සන්ධ්‍යා සහ ඇය | සිළුමිණ

සන්ධ්‍යා සහ ඇය

 “සබඳ, ඔබ සිටිනවා නම් අගෙයි ඒ සැදෑවට

ඒ නිසාමයි මේ ඇරයුම..

මගේ කවි පොත් දෙක

නිකුත්වන දින

එනු මැනව

හෝරා දෙකක් රැඳෙන්නට

කියමි නැවතත් ,

ඔබ නෑවිදින් කොහොමද,

ඔබ සිටිනවා නම් අගෙයි ඒ සැඳෑවට”

මෙහෙම ආරාධනයක් එවල තිබුණේ ලේඛකයෙක් , පරිවර්තයෙක් වගේම කවි සිතක් ඇති සොඳුරු මිතුරෙක්, ඒ චූලානන්ද සමරනායක.

ආරාධනය ලැබුණු ගමන්ම හිතට ආවේ චූලගෙ වැඩේට නොගිහින් කොහොමද කියලයි.

ඒත් දවස ළංවෙද්දි ගමනට හිතේ හයිය තිබුනට ගතේ හයිය නම් දුර්වල වුණා.

“අද ඔය ගමන නොගිහින්ම බැරිද?” පුංචි කොඳුරුමකින් එයා ඇහුවෙ,

“ඔයාගෙ ඊයේ ගත්ත රිපෝට් එකත් හොඳ නැහැ. මේ දවස්වල තියෙන උණට දවසක් දෙකක් විවේකයෙන් ඉන්න ඕනැ”

මගෙ නිහඬකම හින්දම එයා ආයිත් කතා කළා.

“යන්නම ඕනෙනම්, මමත් නිවාඩුවක් දාල , එන්නම්”

“මට තනියෙන් යන්න පුළුවන් ඔයා නිවාඩු දාන්න එපා, මට ඇඳුමක් ලෑස්ති කරල දෙන්නකො”

“එහෙනම්, ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න, එනකොට රෑ වෙන හින්ද”

“එච්චර රෑ වෙන එකක් නැහැ, තුනට පටන්ගත්තම පහවෙද්දි ඉවර වේවි,”

“යන්න කලින් බේත් ටික බීල යන්න”

මගේ ගමන නවත්වන්නට ගත් උත්සාහයෙන් පස්සෙ එයාගේ අවසන් ඉල්ලීම වුණේ එහෙමයි.

හයිවේ එකට හැරුණ විතරයි “ඔයා දැන් කොයි හරියෙද ?” රෑ වෙනවනම් ඉවර වෙනකම් ඉන්න එපා , පරිස්සමෙන් එන්න,” දුරකතනයෙන් කියන්නෙත් එකම දේමයි.

බට ගහක් වගේ පැත්තට ඇලවෙලා ලොකු රවුම් කණ්ණාඩියට යටින් බලල ජාතික ලේඛනාරක්ෂක දෙපාර්මේන්තුවට ඇතුළු්වෙන දොරකඩට චූලා ඇවිත් එයාගෙ සුපුරුදු ලෙන්ගතුකම පෙන්නුව.

දන්න අඳුරන බොහෝ දෙනෙක් එක්ක වචන දෙක තුනක් කතා කරල ශ්‍රවනාගාරෙ ඇතු‍ෙළ වාඩිවුණේ චූලගෙ පොත් දෙකත් අතට අරගෙන.

“දැහැමිද මේ දිවයින” පොතේ පිටු කිහිපයක් අතරින් පතර ලහි ලහියෙ කියෙව්වෙ උත්සවය පටන් ගන්න තවත් පුංචි වෙලාවක් තිබුණ හින්දයි.

අහම්බෙන් වගේ 64 වෙනි පිටුවෙ “සන්ධ්‍යාට” කවිය ළඟ නතර වුණා.

සන්ධ්‍යාට

හැම පෙරහැරම අහවරව

කසකරුවන්ද

නිදි ඇති

දිනූ අය හිඳින අසුනෙම

පරාජිත උදවියද

මධු බඳුන්

පුරනු ඇති

ගිනි ගහන අවු පූටකේ

මහම‍ෙඟහි

නුඹ තාම පෙර සේම හිඳිනු ඇති

නොමැකෙන ලෙයින් ලියූ

පුවරුවක්

තවම නුඹේ තනි රකිනු ඇති

සැප කාර්, අලි පැටව්, කරදාසි

ලිං වලින්, සැඟවුම් තිප්පොලින්

තොග ගනන් දිනපතා

සෙයා ගත් රස පුවත්

අපේ හිත් තවනු ඇති

නුඹ හිමගෙ නමට එනමුදු

තවම ලිපි ගොනුවකුදු

ඇරුණේ නැති

දෙදරු හිත් හද හදා

නුඹ තාම පෙර සේම හිඳිනු ඇති

රස කතා ගොත ගොතා

රූප පෙට්ටිද බරට වැඩ ඇති

මැති ඇමති මහත්වරු

ඉහේ කෙස් කඩ කඩා

නෙක මහරු සැලසුම් අඳිනු ඇති

නුඹ හිමගෙ රුව දුටිමි කිය කියා

හත්පොළේ දිවුරාපු හොර හැත්ත

අලුත් පෙරහැර එන මඟට

සීරුවට පාවඩ එලනු ඇති

ලිහෙනතුරු

නීතියේ දෑස් බැඳි රෙදිකඩ

පෙර සේම

නුඹ තාම මහ ම‍ෙඟෙහි හිඳිනු ඇති

ගෙවෙන දවසක් ගානේ

බොහෝ දෑ වැසියනට ලැබෙනු ඇති

එනමුදු

තලා දා නුඹ හිමිගෙ පන්හිඳ

අතුරුදන් කළ උන්ගෙ වාසගම්

අපේ නෙත ගැටෙන තුරු

අහිමිවූ හෘද සාක්ෂිය නම්

මේ කඳුළු කොදෙව්වට ලැබෙනු නැති.......

උත්සවය පටන් ගත්ත, නිවේදකයා “දැහැමිද මේ දිවයින” නම් පොතේ පිදුම ගැන කියන්න පටන් ගත්ත,

“ඇය බිරිඳක වූයේ, මවක වූයේ මහපාරේ අරගල කරන්නට, රාජ්‍ය නායකයන්ගේ මන්දිර ඉදිරිපිට උපවාස කරන්නට නොවේ. එහෙත් අප මත පැටවුණු කාළකණ්ණි දේශපාලන ක්‍රමය ඇයට උරුම කළේ වීදියේ සටන පමණි. ඇය දිගුකාලයක් පුරා විවිධ පෙරමුණුවල සටන් වදින්නීය. විටෙක තනිවම අරගල කරන ඇය තවත් විටෙක අසාධාරණයට ලක්වූ මිනිසුන් සහ කාන්තාවන් සමෙඟ එකම බිමෙහි ඉදිරියෙන් සිටින්නීය. අවමන්, අපහාස, රැවටිලි, හෙළා දැකීම් ඇයට අරුමයක් නොවේ. ඒ සියල්ල හමුවේ වන්නේ ඇගේ දිරිය වැඩීම පමණි. ජනවාරි අටට පෙර ඇගේ ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් බවට පත්කරගත් බොහෝ දේශපාලකයන්ට දැන් ඇය අමතකය. එහෙත් ඇය කෙසේවත් තම අරගලය අමතක නොකරන්නීය. අතුරුදහන් කරන ලද සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා හඩ නඟන ඇය තමන් වැනිම අසාධාරණයට පත් අය වෙනුවෙන්ද නොපැකිලිව ඉදිරිපත්වන්නීය. මේ පිදුම ඒ දිරිය ගැහැණිය සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරියට..........

චූලා වේදිකාව ළඟට ඇවිත් කළු හැට්ටයකින් අළුපාට සාරියකින් සැරසුණු ගැහැනියට පොත පිළිගැන්නුව.

ඇස් දෙකෙන් බේරෙන කදුළු වැල් පිහදාන ගමන් පොත පිළිගත්ත ඇය ආයිත් එයාගෙ පුටුවට යද්දි මගෙ උඩ සාක්කුවෙ නිහඬ කරල තිබුණ දුරකතනය දෙදරන්න ගත්ත.

ආයිත් මගෙ බිරිඳ,

පැය කිහිපයකට කොළඹට ආපු මාව හොයන මගේ බිරිඳ,

ජීවිත කාලයම ප්‍රගීත් එක්නැලිගොඩව හොයන සන්ධ්‍යා......

ඒ බිරින්දෑවරු..............

 

චන්දන ගුණසිංහ

Comments