සයිටම් විරෝධීන් එදා හැංගුණේ ඇයි? | Page 18 | සිළුමිණ

සයිටම් විරෝධීන් එදා හැංගුණේ ඇයි?

 සයිටම් සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ඔවුන් විසින් එකඟ නොවූ යෝජනා රජයේ ස්‌ථාවරය ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා අනිවාර්යයෙන්ම ඉදිරි දිනවල යළිත් වැඩ වර්ජනවල නිරත වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය. නමුත් මේ වන විටත් සයිටම් විරෝධී අරගලයෙහි පසුපස සිටින දේශපාලන අත පෙවීම් පිළිබඳ ඇතැම් වෛද්‍යවරුන් කළ කිරීමට පත්ව තිබේ. එනිසා මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මධ්‍යස්ථ වෛද්‍ය වරුන්ගේ විරෝධය එල්ලවෙමින් තිබේ. ඇත්තෙන්ම වෛද්‍ය වෘත්තිකයන් අසරණ රෝගීන් බිල්ලට ගනිමින් මෙවැනි ක්‍රියාවල නිරත වීම කිසිසේත් අනුමත කළ නොහැකිය. මේ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා ඔවුන් පසුපස යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිබඳව ගැටළු රැසක් මතුව තිබේ. ඔවුන්ට අනුව මේ ප්‍රශ්නය විසඳීමට ඇති එකම විසඳුම ‘සයිටම්‘ ආයතනය අහෝසි කිරීමය. එහෙත් මුල දී මෙම ගැටළු සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එවැනි ඉල්ලීමක් කර තිබුණේ නැත. සයිටම් අහෝසි කිරීම ඔවුන්ගේ සටන් පාඨය බවට පත් වූයේ මේ ඊනියා සටන පටන් ගෙන ටික කලක් ගත වූ පසුවය. එය පැහැදිලි ව ම කිසියම් දේශපාලන හස්තයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නතුවීමකි. මේ පිළිබඳව පැතිරයන කට කතා අනුව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැමුන් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වී මැති ඇමතිවරුන් හා ලේකම්වරුන් වීමට බලාපොරෙත්තුවෙන් සිටින බවත්, එසේම මෙම ක්‍රියාවලිය මඟින් වඩා ජනප්‍රියත්වය දිනාගන්නා අයකු ඉදිරි ජනාධිපතිවරණයේදී ඊට සහභාගි කර වීමේ අපේක්ෂාවක් පවතින බවත් දැන ගන්නට ලැබේ. මේ අනුව බලන කළ මෙය හුදු සයිටම් විරෝධයකට වඩා දේශපාලන අරගලයකට ඌණනය වෙමින් තිබේ.

සයිටම් වෛද්‍ය අධ්‍යාපන ආයතනය ඇති කළේ පහුගිය ආණ්ඩුවය. එවකට අමාත්‍යවරයකුව සිටි එස්. බී. දිසානායක මහතා ගෙනා මේ පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අද දැඩි සයිටම් විරෝධියකු ලෙස පෙනී සිටින දිනේෂ් ගුණවර්ධන මහතාය. එනිසා මෙහි වගකීම අද ඒ වෙනුවෙන් විරෝධය දක්වන පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරුන් සියලු දෙනා බාරගත යුතුය. එසේ නැතිව එහි වගකීම අනෙකකු මත පවරා කිසිවකුටත් ඇඟ බේරාගත නොහැකිය.

එදා ඔවුන් අවංකව එයට විරුද්ධ වූවා නම් (එසේ සිදු කළේ නම් තමන්ට මුහුණ පෑමට සිදුවන තත්ත්වය කුමක්දැයි ඔවුහු ඉතා හොඳින් දැන සිටියෝය) ඒ බව රටට හෙළි කර ඇමති කමින් ඉල්ලා අස්විය යුතුව තිබිණි. නමුත් එවැනි සදාචාරවත් රාජ්‍යත්‍රාන්තිකයකු මෙරටින් සොයා ගැනීම කළුනික සෙවිමකටත් වඩා අසීරුය. අනෙක් අතට එය “එස්.බී ගෙනා පනතක්ය, මම කළේ එය ඉදිරිපත් කිරීම පමණක් බව“ දිනේෂ් ගුණවර්ධන මහතාට කිව නොහැකිය. කෙසේ හෝ සයිටම් සුජාත කළේ පහුගිය ආණ්ඩුවය. එනිසා මහින්ද රාජපක්ෂ මහතා සයිටම් උප්පැන්න සහතිකයට පියා ලෙස නම ලබාදී අවසන්ය. මේ නිසා සයිටම් ප්‍රශ්නය විසඳීමේදී වත්මන් රජය සමඟ වඩා වගකීමකින් කටයුතු කිරීම ඒකාබද්ධ විපක්‍ෂය සතු යුතුකමකි. අද උගුරට හොරා බෙහෙත් බොන්නට උත්සාහ කරන ඒකාබද්ධ විපක්‍ෂය, සයිටම් දරුවා අවජාතක කරන්නට කොතෙක් වෑයම් කළ ද එය ගලේ පහරපු බළලාට සිදු වූ ‍දේ හා සමානය. මේ වන විටත් ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙනීම සඳහා මෙරටින් පිටව ගොස් සිටින අතර, බටහිර රටවල වෛද්‍යවරුන් වෛද්‍යවරියන් ලෙස සේවය කරන අයද ඒ අතර සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ සිසුනට පහර දීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන්නකුට කිසිසේත් අනුමත කළ නො හැකිවා සේම එහි කඩා වැදී රජ්‍ය දේපලවලට හානි සිදු කිරීම ද කිසිසේත් අනුමත කළ නොහැකිය. ඔවුන් සතුව පෙරටුගාමී චින්තනයක් තිබුණේ වී නම් කෙදිනකවත් ජනතා බදු මුදලින් ගොඩනැගූ රාජ්‍ය ආයතනයක දේපලවලට මෙලෙස හානි පමුණුවන්නේ නැත. එමගින් ඉස්මතුව පෙනෙන්නේ ඔවුන්ගේ චින්තනයේ පවතින දිළිඳු බවය. රෝහණ විජේවීරගේ (ජ.වි.පෙ නිර්මාතෘ) කැරලි කාරිත්වය දේශපාලනමය වශයෙන් අසාර්ථක භාවයට පත්වූයේ ද මෙවැනි අදූර් දර්ශී ක්‍රියා මාර්ග නිසාය. 88-89 භීෂණ සමයේ ලංගම බස් ගිනිතබමින්, ට්‍රාන්ස්ෆොමර් විනාශ කරමින්, රජ්‍ය ආයතනවලට පහර දෙමින් කළ අත්තනෝමතික අමනෝඥ ක්‍රියාවන් සිදු නොවන්නට අදටත් ඔහු ඇතුළු දහස් ගණනක් ජීවතුන් අතරය. කෙතරම් රසවත් කතා ජ.වි.පෙ වේදිකා අසල රැස්වී ඇසුවද ජ.වි.පෙට අදටත් ජනතාව ඡන්දය නොදෙන්නේ මේ හේතුව අවිඥානිකව බලපැවැත්වෙන නිසාය.

අද අන්තරය මෙහෙයවන පුබුදු ජාගොඩ ප්‍රකාශ කරන්නේ තමන් බුද්ධි අංශයේ කණින් රිංගා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වූ බවය. එය තරුණ ගැටවුන්ට ත්‍රිල් එකක් ලබාදිය හැකි ගාමක ප්‍රකාශයක් වුවද එහිදී සිසුන් පහර කෑමට ලක්වූ තරම දකිනවිට ඔහුගේ මේ ප්‍රකාශයේ ඇති මුග්ධකම මොනවට ප්‍රදර්ශනය වේ. අනෙක් අතට ඔහු පවසන්නේ සෞඛ්‍ය ඇමැති හමුවී සාකච්ඡා කිරීම සඳහා වෙලාවක් ලබා ගෙන තිබුණ බවය.

එසේ වෙලාවක් ලබා ගෙන තිබුණා නම් ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැන නොසිටියේද? එසේ නම් මේ ව්‍යංගයෙන් කියන්නේ තමා දැන දැනම සිසුන් පහර කෑමට සැලැස්වූ බවද? එසේම අද උද්ගතව පවතින සයිටම් ප්‍රශ්නය රාජපක්ෂ සමයෙහි කරලියට නොපැමිණියේ මන්ද යන ගැටලුව තවමත් නො විසිඳුනු පැනයකි. එසේ වී නම් කලළය මෝරා වැඩෙන්නටත් ප්‍රථම ගබ්සා කරන්නට මේ සා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු නොවනු ඇත. එදා මහින්ද රාජපක්‍ෂ මහතා සයිටම් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන විට අද වීරයන් වී කතාදමන නායකයින් සිඟාලයන්ව දුර්මුඛව සිටියේ කිසියම් භිෂණයකට ගොදුරුව සිටි නිසාද? නැති නම් තම පසුගාමී චින්තනයට ගාමකයක් වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා මෙය ඔඩු දුවන්නට ඉඩ දී එය වර්ධනය වූ පසු ඊට එරෙහි වීම හොඳ අවස්ථාවක් ලෙස ගණන් බැලූ නිසා දැයි ප්‍රශ්න කර සිටිමු.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ‘සයිටම්‘ ආයතනය වහකදුරු වී ඇත්තේ ඇයිද යන්න මඳක් විමසා බැලිය යුතු කාරණයකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිදහස් අධ්‍යාපනය රැකගැනීමට යැයි කියමින් මීට විරුද්ධ වන්නේ කුමකට ද, ඔවුන් පෞද්ගලික ව්‍යවසායන්ට විරුද්ධ නොවන බව පෞද්ගලික රෝහල්වල සේවයේ නිරත වීමෙන්ම පෙන්නුම් කරන කාරණයකි. මේ වෛද්‍යවරුන් පෞද්ගලික අධ්‍යාපනයට කිසිසේත්ම විරුද්ධත් නැත.

අද රටේ පෞද්ගලික අධ්‍යාපන පාඨශාලා ඕනෑ තරම් තිබේ. ටියුෂන් පන්තිවල සිට ජාත්‍යන්තර පාසල් දක්වා මේවා විස්ථාපනය වී ඇත. ඇතැම් වෛද්‍යවරුන්ගේ දූ පුත්තුද මේ පුද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනිමෙහි නිරතව සිටිති. ඇතැම් වෛද්‍යවරුන්ගේ දූ දරුවෝ වෙනත් රටවල පෞද්ගලික විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාව ඉගෙනීමේ නිරතව සිටිති. එලෙස වෛද්‍ය විද්‍යාව හදාරා ආපසු පැමිණ ඇක්ට් 16 පරික්‍ෂණයට පෙනී සිටිමට මෙරට රෝහල්වල අයථා මාර්ග ඔස්සේ සායනික පුහුණුව ලබා ගත් අයද සිටිති. මේ පරීක්‍ෂණයට සිසුන් පුහුණු කරන පෞද්ගලික විද්‍යාල ද කොළඹ පිහිටා තිබේ.

මීට වෛද්‍යවරුන්ගේ සංගමය හෝ ඒකාබද්ධ විපක්‍ෂය හෝ ජ.වි.පෙ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂ්‍ය හෝ මෙතෙක් විරුද්ධත්වය ප්‍රකාශ කර නැත. එනිසා සයිටම්වලට විරුද්ධව කටයුතු කිරීම හාස්‍ය දනවන්නකි. අනෙක් අතට රජයේ වෛද්‍ය විද්‍යාලවල වෛද්‍ය උපාධිධාරීන්ට ලැබෙන්නේ තාවකාලික ලියා පදිංචියකි. ඒ බව අප අමතක නො කළ යුතුය. ඔවුන්ට ස්ථිර ලියා පදිංචිය හිමිවන්නේ සීමාවාසික ව ප්‍රමාණවත් සායනික පුහුණුවකින් අනතුරුවය. එතෙක් ඔවුන්ට වෛද්‍යවරුන් ලෙස සේවය කළ නොහැකිය. එයින් ගම්‍ය වන්නේ ඔවුන් ලබාගන්නා උපාධිය ප්‍රමිතියෙන් අඩු බව ද? සයිටම් උපාධිධාරීන්ගේ සායනික පුහුණුව ප්‍රමාණවත් පරිදි සිදු කිරීමට තාවකාලික ලියා පදිංචිය දීමෙන් අනතුරුව වුව හැකියාව තිබේ. අවශ්‍ය නම් ඒ සඳහා අවුරුදු එකහමාරක සීමාවාසික පුහුණුවක් සයිටම් උපාධීධාරීන් සඳහා යොජනා කළ හැකිය.

මෙතෙක් ලබාදී ඇති පර්යේෂණ වාර්තා අනුව සයිටම් සෛද්ධාන්තික පුහුණුව ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය සභාවේ පිළිගැනීම වී තිබේ. එසේ තිබියදී මෙවැනි මුග්ධ ක්‍රියා සිදු කරන්නේ, වෙනත් රටවල විශ්ව විද්‍යාලවලින් ලැබෙන ඩොලර් කුට්ටි නිසා යැයි ඇතැමුන් නගන චෝදනා බැහැර කළ නොහැකිය. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාව විසින් පිළිගෙන ඇත්තේ ඔවුන්ට පුහුණුව සඳහා රෝහලක්වත් නොමැති පසුබිමකය. මේ මඟින් වෛද්‍ය සභාවේ දෙබිඩි පිළිවෙත මනාව ප්‍රදර්ශනය වීමකි.

වෛද්‍යවරුන්ට මෙලෙස හදිසියේ සයිටම් භීතිකාව ඇති වූයේ ඔවූන්ගේ පොකැට්ටුවට මෙය බලපානු ඇතැයි පවතින අනියත බිය නිසාදැයි සැකයක් මතුවේ. මන්ද එසේ වුවහොත් එම වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ලබා පැමිණෙන වෛද්‍යවරුන්ට ආණ්ඩුවේ රෝහල්වල රැකියා අවස්ථා ලැබීමට පවතින ඉඩ සීමිතය. ඔවුන්ට වැඩි ඉඩක් ලැබෙන්නේ පෞද්ගලික රෝහල්වල සේවය සඳහාය. එසේ වන විට දැන් රජයේ රෝහල්වල සිටින වෛද්‍යවරුන්ගේ චැනල් සේවා සඳහා ලබාදෙන දායකත්වය බොහෝ සෙයින් සීමා වීමට ඉඩ තිබේ.

එසේම මේ රෝහල්වල පැය 24 ම සේවයේ නිරත විය හැකි මට්ටමේ වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් මේ නිසා නිර්මාණය විය හැකිය. එය චැනලින් සේවයේ නිරත වූවන්ට සුභදායක තත්ත්වයක් නොවේ. එසේම ගම් නගර ආශ්‍රිතව උදෑසන, සවස සිට රාත්‍රිය දක්වා වෛද්‍ය සායන පවත්වාගෙන යන්න වුන්ටද හිතකර නොවේ. එසේම දැන් අය කරන සේවා ගාස්තුවද පහළ දැමීමට සිදුවේ. එබැවින් මොවුන්ට සයිටම් යනු විෂබීජයකි. සිය පොකැට්ටුව පැහැර ගන්නා සොරදෙටුවෙකි. එනිසා මාස ගණනක් හෝ වර්ජනය කර මේ විපත්තියෙන් ගැලවිය යුතුය.

එසේම මෙරට වෛද්‍ය වෘත්තිකයින් එතරම් සුවිශේෂීව තම විෂය සඳහා කැපවූ පිරිසක් නොවේ.

වෙනත් රටවල මෙන් කිසිදු නව පර්යේෂණයක් මොවුන් අතින් සිදු වී නොමැත. කොටින්ම මෙරටට ඉතාම දරුණු අන්ඳමින් බලපා ඇති ඩෙංගු රෝගය සම්බන්ධයෙන් හෝ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වය පිළිබඳව හෝ සාධනීය පරීක්ෂණයක් මේ දක්වා සිදු කර නැත. එනිසා ඔවුන් සාමාන්‍ය මිනිසුන් මෙන් ස්වාර්ථය සඳහා කැපවූවන් බව රෝගීන් අසරණ කරමින් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියාමාර්ගවලින් මනාව ඔප්පු වේ. ඔවුන් ඩෙංගු (ඩෙංගි) රෝගයට ගොදුරු වූවන්, ඇතැම් විශේෂිත රෝගීන් හා දෛනිකව පැමිණෙන රෝගීන් අපහසුතාවයට හා අසරණ භාවයට ඇද දමන්නේ කිසිදු ලෙව්පපු කමක් නැති ධනපති කළුකඩ මුදලාලිලා මෙන්ය. මෙවැන්නන් කම්කරුවන් ලෙස සිය අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කිරීම ජුගුප්සා ජනකය. එය විධායක නිළධරයකු ලෙස සේවය කරන්නකුගේ භූමිකාවෙන් බැහැරව සිදු කරන ප්‍රයෝගයකි. එයත් ජනතාව වෙනුවෙන් නොව ස්වාර්ථය සාදනය සඳහාය.

ආණ්ඩුව පැත්තෙන් ගත් කල සයිටම්වලට ඉඩ නොදී සිටීමට කිසිදු හේතුවක් ඔවුන්ට නැත. ඔවුන්ට අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය අනුව ඊට මං ඇහිරීම විශාල විපත්තියකට අතපෙවීමකි. මෙතෙක් කාලයක් විදේශ රටවලින් ලබාගත් ණය මුදල් ගෙවීම සඳහා තව තවත් ණය වීමට ආණ්ඩුවට සිදුවිය.

ස්වාභාවික විපත් හමුවේ භයානක ආර්ථික අර්බුදයට මැදිව ඉන් ගොඩ ඒම සඳහා විවිධ රටවල් සමඟ ආර්ථික ගිවිසුම්වලට එළඹෙමින් නොතිත් උත්සාහයක ආණ්ඩුව නිරත වන්නේ ඒ නිසාය. මෙරටින් බැහැරට යන මුදල් නතර කර මෙම ආර්ථික අර්බුධයෙන් යන්තමින් හෝ ගැලවීමට සටයිටම් යනු එක්තරා විකල්ප මාර්ගයකි. එය මහා පරිමාණ විසඳුමක් නොවූවත් මෙරටින් පිටරටවලට ගලායන විදේශ විනිමය රැක ගැනීමට දරණ උත්සාහයකි. එනිසා ඊට එරෙහි වෙමින් ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට වෙර දරන්නේ කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් මේ පිටුපස තිබෙන නිසාදැයි සැක සංකා ඇති වේ.

එසේම විශාල ණය බරකින් හෙම්බත්ව සිටින අප වැනි රටකට උසස් පෙළ සමතුන් සියල්ලටම සරසවි වරම් හිමිකර දීමට රජයේ මැදිහත්වීම අපේක්ෂා කිරීම යථාර්ථවත් නොවන්නකි.

එනිසා පුද්ගලික විශ්ව විද්‍යාල හෝ ඇති කර ඊට ඉඩහසර ලබා දීම වගකිවයුතු රජයක යුතු කමකි. වෙනත් රටවල පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කිසිදු ලාභ අපේක්ෂාවක් නොමැතිව පුණ්‍ය ආයතන (පුණ්‍ය ආයතනයක් කීවද මෙය පවත්වාගෙන යාම සඳහා මූලික ගෙවීමක් සිදු කළ යුතු අතර, මීට අමතරව එරට තුළ සිටින කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් මේ සඳහා ආධාර ලැබීම උපකාර ලැබේ) ලෙස පවත්වාගෙන යනු ලබන විශ්ව විද්‍යාල පවතින බව සත්‍යකි. එසේම සයිටම් ආයතනයද එවැනි පුණ්‍ය ආයතනයක් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද දැනගන්නට ලැබේ.

එමෙන් ම අන්තර්ජාතික විශ්වවිද්‍යාලවලට අනුබද්ධ අධ්‍යාපන ආයතන ඇති කර වෛද්‍ය උපාධි මෙන්ම අනෙකුත් විෂයන් සඳහා උපාධි ලබා දීමට රජය ක්‍රියා කරන්නේ නම් අප ඊට සහය දැක්විය යුතුය. මන්ද පෙර සඳහන් කලාක් මෙන් එමගින් මෙරටින් පිටරටවලට ඇදීයන මුදල් ඉතිරි කර ගත හැකි සේම ,අසල්වැසි රටවල සිසු සිසුවියන් සඳහා මේ අධ්‍යාපන ආයතන විවෘත්ත කර විදේශ විනිමයද උපයාගත හැකිය.

එමඟින් ආසියාවේ දැනුම් ‍කේන්ද්‍රස්ථානය බවට මේ රට පත් කිරීමේ රජයේ අරමුණ සාක්සාත් කර ගැනීමට ද හැකිය. එහි ප්‍රතිලාභ හිමිවන්නේ වෙන කාටවත් නොව මේ රටේ ජනතාවටය.

රසික කොටුදුරගේ
සේයාරුව - දුෂ්මන්ත මායාදුන්න

Comments

Rasika mahathmaya lassanata lipi liwwata madi prashne gana oba thumage danuma nam.anthinayi Oba thuma kamathida oba thumage ammawa thaththawa saitm dr. Kenek lagata ekan yanna? Ekath sadahan karannko lipiyema

Rasika mahathmaya lassanata lipi liwwata madi prashne gana oba thumage danuma nam.anthinayi Oba thuma kamathida oba thumage ammawa thaththawa saitm dr. Kenek lagata ekan yanna? Ekath sadahan karannko lipiyema

පිටු