
සමාජයක් ශිෂ්ට වෙන්න නම්, එහි ජීවත් වෙන මිනිස්සු ශිෂ්ට විය යුතුයි. මේ පොළොවෙ විවිධ ජන වර්ග නොයෙක් සංස්කෘතීන් තුළ විවිධ ආගම් අදහමින් මිනිස් ජීවිත ශිෂ්ටත්වයෙන් පවත්වා ගෙන යන්න නොයෙකුත් දේ සිදු කරනවා. ඒත්, ඒ බොහෝ දේ තුළින් මිනිස්සුන්ගේ ජීවිත තුළ අශිෂ්ටත්වය එන්න එන්නම වර්ධනය වෙන්න පටන් අරන්. ඒ නිසාම ශිෂ්ට සමාජයක සිදු නොවිය යුතු බොහෝ දේ මේ පොළොව මත සිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා කුරුල්ලට පේන්න පටන් ගත්තා.
දිනෙන් දින මිනිස්සුන්ගේ ජීවිතයේ ශික්ෂණය නැති වෙන්න පටන් අරන්. මිනිස්සු නොහික්මුණු අශිෂ්ට දේ සිදු කරනවා. සමාජයක් වශයෙන් මිනිසුන් අතරත්, ස්වභාව ධර්මය අතරත් පැවති සංයමත්, ආචාරශීලීබවත්, ගෞරවයත් මිනිස්සු අතරින් අතුරුදහන් වෙන්න පටන් අරන් තියෙනවා කුරුල්ලා දැක්කා.
මිනිස්සුන්ට කුණු පිරුණු අපිරිසුදු පරිසරයක ජීවත් වෙන්න සිද්ධ වෙලා, විෂ දුම් පිරිවච්ව වාතය හුස්ම ගන්න සිද්ධ වෙලා. මත්ද්‍රව්‍ය මිනිස්සුන්ගේ ජීවිත පාලනය කරන්න පටන් අරන් ඒ සඳහා ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ට මනුස්ස ගති අමතක වෙලා. අහස පොළොවට ඉහිළිය නොහැකි පාපයන් කරන්න මිනිස්සූ පෙළඹිලා. සොරුන්, ස්ත්‍රී දූෂකයින් හැම භූමියකම එන්න එන්නම මදුරුවෝ වගේම බෝ වෙන්න පටන් අරන්. ඒ අතර මිනිස්සුම ඡන්දේ දීලා පත් කරගත් දේශපාලන නායකයින් බලය වෙනුවෙන් උනුන් ඇණකොටා ගන්නවා. කුරුල්ලා දැක්කා නිලය වෙනුවෙන් බලය වෙනුවෙන් මන්ත්‍රීවරු පිරිසක් තවත් මන්ත්‍රීවරු පිරිසකට පහර පිට පහර දෙනවා. කුරුල්ලාට මිනිස්සු ගැන ලැජ්ජා හිතුණා. කුරුල්ලාට ගීතයක හඬක් ඇහුණා.
සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මක බෑවී ගියාදේන්
සංස්කෘතිය වළ පල්ලට ගියා දේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනං
(රජ ගහේ නාඩගම නාට්යන : සිරිසේන ප්‍රේ මලාල් /ජනක ප්‍රේමලාල්)
මිනිස්සු විසින්ම ශිෂ්ටාචාරයක් පුරා ගොඩනගාගත් යහපත මිනිස්සුම විනාශ කරන්න පටන් අරන්. කමින් බොමින් විනෝද වෙමින් බොහෝ දේ ගැන හිතන් නැති, කල්පනා කරන් නැති ජීවිත ගෙවන්න පටන් අරන්. බලය යි, නිලය යි වෙනුවෙන් මිනිස්සු මනුෂ්‍ය යත්වය පාවා දෙන්න පටන් අරන් තිබුණා. ඒ බොහෝ දෙනෙක් තමන් ගැන පමණක් හිතමින්, තමන් ගැනම අනෙකාට කියමින් ජීවිත ගෙවන්න පටන් අරන්. එවැනි ආත්මාර්ථකාමී අශිෂ්ට මිනිසුන් ගෙන් පොළොව හැඩි වෙලා තියෙනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා මිනිස්සුන්ට ළං වෙන්න ළං වෙන්න කුරුල්ලා දැක්කා. මිනිස්සු පිරිසක් පමණක්, කරන වැරදිවලට, හැම මනුස්සයෙකුටම සිය ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධවෙලා තියෙන අපූරූව. අමාරුවෙන් වුනත් ඒ හැම දෙයක්ම දරාගෙන කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා.
කුරුල්ලා පියාඹන ගමන් පොළොව දිහා බැලුවා. කුරුල්ලා දැක්කා මිනිස්සු විසින් මිනිස්සුන්ගේ පැවැත්ම උදෙසා ගෙඩනගාගත් බොහෝ දේවල් නිසා මිනිස්සු වෙත විනාශයත්, අයහපතත් ළඟා වෙන්න පටන් අරන් තියෙනවා. කුරුල්ලා දැක්කා මීට දවස් තුන්සිය හැට පහකට ඉස්සෙල්ලා ගින්නෙන් දැවුණු පොළොවක්. සාලාව ආයුධ ගබඩාව පුපුරලා විනාස වුණු ඒ බිම තවමත් කාෂ්ටකයි. ඒ පොළොවට ළං වුණා විතරයි කුරුල්ලා දැක්කා බර උණ්ඩවලට හෑරිච්ච වළවල් පොළොවෙ තැනින් තැන තාමත් තියෙනවා. කුරුල්ලා බිමට බැහැලා ඒ මැද්දෙන් ඇවිදින්න පටන් ගත්තා. ගින්නෙන් පිච්චිලා අඵ වෙලා ගිය මිනිස් ජීවිත වගේම, ගින්නට අහුවෙලා සියල්ල විනාස වුණු මිනිස්සුන්ගේ ජීවිතවල වේදනාවත් තවමත් ඒ විදිහටම තියෙනවා කුරුල්ලා දැක්කා. ඒ වේදනාව කුරුල්ලගේ හිතටත් දැනෙන්න පටන් ගත්තා. කුරුල්ල ඒ බිමෙන් ඈත් වෙලා ආයෙමත් සැරයක් පියාඹන්න පටන් ගත්තා.
කුරුල්ලා පොළොවේ වෙන පැත්තකට පියෑඹුවා. ඒ පොළොවේ සිද්ධවෙන දේ කුරුල්ලටත් අඳහා ගන්න බැරි තරම්. ඩෙංගු මදුරුවට මිනිස්සු පෙනුණේ එකම විදිහට. මදුරුවා ජීවත් වෙන්න මිනිස්සුන්ගේ ඇගේ තියෙන ලේ උරා බොනවා මදුරුවගේ ජීවිතය පවත්වා ගෙන යන්න. කුමන වයසකට අයිති වුවත්, කවරාකාර ආගමක් ඇදහූවත් කුමන සංස්කෘතිකයකට හුරු වී සිටියත්, කුමන බලතල නිලතල දැරූවත්, දුප්පත් වුවත්, පොහොසත් වුවත් ඒ හැම මනුස්සයෙක් ගෙන්ම මදුරුවට උරා බෙන්න අවශ්‍ය වුණේ මිනිස් ලේ. මිනිස් ලේ උරා බී ඩෙංගු මදුරුවා පොළොවේ හැම මනුස්සයෙක්ම දුර්වල කරලා දාලා තිබුණේ මිනිස්සුම පරිසරයට කරපු වරදිවලට දඬුවම් කරනවා වගේ. කිසිදු භේදයකින් තොරව අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එකපිට එක නැති වෙන්න පටන් අරන් තියෙනවා. ඒ හැම දේමත් එක්ක මිනිස්සු වෙනදට වඩා කලබලයෙන් පදික වේදිකාවල එහේ මෙහේ යනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා පොළොවට බැහැලා ඒ මිනිස්සූ අතරින් ඇවිදින්න පටන් ගත්තා. කුරුල්ලා දැක්කා මිනිස්සූ වේගයෙන් ඇවිදගෙන ඉස්පිරිතාලවලට යවා.
කුරුල්ලා පියාඹගෙන ගිහින් පොළොවේ මදුරුවෝ ඉන්න තැනක වහැව්වා. මදුරුවෝ මිනිස්සුන්ට විදලා මිනිස්සුන්ගේ ඇගේ ලේ උරා බොනවා. කුරුල්ලට දුකයි. කුරුල්ලා මදුරුවන්ට කතා කරලා ඇහුවා.
කුරුල්ලා:
පොළොවේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන්නේ ඇයි?
ඩෙංගු මදුරුවා :
ටිං බෙලෙක්ක මල් පෝච්චී ගොඩගහලා දෙන්නේ
මිනිස්සුමයි මගේ නිවහන මෙමට තනා දෙන්නේ
අහළ පහළ හැම තැනකම වතුරේ තමයි ඉන්නේ
මිනිස්සුන්ගේ ලේ බීලයි මම ලොකු වී ඉන්නේ
කුරුල්ලා : නැද්ද මදුරුවෝ නුඹට හදවතක්?
ඩෙංගු මදුරුවා : කුරුල්ලෝ නුඹ පල් නුඹේ දරුවාන් පල්
අපි කෙරුවේ නැත කිසි වරදක්.
පැවැත්ම සඳහා බීවා විතරයි
මිනිස්සුන්ගේ එක ලේ බිඳුුවක්..
කුරුල්ලා : අන්න බලන් සකි -මෙන්න බලන් සකි
මල්පැණි බොන - කීටයෝ කන..
යෝධ මදුරුවෙක් ඇවිදින්
මහන්සියට දොයි...
ඩෙංගු මදුරුවා : හ්..ඈ... ඒ කොහෙන් ද? මොන වගේ ද?
කළු ද? සුදු ද? එතකොට අපිට මොකද වෙන්නේ?
කුරුල්ලා: අදින් පස්සේ මේ පොළොව තහන්චී
ගුවන් ගැඹේ කරනමත් තහන්චී
ඇඟ තුළ දුවනා ලේ බිඳුත් තහන්චී
මිනිස් ලෝකයට එන්න තහන්චී
කුරුල්ලා දැක්කා මදුරුවෝ හොඳටම බය වෙලා පියාඹලා රෑන් පිටින් අතුරුදහන් වෙනවා. කුරුල්ලා කල්පනා කරන්න පටන් ගත්තා. මදුරුවෝ අත කිසිත් වරදක් නොමැති බව කුරුල්ලට අවබෝධ වෙන්න පටන් ගත්තා. මේ හැම දේකම වගකිව යුත්තන් මිනිසුන්ම බව කුරුල්ලා තේරුම් ගත්තා. කුණු නිසියාකාරව වර්ගීකරණය කර බැහැර කරන්න මිනිස්සූ තම තමන් විසින් පුරුදු වෙනවා නම් මේ කිසි කරදරයක් මිනිස්සුන්ට වෙන් නෑ. ස්වභාවධර්මයට ආදරය කරන්න පරිසරය ආරක්ෂා කරන්න සෑම මනුස්සයෙකු ගෙන්ම ඉටුවිය යුතු වැඩ කොටසක් තියෙනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා ආයෙත් පොළොවෙන් ඈත් වෙලා පියාඹන්න පටන් ගත්තා. කුරුල්ලාට හුළෙඟ් පාවෙලා ආපු කට හඬක් ඇහුණා.
“අපතේ යවන්න වෙලාවක් නැති කෙටි කාලීන ජීවිතය, දූෂණ වසංගතයෙන් ඔත්පල නොවන්න වගබලා ගත යුතුය”
-හැස්ලිට්-
කුරුල්ලාට මතක් උනා. මදුරුවෝ ඇති වෙන විදිහට පොළොව අපිරිසිදු කරන්නෙත් මිනිස්සුන්ම යි. මිනිස්සුන්ට තමන්ගේ ගෙවත්ත පිරිසිදු කරගන්නවත් වෙලාවක් නැති වෙන තරමටම වැඩ කරන්න සිද්ධ වෙලා. සමහර ගෙවතුවල වතුර පිරෙන තැන් හොයා ගෙන මදුරුවෝ බිත්තර දාන්න පටන් අරන්. කාණුවල පීලීවල එකතුවෙන වතුරෙන් ඩෙංගු මදුරුවන් ගණන් කරන්න බැරි තරමින් බිත්තර දාලා. මිනිස්සු අශිෂ්ට වන තරමටම සමාජයක් වශයෙන් ඒ අශිෂ්ටත්වයට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කුරුල්ලා දැක්කා.
කුරුල්ලා පියාඹලා පියාඹලා ආයෙත් සැරයක් බිම බැලුවා විතරයි කුරුල්ලගේ හිත තවත් වේදනාවෙන් පිරෙන්න පටන් ගත්තා. කුරුල්ලා දැක්කා එක භූමියක මිනිස්සු එකතු වෙලා කුණු කන්දට යට වෙච්ච මිනිස්සුන්ගේ තුන් මාසේ දාන දෙනවා. කුරුල්ලා ඒ මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්න පොළොවට ළං වෙන්න තැනක් හොයන්න පටන් ගත්තා. හැම තැනම කුණු පිරිලා. පේනතෙක් මානේක මහ පොළොවක් නෑ. කුරුල්ලා අමාරූවෙන් කැඩිච්ච තාප්පයක් උඩ වහනවත් එක්කම කුරුල්ලට ඇහෙන්න පටන් ගත්තා. කුණු කන්ඳ වෙනුවෙන් ලැබුණු වන්දිය අතේ තියාගෙන මිනිස්සු හූල්ලා වැටෙනවා. සමහරු තමන්ගේ නැති වුණු ආදරණීයන්ගේ නම් කියලා වැළපෙන කොට තවත් තැනක් ලැබුණු වන්දි මුදල මදි කියලා කෑගහනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිත මුළු මුනින්ම වෙන තැනකින් පටන් ගත යුතුව තිබුණා. කුණුවලින් එන දුර්ගන්ධය සිය ආත්මයටම කාවැදුණු මිනිස්සුන්ගේ ජීවිතවල පවතින අමිහිරි බව පොළොවටත් දරාගන්න අමාරූ බව කුරුල්ලට පේන්න ගත්තා.
කුරුල්ලා වේදනාවෙන් කල්පනා කරන්න පටන් ගත්තා. කුරුල්ලා කූඩු කරලා හිටිය අවුරුදු තිහක කාලය පුරාම අවබෝධ වුණු සත්‍යයක් තිබුණා. ඒ තමයි මේ පොළොවේ බොහෝ දේශපාලකයන් කොහොමත් සිය වගකීම් නියමිත විදිහට ඉටු කරන් නැති බව. ඒ බවට සාක්ෂි මේ මොහොතෙදිත් කුරුල්ලගේ ඇස් පනා පිටම තියෙනවා. ඒත්...! මේ පොළොවේ ජීවත්වෙන මිනිස්සු පුරවැසියන් විදිහට සිය වගකීම් කොටස පැහැර හැර ඇති බව දැක්ක කුරුල්ලට හුඟක්ම දුක හිතුණා.
පොළොවට ආදරය කරන්න මිනිස්සුන්ට වෙලාවක් නැති වෙලා. සමහර මිනිස්සුන්ට භූමිය කියන්නේම මුදල්මය වටිනාකමක් පමණක් තීරණය කරන සාධකයක් විතරක් වෙලා. එක තැනක මිනිස්සු පොළොව හූරලා එහි සාරය උරා ගන්නවා. තවත් තැනක මිනිස්සු පොළොවට පොර කනවා. කෑම කාලා ලන් ෂීට් පොළොවට විසි කරලා, බීම බීලා බෝතල් විසි කරලා ඒවයේ වතුර පිරිලා මදුරුවෝ බිත්තර දාලා. කුරුල්ලා දැක්කා. ඒ අතර ටොෆී කොළ, ෂොපින් කවර, ප්ලාස්ටික්, හුළඟට අහුවෙලා ගහගෙන එනවා. හැම තැනම මදුරුවෝ පිරිලා. මිනිස්සු විසින්ම ගොඩගහපු, මිනිස්සුන්ගේම ජීවිත යට කරපු, මිනිස්සුගේ කුණු ගඳ කුරුල්ලගේ නහයට දැනෙන්න පටන් ගත්තා. කුරුල්ලා කෑ ගැහුවා මහ පොළොවට කුණු කඳු ඕනෙ නෑ.
කුරුල්ලා මිනිස්සුන්ට බොහොම කරුණාවෙන් කිව්වා,මේ මොහොතේ පටන් පරිසරයට ආදරය කරන්න පටන් ගන්න. තම තමන්ගේ ගෙදර එකතු වෙන කුණු වර්ගීකරණය කරලා පුච්චන්න. පොළොව සරූ කරන එළවළු, පලතුරු, පලා වර්ගවල අපතේ යන සියල්ල නැවත පොළොවමට එක්කරලා පොහොර වෙන්න ඉඩ අරින්න.
බලන්න, මේ පොළොව කෙතරම් සරුසාර වෙයි ද? ඒ සරු පොළොවේ දළුදාන ඵලදාවත් ස්වභාව ධර්මය මිනිස්සුන්ටම ආපහු ගෙනත් දෙනවා. ඒ මිහිරි ඵලවල රසවිදින්න නම් මිනිස්සු මේ පොළොවේ ඉතිවිය යුතුයි...! ලෝකයට ප්‍රේම කළ හැකි ශික්ෂණයක් මිනිස්සු තුළ ඇති විය යුතුයි. ඒ තුළින් පමණක් ශිෂ්ට සමාජයක් ගොඩනගා ගත හැකි වනු ඇත. එවිට මේ මහ පොළොව මත මිනිසුන් ඉතිරි වනු ඇත. ඔවුන් ලෝකය අදට වඩා ඉදිරියට ගෙන යනු ඇත.
ඩිලූෂා නදීකමාලී