පුරවැසි දෙබිඩ්ඩෝ | Page 3 | සිළුමිණ

පුරවැසි දෙබිඩ්ඩෝ

නිවැරැදි වදන රටවැසියා ද පුරවැසියා ද යන්න කලකට පෙර විවාදයට තුඬු දුන් ගැටලුවක් විය. පුරයෙක - නගරයෙක - වැසියන් නො ව රටෙක වැසියන් මෙහි ලා ගැනෙන බැවින් රටවැසි යන්න ම නිවරැදි යැ යි අයෙක් කී හ. එ වුව ද, ඉංගිරිසියෙහි දු යෙදෙනුයේ ‘සිටිසන්’ (Citizon) යන්න නිසා පුරවැසි යන්න ම නිවැරැදි යැ යි අයෙක් කී . ඉංගිරිසිය සර්වතෝභද්‍ර බැවින් සිංහල දුබලයන් විසින් කළ යුත්තේ එයට ගැති වීම යි. එ හෙයින් පුරවැසියා ම නිවැරැදි විය යුතු යි.

දැන් සිටුනා අලුත් පුරවැසි පිරිසක් නම් ‘ද්විතව පුරවැසියෝ’ යි. ‘ද්විත්ව’ යනු හොඳ හරබර සකු වදනක් වුව ද කාටත් තේරෙන පිණිස ‘දෙබිඩි’ යි යෙදුම වරදක් නො වේ. මහෝරත්නයනුදු ‘ද්විත්ව’ ‘දෙබිඩ්ඩන්’ කළේ එ‍ හෙයින් වන.

දෙබිඩ්ඩන් අපි දනිමු, හොඳින් ම දනිමු. එ ද, දෙබිඩි පුරවැසියන් දැනගත්තේ ඉතා මැතෙක යි. එ නම් රටවල් දෙකෙක පුරවැසි බව ඇත්තෝ යි ඔවුනටත් එ රටත් සිටිය හැකි යි. මෙ රටත් සිටිය හැකි යි. එ රට පායන කලට මෙහි පැමිණ වැස්සේ හොඳ හැටි නාගත හැකි යි. මෙ රට පායන කාලයට එහි ගොස් හිම කෙළි ආදි නොයෙක් කෙළියේ - මෙ රට දී කළ නොහැකි නොයෙක් කෙළියේ - යෙදිය හැකි යි. අහෝ කො තරම් සැප ද?

මෙ බඳු දෙබිඩි පින්වතුනටත් නඩු වැටේ. දෙ බිඩි පුරවැසියනට පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි යැ යි අපේ ගරු අධිකරණය තීන්දු කරයි. අධිකරණ වනාහි යුක්තිය පසිඳලීමෙහි අග්‍රස්ථානය යි. එයින් කිසි දු විටෙක පක්ෂපාත හෝ අයුක්ති සහගත හෝ තීන්දුවක් නො ලැබෙයි. එ හෙයින් මේ යුක්තිය ද හිස නමා පිළිගනුමු, අහෝ, එහෙත් මෙයින් අසරණ සීතාව ගේ - නැත, නැත, ගීතාව ගේ - ඉරණම විසැඳුණු සැටි සිහි කරත් කා ගේ නම් හද නො කකියා ද? එ බඳු ජනතා සේවිකාවක නැති පාර්ලිමේන්තුවත් සැබැවින් ම පාර්ලිමේන්තුවක් ද?

අප ගේ අභාග්‍යය එ තරම් ම මහත් නො වේ. එ හෙයින්, නාවින්න ඇමැත්තාණෝ සුබ ම සුබ පුවතක් ගෙනෙති. කිමෙක් ද? අනෙක් මැති ඇමැති ආදීන් ගේ දෙබිඩි පුරවැසි බව පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි බව යි. බැලුව මැනැවි, දැන් ඉතින් වෙනත් මැති ඇමැති එකෙකුදු දෙබිඩි බව නිසා ගෙදර නො යෙයි. අප ගේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ද මෙහි දී මල් මිටක් නො ව මල් වත්තක් ම පිරිනැමිය යුතු යි. එහි දු මේ දෙබිඩ්ඩන් පිළිබඳ තොරතුරු නැත්තේ ල! එහිත් නැත් නම් අන් කොහි වත් නැති බ වට කවර සැකයක් ද? ජනතාවට සේවය කරන වටනා දෙපාර්තමේන්තුවෙක මහිමය! රජයේ අනෙක් ආයතන විසිනුදු ආදර්ශයට ගත යුත්තෙකි. කුමක් කෙ සේ වුව ද දැන් අපේ පරම ජනතා සේවක මැති - ඇමැතිනට බියෙකින් සැකයෙකින් තොර වැ ස්වකීය උදාර මහනීය සේවාව ඉදිරියටත් කැරගෙනයමින් මන්ත්‍රී - අමාත්‍ය සකල වරප්‍රසාද ලැබිය හැක්කේ ය. මනප නම්වැළෙහි දෙ වන තන්හි සිටින්නවුන් ගේ සිත් මඳක් අමනාප විය හැකි වුව ද ජනතාව ගේ පසින් බලන කල්හි මේ නම් මහත් අස්වැසිල්ලෙකි.

දැන් සැබැවින් ම සලකා බලමු, විය යුත්තේ මෙහි අනෙක් පැත්ත නො වේ දැ යි. සැබැවින් ම නම් දෙබිඩි බව මෙ රට දේශපාලනයට හොඳ ම සුදුසුකම යි. දෙබිඩ්ඩකු හැර අන් කවරෙක් නම් නිසි ලෙස මෙ රට දේශපාලනය කෙරේ ද? ලොවට එකක් තියා රට උගසට තබා හෝ, කවර කොන්දේසියකට වුව ද යටත් වැ නමුදු ණය මුදලක් ලබාගන්නට, රටට තියා රට රවටා තමන් පරම ජනතා සේවකයනැ යි හඟවන්නට දෙබිඩ්ඩකුට හැර අන් කවරකුට හැකි වේ ද? තමන් නිලයට හිමි වැටුප දු නොගෙන රෑ - දාවල් නැති වැ මහජන මෙහෙවරට කැප වෙති යි රටට හඟවාලමින්. හැකි තරම් යටි මඩි ගසා ගනිමින් සත්මුතු පරපුරකට මුදල් උපයන්නට දෙබිඩ්ඩනට හැර අන් කවරකුට නම් හැකි වේ ද? මේ ඉතා ම ටිකෙකි. දෙබිඩ්ඩනට තව ද කළ හැකි දෑ බොහෝ ය. මෙ රට හොඳ ම දේශපාලකයෝ නම් ඒ සියල්ල මැනැවින් කරන දෙබිඩ්ඩෝ ම ය.

ඉතින් එ සේ තිබිය දීත් දේශපාලනයේ උපරිම ස්ථානය වන පාර්ලිමේන්තුවට යන්නට පුරවැසි දෙබිඩ්ඩනට නොහැකි වීම කො තරම් අයුක්තියක් ද? නොයෙක් අයුරෙහි දෙබිඩ්ඩන් ගෙන්, දෙබිඩි රඟපෑම් හි යෙදෙන්නන් ගෙන් අතුරු නැති පාර්ලිමේන්තු‍යෙහි දොර අසරණ අහිංසක පුරවැසි දෙබිඩ්ඩනට පමණක් වසාලීම කිසි සේත් හොබනේ නො වේ.

ඉතින් කුමක් කෙරෙමු ද? පුරවැසි දෙබිඩ්ඩනට බාධක වැ පවත්නා 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කෙරෙමු. නිකායත්‍රයයේ අතිගරු මහානායක ස්වාමීනි, කමා කරන සේක් වා! ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැතැ යි ඔබ වහන්සේ දෙසා වදාරණ පරම සත්‍යය අපි මුඳුනින් පිළිගනුම් හ. එහෙත් මේ පුරවැසි දෙබිඩ්ඩන් කෙරෙහි ඔබ වහන්සේ ගේ කරුණාභරිත නේත්‍රය යොමු කොට මේ සංශෝධනයට පමණක් අවසර දී වදාරන සේක් වා!

හිතමිතුරා 

Comments