙම තමයි. ඒත් මං බල කළේ නැහැ.‘‘

අත්තම්මා උත්තර දුන්නේ සීරුවටය. පන්සලේ බෝ අතුවල එල්ලීගෙන අතොරක් නැතිව කෑගහන මා වවුලන්ගේ හඬ ගෙදර ඉස්තෝප්පුවට ඇසේ. උන්ගේ වැඩ මුරය ෙපෙරට වඩා සැර බව කෑගැසීමෙන් සංඥා කරයි. උන්ගේ ලෝකයට කවදා නම් ස්ට්‍රයික් තියෙන්න ද? උන්ගේ මහන්සිය උන්ගේ කුස පුරවයි‍.

අත්තම්මා සහ ලොකු මාමා අතර කතාවට පොඩි මාමා ද එක් වූයේය.

‘‘ඒක නෙවෙයි අය්යේ දැන් පාලනයට ඡන්දෙ දුන්න අය හොයාගන්නත් නෑනේ‘‘

‘‘ඒකනේ මල්ලී කියන්නේ හැමෝම පාලනයට බනිනවා.‘‘

පොඩි මාමාගේ කීමට ලොකු මාමා ප්‍රති උත්තරයක් සැපයුවේය.

‘‘මේ දවස්වල තෙල් ටැංකිවල ප්‍රශ්නය, පහුගිය දවස්වල සයිටම්. ඊට පස්සේ දොස්තර ප්‍රශ්නය, කාලෙන් කාලයට ප්‍රශ්න ඉවරයක් නැහැ.

‘‘මතකනේ මල්ලි, චින්තනය හොඳ නැහැ කියලා. මිනිස්සු පාලනය තෝරගත්තා.‘‘

ලොකු මාමා වේගවත් ස්වරයෙන් ප්‍රකාශ කෙළේය.

‘‘ඒකනේ ඒකනේ දැන් මිනිස්සුන්ට පාලනයත් හොඳ නැතුව ගිහිල්ලා‘‘

පොඩි මාමා ලොකු මාමාගේ උත්තරය සම්පූර්ණය කෙළේය. අත්තම්මා ඔවුන් දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවා විනා කතාවට සම්බන්ධ නොවූවාය.

‘‘අම්මා කියන්නේ චින්තනයට වඩා පාලනය හොඳයි කියලද?‘‘

අත්තම්මා යන්තමට සිනාසුණාය. ඇය කතාවෙන් නොකී බොහෝ දේ ඇගේ සිනාවේ ගැබ්ව තිබෙනු මම දුටුවෙමි.

‘‘බලන්නකෝ මල්ලී අම්මා මුකුත් කියන්නේ නැහැනේ.‘‘

අත්තම්මාගේ නිහඬ බව නොරිස්සූ ලොකු මාමා කීවේ.

‘‘ ලොකු පුතාට මතකද මන්දා ඒ කාලේ අපේ ගෙදර පිටි පස්සේ ලොකු වළක් කැපුවා. අපි ඒකට තමයි කුණු දැම්මේ. ඒකාලේ හැම ගෙදරක්ම එහෙම තමයි කළේ. ඒත් අද කුණු ගෙනියන්න ට්‍රැක්ටරය ගෙදර ළඟටම එනවා. ඒත් මං නම් තාමත් කුණු දාන්නේ අපේ ගෙදර පිටි පස්සේ තියෙන කුණු වළට. ගෙදර වත්තෙන් ලැබෙන කුණු ටික අරගෙන එළවළු පාත්තියකට දැම්මාම එළවළු සරුවට වැවෙනවා. පොහොර කියලා අමුතුවෙන් කඩෙන් ගන්න ඕනේ නෑ. ඒත් අද හැම මිනිස්සුම කුණු ටික කුණු ලොරියට දෙනවා. ප්‍රාදේශීය සභාවට ඡන්දය ඉල්ලන්නෙත් කුණු ටික ගෙනියනවා කියලා. එහෙම නැත්නම් පාර හදලා දෙනවා කියලා. ඒ දවස්වල අපේ පාරවල් සුද්ද පවිත්‍ර කරගත්තේ අපි අපිමයි. ගමේ හැමෝම එකතුවෙලා ශ්‍රමදාන කළා. ඒත් අද ඒවා කරන්න වෙලාවක් නැහැ. එදා අපේ චින්තනය අපිව පාලනය කළා. ඒනිසා කාටවත් වැරැද්දක් වුණේ නැහැ.‘‘

‘‘අද අම්මා තියෙන්නේ එදා සමාජය නෙවෙයි. අද සමාජය දියුණුයි.‘‘

‘‘දියුණුව කියන්නේ තමන්ගේ කුණු ටික අනුන්ට දෙන එකද? ගෙදර උයන්නේ නැතුව කඩෙන් කන එකද?

නානා ප්‍රකාර ලෙඩ හදාගෙන චැනල් පෝලිමේ යන එකද?‘‘

මාමාලා දෙන්නා මොහොතක් ගොළු වූහ.

නියමයි. නියමයි. සංවාදයට රහසේ කන් දුන් මට කියැවුණි.

‘‘මිනිස්සු කියනවා චින්තනය තිබුණා නම් හොඳයි කියලා. ඒත් එදා ඔය මිනිස්සුම නේද චින්තනය එපා කියලා පාලනයට ඡන්දය දුනේ. මිනිස්සුන්ට ඕනේ කාට හරි බැන බැන ඉන්න. රජයට හැම දෙයක්ම කරන්න බැහැ. ඒ නිසා ඒක අපට බලාපොරොත්තු වෙන්නත් බැහැ.‘‘

‘‘ අම්මා කියන්නේ හරි කතාවක් නේ‘‘

‘‘මගේ කතාව හරි කියලා මං දන්නවා.‘‘

අත්තම්මාගේ කතාව ක්‍රම ක්‍රමයෙන් වේගවත් වෙයි. ඒ වේගවත් කතාව මැතිවරණ වේදිකාවක් සිහි ගන්වයි.

‘‘තමන් කළ යුතු නොකළ යුතු දේ ගැන හිතලා බලන්නේ නැතුව රජයට දොස් කියන එක වැරැදියි පුතා. හැමදේකටම සීමාවක් තියෙනවා. ඇයි මිනිස්සු තමන්ගේ යුතුකම් ගැන නොසිතන්නේ. ඇයි තේරුම් අරගෙන ජීවත්වෙන්නේ නැත්තේ. පුතේ මේ රටේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ ආත්මාර්ථය නිසා මිස පරාර්ථය නිසා නොවෙයි. අපේ චින්තනය යහපත් වුණොත් අපටම අපිව පාලනය කරගන්න පුළුවන්. හරි දේ කරන තැනට ආණ්ඩුව පොළඹවන්න අප අපව පාලනය කිරීම වැදගත්. එතකොට ස්ට්‍රයික් අවශ්‍ය වෙන්නේ නැහැ. අර ආණ්ඩුවේ චින්තනය, මේ ආණ්ඩුවේ පාලනය කියලා අපි අපි බෙදිලා ගහ මරා ගන්න එක තේරුමක් නැහැ පුතා. අපි එකිනෙකා , එකිනෙකාගේ චින්තනය යහපත් කරගන්න ඕනේ. එතකොට අපට පුළුවන් අපිව පාලනය කරගන්න. ඒක මේ.... රජයකට කරන්න බැරි දෙයක්.‘‘

අත්තම්මා දේශපාලන වේදිකාවට සමුදුන්නේ මාමලා දෙදෙනාම නිහඬ කරවමිනි.

රූපාන්ති බුලත්සිංහල 

Comments