
අම්මේ මට ඒ බෝනික්කා ඕනෙ. පුංචි දරුවාගේ කෑමොර දීම ඉවරයක් නැත. අම්මා දරුවා අස්වසාලීමට නොගත් උත්සාහයක් නැති තරම්ය. බොහෝදෙනෙක් දරුවා දෙසද අම්මා දෙසද වරින් වර බැලූහ. දරුවාගේ ඉකිබිඳුම බොහෝ දෙනකුගේ හදවත් කම්පා කළද කළ හැකි කිසිවක් නොවීය. බස්රථය නවත්වා දරුවාගේ ඉල්ලීම ඉෂ්ට කිරීමටද නොහැකිය. එයට හේතුව බස්රථය ගමන් කළේ අධිවේගී මාර්ගයේ වීමයි. ඉල්ලීමක් ඉටු කිරීමට හිත තිබුණද එය කළ නොහැකි අවස්ථා කොතෙකුත් ඇත්ද? ජීවිතයේද එසේය. කිරීමට හිත තිබුණද ඉටු කරගැනීමට නොහැකි කොතෙකුත් දේ ඇත. හිතට දැනෙන ස්පර්ශය බොහෝ දේ වෙනස් කිරීමට පාදක වෙයි. පුද්ගලයන් අනුව ඔවුනොවුන්ගේ සිත ස්පර්ශ වන ආකාරය වෙනස්ය. එක් පුද්ගලයකු කුඩා දරුවකුට යමක් අරන් දී සතුටට පත් වන අතර, තවත් පුද්ගලයෙක් කුඩා දරුවකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලයි. පුද්ගල සිතුවිලි එකිනෙකා අනුව වෙනස් වේ. දැනෙන හැඟෙන සිතුවිලි දාමය අනුව පුද්ගලයකු ගන්නා තීරණද වෙනස් වේ.
නෙතග ගැටෙන රූප රාමුව සිතේ තැන්පත් වී විවිධ අරමුණ සිතට ගෙනෙයි. සයුරේ රළ බිඳෙන නැඟෙන කල කවියකුට නම් කවියක් වේ. සිත්තරකුට සිතුවමකි. එහෙත් කුඩා දරුවකුට භීතියක් ගෙනෙයි. මේ රළවල ස්වභාවය මත ධීවරයෝ මුහුදු යෑමට තීරණය කරති. සොබාදහමේ වෙනස් වීම දැකීමට මෙන්ම සොබාදහම රස විඳීමට එකිනෙකා යොමු වන්නේ විවිධාකාරයටය.
මේ අනුව එක් පුද්ගලයකු සිතන ආකාරය තවත් පුද්ගලයකුට වැරැදියැයි නිගමනය කළ නොහැකිය. නිවැරදි මාර්ගය මෙයයැයි පෙන්වා, තමන් හරියැයි පැවැසිය නොහැකිය. බොහෝ දෙන අනෙකාට වරද පටවා ගල් ගැසීමට ඉස්සර වෙති. මේ අනුව තමා නිවැරැදිකරුවායැයි නිගමනය කිරීමට බොහෝ දෙන පෙලඹෙති. මේ අනුව බොහෝදෙන දැනෙන හැඟෙන දේ අනුව තීරණ ගනිති.
යුද වැදී මහා මිනිස් සංහාරයක් - සමූලඝාතනයක් කළ අශෝක අධිරාජ්‍යයාගේ තමාගේ දැනෙන හැඟෙන රටාව වෙනස් කිරීමට නිග්‍රෝධ සාමණේරයන්ගේ දසුන හේතු වෙයි. අධාර්මික සිතුවිල්ල ධාර්මික වීමට ගත වන්නේ මොහොතකි. ඔහුගේ මේ වෙනස් මුළු මහත් බෞද්ධ ඉතිහාසයටම බලපෑවා පමණක් නොව, ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ඒමටද ඉවහල් විය. මෙලෙස එක් පුද්ගලයකුගේ චිත්ත සන්තානයේ ඇති වෙනස දේශයක් වෙනස් කිරීමට හේතු වේයැයි නිසැකයෙන්ම කිව හැකිය. එක් පුද්ගලයකුගේ තීරණයක් සිතුවිලි දාමයක් සමස්ත මිනිස් කැලකගේ යහපත වෙනුවෙන් කැප වන අවස්ථා තිබේ.
එක් පුද්ගලයකුගේ සිතුවිලි තවත් පුද්ගලයකු අයහපතට කැප වුව හොත් ඉන් අයහපත් සිතුවිල්ලක් ජනිත වේදැයි ඔබ අසනු ඇත. අයහපත් සිතුවිල්ලෙන් ඇති වූ අයහපත වළකා ලීමට යහපත් සිතුවිල්ලක් අවශ්‍ය වේ. ඒ සඳහා අවැසි වන්නේ ප්‍රේමයයි. ප්‍රේමය මේ සියල්ල දරාගනියි; උසුලයි. මැවුම්කරුවාගේ නියතය එය වේ.
එක් පියකුට පුත්තු දෙදෙනෙක් සිටියෝය. හදිසියේම එක් පුතෙකු පියාගෙන් තමාට හිමි කොටස ඉල්ලා සිටියේය. නිසි කල-වයස එළඹ නැති නිසා පියා මෙය ප්‍රතික්ෂේප කළේය. එහෙත් අවසානයේ පුතාට ඇති ප්‍රේමය නිසාම ඔහුට හිමි කොටස දීමට තීරණය කළේය. මේ අනුව තමාගේ කොටසද රැගෙන පුතා ඈතට ගියේ තම සිතුවිලි ඉටු කරගන්නා අදහසිනි. එහෙත් ඔහුගේ සිතැඟි ඉටු කරගැනීමට නොහැකි විය. අවසානයේ පියා දුන් සියලු වස්තු විනාශ වූයේය. අවසානයේ හිස් අතින්ම පියා සොයාගෙන ඒමට ඔහුට සිදු විය. එහෙත් පියා පුතාව පිළිගත්තේය. ඒ තරමට ඔහුගේ සිතුවිල්ල සුබවාදී විය. වැරැද්ද කාගේ වුවත් පුතා පිළිබඳ පියාගේ සිතට දැනුණ ස්පර්ශය මත තීරණ වෙනස් වූයේය. අපි ජීවිතයේ බොහෝ තීරණ ගනු ලබන්නේ සිතට දැනෙන ස්පර්ශ මත විය හැකිය. ඒ අනුව සිවිල්ල කෙබඳු වුවත් සිතට ඇති වන දැනීම අනුව තීරණ ගැනීම සිදු වේ.
දෑස පෙනෙන අයට වඩා දෑස නොපෙනන අයගේ සිත ස්පර්ශ වන ආකාරය වෙනස්ය. ඔවුන්ට දසුනක් දැකගත නොහැකිව ගතට දැනෙන ස්පර්ශය අනුව තීරණ ගනිති. මේ බව සාගර පලන්සූරිය ‘සුදෝසුදු‘ කෘතියෙන් පැහැදිලි කරයි:
“මල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද?
ඒවා මොළොක් බව තේරෙනවා මටද?“
මේ අනුව තමන්ට දැනෙන දෙයින් ලෝකය හඳුනාගැනීමට ඔවුහු පුරුදුවී සිටිති. මේ අනුව එකිනෙකා ලෝකය හඳුනාගන්නා ආකාරය වෙනස්ය. කාල් මාක්ස්, එංගල්ස්, සමාජවාදී දැක්මෙන් ලෝකය හඳුනාගත්හ. ඔවුහු විප්ලවයෙන් ලෝකය හඳුනාගත්හ; විප්ලවයෙන් අන් අය වෙනස් කිරීමට උත්සාහ කළහ. තමන්ට දැනෙන සිතුවිල්ලට අනෙකා නම්මාගැනීමට ඔවුන් දැරූ උත්සාහය නිසා ඔවුන්ගේ නම් ඉතිහාසගත විය. මේ අනුව එකිනෙකාට සිතුවිලි ස්පර්ශ වන ආකාරය වෙනස්ය. මේ නිසා එක් එක් පුද්ගලයාට බලපෑම් කිරීමට හෝ බලෙන් සිතන්නට සැලැස්වීමට කිසිවකුට නොහැකිය. හැඟෙන දැනෙන ආකාරය අනුව වෙනස් වීමට පුද්ගලයා තීරණය කළ යුතුය. සිතට දැනුණු පළමු සිතුවිල්ල අනුව ලෝකය වෙනස් කළෝ කොතෙකුත් සිටිති.
දිනක් පුද්ගලයෙක් ඇපල් ගසක් මුල වාඩි වී සිටියේය. ඇපල් ගසෙන් වැටුණු ඇපල් ගෙඩිය ඔහුට සිතන්නට සිතුවිල්ලක් රැගෙන ආවේය. ඇයි මේ ඇපල් ගෙඩිය ඉහළ නොගොස් පහළට වැටුණේ? ඔහුගේ සිතුවිලිදාමය තීව්‍ර වී ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමය අනාවරණය විය. ඒ වෙන කිසිවෙක්වත් නොව; සර් අයිසැක් නිව්ටන්ය. මෙලෙසින් දැනනෙ හැඟෙන දේ අනුව ලෝකය ජය ගත්තෝ බොහෝය. ඇතැම්හු තමන්ගේ සිතුවිල්ල ඍජුව සමාජගත කළහ. එහෙත් ඇතැමෙක් සිතන්නට දෙයක් ඉතිරි කළෝය.
“ඒ සිතුවම සැබැවින් අලංකාරය. එහෙත් ඒ කවුදැයි ඔහු නොකීවේය. ඒ කවුද? මං හිතන්නේ එයාගේ අම්මා. නැහැ නැහැ. වෙන්න බැහැ. මේ ඉන්නේ එයාගේ පෙම්වතියවත්ද? හරියටම කියන්න බැහැ නේද? මෙහෙම හිතන්න බැරිද? එයාගේම චිත්‍රය එයා ඇඳගත්තා වෙන්න බැරිද?“ මේ මොනාලීසා චිත්‍රය සම්බන්ධ විවිධ අර්ථකථනයන්ය. ඇත්තටම ඒ කවුද? ලියනාඩෝවත් නොකීවේය. එය දකින්නට සිතන්නට දෙයක් ඉතිරි කළේය. මේ නිසා යමක් පිළිබඳ අර්ථකථන දීමට හදිසි නොවන්න. ඔබට දැනෙන දේ ඔබේ අයුරින් විඳගන්න. එය මේයැයි විග්‍රහ කිරීම උකටලීය. අද බොහෝ දෙනා විග්‍රහයට පෙර විවේචනය කරති.
කුමක් වුවත් කම් නැත. දැනෙන සිතුවිල්ලට අනුව විඳගන්න. එවිට ඔබට ලෝකය වෙනස් කිරීමට නොහැකි වුවත් ඔබට වෙනස් වීමට හැකිය. නිශ්ශබ්ද වීම සියල්ලට වඩා යහපත්ය. චංචල ජලයට වඩා නිසල දිය ගැඹුරු බව එයින් පසක් කළ හැකිය.
රූපාන්ති බුලත්සිංහල