‘ප්‍රේමය ගැන මේ පසුතැවිල්ලට ඒ සිංදු වග කියන්න ඕනෙ’ | Page 3 | සිළුමිණ

‘ප්‍රේමය ගැන මේ පසුතැවිල්ලට ඒ සිංදු වග කියන්න ඕනෙ’

 සංස්කෘතික දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක අනුග්‍රහය ඇතිව පසුගිය ජූලි 14 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී එක් අපූරු ගීත ප්‍රසංගයක් වේදිකා ගත කෙරුණේ ය. එය නම් කර තිබුණේ ‘සෙනෙහස රන් සිංහාසන’ කියා ය. කට වචනයෙන් නම් මෙය හැඳින්විය යුතු වන්නේ Original ගීත ප්‍රසංගයක් ලෙස ය. ඒ, මෙහි දී ගායනා කෙරුණේ 60-70 දශකවල (විසිවන සියවසේ 7-8 දශකවල) ගුවන්විදුලියෙන් අප ඇසූ රසාලිප්ත ගීත ම වන නිසා ය. විශේෂත්වය වන්නේ ඒ ගීත ගායනා කළේ ද මුල් ශිල්පීන්, ශිල්පිණියන් ම වීම ය. ‘ඔරිජිනල්’ හෙවත් අනනුකරණ (ස්වීය) ගීත ප්‍රසංගයක් ලෙස කට පුරා හැඳින්විය හැකි මෙය කාලයානයකින් මෙන් අප ආපස්සට-අතීතයට ඔසවා ගෙන ගියේ ය. ඒ, එවැනි ජවයක්, බලයක්, ආනුභාවයක් මේ ගී පදමාලාවල ද, සංගීතයේ ද, ගායනයේ ද ගැබ් ව තිබූ නිසා ය.

මෙහි දී ‘අප’ යන්නෙන් අදහස් වන්නේ 60-70 දශකවල නවයොවුන් වියේ පසු වූ පිරිස් ය. ඉලක්කමින් ගණනය කෙරෙන, වයසින් මිස සිතින්-හදවතින් මනුෂ්‍යයා වියපත් නොවන බව හඳුනාගැනීම සඳහා අවකාශයක් විවර කළ එක් අවස්ථාවක් වශයෙන් ද මෙය දැක්විය හැකි ය. මේ ස්වභාවය ඇතැමුන් හඳුන්වන්නේ ‘අතීතකාමය’ ලෙස ය. එහෙත් කලාභාවිතයේ චමත්කාරය, වින්දනය බොහෝ විට තීව‍්‍ර වන්නේ අතීතකාමයේ මාත්‍රාවක් ද මුසු වූ විට බව නම් පිළිගත යුතු ම ය.

කාල්පනික හැඟුම් ඉපිදවීම, කාව්‍යයේ ප්‍රධාන හා අනිවාර්ය කාර්යයකි යි ඇතැම්හු කියති. මේ කාල්පනික ලෝකයේ නන්නත්තාරවීම, මංමුලාවීම සිදුවිය හැකිවන්නේ ඇතැම් විට නොව බොහෝ විට ය. විශිෂ්ට සාහිත්‍ය කෘතියක් කියවා හමාර වූ පසු, අපූරු සිනමා පටයක් නරඹා නිම වූ පසු එක්තරා තෝන්තු ස්වභාවයක් අපට බලපෑම් කරන්නේ මේ නිසා ය. 60-70 දශකවල ගීත ඇසූ එදා යෞවන යෞවනියන් තුළ මෙදා උපන් චමත්කාරය ද ඒ ම ය.

‘චමත්කාරය’ යන පදයට හරියට ම හරියන විවරණයක් තිතට, නූලට ඉදිරිපත් කළ කෙනකු ඇත්තේ නැත. එදා ගීත ගායනාවලින් ලැබුණ සප්‍රාණික සංවේදනය ගැන කිව යුත්තේ ද ඒ ම ය. මේ තත්ත්වය අත්දකින්නන් එය තම තමන්ගේ ජීවිත සමඟ බද්ධ කිරීම ද සාමාන්‍යයකි. හොඳ නවකතාවක් කියවීමේ දී ද පාඨකයාට ඒ තුළින් හමුවන්නේ තමා ය. ඔහුට හෝ ඇයට සිතෙන්නේ මේ නම් මා ම නොවන්නේ දැයි කියා ය. සමාජ ජීවිතයෙහි, යුග ජීවිතයෙහි වගකීම් හා බන්ධන විසින් අතීත, කාල්පනික සිතිවිලි තාවකාලිකව යටපත් කරනු ලැබුණ ද ඕනෑම කෙනකු තුළ වන එවැනි හැඟුම් කල්යල් බලා යළි සුපුශ්පිත වෙයි. මේ අතීතකාමය මනුෂ්‍යත්වයට ආවේණික වූවක් මිස එය දුබලතාවක් හෝ ප්‍රබලතාවක් ලෙස නම් කළ හැකි නොවේ. අසම්පූර්ණ සත්ත්වයකු වන මිනිසා ජීවිතය අග්ගිස්සේ දී මරණාසන්න මොහාතේ දී පවා අමතන්නේ පූර්ව යුගයේ, ළමාවියේ පටන් සිය ස්මරණයේ මුල් ඇද ඇති පුද්ගලයන්ට මිස පසුකාලීනව තමා සමඟ එක් ව සිටියවුනට නොවේ.

ගීත ප්‍රසංගය පැවැති කෙටි කාලසීමාව තුළ හා ඉන් අනතුරුව හුවමාරු වූ කතාබහ ඔස්සේ ජීවිතයේ සෞන්දර්යය, කාලයේ නපුර මෙන් ම ස්ත්‍රිත්වයේ ස්වභාවය දෙස අලූතින් සොයා බැලීමට කවුළුවක් ද විවර වූවේ ය. මෙහි දී එළිදකින්නේ ඒ කවුළුවෙන් අප දුටු දේ ය. (අප නුදුටු තවත් දේ ද තිබිය හැකිය) පොදු පුරුෂයා පිළිබඳ, පොදු ස්ත්‍රියගේ ආකල්පය හා බැඳුණු පොදු ප්‍රශ්නයක් කරළියට නැගුණේ ද ඒ හරහා ය. මේ ප්‍රශ්නය අළු යට ගිනි වැනි ය. ස්ත්‍රියට, ස්ත්‍රිත්වයට ඍජුව අදාළ වන්නේ යැයි කිව හැකි මේ ප්‍රශ්නය විවෘත වේදිකාවල සාකච්ඡාවට භාජනය වන්නේ ද නැත. කාන්තා දිනයේ දී බොහෝ විට අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු මිස මෙවැනි සැඟවුණ ප්‍රශ්න පිළිබඳව නොවේ.

ඍජු ප්‍රචණ්ඩත්වය මෙහි දී අපේ ඉලක්කය බවට පත් වන්නේ නැත. මෙහි දී අප පෙන්වා දෙන ආකාරයේ මානසික ප්‍රශ්නවලින් පීඩාවිඳින බොහෝ කාන්තාවන් ස්ත්‍රි ක්‍රියාකාරිනියෝ නොවෙති. ඔවුන් කාන්තා විමුක්ති සංවිධාන නියෝජනය කරන්නේ ද නැත. එහෙත් ඒ කාන්තාවන්ගෙන් බහුතරය ජීවිතයේ (විවාහයේ) කිසියම් ඛේදයක් අත්විඳින්නියන් ය. ඊට හේතු වී ඇත්තේ සැමියාගේ පහරදීම් වැනි හිංසන ක්‍රියා හෝ තාඩන-පීඩන ද නොවේ. ඔවුන්ගේ චෝදනාපත්‍රවල ගොනු වී ඇත්තේ නිවසේ බිත්ති හතර තුළ තමන් අවප්‍රමාණ වී-අවතක්සේරුවට ලක් වී ඇති බව ය. ඒ බව සනාථ කෙරෙන නන්විධ වූ මැසිවිලි ය. තමන් ඉදිරිපත් කරන ඉතා වැදගත් යෝජනාවක් වුව අනුමත කිරීම කෙසේ වෙතත් ඒවාට කන්දීමට හෝ සැමියා දක්වන උදාසීනත්වය ඔවුන් තුළ ප්‍රතිවිරෝධතාවක් නිර්මාණය කර තිබේ. තමා ඉදිරිපත් කරන වැදගත් යෝජනාවක් රහසේ ක්‍රියාත්මක කරන්නට සැමියා ඇතැම් විට යොමු වුණ ද එය අගය කිරීමට ඔහු කිසිවිටෙකත් යොමු නොවන්නේ යැයි දිනක් මා සමඟ කීවේ දුරින් ඥාතිත්වයක් ද ඇති මගේ එක් මිතුරියෙකි. ඇය ද මේ ගීත ප්‍රසංගය නරඹා තිබිණි. ඉන් තමා ලැබූ ප්‍රහර්ෂය ගැන සඳහන් කරන අතර ම ඇය පැවසූ තවත් කතාවකි මේ.

‘අන්තිමට බලාගෙන ගියාම හැම අතින්ම පරාද වෙලා තියෙන්නේ අපි. එක අතකට අපිට මේ විදිහට හිතන්න වැඩියෙන් ම බලපෑම් කළේ ඔය සින්දු. ඒක නිසා මේ පසුතැවිල්ලට ඔය සින්දුත් වගකියන්න ඕන’

මේවා එක් අතකින් ‘වැරදිකාර ගීත’ බවට පත්වන්නේ ඒ අනුව ය. ඇතැම් විට වැරැද්ද බවට පත්වන්නේ ප්‍රබලත්වය ය. ඓතිහාසික යුගයන්හි වැරදිකරුවන් බවට පත්වී, වසකෝප්පය පානය කළේ - කුරුසපත් වූයේ එවැන්නන් ය. ඔවුහු සර්වකාලීන ප්‍රබලයෝ ය. මේ ගීත සඳහා ද ප්‍රබල යන විශේෂණ පදය යෙදිය යුතුවන්නේ ඒවා ඍජුව ම ජීවිතයට බලපෑම් කරන නිසා ය. ජීවිතය වෙනස් කරන්නට තරම් මේ ගීත ප්‍රබල ය. ඒතරමට ම ආකර්ෂණීය ය. එහෙත් මේ ආකර්ෂණය නූතන පරපුරට එතරම් බලපෑමක් සිදු නොකරන බවට එක්තරා නිදසුනක් ද එදා එතැන දී ම දැක ගන්නට ලැබුණේ ය.

මගේ ඉදිරි අසුනේ හිඳ සිටි නව යෞවනයා ප්‍රසංගය ආරම්භ වූ මොහොතේ සිට ම දෙපසට හිස කඩා වට්ටමින් කාලය ගෙවා දැමුවේ උදාසීන ලෙස ය. දිගින් දිගට ම ඔහු සිටියේ එස්.එම්.එස් කොටමිනි. තරුණයා ශාලාවෙන් පිට වූයේ ප්‍රසංගය හමාර වන්නට ද පෙර ය.

එහෙත් මෙහි තවත් පැත්තක් ද තිබේ. සුපිරි තරු (ගායනා) වැඩසටහන්වලට සහභාගි වන බොහෝ තරුණ-තරුණයින් ගායනා කරන්නේ දශක තුන හතරකට පෙර අප ඇසූ මෙවැනි ගීත ය. විනෝද ගමනක යෙදෙන අතරේ වුව නූතන තරුණ-තරුණියන් නූතන ගීත ගයනු අපට අසන්නට ලැබී නැත.

‘විවාහය’ හෝ ‘පතිවත’ දිවිපුදා රැකගත යුතු ද නැතහොත් නොගැළපීමක් දුටු සැණින් එය ඇඳුමක් මෙන් ඕනෑම අවස්ථාවක දී මුදා හැරීමට සූදානම් විය යුතු ද යන්නට නොවරදින පිළිතුරක් අප සතුව නැත. කලකට පෙර නම් අප කොතෙකුත් අසා තිබුණේ විවාහයේ පූජනීයත්වය විදහා පාන කතා පුවත් ය. තොරතුරු ය. ‘පතිදම්’ පණ මෙන් සුරැකිය යුතු යැයි ද ‘සැමියා දෙවියා’ ලෙස සැලකිය යුතු බව ද එහි දී අපට වැඩිදුරටත් උගන්වා තිබුණේ ය.

මේ අදහස උපහාසයට ලක් කෙරෙන විකට චිත්‍රයක් මෑතක දී මුහුණු පොතක සටහන් වී තිබිණ. එහි දී පොත් සාප්පුවකට ගොඩවදින පාඨකයෙක් ‘සැමියා බිරිදගේ දෙවියා’ කියන පොත තියනවා ද?’ කියා පොත් වෙළෙන්දාගෙන් විමසයි. වෙළෙන්දා පාඨකයාට උඩුමහල පෙන්වා කියන්නේ ‘විහිළු පොත් තියන්නේ නං උඩ තට්ටුවේ’ යි කියා ය.

කෙසේ වුව ද සැමියාට ගරු කිරීම බිරිඳගේ පරවේණි උරුමයක් ලෙස පිළිගැනුණේ එදා ය. එකළ විසූ තරුණියක් විවාහය හඳුනා සිටියේ පාරාදීසයක් ලෙස ය. ඔවුනට පේ‍්‍රමය පරම පූජනීය වස්තුවක් ම වූවේ ය. ගැහැනිය පිරිමියා සමඟ යුදවදිමින්, උද්ඝෝෂණය කරමින් අයිතිවාසිකම් දිනාගත යුතු ද නැතහොත් ඇය සැමියා දෙවියා යැයි සිතමින් සියල්ල ඉවසා දරා සිටිය යුතු ද යන්න පිළිබඳ නොවරදිනසුලූ අදහසක් මෙහි දී එළිදැක්විය නොහැකි ය. අපගේ පෞද්ගලික විශ්වාසයට අනුව නම් වඩා සුදුසු වන්නේ මේ දෙක අතරමැදින් වන තැනකින් ගනුදෙනු බේරාගැනීම ය.

කෙසේ වුව ද ‘සෙනෙහස රන් සිංහාසන’ තරමක් දුර්ලභ ගණයේ ගීත ප්‍රසංගයක් වූ බව නම් කිව යුතු ය. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි වූ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට ද මේ වින්දනීය මනෝභාවය එලෙසින් ම හැඟුණ-දැනුණ බව ඒ සම්බන්ධයෙන් එතුමා දැක්වූ කෙටි අදහසින් ද පළකෙරුණේ ය. එය කට වචනයට පමණක් සීමා නොකළ අමාත්‍යවරයා ඒ බව ක්‍රියාවෙන් ම ඔප්පු කර පෙන්වූයේ ප්‍රසංගය අවසානය දක්වා ගී දැහැන සමඟ සමවඳිමින් ශාලාව තුළ රැඳී සිටීමෙනි.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ අර්ථයත්, ශබ්දයත් වෙන් නොකළ හැකි සේ බද්ධව පැවැති එදා ගැයුණ ආදර ගීත සැබැවින් ම මනබදිනසුලූ වූ බව ය. එහි දී ගායනා කෙරුණු (දයා අල්විස් නම් වූ ප්‍රතිභාපූර්ණ ගේය පද රචිකාව ලියූ) එක් ගීතයක ආරම්භක පදවැල පමණක් මෙහි ලා දක්වන්නේ ඊට නිදසුනක් ලෙසින් ය.

‘දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට සිහිනෙක දැවටී ඔබ එනවා.
සිත සිර කර ගමි ඔබට නොඑන්නට සිතිවිල්ලක් වී ඔබ එනවා.‘

මේ අපූරු ගීත ප්‍රසංගය තේමා කරගනිමින් අප මෙහි දී කතා කරන්නට උත්සාහ කළේ ඒ හරහා මතු වුණ කාන්තාවගේ ප්‍රශ්න පිළිබඳව ය. කෙසේ වුව ද බිරිය සමඟ විවෘත සංවාදයක යෙදෙන්නට, වැරදි නිවැරදි කරගන්නට ස්වාමිපුරුෂයින් දක්වන මැලිකම හා පසුබෑම පවුල් ඒකකය තුළ සීතල යුද්ධයක් බවට ඔඩුදුවමින් ඇත්තේ දෝයි සැකයක් ද ඇතිවෙන මුත් මේ විසංවාදය නිහතමානීව ඉහිල්-ලිහිල් කරගැනීමේ ක්‍රමෝපායයක් පිළිබඳ එක්තරා සංඥාර්ථයක් සැපයෙන ගීයක් ද එදා ගායනා කෙරුණේ ය. ගීතය ගැයුවේ පුන්සිරි සොයිසා ය. මෙහි ලා දැක්වෙන්නේ ඒ ආරම්භක පදවැලයි.

‘නොහඬන් ළඳුනේ නොහඬන් ළඳුනේ
සුරාපොදක් මා තොල ගෑ පමණින් -
සුරාසොඬකු වේදෝ
ඇය අතගෙන රැඟුමක් පෑ පමණින්
මා සළෙලකු වේදෝ‘

කැත්ලීන් ජයවර්ධන 

Comments