මට හමු වූ ගෝර්කිගේ අම්මා | Page 3 | සිළුමිණ

මට හමු වූ ගෝර්කිගේ අම්මා

 ඇය සිඟන්නියක් ද නොඑසේ නම් පාර වැරැදුණු අ‍ෙයක්ද? ඈ කවුද? ඈ පිළිබඳ මතකය බොහෝ කලක් මගේ මනසේ රැඳී තිබිණි. ඒ වැසි දින ඇය ඇඳ සිටි කබාය මට හොඳට හුරුය. ඒ පරණ කබාය පෙර දිනක බස් නැවැතුමේ තිබුණා මතක ය. ඒ කබායේ වසා සිටියේ මැස්සන් පමණී. හොඳටම අබලන් වීම නිසා කබායේ ඉරුණු තැන් කීපයකට අණ්ඩ දමා තිබිණි. ඇගේ ඔලගුවේ මොනවා ඇත්ද? ඒත් එහෙම හිතනඑක මොන විකාරයක්ද? ‍මට ඒවා ‍මොකටද?

විවර වූ ඔලගුවේ තිබී යමක් ඇය එළියට පනින්නට උත්සාහ දරනු මගේ නෙත ගැටිණි. ආ..... පොතක්. මගේ දෑස් විසල් විය. ඇය පොත් කියවනවද? ඇය ගුරුවරියක් ද? ඇයට මෙහෙම වුණේ ඇයි? මට ඇය ගැන සොයන්නට සිතිණි. එතරම්ම ඇගේ මතකය මගේ සිතේ කිඳා බැස්සේය.

කාලයක් ඇය මට මුණ නොගැසිණි. බස් රථවලට ගොඩ වෙන සාමාන්‍ය හිඟන්නන් මා බොහෝ විට දැක ඇත. ඔවුන් කිසියම් ආකාරයකට කනිපින්දම් කියනු මම අසා ඇත්තෙමි. ඒ අසරණ බවේ ලීලාව ඒකාකාරී වේ. එදා වේල සරි කරගැනීමේ අරමුණක් පමණක් ඔවුන්ට ඇත. ඒ හිඟන ස්වරූපය යැයි මම නිසැකයෙන්ම හඳුනාගෙන සිටියෙමි. එහෙත් ඈ ඊට වෙනස් ය. මට හමු වූ බොහෝ යාචකයන් මම ඇය හා සැසඳු‍වෙමි. ඒ සැසඳීම නිසි ලෙස සිදු වූවා යැයි මට විශ්වාසය.

එදා අනෝරාවට වැසි වට දිනකි. කිසියම් කටයුත්තක් සඳහා මට පොත් හලට යාමට සිදු විය. මට හදිසියේ ඇය මුණ ගැසුණි. ඇය යන්තම් මා දෙස බලා සිනාසුණාය.

"මේ අම්මා කොහේ ද ඉන්නේ?"

"ඇයි මගෙන් එහෙම ඇහුවේ?"

"නිකං මට හිතුණා"

"මම බත්තරමුල්ලේ"

මා සමඟ එසේ සම්මුඛ වීමත් සමඟ ඇගේ සිතේ කිසියම් ‍ෙළන්ගතු බවක් ඇති වූ බව මට පසක් විණි.

"මම මගේ පුතා සොයනවා දරුවෝ."

"පුතාට මොකද වුණේ?"

"මුකුත් වෙලා නැහැ. එයා හොඳින්."

මම ඇගේ කතාව අසනු රිසියෙන් ඇයට ළං වුණෙමි. අසල වූ බස් නැවැතුමේ හරිබරි ගැසී ඉඳ ගත් ඇය මටද ඉඳ ගැනීමට ආරාධනා කළාය. වැස්ස තුරල් වෙනකං මට ද ඇගේ කතාව අසා සිටිය හැකිය.

"ඒ කාලේ විශ්වවිද්‍යාලවල බොහොම කරදර නෝනා. මගේ කොල්ලා හිටියේ රුහුණු කැම්පස් එකේ. කොල්ලා ඉගෙනගන්න දක්ෂයා. මහත්තාය නැති වුණා කියලා නැහැ මං කොල්ලාට හොඳට ඉගැන්නුවා. මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා කොල්ලා විශ්වවිද්‍යාලයට යවන්න. ඒත් මට එතරම් පුළුවන් කමක් කොයින් ද කියලාත් වෙලාවකට හිතුණා. මට හරිහමන් රස්සාවක් තිබුණේ නැහැ. මං පුංචි කම්හලක වැඩ කළා. ඒ කම්හලේ හැදුවේ රබර් නිෂ්පාදන. වෙලාවකට හුස්මක් කටක් ගන්න බැහැ. අපිට පොඩි පඩියක් ලැබුණට අපේ ලොකු මහත්තරු නම් හොඳට හම්බු කළා. අපිට ඉතින් මිල ගණන් නොතේරුණාට, ඒ අයට ‍පුළුවන් වෙළෙඳපොළත් එක්ක හැප්පෙන්න. මට ඔය දැනුම් තේරුමක් නැහැ. හැබැයි අපේ කොල්ලට නම් ඒවා හොඳට තේරෙනවා. කොල්ලා කතා කළේම විප්ලවය ගැන. කොල්ලා කියන්නේ විප්ලවයෙන් දිනා ගන්න ගොඩක් දේවල් තියෙන බව. මොකද්ද? මේ කොල්ලා කියවන පොත්...?"

ඇය කුමක් දෝ මතක් කළාය.

"ආ......මතක් වුණා කාල් මාක්ස්, ලෙනින් එයාගේ වීරයෝ ඒ දෙන්නා. ගොඩක් රුසියානු පොත් කොල්ලා ළඟ තිබුණා. මට නම් තේරෙන්නේ නෑ ඔය විප්ලව ගැන. ඇත්තටම නෝනා විප්ලවය කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මං දැකලා තියෙන්නේ විශ්වවිද්‍යාලවල ළමයි බෝඩ් උස්සාගෙන පාරෙ යන එක විතරයි."

"කොල්ලා කෘෂිකර්ම පීඨයේ වුණාට කොල්ලාට තියෙන්නේ වෙනම අරමුණක් කියලා මට ටික දවසක් යන කොට තේරුම් ගියා. මට වෙලාවකට හිතෙනව, මේ ගහක් කොළක් වවාගෙන ඉන්නේ නැතුව මොන විප්ලව ද? කියලා. අවුරුද්දෙන් බාගෙට බාගයක් විශ්වවිද්‍යාල වහනවා. නැත්නම් අපේ කොල්ලා පොලිස් කූඩුවට යනවා. මං කොල්ලව බේරගන්න යනවා. කම්හලේ හම්බු කරන තුට්ටු දෙක ඒවාටම ගෙවලා ඉවරයි. මට එපා වුණා. ඒත් මගේ කොල්ලා නේ. අප්පත් නැති එකා නිසා මං එයාව ඇහැක් වගේ බලා ගත්තා. එයා ඉගෙන ගන්න දස්සයා නෝනේ. මට ඒ ගැන සැකයක් තිබුණේ නැහැ. ඒත් බෝඩ් අරං පාරවල් ගාණේ යන කොට තමයි මගේ හිත වාවන්නේ නැත්තේ? ඊට පස්සේ මගේ කොල්ලා පොලීසියෙන් කුදලාගෙන යනවා. මට ගෙදරට ආරංචි වෙනවා. මගේ හිතේ ගින්දර ගැන කියලා වැඩක් නැහැ."

"එතකොට අම්මා පුතාට කිව්වේ නැද්ද?"

" මොනවා කියන්නද නෝනා කොල්ලා මට කියන්නේ මැක්සිම් ‍ගෝර්කිගේ අම්මා වගේ වෙන්න කියලා"

මට හිනාව වළක්වා ගැනීමට නොහැකි විය. මට ගෝර්කිගේ අම්මා සිහිපත් විය. අධික පීඩාවට ගෝර්කිගේ අම්මා තරම් තැළුණ පොඩි වුණ ගැහැනියක් හිටියේ නැති තරම්ය. එහෙත් රුසියානු සමාජය ඇයට අවසානයේ සාධාරණයක් කළේ යැයි ද මට සිතේ. පීඩාවට පත්වන්නෝ සමාජවාදය විසින් රකිනු ලැබූහ. ඒ විප්ලවයේ ස්වභාවයම විය. එහෙත් මේ අම්මාට එලෙස සාධාරණයක් ඉටු වීද යන්න මට ප්‍ර හේලිකාවකි. ගෝර්කිගේ අම්මාට පෙම් බැඳි මේ පුතා අම්මාට ප්‍රේම කරයි ද යන්න ද මට සැකයකි. පුතා ගෝර්කිගේ අම්මා හිස මුදුනින් පිළිගත්තද ඒ සිතුවිලි ඔහුගේ හදවතේ තිබුණාද යන්න මට සැක සහිතය. පුතාගේ හදවත ලෝකය දිනා ගන්නට වුවත් ඔහු අධ්‍යාත්මය දිනාගත්තා ද යන්න සැක සහිතය.

බොහෝ විප්ලව කාරයෝ ලෝක පෙරළීමට උත්සාහ කරති. එහෙත් ඒ විප්ලව කුමකටදැයි නොදනිති. මේ අම්මා හෙළු ලේ කඳුළුවලට සරිලන වන්දිය ඇය ලබා නැත. ඇය අද සරණාගතයෙක් වී අවසන්ය. මෙවැන්නියන් ගැන බොහෝ පුවත් පත් වාර්තා කරනු මම දැක ඇත්තෙමි. අවසානයේ ඔවුන්ගේ ජීවිත නතර වනුයේ මහලු මඩම්වලිනි.

ඇය දිගින් දිගටම ඇගේ කතාව කියාගෙන ගියාය.

"මං හිතුවේ කොල්ලාගේ ජීවිතේ නාස්ති වේවි කියලා. මට ගොඩක් නෑයෝ කිව්වා කොල්ලා විශ්වවිද්‍යාලයේ යවන්න එපා කියලා. ඒත් මං ඇහුවේ නැහැ. මම කළේ මෝඩකමක් කියලෙත් හිතුණා. ඊට වඩා හොඳයි එයාව හොඳ දහම් පාසලකට යැව්වා නම් කියලත් හිතුන. අධ්‍යාපනය තිබුණට වැඩක් නැහැ. හැදියාව නැත්නම් දරුවෝ ඉවරයි කියල කිව්වේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒත් ඒ කාලේ මං ඒවා ඇහුවේ නැහැ. මට ඕනේ වුණේ කොල්ලට ලොකු තානාන්තරයක් ලැබෙන්න.‍ කොල්ලා ලොක්කෙක් වෙනවා දකින්න. මං හැමදාම ප්‍රාර්ථනා කළේ ඒකයි. මට විප්ලවකාරයෙක් ඕනේ වුණේ නැහැ. ඒත් කොල්ලා කිවුවේ සමාජ සාධාරණය කරන්න ඕනේ කියලා. මං දන්න සමාජ සාධාරණයක් නැහැ. ඇත්තටම මට රට රාජ්‍ය අල්ලන්න ඕනේ වුණේ නැහැ. මං කොල්ලාට කිවුවෙත් ඒකයි. ඒත් කොල්ලා ඇහුවේම නැහැ. මට මේ හැම දෙයක් කියලා කියලා එපා වුණා. මේ කාලෙදි තමයි කොල්ලා ලොකු මහත්තයෙක් ළඟ ඩයිවර් වැඩේට ගියේ. ඒ මහත්තයා කොල්ලාට හොඳට සැලැකුවා. අනේ නෝනේ මේ කාලේ කොල්ලට විප්ලවය අමතක වුණා. ඒ විතරක් නෙවෙයි. ඒ මහත්තයාගේ දුවත් කසාද බැන්දා.

මං දවසක් එයාව හම්බු වෙන්න ගියා. මං කිවුවා පුතේ මට සාමාජ සාධාරණය ඉටු වුණේ නැහැ කියලා. ඒවා දැන් පරණ දේවල් කියලා කොල්ලා ගේට්ටුව වැහුවා. මං ආයිත් හැරිලා ගමට ආවා. මට ඔය විප්ලව කරන්න තේරෙන්නේ නැහැ. එදිනෙදා වේල ලැබුණොත් ඇති. ඒත් ඒ දවස්වල කොල්ලා ආසාවෙන් කියෙව්ව මැක්සිම් ගෝර්කිගේ අම්මා තාමත් මගේ බෑගෙකේ තියෙනවා. අම්මලා කියන්නේ අහස වගේ නෝනා. දුක දරලා ඉවරයක් නැහැ. හදිස්සියෙම විශ්වවිද්‍යාල පෙළපාලියක් දැක්කහම මට මගේ කොල්ලා සිහිවෙනවා. ඒ අයගෙ අම්මලාටත් එහෙම වෙනව ඇති. හැම අම්මා කෙනෙක්ම ගෝර්කිගේ අම්මා වගේ දුක් උහුලනවා කියලා මට හිතෙනවා නෝනා."

මහ මඟ තනි වෙන ගෝකිගේ අම්මා ඔබටත් හමු වේවි ද කියා මම නොදනිමි.

රූපාන්ති බුලත්සිංහල 

Comments