
පොළොවේ ජීවත් වී මිය යාමට නියමිතව තිබූ මිනිසුන්ගේ ජීවීත බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරලා. ඔවුන් ආපසු එනතුරු හැම බිමකම මිනිසුන් දස දහස් ගණනක් බලා ඉන්නවා කුරුල්ලා දැක්කා. ඒ අය අතර හැම ජාතියකටම අයත් මිනිසුන් හිටියා. ඒ හැම මනුස්සයෙක්ම තමන් අදහන ආගමේ නාමයෙන් සිය ප්‍රේමණීයයන් ආපසු තමන් වෙත රැඟෙන එනමෙන් යදින හඬ කුරුල්ලට ඇහුණා. කෙනෙක් සිය ගමන් සගයා හොයනවා. අතුරුදහන් වූවන්ගේ නම් ලියපු තාප්පයයේ පේළියට ලියලා තියෙන නම් අතරේ තමන්ගේ සගයගේ නම හොයනවා.
කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා. මහ පොළොවෙන් ඈත් වෙලා මිනිස්සු නොපෙනෙන තුරුම කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා. දවස් ගණන්, පැය ගණන් කුරුල්ලා එක දිගටම පියෑඹුවා. කුරුල්ලා අහසෙත්, පොළොවෙත් නිදහස අත්වින්දා. ඒත්...!.
කුරුල්ලා දැක්කා, මිනිස්සුන්ගේ නිදහස අහිමිවෙලා තියෙනවා. මිනිස්සු දවස් ඇතුළේ, වර්ෂ ඇතුළේ, ශතවර්ෂ ඇතුලේ ඇවිදලා ඇවිදලා ගොඩනඟා ගත් බොහෝ දේ මහපොළොවේ සටහන් වෙලා. ඒත් ඒ හැම දෙයක්ම මැද්දෙන් සමහර බිමක හිස්තැන් මතුවෙන්න පටන් අරන් තිබුණා. පොළොව මත ජීවත්වෙන මිනිසුන් පොළොවෙන් උදුරලා දාලා. නිශ්චිත වූ දේශ සීමාවකට, සමාජයකට, සංස්කෘතියකට, ආගමකට, ජාතියකට, ජන වර්ගයකට හෝ භාෂාවකට සීමා නොවී ජීවත්වීමේ නිදහස මිනිස්සුන්ට අහිමි කරලා තියෙනවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා ඒ හැම බිමකටම උඩින් පියාඹලා පියාඹලා මහා පොළොවට ළංවෙලා මිනිස්සුන්ව හොයන්න පටන් ගත්තා.
කුරුල්ලා දැක්කා මේ පොළොවේ අධිපතිවාදී වුවමනාවන් වෙනුවෙන් මිනිසුන් මර්දනය මඟින් පාලනය කරන්න පටන් අරන් තියෙනවා. ජන මාධ්‍යවේදීන්, කලාකරුවන්, සාහිත්‍යකරුවන්, ශිෂ්‍යයන්, තරුණයන්, ආචාර්යවරුන්, වැඩි වශයෙන් පැහැර ගෙන අතුරුදහන් කරලා. මිනිස්සුන්ගේ නිදහස අහිමි කරන්න පටන් අරන්. දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් මිනිසාගේ ජීවිත් වීමේ අයිතිය අහිමි කරලා. අදහස් ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය කරලා මිනිස්සුන් නිහඬ කිරීමට උස්සාහ කරනවා.
පොළොවේ ජීවත් වී මිය යාමට නියමිතව තිබූ මිනිසුන්ගේ ජීවීත බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරලා. ඔවුන් ආපසු එනතුරු හැම බිමකම මිනිසුන් දස දහස් ගණනක් බලා ඉන්නවා කුරුල්ලා දැක්කා. ඒ අය අතර හැම ජාතියකටම අයත් මිනිසුන් හිටියා. ඒ හැම මනුස්සයෙක්ම තමන් අදහන ආගමේ නාමයෙන් සිය ප්‍රේමණීයයන් ආපසු තමන් වෙත රැඟෙන එනමෙන් යදින හඬ කුරුල්ලට ඇහුණා. කෙනෙක් සිය ගමන් සගයා හොයනවා. අතුරුදහන් වූවන්ගේ නම් ලියපු තාප්පයයේ පේළියට ලියලා තියෙන නම් අතරේ තමන්ගේ සගයගේ නම හොයනවා. කුරුල්ලා ඒ දිහා බොහෝම ආදරයෙන් බලා හිටියා. කුරුල්ලට ඔහුගේ හිත ඇහෙන්න පටන් ගත්තා,
“ඔහු මගේ ගමන් සගයාය. මෙතන දී මට ඔහුව අතහැරිය හැකිය. එහෙත් ඔහුගෙන් ඈත් විය නොහැකිය. මන්දයත්, ඔවුන් බොහෝය. ඔහු මගේ මුළු ජීවිතයේම ගමන් සගයාය. මගේ මිනී වලේ ගැට්ට දක්වා ඔහු ගමන් කරනු ඇත.”
-මක්සීම් ගෝර්කි-
කුරුල්ලා ඒ හඬ අහගෙන ආදරණීය ගමන් සගයන් හොයාගෙන අතීතයට පියාඔන්න පටන් ගත්තා. ජනවාර්ගික ගැටුම් නිසාත්, තරුණ කැරලිගැසීම් නිසාත්, කළු ජූලිය නිසාත්, යුද්ධය නිසාත් මේ පොළොවේ මිනිස්සු බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින්. බොහෝ මිනිසුන් අතුරුදහන් වෙලා තියෙනවා කුරුල්ලා දැක්කා. මේ මොහොතෙත් තමන්ගේ පුත්තු ගෙදර එන තුරු බලා ඉන්න දෙමාපියනුත්, ස්වාමීයා ගෙදර එනතුරු බලා ඉන්න බිරින් දෑ වරුත්, සහෝදරයා එනතුරු බලා ඉන්න සහෝදරයිනුත්, සිය මිත්‍රයා එනකම් බලා ඉන්න මිත්‍රයිනුත්, එක දිගට පෝලිමක හිටගෙන ඉන්නවා කුරුල්ලා දැක්කා. එන්න එන්නම ඒ පොලිමේ දිග වැඩි වෙලා. මේ මොහොත වන විටත් පෝලිමට මිනිසුන් එකතුවෙමින් පවතිනවා කුරුල්ලා වේදනාවෙන් බලා හිටියා.
කුරුල්ලා දැක්කා ඒ හැම කොනක්ම අතේ අතුරුදහන් වුණු සාමාජීකයින්ගේ පින්තූරයක් තිබුණා.ඒ පින්තූරය අතේ තියාගෙන ඉන්න හැම මනුස්සයෙක්ගේම මූණූ දිහා කුරුල්ලා එබිලා බැලුවා. කුරුල්ලා දැක්කා ඒ හැම මූණකම කකියන වේදනාවේ රේඛාවන් ඇඳිලා තිබුණා. සමහර අැස්වල කැටි ගැහුණු කඳුළුවල සීතල කුරුල්ලටත් දැනුණා. ඒ හැම මනුස්ස මුණක්ම සිය අහිමි වුණු ආදරණීයයන් පිළිබඳ කතාවක් ලියවිලා තිබුණා. කතා එකෙන් එක කුරුල්ලට ඇහෙන්න පටන් ගත්තා. ඒ හැම කතාවක්ම සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානී, බර්ගර්, හඬවල් දෝංකාර දුන්නා. එත් ඒ හැම හඬකම තිබුණු මිනිස් හඬ කුරුල්ලට ඇහෙන්න පටන් ගත්තා. කුරුල්ලට ආදරණීයයන් ගෙන් වෙන් වුණු හැම මනුස්සයෙක්ගේම හදවත් ගැහෙන හඬ ටිකෙන් ටික දැනෙන්න පටන් ගත්තා. ඒ හඬ උස් උස් ව ඇහෙන තරමටම කුරුල්ලා මිනිස්සුන්ට ළංවුණා. මිනිස්සු කුරුල්ලට තමන්ගේ කතාව කියන්න පටන් ගත්තා.
කුරුල්ලා පියාඹලා පියාඹලා තල් වැටක වැහුවා. තල් වැට අද්දර පොල්රුප්පාවේ කොනක වාඩිවෙලා තාත්තා කෙනෙක් එයාගේ පුතා එනකන් පාර දිහා බලා ඉන්නවා කුරුල්ලා දැක්කා. කුරුල්ලා හෙමින් හෙමින් ළං වෙනවත් එක්කම තංගරාජා එයාගේ කතාව කියනන්න පටන් ගත්තා.
“පුතා විශ්වවිද්‍යාලෙ ඇරිලා ගෙදර ආවා විතරයි. ඒත් එක්කම වගේ සුදු වෑන් එකක් ඇවිත් ගේ ඉස්සරහා නතර කරා. මිනිස්සු අට දෙනෙකුට වැඩිය වෑන් එකෙන් එළියට බැහැලා ගේ ඇතුළට දුවන්න පටන් ගත්තා. ඒ හැම කෙනාගේම අතේ කුවක්කු තිබුණා. මම පුතාව පිටිපස්සට දාලා ඉස්සරහට ගියා. ඒ අයගෙන් එක් කෙනෙක් කිව්වා පුතාගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා කියලා. පුතාව දැන් අරන් ගිහින් ඉක්මනට ගෙදර එවන්නන් කියලා පුතාව අරගෙන ගියා. එදා ඉඳන් මං තාමත් බලා ඉන්නවා. අදට අවුරුදු දාහතක් වෙනවා මගේ පුතා තාමත් ගෙදර ඇවිත් නෑ. එයාගේ නම රාමචන්ද්‍ර තංගරාජා. පුළුවන් හැම තැනකම හෙව්වා එත් පුතා හම්බවුණේ නෑ. කුරුල්ලා ඇහුන්කන් දීගෙන ටික වෙලාවක් පාර දිහා බලා හිටියා. එත් කවුරුවත් ආවේ නෑ.
කුරුල්ලා පියාඹලා ගෙයක් ගාව තිබුණු ඉනි වැටක වැහැව්වා. ඉනි වැට අද්දරට වෙලා පාර දිහා බලා ඉන්න සුභාව කුරුල්ලා දැක්කා. කුරුල්ලා දැක්ක හැටිය සුභාගේ කතාව කුරුල්ලට කියන්න පටන් ගත්තා.“එදා වෙනදටත් වැඩිය ඉක්මනට ඉර බැහැලා ගියා. රෑ 9 වෙනවත් එක්කම ගේ පිළිකන්නෙන් අඩි සද්දයක් ඇහුණා. මහත්තයා, දුවයි, පුතයි කාමරේට දාලා දොර වැහුවා. මම ඉක්මනට ගෙදර ලයිට් ඔක්කොම නිමන්න පටන්ගත්තා විතරයි. අඩි සද්දේ එන්න එන්නම වැඩිවෙලා හැම පැත්තකින්ම ඇහෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ගෙදර දොරවල් කඩාගෙන කළු ලෝගු පේරෝ ගත්තු මිනිස්සු ගේ ඇතුළට පැන්නා. ඒ හැම මනුස්සයෙකුගේම ඇස් විතරයි පේන්න තිබුණෙ. ඒක මනුස්සයෙක් මගේ මහත්තයගේ බෙල්ලට කිනිස්සක් තියලා කළුපාට උරේකින් මුණ වැහුවා. ඒ හැමෝගෙම අතේ මොනවා හරි ආයුධයක් තිබුණා. සමහරු අතේ කිනිසි, තවත් කෙනෙක්ගේ කඩු තිබුණා. ඒත් එක්කම කළු පාට ජීප් එකක් ගේ දොරකොඩටම ඇවිත් නතර කරනවා මම දැක්කා. ජීප්එක ඇතුළේ මූණු ගැට ගහපු මින්ස්සූ එක පොදියට දාලා හිටියා. ඒ කවුරුවත් වචනයක්වත් කියනවා මට ඇහුන් නෑ. මට කෑ ගැස්සුනා එකපාරටම ඒ මිනිස්සු මගේ කට තදකරලා අල්ලගෙන මගේ මහත්තයව උඳුරගෙන ගියා. එදා ඉඳන් අවුරුදු විසිපහක්, මම තවම බලා ඉන්වා මහත්තයා ගෙදර එනකං”. කුරුල්ලගේ හදවත කකියන්න පටන් ගත්තා.
ඒත් එක්කම කුරුල්ලා දැක්කා. සමහර තැනක අතුරුදහන් වුණු මිනිසුන්ගේ ඡායා මාත්‍රයක සටහන් පොළොව මත ඇඳිලා තියෙනවා. ගම්මානවල හංදි මත පිළිස්සෙන ටයර් උඩ දැවි දැවී තිබුණෙත්, තව තැනක ගහක අත්තක එල්ලිලා තිබුණෙත්, පෝර උරයේ ගැටගසා තිබුණෙත්, සුරීය කන්දේ වළ දමා තිබුණෙත් අතුරුදහන් කළ මිනිසුන්ගේ සිරුරු නේද? කියලා කුරුල්ලා වේදනාවෙන් බලා හිටියා.
කුරුල්ලට හම්බවුණා සැරිසරන මිනිසුන්. ඔවුන් ගේ ආත්මය දිහා කුරුල්ලා බලාගෙන කල්පනා කරන්න පටන් ගත්තා. නියපොතු ගලවපු අත්වලින් තව බෝහෝ අකුරු ඉපදෙන්න තිබුණා. ප්‍රඥාව විහිදන්න සිටි හිස් මතට පහර පිට පහර වැදුණා. මේ පොළොව සරු සාර කරන්න සිටි බොහෝ සැබෑ මිනිසුන් අවාසනාවන්ත ලෙස සඟවලා දාලා තියෙනවා කුරුල්ලා දැක්කා.
කාලයට හසු නොවුණු සත්‍ය මහ පොළොව මත නොනිදා බලා හිටියා. ඒ බොහෝ තැන්වල මහා පොළොවේ ගස් වැල් පවා පැළවිලා තිබුණා. සමහර තැනක පස් යට සැඟවූ සත්‍ය නැවත ගොඩ අරන් තිබුණා. ඒ ගොඩගත් සාක්ෂි, කිසිදු සාක්ෂියක් නොතබාම නැවත නැවතත් අතුරුදහන් වෙමින් තියෙනවා කුරුල්ලා දැක්කා. ගංඟාවල සැඟවුණු සත්‍ය දරා ගෙන ගං දිය නිහඬවම මුහුදට ගලාගෙන යනවා. මහ මුහුදේ සඟවපු සත්‍යයේ සාක්ෂි, සමහර තැනක මුහුද විසින්ම වෙරළ මතට ගෙනැවිත් තිබුණා කුරුල්ලා දැක්කා.
මිනිස්සු අතුරුදහන් වෙලා තිබුණේ ගංගාවන් ඇතුලේ, මුහුද ඇතුලේ, පස් කඳු ඇතුලේ, දිය ඇලි ඇතුලේ, විතරක් නෙමෙයි. කුරුල්ලා පොළොවට ළං වෙන්න ළං වෙන්න තවත් සමහර බිමක, විශ්වවිද්‍යාලවලත්, පාසල් තුළත්, ආයතන තුළත්, ගෙවල් තුළත්, කාමර තුළත් මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවා පෙණුනා. සමහර මිනිස්සුන් තුළත් මිනිස්සු අතුරුදහන් වෙලා තියෙනවා පොළොවට හුඟක් ළංවෙන විට කුරුල්ලට පේන්න ගත්තා. ඒ හැම දෙයක්ම දරාගෙන කුරුල්ලා බොහොම සෙනෙහසින් මිනිස්සුන්ට ළංවෙලා ෙමහෙම කිව්වා.
“හැම මිනිසකුටම මිනිසකු ලෙසින් හුස්මක් ගන්න ඉඩදෙන්න. හැම දෙනාගේම හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න ඉඩ අරින්න. එවිට මේ බිමේ සැබෑ මිනිසුන් ඉතිරිවනු ඇත, එදාට මුළු විශ්වයම මේ බිමට පෙම් කරනු ඇත”.
ඩිලූෂා නදීකමාලී