සුවඳ සබන් ඇඟ ගාගෙන දේශපාලනයෙන් කලාව හා ජීවිතය සොයායාම | Page 3 | සිළුමිණ

සුවඳ සබන් ඇඟ ගාගෙන දේශපාලනයෙන් කලාව හා ජීවිතය සොයායාම

 දේ්ශපාලනය ඉතා අමිහිරිය. බොහෝ නාට්‍යවල දී මේ අමිහිරි දේශපාලනය තවත් අමිහිරි බවට පත් වේ. එහෙත් බොහෝ අය මේ අමිහිරි දේශපාලනයට මෙන්ම දේශපාලනය අන්තර්ගතය කරගත් මේ අමිහිරි නාට්‍යවලට ද කැමැත්තක් දක්වති. එහෙත් රාජකපුරු නාට්‍යයේ දී මේ දේශපාලනය මිහිරි නාට්‍යයක් බවට පත් වේ. එයට හේතුව එහි රචකයා දේශපාලනඥයකු නොව කලාකරුවකු වීමය.

රාජකපුරු නාට්‍යයේ දී සිදුවන්නේ කලාකරුවකුගේ දෘෂ්ටියෙන් දේශපාලනය විවරණය කිරීමය. එහෙත් රාජකපුරු නාට්‍යයේ ඇත්තේ කලාකරුවකුගේ දෘෂ්ටිය පමණක් නොවේ. නැටුම්, ගැයුම්, වැයුම්, සාහිත්‍යමය දෙබස් ආදී කලාවේ සියලූ අංගෝපාංග එහි වේ. එනම් රාජකපුරු නාට්‍යයේ දී සිදුවන්නේ කලාව තුළින් දේශපාලනය විවරණය කිරීමයි.

රාජකපුරු නාට්‍යය පඹයකු රජ වීමේ කතා පුවතක් ලෙස සරල කළ යුතු නොවේ. එවන් සරල දේශපාලන කතාවකට රාජකපුරු කොටු නොවේ.

වැඩක් නැති රජකමකට වඩා කෙතක් රකින පඹයකු වීම යහපත් බව නම් නාට්‍යයෙන් කියැවේ. රාජකපුරු නාට්‍යයේ ඇතු දණ ගහන්නේ හේනේ කුරුල්ලන් එළවීමට සිටුවා ඇති පඹයකු ඉදිරියේය. එසේ වූ පසුව පඹයා රජ වේ. එහෙත් පසුව ගොවියා හොරෙන් රජ මාළිගාවට පැමිණ තමාගේ හිතවත් රජ වූ පඹයා ආපසු රැගෙන යයි.

ගොවියා සිතන්නේ මෙසේ නිකරුණේ බොරුවට රජවීමට වඩා හේනේ කුරුල්ලන් එළවීම පඹයාට හොඳ බවය. ඇත්තම කතාව නම් තමන්ගෙන් වැඩක් සිදුවන්නේ කොතනද රජකම ඇත්තේ එතනය. නාට්‍යයේ අර්ථය එයයි. ඒ අනුව මේ නාට්‍යයේ සියලු නළුනිළියන් හා ශිල්පීන් රජවරුන් යැයි සිතේ. මක්නිසාද යත් තමන්ගේ හැකියාවන්ගෙන් කාටත් වැඩක් වෙන නාට්‍යයක් ඔවුන් රඟපාන බැවිනි.

යහපත් වෙද මහතා ද වෙදකමෙන් රජෙකි. වෙදකමට ද රජෙකි. ගොවියාගේ රජකම ඇත්තේ ගොවිතැනෙහිය.

කවියාගේ රජකම ඇත්තේ කවිකමෙහිය. එනම් රාජකපුරු පඹයකු රජ වීම පිළිබඳ දේශපාලන කතාවකට වඩා රජකම යනු කුමක්දැයි කියන දාර්ශනික නාට්‍යයකි. රාජකපුරු කාටත් රසවත් නාට්‍යයක් වන්නේ ඒ නිසාය.

ජීවිතයෙන් දේශපාලනය වෙත යාම නොව දේශපාලනයෙන් ජීවිතයත් සාහිත්‍ය සොයායෑම රාජකපුරු නාට්‍යයේ දී සිදු වේ.

කලා රස වින්දනය පිළිබඳ අපේ අදහස ශෝකයෙන් රසය උපදින බවය. එහෙත් එසේ නම් කලාවේ හා සාමාන්‍ය ජීවිතය අතර වෙනසක් නැත. එනම් ජීවිතයේ දී අද ශෝක වන බැවිනි. එයින් රසයක් ද ලබන බැවිනි. එහෙත් කලාවේ දී ශෝකය උපදින්නේ රසය තුළිනි. සිනාව, සතුට හා අවබෝධය උපදින්නේ රසය තුළිනි. මේ බව මා දැනගත්තේ ද රාජකපුරු නාට්‍ය නැරඹීමෙනි.

මේ අනුව රාජකපුරු කලාව මෙසේ විය යුතු යැයි ද කියන නාට්‍යයකි.

මේ නාට්‍යයේ පිටපතට අධ්‍යක්ෂකවරයාගෙන් නළුවන්ගෙන් හා සංගීතයෙන් ලැබෙන ජවය ඉමහත්ය.

රවීන්ද්‍ර යසස්ගේ හා සරත් කුලාංගගේ රංගනය ගැන කිව යුතු නැත. සුවඳ වෑහෙන ස්වරයකින් රවීන්ද්‍ර යසස් සුවඳ සබන් ඇඟ ගාලා ගායනා කරන අයුරු අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එසේම එයට සරත් කුලාංග යොදා ඇති සුවඳ වෑහෙන තනුව ගැන ද කිව යුතු නැත. එයට සද්ධා උත්පලකන්දගේ නිර්මාණය කර ඇති සුවඳ වෑහෙන නැටුම ගැන ද අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වුවත් මෙහි දී මම ඉකුත් ජූලි 16 දා නාමෙල් මාලිනී රඟහලේ දී මා නැරඹූ රාජකපුරු නාට්‍යයේ මහ ඇමැති චරිතය රඟපාන සද්ධා උත්පලකන්දගේ රංගනය ගැන ටිකක් වැඩි වශයෙන් කතා කිරීමට කැමැත්තෙමි.

මා එදා සද්ධා තුළින් දුටුවේ එදා හෙන්රි ජයසේන සයිමන් නවගත්තේගම ආදී විශිෂ්ටයනගේ රංගනයේ දී අප අත්දුටු දේ යැයි සිතමි. එය කලබලයෙන් තොර රංගනයකි.

කිසිදු නාට්‍යමය මොහොතක් හෝ දෙබසක් මග නොහැරෙන සේ සංයමයෙන් හා සංසුන් ව කෙරෙන රංගනයකි. අද අප බොහෝ විට අත්දකින්නේ සිනාව සොයා ලුහුබඳින්නට උත්සාහ කරන කලබලකාරී රංගනයකි. එහෙත් සද්ධාගේ ඇත්තේ සිනාව මතුවන තුරු බලා සිටින ඉවසිලිවන්ත රංගනයකි.

සිරිසේන ප්‍රේමලාල් මහතා පිටපත රචනා කරද් දී මහ ඇමැති චරිතය පිළිබඳ සිතින් මැවූ සියලූ දේ සහ ඊටත් වඩා දේ සද්ධා රංගනයෙන් වේදිකාව මත මවන බව මගේ විශ්වාසයයි.

මේ නාට්‍යයට දැනට වසර විසිපහක පමණ අතීතයක් හිමිය. එහි මංගල දර්ශනයේ රඟපෑ නළුවෝ වසර විසිපහකින් වයසට ගොස් සිටිති. එහෙත් නාට්‍ය නම් මහලු වී නැත. අවුරුදු විසිපහක් පරණ රාජකපුරු තවමත් තරුණ නාට්‍යයකි.

රාජකපුරු නාට්‍යයේ ආරම්භයේ තිරය විවර වීමේ දී දකින්නට ලැබෙන්නේ රාජ මාළිගයේ දොරටුපාලයාය. ඔහු කියන පළමු වචනය ‘මළ සේක’ යන්නයි. එය මුල දී පේ‍්‍රක්ෂකයාට ප්‍රහේළිකාවකි. එහෙත් ප්‍රහේළිකාව විසෙඳන්නේ හාස්‍ය රසය ගෙනෙමිනි. එනම් රජතුමා පරලෝසැපත් ව ඇත. ‘මළ සේක’ යැයි කීවේ ඒ නිසාය. අපේ ව්‍යවහාරයේ පවතින ‘මළ සේක’ නම් අමුතු වචනය නිර්මාණාත්මක ලෙසින් ‘රාජකපුරු’ නාට්‍යයට එක් වන්නේ එසේය. අපේ භාෂාවේ රමණීයත්වය ඉතා උසස් අන්දමින් රස ජනනය සඳහා භාවිත කිරීම රාජකපුරු නාට්‍යය පුරා දැකිය හැකිය.

ශේක්ස්පියර්ගේ නාට්‍ය ද වෙනත් භාෂාවකට පරිවර්තනය කළ නොහැකි යැයි කියනු ලැබේ. එනම් එම පද පෙරළි හරහා රස මැවෙන්නේ ඉංග්‍රීසි ජීවිතය කරගත් පේ‍්‍රක්ෂකාගාරයක දී පමණි. රාජකපුරු නාට්‍යය ද ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකට පරිවර්තනය කළ නොහැකිය. උදාහරණයක් වශයෙන් ඉහත ‘මළ සේක’ දැක්විය හැකිය. ‘සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි’ ලෙසින් ‘හායි හායි’ දෙසැරයක් යෙදීම වුව ද මේ රමණීය භාෂා භාවිතය පිළිබඳ උදාහරණයකි.

එනම් රාජකපුරු ද සිංහල භාෂාව සමඟ ජීවත්වන ජනතාවට රස වඳිය හැකි ආකාරයේ ‘ශේක්ස්පියර් ගණයේ’ නාට්‍යයකි. ෂේක්ස්පියර්ගේ හාස්‍යොත්පාදක නාට්‍ය මඟින් ඒ කාලයේ එංගලන්තයේ ජීවත් වූ ජනතාව ලැබුවේ කුමන රසයක් ද යන්න සම්බන්ධයෙන් යම් හැඟිමක් ලබාගැනීමට ‘රාජකපුරු’ උපකාරී විය හැකිය.

අද සාමාන්‍ය විශ්වාසය නිළියක් නැතිව නාට්‍යයක් හෝ චිත්‍රපටයක් කළ නොහැකි බවය.

එහෙත් රාජකපුරු එදා සිට අද දක්වා අවුරුදු විසිහතක්ම ජනප්‍රිය ව රංගගත වන්නේ නිළියක් රංගනයෙන් දායක නොවන නාට්‍යයක් ලෙසිනි. සමහරවිට ආරම්භයේ සිට ම එකම නළු පිරිසකගෙන් මේ නාට්‍ය එදා සිට අද දක්වාම රංගගත කිරීමට හැකිවී ඇත්තේ ද ඒ නිසා විය හැකිය.

ප්‍රධාන වශයෙන් එකම ශිල්පීන් පිරිසකගෙන් වැඩිම කාලයක් වේදිකාගත වූ නාට්‍යයක් ලෙසින් රාජකපුරු ලෝක වාර්තාවකට හිමිකම් කියන්නේ ද යන්න ද සොයාබැලිය යුතුය. අපේ සොකරි, දහඅට සන්නිය සහ කෝලම් ද නාට්‍ය ශිල්පිනියන්ගේ නොඑසේ නම් නිළියන්ගේ දායකත්වය රහිතව රංගගත වූ නාට්‍යයන් වේ.

රාජකපුරු ද ඒ සම්ප්‍රදායට අයත් නාට්‍යයකි. එය ද වැදගත් කරුණකි. එනම් රාජකපුරු මඟින් අපේ නාට්‍ය කලවේ පැවැති එක් සම්ප්‍රදායක් ද නඩත්තු කෙරෙන බැවිනි.

උදයසිරි වික්‍රමරත්න 

Comments