වෛරී වන්දනාවෙන් දඩයම් වන ප්‍රේමය | සිළුමිණ

වෛරී වන්දනාවෙන් දඩයම් වන ප්‍රේමය

ඈන් ගෙදර පැමිණියේ මහ කලබලයකිනි. ‘පොත් බෑග් එකත් අරගෙන කාමරයට ගියා ගියාමයි. කෝ... මේ ළමයාට අද මොක ද වුණේ?‘

මලී නොනවත්තවාම ඈන් ගේ නම කියමින් කෑගසන්න පටන් ගත්තාය. එහෙත් ඈන් කිසිවක් කණට ගත් බවක් පෙනෙන්නට නොවීය. ගත වූ හෝරා කීපය නිහඬව ගතවී ගියේය. යළි ඈන් දක්නට ලැබුණේ සවස තේ මේසෙදීය.

‘ඇයි අද දවල්ට කෑවේ නැත්තේ?‘

‘මට කන්න බැහැ කියලා හිතුණා.‘

මලී තම දුවගේ අකීකරුකම නිසා මඳක් කිපී ගියාය.

‘එහෙම පුළුවන්ද ඔයාට ඕනේ ඕනේ ඒවා කරන්න. ගිහිල්ලා දැන්වත් බත් කන්න.‘

මේ කිසිවක් නිසා ඈන් කලබල නොවීය. ඇය තේ කෝප්පයත් රැගෙන ගියේ රූපවාහිණිය ඉදිරිපිටටය.

‘මට ඊයේ නාට්‍ය බලන්න බැරි වුණා.‘

ඇය අත පසු වූ නාට්‍ය බැලීමට සැරසුණාය.

‘දරුවෝ කෑම කන්නේ නැද්ද?‘

මලී දෙවරක් තුන්වරක් කීවද ඈන් කිසිවක් ගණන් ගත් බවක් නොපෙනුණි.

‘ඇයි දරුවෝ අම්මා කියන දේ අහන්නේ නැත්තේ.‘

මලීගේ කෑගැසීමට මැදිහත් වූ නැන්සි ඈන්ට අවවාද කරන ස්වරූපයෙන් ඇසුවාය.

‘අනේ අත්තමේ අත්තම්මා, අත්තම්මාගේ වැඩක් බලාගන්න. හෙට ඉස්කෝලේ යාළුවෝ මේ නාට්‍ය ගැන කතා වෙන කොට මට උඩ බලාගෙන ඉන්න ද කියන්නේ?

මොනවා ඉස්කෝලේ ළමයි නාට්‍ය ගැන කතා කරනවා?‘

නැන්සි පුදුමයට පත් වූවාය.

‘මං එක සැරයක් කිවුවා නේ. මට කරදර කරන්න එපා.‘

ඈන් ඇගිල්ලක් දිගු කරමින් කීවාය. නාට්‍යවල සිදුවෙන සිදුවීම් ඇයට මතකය. ඒ සියල්ල ඇය කටපාඩමින් කීවාය. බොහෝවිට ටෙලිනාට්‍යවල සිටින දුවක් වීමට ඇය උත්සාහ කළ බව නැන්සි දුටුවාය. ඈන්ගේ අංගචලනය ද ඒ සමානව වෙනස් වී තිබුණි.

‘අම්මා දන්නාවද චේතනා කළ දේ හරියටම හරි කියලා.‘

‘කවුද දුව චේතනා කියන්නේ?‘

ගවු ගණන් ටෙලිනාට්‍යයේ සෝමලතාගේ දුව නේ.

මලීට මේ සියල්ල එකම පිස්සුවකි. දුව ටෙලි නාට්‍යවල චරිත අදහාගෙන වැඩ කරයි.

‘දුව දන්නවද? වීර පුරන් අප්පු?‘

‘නැහැනේ අම්මා කවුද? ඒ‘

මලීට දැනුණේ ආත්මානුකම්පාවකි. තමාගේ දුව ඉස්කෝලේදී මොනවා ඉගෙනගන්නවා ද කියන හැඟීම ඇගේ සිතේ මුල් වරට ඇති විය.

‘දූ ඕවා හිතන්න එපා.‘

නැන්සි මලීගේ හිස අත ගෑවාය. නැන්සිට මලීගේ කුඩා කල සිහිපත් විය. එවැනි කාලයක් ඈන්ට නොලැබීම ගැන නැන්සිට ඇති වූයේ දුකකි.

එකල මලී පාසල් ඇරී ගෙදර ආවේ නැන්සිගෙන් කතාවක් අසන ගමන් බත් කන අදහසිනි. එවැනි සිදුවීම් දිගින් දිගටම නැන්සිට සිහිපත් විය.

‘අම්මා අද මට බත් කවන කොට දුටු ගැමුණු කුමාරයා ගැන කියන්න.‘

‘දුටුගැමුණු කුමාරයා කියන්නේ කාටවත් බය නැති කුමාරයෙක්. දන්නවද එයා තමයි රුවන් වැලි සෑය සැදුවේ.‘

‘ඇයි අම්මේ රුවන් වැලි සෑයට ස්වර්ණමාලි සෑය කියන්නේ?‘

‘ඒ කියන්නේ පුතේ ගැමුණු කුමාරය සෑයට ඒ නම තියන්න කියලා තියෙන්නේ ස්වර්ණ මාලි කියන දෙවඟන නිසා.‘

‘මං ආසයි දේවානම් පියතිස්ස රජතුමා මුව දඩයමේ ගිය කතාව අහන්න. එතකොට ද අම්මේ මිහිඳු හාමුදුරුවෝ හම්බු වුණේ. ?‘

මෙවැනි කෙළවරක් නැති ප්‍රශ්න අහන මලී ජන කතා රජ කතා ගැන දැන ගත් හැටි නැන්සිට සිහිපති විය.

‘මං පුතාට කියලා දුන්න තොප්පි වෙළෙන්දාගේ කතාව දැන් හොඳටම මතකද?‘

‘ඔව් මං ඉස්කෝලේ ළමයින්ටත් ඒක කියලා දුන්නා.‘

‘පුතා දන්නව ද? වෙළෙන්ඳා තමන්ගේ තොප්පිය ඉස්සෙල්ලා ඇයි විසි කෙරුවේ කියලා.‘

‘එයා හිතන්න ඇති වඳුරොත් ඒ දේම කරයි කියලා.‘

‘අන්න හරි, අද හුඟ දෙනෙක් අනිත් අය කරන දේ තමයි කරන්න පුරුදු වෙන්නේ. ඒත් තමන් කරන දේ දිහා අනිත් අයත් බලා ඉන්නවා කියලා හැඟීමක් තියෙන්නත් ඕනේ.‘

‘අපිට පුතේ ඒක තව විදිහකට හිතන්න පුළුවන්.‘

‘තමන්ගේ අතේ තියෙන දේ ලෝභ නැතුව ප්‍රේමයෙන් අනිත් අයට විසි කෙරුවහම අනිත් අය ඒ අයගේ අතේ තියෙන දේ අපේ පැත්තට ආදරෙන් විසි කරනවා.‘

‘අම්මා කියන කතාව ඇත්ත.‘

‘අපි ආදරය දුන්නොත් අපට ලැබෙන්නේ ආදරේමයි. අපි වෛරය දුන්නොත් අපට ලැබෙන්නේ වෛරයමයි.‘

බත් කන වෙලාවට නැන්සි කියා දෙන බොහෝ කතා මලී තම ජීවිතේට ඈඳා ගත්තාය.

‘පුතේ අකුරු ලියන කොට ලස්සනට ලියන්න. මං පුතාට කියලා තියෙනවා, මොනම දේකටවත් ඉක්මන් වෙන්න එපා කියලා. ඉක්මන් වුණොත් හති වැටෙනවා. මතකයි නේ හාවා හයියෙන් දිව්වා. වැඩක් වුණා ද නැහැ. මඟ නැවැතෙන්න වුණා. ඒත් ඉබ්බා හිමින් හිමින් දිනුම් කණුව ළඟට ගියා.‘

මලී නැන්සි දිහා බලා සිටියායා.

‘අම්මා එතකොට කියන්න මං හාවෙක් ද? ඉබ්බෙක් ද? කියලා‘

නැන්සිට හිනාව නතර කරගැනීමට නොහැකි විය.

‘පුතා හාවෙක් ද? ඉබ්බෙක් ද? කියන එක නෙවෙයි ප්‍රශ්නය. හැමදෙයක්ම හරියට පිළිවෙලට කරන්න ඕනේ කියන එක මතක තියාගන්න.

පුංචි ළමයි වුණහම තමන්ගේ නුවණින් තමන් හිතලා බලලා යමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.‘

මලී කුඩා කාලයේ රූපවාහිනී නැරැඹීම එතරම් ප්‍රිය නොකළාය. බත්කවමින් නැන්සි කියන කතාවක් අසා සිටිමට මලී ප්‍රිය කළාය. එක කතාවක් කීමෙන් පසු අතුරු ප්‍රශ්න ගොඩක් මලීට ඇති වුණි. නැන්සි මලීට කියා දුන් බොහෝ කතාවල දයානුකම්පාව, ප්‍රේමය, මෛත්‍රිය, ගැබ් වී තිබුණි. කතාවකින් ඒ දේ වටහා දීම පහසුයි. ඒ නිසාම ඒවා කුඩා මලීගේ හිතේ රැඳුණි.

දවසක් පාසල ඇරී ගෙදර ආව මලී පොත් බෑගය මේසය මතට දමා දුව ආවේ නැන්සි අසලටය.

‘මට අහන්න දෙයක් තියෙනවා,

ඇයි නරියා මිදි තිත්තයි කිවේ?‘

සිදු වී ඇති දෙය එක පාරට සිතා ගැනීමට නැන්සිට නොහැකි විය.

‘ආ... නරියා මිදි ති..ත්තයි කිවේ එයාට මිදි කන්න බැරි වුණ නිසා. කන්න බැරි වුණා කියලා එයා මිදිවලට වෛර කළේ නැහැ. ඒක එපා කියලා ගියා.‘

‘ඒ කියන්නෙ, ලබා ගන්න බැරි දේවල්වලට වෛර කරලා වැඩක් නැහැ නේ ද?‘

‘ඇත්තටම ලබාගන්න බැරි දේවල්වලට වෛර කරලා වැඩක් නැහැ. අපි තියෙන දෙයින් තියෙන විදිහට සන්තෝෂ වෙන්න ඕනේ. එතකොට අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන්.‘

නැන්සි කියා දුන් කතා මලී ඇයගේ ජිවිතයට සම්බන්ධ කරගෙන තිබුණි.

කොකා නරියාගේ ගෙදර නෑගම් ගිය කතාව මලී වඩාත් සිත් ගත්තක් විය. කොකාට නරියා කෑමට අරාධනා කළත් කොකාට නරියාගේ ගෙදර භෝජන සංග්‍රහයට සහභාගි වීම පහසු නොවිය. ඒත් කොකා යාළුකම වෙනුවෙන් සියල්ල විඳ දරාගත්තේය. ඒ වගේම නරියාට ද ඒ අවස්ථාව ලැබුණී. කොකාගේ ගෙදර තිබුණ භෝජන නරියාගේ කෑමට නොගැළපුණි. ඒත් නරියා ද ඒ ආරධනාව පිළිගෙන භෝජන සංග්‍රහයට සහභාගි වූයේය. දෙදෙනාම මිතුරුකම වෙනුවෙන් තම තමන්ට සිදු වූ අපහසුකම් ඉවසුහ. එදා නැන්සි කියා දුන් කතාව නිසා යාළුවාගේ අඩුපාඩු ඉවසීමට මලීට හැකි වූවාය.

එහෙත් ඈන්ට එවැනි කතා කියා දෙන්නට කවුරුත් නැත. ඇය ඒවා අසන්නට ද කැමැති නැත. මලී අද ජීවිතය හඳුනාගෙන ජීවත් වෙයි. එහෙත් ඈන්ට ජීවිතය හඳුනා ගත හැකි වේද යන්න ප්‍රශ්නයකි.

Comments