
කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ පුදුම හාදයෙකි. ඔහු සෙත් කවියක් ලීවොත් එය වස් කවියක් වෙයි. වස් කවියක් ලීවොත් එය නිසැකයෙන්ම නපුරු වස් කවියක් වෙයි. ඒ කාටවත් නොව ඔහුටමය. වරෙක ඔහු වේලාපත්කඩ පිළිබඳ කෘතියක් රචනා කොට සුබ මුහුර්ත යොදාගෙන ඔහුට ඉතා සුබ දිනයක එකී කෘතිය දොරට වැඩීමේ උත්සවය සංවිධානය කළේ සම්භාවනීය අමුත්තන් රැසකට ඇරියුම්පත් යවමිනි. කොතැන ගියත් තමාට එරෙහිව හතුරකු ඉස්මතු වී අරෝබරෝවක් පටලවන හෙයින් උත්සවයට පෙර දින රාත්රියේ ඔහු තමා වෙනුවෙන් සෙත් කවියක් රචනා කොට තම බිරිය ලවා එය ගායනා කරවූයේය. පසුදින ගුරුගේ හෝරාවෙන් ගුරු පංචම හෝරාවෙන් ගුරු සූක්ෂ්ම හෝරාවෙන් කුකුළා පොල්තෙල් පහන දැල්වූ කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ උත්සවයේ කටයුතු ආරම්භ කළ අතර, එය ඉතා කලඑළියට පැවැත්විණි. ආණ්ඩුව නියෝජනය කරමින් එහි පැමිණ සිටි ප්රධාන ආරාධිත අමුත්තා වූයේ බලවත් ඇමැතිවරයෙකි. ඔහු තම කතාවේදී කියා සිටියේ කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ ලංකාවේ නැකැත් චක්රවර්තී වන බවත් ඔහු අද ඉර්සීන්නාන්සේ කෙනකු මෙන් තුන්කල් දන්නා නුවණින් යුතුව රටේ ජාතියේ උන්නතිය පිණිස වෙහෙස විනිසෙහි යෙදෙන යුග පුරුෂයකු බවත්ය. ඉන් පසුව සභාව ඇමතූ ආරාධිත දේශකයන් සියලු දෙනාම පාහේ පුනපුනා සඳහන් කළේ කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ තුන්කල් දන්නා ඉර්සීන්නාන්සේ කෙනකු වග අවිවාදයෙන් පිළිගත යුතු බවයි. මේ කතා අසමින් සිටි කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ අමන්දානන්දයට පත් වූවා පමණක් නොව එය දරාගත නොහැකිව උපැස් යුවළ යටින් දබරැඟිල්ල රිංගවා නෙත් කොන් අග රැඳි කඳුළු බිඳු පිසදැමුවේය.
සෑමසියලු දෙයක්ම හිතුවාටත් වඩා මහ ඉහළින් මස්තකප්රාප්ත වූ හෙයින් සතුටින් බරව ගිය හදවතින් යුතුව වේදීකාවට ගොඩ වූ හෙතෙම ඉතා හැඟීම්බර වචන තෝරා බේරා ගනිමින් ඉතා කෙටියෙන් ස්තුති කතාව පටන් ගත්තේය. අවසානයේ ඔහු පැමිණ සිටි සියලු දෙනාට සෙත් පතමින් කවියකින් තම කතාව හමාර කළේය. ඔහු ඒ සඳහා යොදාගත්තේ පෙර දින රාත්රියේ තම බිරිය ලවා කියවූ සෙත් කවියයි. ඒ සමඟම ඔහු දෙනෙත් සිසාරා යවමින් සභාව දෙස බැලුවේ තම සුරූපී තරුණ බිරිය කොතැනක අසුන් ගෙන සිටීදැයි සොයාගැනීමටය. කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ දෙවැනි වරට විවාහ වූයේ ඔහුට වඩා අවුරුදු 16ක් ළාබාල තැනැත්තියක සමඟය. ඇය පෙර විවාහය අසාර්ථක වීම නිසා පීඩාවට පත්ව සිටියදී කේන්දරය බැලීම සඳහා ඔහු වෙත පැමිණි අතර, නොබෝ දිනකින් ඔවුහු දෙදෙන විවාහ වූහ. දෑවුරුදු විවාහ සැමරුම යෙදී තිබුණේද පොත දොරට වැඩීමේ දිනයට පසු දිනයේය. තමා කල් ඇතිව උත්සවය සඳහා සුබ මොහොතින් නිවෙසින් නික්ම පැමිණි අතර, මිතුරියක සමඟ දෙවනුව උත්සව සභාවට පැමිණෙන බැව් ඇය ඔහුට කීවා මතකය. පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් විසින් තමා පසසමින් කළ කතා කියමන් අසා ඇය තමාටත් වඩා සතුටට පත් වන්නට ඇතැයි ඔහු සිතුවේය.
උත්සවය නිමා වී සංග්රහ සත්කාර භුක්ති විඳිමින් සිටින අතරතුර බොහෝ දෙනකු පැමිණ සුබ පතන අතරවාරයේ 'නෝනා මහත්තයා' ගැනද විමසූ අතර ඇය දකින්නට නොලැබුණෙන් කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේ බෙහෙවින් කලබලයට පත්ව වේගයෙන් තම නිවෙස බලා රිය ධාවනය කළේය. නිවෙසේ සියලු දොර ජනේල වසාදමා තිබූ අතර කිසිවකුත් එහි ඇතුළත සිටින බවට කිසිම හෝඩුවාවක්ද දකින්නට නොලැබුණු හෙයින් ඔහු තම නිවෙසේ දොර කඩා ඇතුළට පිවිසෙන විට ඒ කලබලය අසා පැමිණි අසල්වාසීහු පොකුරක්ද ඔහු සමඟම අනාරාධිතවම නිවෙස තුළට ඇතුළු වූහ. එහෙත් ඔහුගේ බිරිය නිවෙසේ කොතැනකවත් දකින්නට නොලැබුණා පමණක් නොව, ඇය යළි කිසි දිනෙක කලවැල්මුල්ලේ ගුරුන්නාන්සේගේ තුන්කල් දෘෂ්ටියට ග්රහණය වූයේද නැත.
කේ.සී.ජේ. රත්නායක