ප්‍රේම දෝෂය හා මෛත්‍රී විප්ලවය | Page 3 | සිළුමිණ

ප්‍රේම දෝෂය හා මෛත්‍රී විප්ලවය

 මාරි අම්මා සහ නෝනා අම්මා මඟට බැස්සේ කතාව පිටමයි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ බණ පද එකිනෙක සිතින් මෙනෙහි කිරීම වෙනුවට සිතට නැගුණේ අලුත් ඕපදූපයක්. කොච්චර භාවනා කළත් සිත පිරිසුදුව තබාගන්න නෝනා අම්මාට නම් ලේසි නෑ. දෙන්නා ආගම් දෙකක වුණාට පන්සල පල්ලිය කියලා දෙන්නට වෙනසක් නෑ. ඒක ඒතරම්ම ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද ඉතින් හිතත් දුර ගමන් යන්න රුසියා නෙව.

‘‘ අනේ නෝනෝ මට නම් ප්‍රවෘත්ති බලන්න එපා වෙනවා“

මාරි අම්මා කතාවට මුල පිරුවේ මොකක් හෝ කයියක් දාගෙන ගියේ නැත්නම් පාළු නිසයි.

‘‘ ඇයි මාරියෝ ඔයාට විතරක් මටත් එහෙමයි.‘‘

මාරි අම්මාගේ පොඩි මුණපුරා ඉගෙනගත්තේ සයිටම් එකේ. ලොකු මුණුපුරා මෙඩිකල් කොලෙජ් එකේ. මේ දවස්වල ගෙදර යුද්ද පිටිය වගේ.

‘‘ලොකු කොල්ලා කියන්නේ කොහොම හරි දොස්තර කෙනෙක් වෙනවා කියලා. පොඩි කොල්ලා කියන්නේ දොස්තරලා බෙහෙත්වලට සල්ලි ගන්නවා නම් සල්ලි දීලා දොස්තර කෙනෙක් වුණහම මොකද කියලා. ගිය පාර එහා ගෙදර ඇගීගේ ඔපරේෂන් එක වැරැදුණා. ඇගී එලොව ගිහිං මෙලොව ආවා කිවුවාම, උන්දැගේ මනුස්සයා කිව්වේ තාම එලොව යන්න පාර කැපිලා නැහැ කියලා. ඒ වගේම ඕවට නඩු දාන එකත් බොරු වැඩක් ලු.‘‘

‘‘අනේ මන්දා ලොකු කොල්ලා කියනවා සයිටම් එපා කියලා.පොඩි කොල්ලා කියනවා ඕනේ කියලා. ඊයේ ලොකු කොල්ලා කියනවා අනේ අත්තම්මේ අපේ නිදහස් අධ්‍යාපනයට මොකක් වෙයිද කියලා. ඒකයිලු ඒ ගොල්ලෝ මේ සටන් කරන්නේ. පොඩි කොල්ලා කියනවා නිදහස් අධ්‍යාපනය හරියට තිබුණා නම් ටියුෂන් යන්න වෙන්නේ නැහැ කියලා. මං ඉතින් කාගේ පැත්ත ගන්න ද ? කියලා වෙලාවකට හිතෙනවා.‘‘

‘‘පොඩි කොල්ලා කියනවා එයා රුසියාවට ගෙවන්න හිතාගෙන හිටිය සල්ලිලු දැන් සයිටම් එකට ගෙවන්නේ.‘‘

‘‘ඒකත් නරක නෑනේද? ‘‘

මාරියෝ මැදින් පැනලා උත්තරයක් දුන්නා.

‘‘පොඩි කොල්ලා හැම තිස්සේම කියන්නේ මේ රටේ ඉරිසියාව වැඩි හින්දා දැන් එයාට රුසියා යන්නම හිතෙනවා කියලා.

කොල්ලො දෙන්නාගේ කතාවේ මැදට පැන්නේ නැති වුණාට මද්දුමී කියන හැම එකටම හිනාවෙනවා.‘‘

‘‘හැබෑවටම ආත්තම්මේ මේ දෙන්නා බුද්ධදාස රජ්ජුවන්ගේ කාලේ හිටිය නම් මොනවා වේවිද? රජ්ජුරුවෝ සර්පයන්ටත් බෙහෙත් කළා. හැබැයි දැන් සමහර කට්ටිය බොහෙත් කරන කොට සර්ප විස විතරක් නෙවෙයි අඬුවක් දෙකක් හරි ඇඟ ඇතුළේ.‘‘

‘‘අපෝ ඒ කාලේ විදිහට නෙවෙයි. අද ලෙඩ්ඩු වැඩියි. ඒ කියන්නේ සැපයුම ඉක්මවූ ඉල්ලුමක් තියෙන්නේ? අනේ ඇත්තටම කාගේ වරදින්ද ලෙඩ වැඩි වෙන්නේ? කියල කොල්ලන්ගෙන් ඇහුවහම දෙන්නාම කට පියා ගත්තා.‘‘

‘‘ගමේ අබරං සීයාට බුලත් අතක් දීලා වැන්දාම නාඩි අල්ලල උන්දෑ අපූරුවට ලෙඩේ කිවුවා. කපන්න කොටන්න සල්ලි ගත්තේ නැහැ. ඒත් දැන් ගිය ගමන්ම කියන්නේ අයින් කරන්න කියලා. අනේ අප්පොච්චියෝ මේවා කවද නතර වෙයි ද?‘‘

‘‘නෝනේ අම්මාට මතක ද? අපි කියෙව්ව ලෝකෝපකාරය. ඒ‍ කියන්නේ දරුවන්ට ශිල්ප දෙන්න ඕනේ වියතුන් සභා මැද ඉඳල කියලා. ඒත් අද අපි ශිල්ප දෙන්නේ බෝඩ් එල්ලගෙන පාර ඉන්න කියලා. අපේ ලොකු කොල්ලා කියන්නේ ඕකට විප්ලවය කියලා.‘‘

එතකොට ඇයි මාරියෝ අපේ පොඩි හාමුදුරුවෝත් ටී. වී. එකේ දියව් දියව් කියනවා කට්ටිය දැකලා තියෙනවා.

හා... හා... මාරියෝ කාටවත් ඇහෙන්න කියනවා එහෙම නොවෙයි ඕවා. එතකොට කියන්නේ පොඩි හාමුදුරුවෝ කියලා නෙවෙයි චීරව ධාරියා කියලා.

අනේ ඇත්තටම මං දැනගෙන හිටියේ නැහැ. අපෝ චීවර ධාරියෙකුට වුණත් වෛරය , හොඳ දෙයක් නෙවෙයි. මගේ සිත සසල වෙනවා නෝනා අම්මේ, බලන්න අපි දෙන්නා ආගම් දෙකක කියලා වෙනසක් නැහැ. පන්සලේ දේටත් උදව් වෙනවා. පල්ලියේ දේටත් උදව් වෙනවා. ඇයි අපිට සාමයෙන් සමගියෙන් දෙයක් විසඳගන්න බැරි. අද මිනිස්සු අතර ප්‍රේමයේ හිඟයක් තියෙනවා.‘‘

‘‘ඇත්තට මාරි අම්මා කියන එක ඇත්තම ඇත්ත තමයි.

ප්‍රේමයට , මෛත්‍රියෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන්.‘‘

මං මාරි අම්මාට පුංචි කතාවක් කියන්නම්. මේ තියෙන්නේ සද්ධර්ම රත්නාවලියේ මට්ටකුණ්ඩලී වස්තුවේ. ඒ මට්ටකුණ්ඩලී මැරෙන්න යන කොට බුදුහාමුදුරුවෝ දිවැසින් දැක්කා. දැකලා. වැඩියා. මට්ටකුණ්ඩලී දැක්කෙ බිත්තියේ වැටුණ බුදුහාමුදුරුවන්ගේ ඡායාව විතරයි. එයින් සිත පැහැදී මට්ටකුණ්ඩලී දිව්‍ය ලෝකේ ඉපදුණා. අන්න ඒකයි මං කිව්වේ එදා බුදුහාමුදුරුවෝ කළේ හිතේ විප්ලවය. ඇත්තටම එදා තිබුණේ මෛත්‍රී විප්ලවයක්. පස්සේ මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයෙක් වීම ගැන එයාගෙ තාත්තාටත් පුදුම හිතුණා. එතකොට තාත්තා ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා.

...මහණ ගොයුමාණෙනි, සරලුවක් පමණ කැඳ වේවයි, සැන්දක් පමණ බත් වේ ව යි, අන් කිසිවක් වේ ව යි, තොපට වේ ව යි, තොප ගේ සවුවන්ට වේ ව යි, දන් නොදී පේ ත් නොව බණ ත් නො අසා හුදක් තොප කෙරෙහි සිත් පහදවාගත් පමණකින් දෙව් ලොව ඉපැද දිව්‍ය සම්පත් ලබනනෝ ඇත්දැයි විචාලහ.

‘‘මාරියෝ මං ඔය කිව්වේ සද්ධර්ම රත්නාවලියේ තියෙන විදිහට. ඒ කියන්නේ සරලව කියනවා නම් කැඳ ටිකක්වත් බත් ටිකත් වත් බුදු හාමුදුරුවන්ටවත්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ටවත් නොදී , බණක් වත් අහන්නේ නැතුව බුදු හාමුදුරුවන් කෙරෙහි සිත පහදවා ගත් පමණින් දෙව් ලොව ඉපදුණ අය ඉන්නවාද? කියලා

ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ දේශනා කරනවා . ඇයි මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා එබඳු කෙනෙක් කියලා. මාරි අම්මාට තේරෙනවා නේ හිතේ විප්ලවය කොච්චර ද? හැම දේටම මුල් වෙන්නේ හිත. හිත හොඳින් තියෙනවා නම් මේ එක ප්‍රශ්නයක්වත් නැහැ. මං හිතන්නේ මේ චීවර ධාරීන් හිතේ විප්ලවය කරගන්න තවමත් බැරි වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක වැරැදි ආදර්ශයක්.මෛත්‍රීයෙන් කරන විප්ලවයෙන් කාටවත් ආයිත් හැරෙන්න බැහැ.‘‘

‘‘ මං නෝනා අම්මාට කතාවක් කියන්න ද? අපේ බයිබලෙන්.“

‘‘ හා කියන්න මං අහගෙන ඉන්නම්‘‘

විදීයේ ජේසුස් වහන්සේ වඩිනවා කියලා මිනිස්සු උන් වහන්සේගේ පස්සෙන් යන්න පටන් ගත්තා. එක් අන්ධ මිනිසෙක් ජේසුස් වහන්සේ ට හඬ ගැසුවා. දාවිත්ගේ පුත්‍රයා මට කරුණා කළ මැනවි. එවිට උන් වහන්සේ හැරී ඒ අන්ධ මිනිසාගේ දෑස මත දෙයත තැබූවා. ඒ මිනිසාට පෙනීම ලැබුණා. ඒ මිනිසාගේ හිතේ විප්ලවයක් ඇති වුණා. විශ්වාසය ඇති වුණා. ජේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන කිසිඳු සැකයක් තිබුණේ නැහැ. ඒත් අද මිනිසුන් ප්‍රේමය ගැන සැකය කරනවා. එකිනෙකාට අවිශ්වාස වන්තයි. මේ නිසා ප්‍රේමයත් දෝෂයක් වෙලා. මෛත්‍රිය සහ ප්‍රේමය ගැන හරි අවබෝධයක් තියෙනවා නම් මේ ප්‍රශ්න මේ හැටි උඩු දුවන්නේ නැහැ.

රූපාන්ති බුලත්සිංහල 

Comments