තෙරේසා උඹල ප්‍රවේසම් වෙයල්ලා | සිළුමිණ

තෙරේසා උඹල ප්‍රවේසම් වෙයල්ලා

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සිනමා දිවියට අවුරුදු පනහක් පිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරංගනී සිනමා ශාලාවේදී මේ මස 26 වන දින සවස 7ට පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

බඹරු ඇවිත් සහ අපේක්ෂා එක ළඟ තිරගතවූ චිත්‍රපට දෙකකි. දෙකේම රඟපෑවේ එකල අග්‍රගන්‍ය නිළිය වූ මාලනී ෆොන්සේකා සහ අමුතුම ප්‍රතිරූපයක් හිමි අමරසිරි කලංසූරිය නොහොත් කලං ය. දෙකේම අද දක්වා ඇහෙන සින්දු තිබිණි. ආදායම් වාර්තා කෙසේ වෙතත් චිත්‍රපට දෙකම ප්‍රේක්ෂක අවධානය ඉහළින් දිනාගත් නිර්මාණ විය. ඒ, 1970 ගණන්වල අග, අපේ සිනමාවේ හොඳම කාලය විය හැකියි. මන්ද ප්‍රධාන ධාරාවේ චිත්‍රපටද ඊට පිටින් ආ සිනමා රැල්ලද එකසේ රසවිඳිමින් ප්‍රේක්ෂකයෝ හොඳ පැත්තකට හැරෙමින් සිටියහ. නිර්මාණාත්මක ගුණය වැඩෙමින් තිබිණ. සිනමාව එසේ සමාජයත් සමග සමාන්තරව ගමන් කිරීම පරමාදර්ශී තත්ත්වයක් වන්නේය. එසේම එය ළඟා කරගනු නොහැක්කක් නොවේ.

1978 දී තිරගත වූ බඹරු ඇවිත් ධර්මසේන පතිරාජ නම් සිනමාකරුවාගේ කූටප්‍රාප්තිය මෙන්ම එබඳු වර්ධනීය සිනමාවක උච්ඡාවස්ථාවක් හැටියට හඳුන්වනු හැකිය. ඔහු සිය නිර්මාණ ජීවිතයේ පනස් ගව්ව පසුකරද්දී හතළිස් වසරකට පෙර අප එළැඹ සිටි ඒ අගනා මොහොත ගැන සිහිපත් කරනු වටී.

සිය තුන්වැනි කෘතිය ලෙස බඹරු ඇවිත් නිර්මාණය කරද්දී අපේ සමාජය පිළිබඳව පතිරාජ තුළ වැඩෙමින් තිබුණු දැක්මට, ඊට කලින් හැදූ චිත්‍රපට දෙක සාක්ෂි දරයි. අහස්ගව්ව (1974) රැකියාවක් හෝ වරප්‍රසාද හෝ නැති නාගරික තරුණයන් පිළිබඳවය. ජනප්‍රිය නවකතාවක් පදනම් කරගත් එයා දැන් ලොකු ළමයෙක් (1975) මැද පංතියේ ගැමි සමාජයේ තරුණ ජීවිත ගැනයි. ගමේත් නගරයේත් බලවතුන් හා දුබලයන් අතර ඇති සදාතනික පීඩනයේ නූතන මුහුණුවරයි බඹරු ඇවිත්.

ධීවර ගම්මානයකට නගරයෙන් පැමිණෙන මාලූ මුදලාලි කෙනකුගේ පුත්‍රයා ඇතුළු පිරිස ගමේ දුබලයන් හා බලවතුන් සමග ඇතිකරගන්නා සම්බන්ධතා හා විරෝධතා පෙළක්, මරණ දෙක තුනකට පාර කපා එහි පොලිසියක් පිහිටුවන තැනටම දික් ගැසෙයි. බලය සහ බලපෑම නොහොත් දේශපාලනය පිළිබඳ මේ කතාව අප නොදන්නා දෙයක් හෝ ඉන් පෙර සිනමාවට නගා නැති පුවතක් හෝ නොවේ. එහෙත් ධර්මසේන පතිරාජ එය අපට කියන ආකාරයයි බඹරු ඇවිත් හි අරුමය.

කලින් චිත්‍රපට දෙකෙහිම සිටි, ඒ වන විට ප්‍රධාන ධාරා සිනමාවේ ආකර්ෂණීය චරිත වූ විජය, මාලනී, කලං, කොස්තා සමඟ ‘දුෂ්ටයා වූ විකටයා’ නොහොත් ජෝ අබේවික්‍රම මේ කතාව කියන්නට ඔහු කැඳවා ගනී. එය ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීමට වඩා ඔවුනට මේ කියන කතන්දරය ඒත්තු ගැන්වීමට යොදාගත් උපක්‍රමයක් බව පැහැදිලිය.

ප්‍රධාන ධාරාවේ සිහින කුමරුන්ව සිටි විජය කුමාරතුංග මෙහිදී ප්‍රතිවීරයකු බවට පත් වේ. ඔහුගේ චරිතයත් මාලිනී ෆොන්සේකා රඟන චරිතයත් චිත්‍රපටය ආරම්භයේදීම පෙම්වතුන් බවට පත්කරමින්, මේ තවත් පොහොසත් තරුණයාත් දුප්පත් තරුණයාත් අතර පෙම් පුවතක්දැයි සිතෙන්නට හැර, ඒ සමග ගොඩනැගෙන අඳුරු සිද්ධීන් තුළට අප කැඳවාගෙන යෑම තවත් උපක්‍රමයකි.

ශ්‍රමය මෙන්ම ලිංගික සූරා කෑමද විෂය වන බැවින් අත දිග හැර එබඳු දර්ශනවලට යන්නට අධ්‍යක්ෂවරයාට හැකියාව තිබිණ. එහෙත් ඔහු එය පසෙක තබා නිරුවත යොදාගන්නේ වෙනත් සියුම් කාරණාවක් ඉස්මතු කරමිනි. මාලූ මුදලාලිගේ පුතා මිතුරන් සමග බීමත්ව මුහුදේ නා, වෙරළ දිගේ නිරුවතින් දිවයන අහඹු දර්ශනයක් මෙහි දක්නට ලැබේ. එකල ප්‍රකට වූ වචනයකින් විස්තර කළහොත් එය ‘හිපියන්ගේ’ වැඩකි. අධ්‍යක්ෂවරයා උදක්ම මේ දර්ශනය චිත්‍රපටයට යොදන්නේ නූතනත්වයේ නිදහස අප අල්ලා ගන්නා අවිචාරවත් රටාව ඉස්මතු කරන්නට දැයි සිතේ.

තම කෘතියෙන් පෙන්වන යථාර්ථය කටුක වුවත් පැය දෙකකට ආසන්න කාලයක් එය දරාගන්නට ධර්මසේන පතිරාජ අපට දෙන කොට්ටය බඹරු ඇවිත් හි ගීතය හා සංගීතයයි. ප්‍රේමසි˙රි කේමදාස, ඩබ්ලිව් ජයසි˙, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර, ටී.එම් ජයරත්න යන අයගේ සුවිශේෂ කුශලතා සංකලනයෙන් බඹරු ඇවිත් සඳහා නිර්මාණය වූ එකම ගීතය සිනමා කෘතිය තරමටම සිනමා ගීතය සම්බන්ධයෙන් වැදගත් වේ. ‘ආදරයේ ඔබ ඔබමයි’ යනුවෙන් පෙම් ගීයක ස්වරූපයෙන් ඇරඹෙන එහි ‘හඳුනාගත්තොත් ඔබ මා’ යන කොටස චිත්‍රපටය පුරා රැව්දෙන්නට සලස්වමින් ඔවුන් මතක් කර දෙන්නේ අප අතර ඇති අනවබෝධය පිළිබඳවයි.

කිසිවකුට නිදහසක් නොදෙන බලය හා බලපෑම පිළිබඳ මේ පුළුල් (දේශ) පාලනික යථාර්තය තුළ පක්ෂ දේශපාලනය කෙතරම් ආගන්තුක විකාරයක් වන්නේ දැයි දක්වන්නට සිනමාකරුවා පසුබට නොවන්නේය. ඒ සඳහා ඔහු යොදාගන්නේ පක්ෂ දේශපාලනයේ සුලබ මතිමතාන්තර විහිලූවක් වන තරමට දොඩවන විමල් කුමාර ද කොස්තා විසින් නිරූපණය කරනු ලබන මුදලාලි පුත්‍රයාගේ මිතුරාගේ චරිතයයි.

එකල ප්‍රධාන ධාරාවේ චිත්‍රපටවල සුලබ අංග වූ තුන් කොන් පෙම්වතුන්, දුෂ්ටයන්,

විකටයන් මෙන්ම ගීත සහ සටන් ම අමුද්‍රව්‍ය කොට ගනිමින් පෙර නොවූ දැක්මක් අප ඉදිරියේ තබමින් ධර්මසේන පතිරාජ සිය විශිෂ්ටතම සිනමා කෘතිය නිම කරන්නේය.

1978 දී මේ තිස්පස් හැවිරිදි සිනමාකරු සතු වූ දැක්ම එකල සමාජයේ කිසියම් කොටසකට වැටහුණු බව බඹරු ඇවිත් දිනාගත් ප්‍රේක්ෂක අවධානයෙන් පැහැදිලි වේ. නමුත් අවාසනාවකට ප්‍රේක්ෂකාගාරයවත් සමාජයවත් ඔහු සමග ඉදිරියට නොගියේය.

වර්තමාන සමාජයේ ප්‍රකටව පෙනෙන අරමුණු රහිත විකල් ස්වභාවය පිළිබඳව සොල්දාදු උන්නැහේ (1980), පාර දිගේ (1981) වැනි ඔහුගේ කැපී පෙනෙන සෙසු චිත්‍රපටවලින් කල් තබා ඉඟිකර තිබේ.

බඹරු ඇවිත් ආ අවුරුද්දේම පොන්මනී නිර්මාණය කරමින් ඔහු දෙමළ ප්‍රේක්ෂකාගාරය වෙතද ගියේය. 80 ගණන්වල කඩුල්ල සමඟ ඇරඹි ටෙලි නාට්‍ය මාලාව, ඇල්ල ළඟ වලව්ව වැනි කාලයට ඉදිරියෙන් තිබුණු නිර්මාණ සමග ඔහු ගෙදරටම ඇවිත් කීයේද අප සමාජය පිළිබඳ කතාවයි. මේ හැරෙන්නට ඔහු කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට හා වේදිකා නාට්‍ය හරහාද සමාජය ගවේෂණය කළේය.

අජිත් තිලකසේන, තිලක් ජයරත්න වැනි විරල දැක්මකින් යුත් සගයන් පිරිසක් ධර්මසේන පතිරාජ සමග එක් වූ බව සිහිපත් කළ යුතු වේ. එරික් ඉලයප්පාරච්චි සමඟ ෆ්‍රාන්ස් කෆ්කාගේ සුප්‍රකට මෙටමොෆෝසිස් කෙටි කතාව ඇසුරෙන් වර්තමාන සමාජය විනිවිද දකින්නට ඔහු මීළඟ කෘතියෙන් උත්සහ දරයි.

නිර්මාණකරුවකු, නිරීක්ෂකයකු ලෙස ආචාර්ය ධර්මසේන පතිරාජ අදත් පැතිරෙමින් සිටින්නේය. සිය නිරීක්ෂණ නිර්මාණශීලීව පතුරවා හැරීමට ඔහු සතු ශක්‍යතාවය පැහැදිලි කරන, බඹරු ඇවිත් චිත්‍රපටයට සම්බන්ධ ප්‍රවාදයක් තිබේ.

චිත්‍රපටය සඳහා දර්ශන තල සොයා යද්දී එක්තරා ධීවර ගම්මානයක වැසියකු පතිරාජ ඇතුළු පිරිස දැක “ඕඃ බඹරු වගයක් ඇවිත්” කියා කීවේලූ. චිත්‍රපටයට ඒ අපූරු නම වැටුණේ එලෙසිනි.

එහි තැනක ජෝ අබේවික්‍රම රඟපාන චරිතය ගමේ ගැහැනියකට කියන කියුම බඹරු ඇවිත් හි සුප්‍රකට ප්‍රචාරක පාඨය බවට පත්විය: “තෙරේසා උඹලා ප්‍රවේසම් වෙයල්ලා බඹරු ඇවිත්” ආචාර්ය ධර්මසේන පතිරාජ සියවසකින් අඩක්ම උත්සහ දරා ඇත්තේ සමාජයට එවැනි මගපෙන්වීම් කරන්නටය. අප නොවේ ඒවා ග්‍රහණය කරගත්තේ.

දිලීප අබේසේකර

Comments