සිතීමේ නිදහස මුලින්ම ආරක්ෂා කරගැනීමට සිදු වන්නේ අන් කාගෙන්වත් නොව තමන්ගෙන්මය. මුලින්ම එය අත්හැර දමන්නේ අනෙක් කවුරුවත් නොව තමන්මය.
සිතීමේ නිදහසට වැඩියෙන්ම බාධා කරන්නේ අපේම කටමය. කට ඇරුණු විට සිතීම නවතී. පිරුණු කළේ දිය නොසැලේ කියන්නේද මෙයමය. එනම් සිතන තැනැත්තා වැඩිය කතා කරන්නේ නැත. එහෙත් අද අප සිතන්නේ වැඩට වඩා හඬ වැදගත් බවය. සිතීමේ නිදහස එතනින් නවතියි.
චේතනාවම කර්මය වේයැයි බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක. එහි එක් තේරුමක් නම් වැඩක් කරන්නට නම් සිතිය යුතු බවය. එහෙත් අද කවුරුවත් සිතන්නට වෙහෙසෙන්නේ නැත. බොහෝ ප්‍රශ්න මෙන්ම කුණු ප්‍රශ්නයද ඔඩුදුවා ඇත්තේ මේ නිසාය; එනම්: නොසිතා වැඩ කිරීම නිසාය. මා මේ කියන්නේ ජනතාව ගැන පමණක් නොව, ආණ්ඩු ගැනත්ය; ආණ්ඩු ගැන පමණක් නොව, ජනතාව ගැනත්ය. විශේෂයෙන්ම දෙපැත්තම කීවේ සිතීම එක් තැනකින් නැවත්වීම සිතීමේ නිදහසට බාධාවක් බැවිනි.
සිතන එක අමතක කර සිතීමේ නිදහස ගැන කතා කිරීමද අද විලාසිතාවකි. අනිත් අතට සිතීමේ නිදහස වෙනුවෙන් කරන සටන්ද සිතීමේ නිදහස අහිමි වීමට හේතු වී තිබේ. මත මත ගැටුම තිබිය යුතුය. එහෙත් මත මගින් අද කෙරෙන්නේ යම් මතයක් ඉදිරිපත් කිරීමට වඩා මෙසේ නොසිතිය යුතුයැයි අනුන්ට අණ පැනවීමයි. සංවාද යනුවෙන් බොහෝ විට සිදු වන්නේ මෙයයි. මෙහිදී සිදු වන්නේ සිතීමේ නිදහස ඇත්තේ තමන්ට පමණක්යැයි සිතීමයි. සිතීමේ නිදහසේ පළමු පියවර වන්නේ අනෙකාටද සිතන්නට හැකි බව පිළිගැනීමය. සිතන බොහෝ අයට මෙය සිතාගැනීමට නොහැකිය. එවැනි බොහෝ අයට සිතීමේ හැකියාවක් ඇතැයි මටද සිතා ගැනීමට නොහැකිය.
සිතීම යනු අනෙකාගේ සිත ආණ්ඩුමට්ටු කිරීමට සිතීම නොව, අන් අය සමඟද සිතීමය; සාමූහිකව සිතීමය; තමන්ගේ සිතුමින් අන් සිතුම් අවුළුවාලීමය. අනුන්ගේ සිතුම්වලින් තමන්ගේ සිත අවුළුවාගැනීමය. එහෙත් මෙතරම් නිදහස් ලෙස සිතීමේ හැකියාවක් අප බොහෝ දෙනාට නැත. සිතීමේ නිදහස අහිමි වීමට එයද හේතුවකි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලින් සහ මානව හිමිකම් ප්‍රකාශවලින් කොතරම් සිතීමේ නිදහස තහවුරු කළද එතරම් පලක් නොවේ. මක් නිසාද: අපේ හිත ඇතුළේ ඇති ආණ්ඩුව අප පාලනය කරන බැවිනි. සිතනවාට අකැමැති ආණ්ඩුවක් ඇත. එය පවතින්නේ පිටත නොව බොහෝ දෙනාගේ සිත ඇතුළේය.
සිතන්නට පොලඹවන්නන් බොහෝ විට කරන්නේ ජනතාව සිතීමට පෙලඹවීම නොවේ, තමන් සිතන ආකාරයට සිතන්නට ජනතාව පෙලඹවීමය. එය සිතීමේ නිදහස නොවේ. එහෙත් ඔවුන්ට සිතීමේ නිදහස ලෙස සිතෙන්නේ එයය. මේ මුළාවේ වැටුණු චින්තන නායකයන් බොහෝ සේ සිටීමද සිතීමේ නිදහසට තර්ජනයකි.
සාමූහිකත්වය ඇති වන්නේ සිතීමේ නිදහස ඇති විටය; අණට අනුව නොව, තමනුත් සිතා වැඩ කිරීමට අවකාශ සැලසෙන විටය. සිතීමේ නිදහස නැති තැන සාමූහිකත්වය හා සාමූහික වගකීමද නැති වේ.
ලොව උතුම්ම වස්තුව සිතය. එයටත් වඩා නිවැරදි වන්නේ සිතීම වනාහී ලොව උසස්ම ක්‍රියාකාරිත්වය බවය. නැති නම් සාපේක්ෂතාවාදයක් බිහි වන්නේ නැත. සාපේක්ෂතාවාදය බිහි කළේ නිදහසේ සිතූ සිතකිනි. එය බිහි නොවූයේ නම් මිනිසා සඳ මත පා තබන්නේ නැත. මේ මුල නැති විට අන් සියල්ල අහිමි වේ. අපේ බොහෝ ප්‍රශ්න නොවිසඳී පවතින්නේ මේ මුල නැති නිසාය. කුණු ප්‍රශ්නය වුව උදාහරණයකි.
සිතීමේ නිදහසට බාධා කරන්නේ දේශපාලනකයන් හෝ ආණ්ඩු හෝ ත්‍රස්ත සංවිධාන පමණක්ද නොවේ. සෙල්ෆි ගැසීමේ ආසාවද සිතීමේ නිදහසට බාධාවක් වී තිබේ. සිතන්නේ නැතිව දුම්රිය මාර්ගවල සෙල්ෆි ගසන්නේ ඒ නිසාය. වාණිජ ව්‍යාපාර විසින් ජනතාව සිතන්නේ නැතිව වැඩ කරන පිරිසක් බවට පත් කිරීමටද උත්සාහ දැරේ. එය වාණිජ ව්‍යාපාර විසින් නොසිතා කරනු ලබන දෙයකි. සිතාමතා වැඩ කරන වාණිජ ව්‍යාපාර අවශ්‍ය වන්නේද ඒ නිසාය. වසවිස නැති ආහාර වගාව, නිවාස ඉදි කිරීම, සූර්ය බලශක්තිය හා වෙනත් එවැනි පරිසර හිතකාමි බලශක්ති ප්‍රභව ව්‍යාප්ත කිරීම වැනි කාර්යයන් හිතාමතා සිදු කළ හැකි වාණිජ ව්‍යාපාර, අනාගතය උදෙසා අවශ්‍යය. තරුණ තරුණියන් ලවා සෙල්ෆි ගැස්වීම වැනි නොසිතා කරන ව්‍යාපාර පමණක් තිබුණොත් මීතොටුමුල්ල මත කුණු කඳු ගොඩගැසුණා සේ තරුණ සිත් මතද කුණුකඳු ගොඩගැසේ. කුණුකඳුවලින් පිරුණු සිත්වලට සිතීමට නොහැකිය. සිතීමට නොහැකි අය බොහෝ විට යොමු වන්නේ විනාශකාරි ක්‍රියාවන්ටය. සිතීමේ නිදහස ආරක්ෂා කළ යුතු වන්නේ ඒ නිසාය.
1971 කැරැල්ල ඇති වූයේ '88 කැරැල්ල ඇති වූයේ සිතීමට නොහැකි තරුණයන් නිසාය. එහෙත් තරුණයන් ඒ තත්ත්වයට පත් වූයේ ඔවුන්ගේම වරදින් නොවේ. දුරදිග සිතීමට නොහැකි පරපුරක් බිහි වූයේ කෙසේද යන්නද සැබැවින් සිතිය යුතු කරුණකි. එහෙත් එසේ සිතන්නට තරම් විවේකයක් බොහෝ නායකයන්ට නැත.
සිතීමට නොහැකි වීම හැම විටම අර්බුදයන්ට හේතු වේ. සිත ප්‍රධාන වේ යන්න සියලු ආගමික ශාස්තෘවරුන්ගේ මුඛ්‍ය දේශනාවක් වන්නේද ඒ නිසාය. සියල්ලට වඩා සිත රැකගත යුතු වන්නේද සියල්ලට වඩා සිත ක්‍රියා කරවිය යුතු වන්නේද ඒ නිසාමය. එහෙත් අපට අමතක වන්නේද එයමය. සිතීමේ නිදහසට එයද බාධාවකි.
උදයසිරි වික්‍රමරත්න