කට ඇරීම සහ වැට කැඩීම | සිළුමිණ

කට ඇරීම සහ වැට කැඩීම

 බෝපත් සිහින් හඬක් නඟමින් බිම පතිත වෙයි. අත්තම්මා බෝමළුව අමදියි. පන්සල් මිදුලේ පොල් අත්තකට සාදන රටා මට තරමක් නුහුරුය. පිළිවෙලකට මිදුල අමදින ඇය බොහෝ වෙලාවක් ගාථා කියයි. ගාථා කිමෙන් පසු ලොකු හාමුදුරුවන් සමඟ කතා බහක් පටන් ගන්නා අත්තම්මා එය ඉවරයක් කරන වේලාවක් නම් මා දන්නේ නැත.

අද මිනිපිරියත් පන්සල් එක්ක ආවාද?

ලොකු හාමුදුරුවෝ හඬ ගැඹුරු කරමින් අත්තම්මාගෙන් අසයි.

මගේ තනියට නේ ලොකු හාමුදුරුවනේ

ඒක හොඳයි

ලොකු හාමුදුරුවෝ අත්තම්මාගේ කීම ඒ අයුරින් පිළිගනියි. ලොකු හාමුදුරුවෝ හා අත්තම්මා අතර සංවාදයට කෙළවරක් නැත. අපේ කාලේ වගේ නෙවෙයි අද හාමුදුරුවනේ, අද ළමයි ගොඩක් වෙනස්. ඇත්තටම කතා කරලා පිරිමහන්නත් බැහැ. ඒක නෙවෙයි අපේ හාමුදුරුවනේ,

අත්තම්මා තවත් කතාවකට මුල පුරයි.

මං නම් හාමුදුරුවරු දේශපාලනයට එනවට කැමැතිම නැහැ.

ලොකු හාමුදුරුවෝ අත්තම්මා දෙස මඳක් බලා සිට නළල රැළි කළේය. සපමින් සිටි විටේ බුලත් කෙළ පහරක් ගසා නැවැතත් කතාව ආරම්භ කළේය.

ඇයි උපාසක අම්මා එහෙම කියන්නේ? දේශපාලනය බිහි වුණෙත් පන්සලෙන් නේද? එදා මහා විහාරය අභයගිරි විහාර අතර ඇති වුණ ගැටුමම දේශපාලනයක් නෙවෙයි කියලා අපි කියන්නේ කොහොමද? අප‍ි දේශපාලනය කියලා ඒවා හඳුන්වන්න කැමැති නැහැ. එදා හාමුදුරුවො තමන්ගේ බලය තහවුරු කරගන්න තමයි උත්සාහ කළේ. මේ නිසා දෙපිරිස අතර බේදයක් ඇති වුණා. හැබැයි අද දේශපාලනය කියන්නේ කොල්ලෝ කෙල්ලෝ මහ පාරට බැහැලා කෑගන එක. ඒ ඇරුණහම අපේ රටේ මිනිස්සු දේශපාලනයක් දන්නේ නැහැ උපාසක අම්මේ.

අපේ රටේ දේශපාලනය කියලා තවත් දෙයක් තියෙනවා.

ඒ කියන්නේ අපේ හාමුදුරුවනේ,

අපේ රටේ දේශපාලනය කියන්නේ වේදිකාවලට නැඟලා එකිනෙකෙනා බැන ගන්න එක නේ. ඒවායෙත් කෙළවරක් නැහැනේ.

ලොකු හාමුදුරුවෝ කතා කළේ තරමක් කලකිරුණ ස්වරයෙනි.

අද උපාසක අම්මේ මහණ වෙන්න ගියත් කුලේ බලනව. මං අහන්නේ මේකේ තේරුමක් තියෙනවාද? එදා බුදුහාමුදුරුවෝ සූනිත සෝපාක මහණ කරගත්තෙත් කුලේ බලලාද? නෑ නේද?

අත්තම්මා ලොකු හාමුදුරුවන්ගේ කතාවට හූමිටි තියෙන ගමන් මා දෙස බැලුවාය. ගෙදරදී ඇතිවන මෙවැනි සංවාදවලින් ඇයට දිනීමට සලස්වා මම පසකට වන්නෙමි. අවසානයේ කෙසේ හෝ ජය ලබන රිසියෙන් ඇය වාදයේ පැටලෙන්නීය. එහෙත් මෙතනදී එහෙයි යැයි කියමින් හාමුදුරුවන්ගේ කතාව පිළිගනියි.

මේ බලන්න ලොකු හාමුදුරුවනේ, මේ පාරත් පිං කැටේ කඩලා.

පොඩි හාමුදුරුවන්ගේ හඬින් ලොකු හාමුදුරුවෝ එකවර තිගැස්සුණහ‍.

මොනවා? මේ... මේ ගිය මාසෙත් ඔය වැඩේ වුණානේද?

ගිය මාසේ විතරක් නෙවයි නේ කීප විටක්ම ඔය වැඩේ වුණා.

අනේ මංදා උපාසක අම්මේ මේක නම් කෙළවරක් නැහැ. අපි ඔය පිං කැටේට ලැබෙන දෙයකින් තමයි ලයිට් බිලක්වත් ගෙවන්නේ. ඒ හැරෙන්න මේ පොඩි පන්සල්වලට මොන ආදායමක්ද?

අත්තම්මා සෝකීව බලාගෙන සිටියාය. අත්තම්මාගේ මුහුණේ තිබුණ සොඳුරු බව ‍ක්‍රමයෙන් අතුරුදහන්ව යනු මම දුටුවෙමි. ඇගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් පමණක් ඉතිරි වී තිබුණි.

උපාසක අම්මේ මේ පිං කැටේ වගේම තමයි පිං තාලියත්. ඒක එදා අම්බලම්වල අසල තිබ්බේ. පිං තාලිය එදා හැමෝටම පිහිට වුණා. ඒ වගේ තමයි පිං කැටෙත් පන්සලට පිහිට වෙනවා. මම නම් පිං කැටේ සල්ලි අරගෙන පන්සලට අවශ්‍ය දෙයක් කරනවා මිසක් ආදයමක් උපයාගන්නෙත් නැහැනේ. අනෙක, උපාසක අම්මේ ඒවා ඉතාමත් පව් වැඩ. බුදුහාමුරුවන්ගේ කාලේ මුදල් පරිහරණය අනුමත කළේ නැහැ. ඒත් අද කාලේ ඒක නොකර බැහැ. හැමදේම කාලේ අනුව වෙනස් වෙනවා. ඒ වෙනසට අපිත් හුරුවෙන්න ඕනේ. එහෙම නැතුව අපි ඒකට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. මොන දේකට හරි ඇබ්බැහිවීමයි හොඳ නැත්තෙ. මගේ නම් මේ කිසිම දෙයක් ගැන ආශාවක් නැහැ.

අත්තම්මා බිම බලාගත්තාය. කළුවර ගලාගෙන ඇවිත් පරිසරය වසා‍ගනියි. අඳුරත් සමඟ එළියට පැමිණෙන මා වවුලන්ගේ කෑගැසීම කෙළවරක් නැත. පරිසරය ශෝකී ස්වරයකට ඇරයුම් කරමින් සි‍ටියේය. පහන් තරුවද අහස සරසමින් මුදුන්වෙමින් තිබුණි. එහෙත් අත්තම්මාගේ කතාව ඉවරයක් නැත.

මේ දවස්වල පිං කැට ගැන පොඩි කතා බහකුත් යනවා නේද?

අත්තම්මා නැවතත් කතාව පටන් ගත්තාය.

මං හිතන්නේ ඒවා ලොකු පන්සල්වල කතා. ඇත්තටම අපේ හාමුදුරුවන්ට ඔච්චරට සල්ලි මොකටද උපාසකම්මේ?

හාමුදුරුවන්ගේ කතාව සත්‍ය බව හැඟවීමට මම හිස වැනුවෙමි.

පිං කැටවලට එච්චර සල්ලි ලැබෙනවා නම් ඒවා කළමනාකරණය කරන්නත් දැනගන්න ඕනේ නේද?

උපාසකම්මේ?ෙ

අත්තම්මා මොකුත් නොකිව්වාය‍.

මට ලොකු හාමුදුරුවන් ගැන පුදුමයක් ඇති වුණි. හාමුදුරුවෝ ජීවිතයට සරල බව හුරුකෙරගෙන ඇති සැටි උන් වහන්සේගේ කතාවෙන් පසක් විය.

' මං ඔය අයිතිය වෙනුවෙන් සටන් කරන්නේ නැහැනේ."

" ඒක හොඳයි"

" මං හිතන්නේ හොඳ කළමනාකරණයක් වෙන කොයි දේත් හොඳයි. පිළිවෙල සැලැසුම කියන එක ගෙදරට විතරක් නෙවෙයි පන්සලටත් හොඳයි. නැත්නම් මේවා විනාශ වෙනවා. අද බොහෝ දෙනා කතා කරන්නේ අයිතිය ගැන විතරයි උපාසකම්මේ. ඒ මිනිස්සුන්ට යුතුකම් අමතක වෙලා. අපි කොහොමද ගිහියන්ට යුතුකම් කියලා දෙන්නේ අපේ යුතුකකම් අමතක කරලා. මං හිතන්නේ පූජ්‍ය පක්ෂයේ හැම කෙනෙක්ම තමන්ගේ යුතුකම් අවබෝධ කරගෙන වැ‍ඩ කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ මහා විනාශයක්. පන්සලක් කියන්නේ ආදයම් ලබන ස්ථානයක් නෙවෙයි. අපි අ‍වබෝධයෙන් ජීවත්වෙන්න ඕනේ. මං කියන්නේ පන්සල්වලට විතරක් නොවෙයි ඕනෑම පූජ්‍ය ස්ථානයකට මේ ධර්මතාව පොදුයි. අද මේවා අනුගමනය නොකරන එක තමයි කනගාටු."

ලොකු හාමුදුරුවන්ගේ කතාව අසා සිටි අත්තම්මා හිස වැනීය. එහෙත් මම සිතින් සාදු සාදු කීවෙමි. ඇයට හාමුදුරුවන්ගේ දේශනාව බරපතළ වී යැයි මට සිතිණි.

රූපාන්ති බුලත්සිංහල 

Comments