සුපිරි | සිළුමිණ

සුපිරි

 මන‍ා කොට පිරුණේ සුපිරි වෙයි. මෙහි ‘සු’ යනු මනා අරුතෙහි උපසර්ගයෙකි. වදන් අරුත කුමක් වතුදු අද සුපිරි යනු යොදන්නේ ඉංගිරිසියෙහි ‘සුපර්’ (Super) යන්නෙහි අරුත හඟවනු පිණිස යි.

දැන් මෙ රට බොහෝ සුපිරි දේ ඇත්තේ ය. එ කල වූයේ සුපිරි තෙල් පමණෙකි. සුපිරි පාසල්, සුපිරි හෝටල්, සුපිරි කෑම, සුපිරිබීම ආදී සුපිරි දේ දැන් මෙරට පඳුරක් පඳුරක් ගණනේ දැකිය හැක්කේ ය. මේ නොබෝදා හතළිස් වසක් සපිරි හැත්තෑ හතේ සුපිරි පෙරළියට පින් සිදුවන්නට මේ සුපිරි සියල්ල පහළ වූ බව, නරකාදි සතර අපායෙක නො වැටී දිව්‍ය මනුෂ්‍ය සම්පත් විඳුනා එ පෙරැළියෙහි ආදි කර්තෲනට චිත්තප්‍රීතින් යුක්ත වැ පින් අනුමෝදන් කරමින් කිය යුතු ය. කරතොත් මෙබඳු පෙරැළියි. ලබතොත් මෙ බඳු ජයයි.‍ ඒ හා සමයන කල පනස් හය කිනම් සෙල්ලමෙකි.

හැරෙමු යළිත් සුපිරියට ම. අනෙක් සුපිරි සියල්ල අබිබවා දැන් බැලූ බැලූ අත්හි පෙනෙන්නේ සුපිරි වෙළෙඳ සල් ය. මුළු රට පුරා විහිදුණු සුපිරි වෙළෙඳ සල් ගොමු (සංකීර්ණ) එකක් දෙකක් ඇත. වැඩියත් ම ඇත්තේ නමින් ‘සුපර්’ සුපිරි කඩයි. නයින් පෙණය කරන කල්හි ගැරැඬිනටත් නිකම් සිටිය හැකි ද? එහෙයින් උහුදු වළන් කැබැල්ලක් වත් කටින් ගෙන පෙන්වති. නමින් වුවත් ‘සුපර්’ වීම ම කොතරම් ලොකු දෙයක් ද? ඇත්ත ම සුපිරි වෙළෙඳ සලෙක යොදා නාම පුවරුවකුත් ගසා ගත් කල්හි සුපිරි බව හොඳට ම තහවුරු වේ. ඇතුළෙහි තතු එ තරම් වැදගත් නො වේ.

ඇත්තම සුපිරි වෙළෙඳසල්හි දැන් නැති දෙයක් නැත්තේ ය. තෝර තෝරා ගන්නට ද හැක්කේ ය. අර නිකම් පොළෙහි යන කල්හි මෙන් කුණු එළවුළු, කුණු පලතුරු පයට නො පෑගේ. කුණු එළවුළු වුව ද හොඳට සෝදා කුණු වුණු කොටස් කපා දමා රාක්කයේ තැන්පත් කළ කල්හි කොතරම් අගනේ ද? පලතුරුවල කුණු කොටස් කපා දමා මැනැවින් කැබැලි කොට ‘කැපූ පලතුරු’ (කට් ෆ්රුට්ස්) යැයි ලස්සන නිමකුදු දමා බඳුනෙක ලා ආවරණය කළ විට අහෝ! කීයක් දී වුව ද කන්නට නොසිතේ ද?

එයට ද වඩා වටනේ, නිල මැස්සන් ගෙන් බේරා ගන්නට ම බැරි කරවළත් මාළුත් මැනැවින් තැන්පත් ‍කොට අයුරුයි.

කරවළ නම් පැකැට්ටු ‍කොට රාක්කවල තැන්පත් වැ ඇත්තේ ය.

මාළුවෝ පිටට පෙනෙන ශීතකරණ තුළ ශාන්ත වැ අවසන් නින්ද නිඳති. එළු, බැටළු හරක් ආදීහු ද පිළිකුලක් නොදැනෙන පරිදි කැබැලි කැබැලි වී ශීතකරණ තුළ ලැගුම් ගෙන සිටිති. ඉතින් මස් මාළු කඩ අස්සේ රිංගමින් පිළී ගඳ උසුලමින් අතපයේත් ලේ තවරාගන්නේ කුමට ද?

මේ සියල්ල වඩා වටිනුයේ සුපිරි වෙළෙඳ සලෙකින් බඩු ගැන්මෙන් අපට ලැබෙන අභිමානයයි. ටික වේලාවක් හෝ හොඳට වා සැකැසුණු (වායු සමීකරණය කළ) තැනෙක මොහොතක් හෝ සිටුමත් කවර සැපක් ද?

කුමක් කෙසේ වතු දු සුපිරි වෙළෙන්දෝ එකක් දනිති. එ නම් පෙර ‍ෙමන් සුපිරි ජනයාට ම පමණක් බඩු. විකුණන්න තව ගියහොත් තවත් බංකොලොත් වන බව යි. එ හෙයින් ඔවුහු පියවරක් දෙකක් පහළට තබා අපට අත දිගු කළහ. අපි දු පියවරක් දෙකක් උඩට තබා උන්ගේ අත ගතුමු.දැන් උන් ගේත් කරල පැහේ. අප ගේත් ‍ඔද වැඩේ. ප්‍රීති නො වේ ද?

එහෙත් අහෝ! හන්දියේ කඩයේ වෙළෙන්දා නිකට අල්ලේ තබාගෙන හුල්ලයි. ඔහුගේ කරුමයට අපි කුමක් කරමු ද?

- හිතමිතුරා 

Comments