අධ්‍යාපන ක්‍රමයට නවග්‍රහ ශාන්ති කර්මයක් | සිළුමිණ

අධ්‍යාපන ක්‍රමයට නවග්‍රහ ශාන්ති කර්මයක්

 අධ්‍යාපනයේ සාක්ෂරතාව නැමැති කඩතුරාවෙන් පමණක් නිරුවත වසා ගැනීමට උත්සාහ කළද වර්තමානය වන විට වර්ධනය වන සමාජ දේශපාලනික ආර්ථික අර්බුද හමුවේ තව දුරටත් සාක්ෂරතාවේ සළුව අධ්‍යපනයේ නිරුවත වැසීමට ප්‍රමාණවත් නොවේ. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සමස්ත ලංකාවේ සිදුවන සියලු සිදුවීම්වලින් තත්ත්වය විග්‍රහ කිරිම කෙසේ සිදු කළද අවසානයේ අපරාධකරුවන්, මිනීමරුවන්, මංකොල්ල කරුවන් දූෂකයින් බේබද්දන්, කුඩු කාරයින් මෙන්ම දූෂක දේශපාලකයින් කරන ජනතාවක් නිර්මාණය කිරීමේ වගකීම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය භාර ගත යුතුය. විනය පිරිහුණු සිසු සිසුවියන්ද රියදුරන්ද වල්නාශක යොදා මඤ්ඤොක්කා ගලවන ගොවියාද පොල්තෙල් තාච්චියට ප්ලාස්ටික් බෝතලයක් දමා බයිට් හදන කාන්තාවද නිර්මාණය වුයේ අධ්‍යාපන ක්‍රමය නිසාය. පාසල් සිසුන් අපයෝජනය කරන ගුරුවරුන්ද ගුරුවරියන් හෝටල්වලට ගෙනියන විදුහලපතිවරුන්ද මේ අධ්‍යාපන ක්‍රමයේම නිර්මිතයන්ය. තවත් මෙවැනි නිදසුන් ඕන තරම් දැක්විය හැකිය.

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයකි. එහෙයින් නිර්වචනයක් ඉදිරිපත් කිරීම අපහසු වුවද රටක පුරවැසියා යනු එම රටේ අධ්‍යාපන ක්‍රමයේ පරාවර්තනයකි. මනුෂ්‍යයන් යනු අධ්‍යාපන ක්‍රමයේ දෝංකාරයයි. අප සිටින්නේ යහපත් මානසිකත්වයක් ඇති සෑම මිනිසෙක්ම ප්‍රතික්ෂේප කරන සමාජ ක්‍රමයකය. අප හමුවේ ඇත්තේ අලුත් මිනිසෙක් නිර්මාණය කිරීමේ අභියෝගයයි. මේ අලුත් මිනිසා තැනීමේ කර්මාන්ත ශාලව වන්නේ අධ්‍යාපනයයි. ජාතික අරමුණු සඳහා මානව සම්පත නිර්මාණය කරන්නේ අධ්‍යාපන ක්‍රමය විසිනි. මේ නිසාවෙන් අධ්‍යාපන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීම රටක සංවර්ධනයට සෘජුවම බලපාන අතර ජාතීන් අතර සංහිඳියාව නිර්මාණය කළ හැක්කේද අධ්‍යාපනයටය.

දෙවනුව වෘත්තීය අධ්‍යාපනයක් කෙරෙහි අවධානය යොමු කිරීම අතින් ලංකාවේ අධ්‍යානපන ක්‍රමය ඇත්තේ පසු ගාමී තැනකය. අපොස සාමාන්‍යපෙළ දක්වා අධ්‍යාපනය අනිවාර්ය වුවද අපොස සා පෙළ විභාගය සමත් වුවද අසමත් වුවද පාසලින් ඉවත් වන සිසුන් සඳහාද විකල්ප නොමැත.

වෘත්තීය අධ්‍යාපන ආයතනයකට ගොස් අධ්‍යාපනය නොලැබුව හොත් සිදු වනුයේ ත්‍රීවීල් රියැදුරකු හෝ ගාමන්ට් පැක්ටරියක නුපුහුණු සේවක සේවිකාවක වීමටය. වෙනත් වෘත්තියක යෙදීමට පාසල් අධ්‍යාපනයෙන් ඉඩක් විවර කර නැත. උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාලයට නොගියොත් හිඳහිට පැවැත්වෙන රජයේ තරග විභාගයක් හැරුණු කොට රැකියා සඳහා විකල්පයක් පාසල් පද්ධතියේ නිර්මාණය වී නොමැත. අනවශ්‍ය විෂය නිර්දේශවල බර කර තබා ගෙන මතක තබා ගැනීමේ සූරයින් ඉදිරියට යද්දි වඩා ප්‍රායෝගික සිසුන් පාසල ප්‍රතික්ෂේප කරනු දැකිය හැකි සුලභ ලක්ෂණයි.

අධ්‍යාපනයේ සිදු විය යුතු වෙනස් කම් කීපයක් මෙසේ විස්තර කළ හැකිය.

01 ටියුෂන් අධ්‍යාපන ක්‍රමය කෙරෙහි ඇති අනවශ්‍ය පෙලඹවීම අවම කර පාසල කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුය.

අද පාසල්වල සිසුන්ගේ විෂය සමගාමි සහ විෂය බාහිර ක්‍රියාකාරකම් නොමැති තරම්ය. සෑම සිසුවෙකු තුළම විභව ශක්තියක් ඇත. අධ්‍යාපනයේ කාර්යය විය යුත්තේ මේ විභව ශක්තියට එකතු කළ වටිනාකමක් ලබාදී සෑම පුද්ගලයකුටම වටිනා කමක් ලබා දීමයි. එහෙත් විභාග නිසා ඇතිවන අධික තරගයේදී කෙනෙක් පිටු පසට දමන අතර කෙනෙක් ඉදිරියට යයි. මෙය ප්‍රචණ්ඩත්වයකි. එහෙත් අපි මේ ප්‍රචණ්ඩත්වය අධ්‍යාපනය ලෙස නම් කරමු. ටියුෂන් මඟින් සිදු වනුයේ මේ ප්‍රචණ්ඩත්වය තීව්‍ර කිරිමටය.

අවසාන සමාජයට යන්නේ ප්‍රචණ්ඩ පුරවැසියෙකි. පරාජිතයින් වෛරයකින් යුතුව සමාජයට යන අතර සමස්ත සමාජයම ප්‍රචණ්ඩකාරී වේ.පුද්ගල සාර්ථකත්වය ලෙස අර්ථ ගැන්වී ඇත්තේ විශාල වැටුපක් සහිත රැකියාවකි. තවත් ආකාරයකට සාර්ථකත්වය විසින් සියලු පාපකර්ම අහෝසි වන නිසා සාර්ථකත්වය වෙනුවෙන් සටන් වැදිමට අධ්‍යාපන ක්‍රමය විසින් පොළඹවනු ලැබ ඇත .ව්‍යාපාරික අර්ථයෙන් ක්‍රියාත්මක වන ටියුෂන් ක්‍රමය විසින් තම ප්‍රතිවාදියා ලෙස නිතරම පහර දෙන්නේ පාසල් අධ්‍යාපනයටයි. එසේම ඔවුන් පුද්ගල විභවතා සංවර්ධනය වෙනුවට විභාග කෙරෙහි අවධානය යොමු කරවා ඇත. එහි අවසාන ප්‍රතිඑලය වි ඇත්තේ පාසල සවස් වරු අහිමි වීමය.

02 පාසල් ගුරුවරයා බලසතු කිරිම

පසුගිය කාලය පුරාම සිදු වුය් පාසල් ගුරුවරයාගේ පරමාදර්ශී භූමිකාව රජයේ සේවකයකු දක්වා වර්තනය වීමයි. ගුරුවරයාගේ තෘප්තිමත් භාවය අවම අගයක දක්වා පිරිහී ඇත .වැටුප උසස් විම් මෙන්ම වැටුප් වර්ධකයේ අතෘප්තිමත් වීමට වඩා තම කාර්ය පිළිබඳ පරාරෝපනයෙන් හා අභිප්‍රේරණයක් නොමැති වීමෙන් සමස්ත ගුරු සංහතියම අකාර්යක්ෂම අගාධයක් කරා රැගෙන ගොස් ඇත. ක්‍රමයේ දැනුම වෙනුවට වඳ පීදිම අධිනිෂ්චය වී ඇත. ගුරු උසස් වීම් නියමිත පරිදි ලබාදීම මෙන්ම ඉහළ අධ්‍යාපන සුදුසුකම් සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට අධ්‍යාපන පද්ධතිය සකස් විය යුතුය. ලංකාවේ තවමත් පශ්චාත් උපාධීයක් සඳහා කිසිදු වරප්‍රසාදයක් හිමි නොවීම අධ්‍යාපනයේ තවත් ඛේදවාචකයකි. පින්ලන්තයේදී සියලුම ගුරුවරුන් මාස්ටර් උපාධිය සමත් විය යුතු අතර සතියේ පැය ගණනක් තම විෂය සංවර්ධනය සඳහා යෙදවිය යුතුය. ගුරුවරයාගේ තත්ත්වය වෛද්‍යවරයකුගේ ඉංජිනේරුවරයකුගේ හෝ නිතිඥයකුගේ තත්ත්වයට පත් කර ඇත්තේ ගුරුවරයා බලසතු කිරීමේ වැදගත්කම තේරුම් ගත් නිසාවෙනි .

03 විෂය නිර්දේශ සහ පෙළපොත් නව දැනුමින් නව සංකල්පයන්ගෙන් මෙන්ම මිනිස් ගුණයන්ගෙන් පිරවීම

පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ භාවිත පෙළ පොත්වල ගුණාත්මක භාවය පිලිබඳව වර්තමාන අගමැතිවරයා ප්‍රකාශයක් කර ඇත. ඔහුට අනුව පෙළ පොත් නවීකරණය විය යුතු අතර විෂය මාලාවන් වෙනස් විය යුතුය. සිසුන්ට ඔරොත්තු නොදෙන විෂය නිර්දේශ හේතුවෙන් සිසුන් කුඩා කල සිටම මානසික ආතතියට ලක් වන අතර බොහෝ සිසුන් පාසල හැර යන්නේ මේ හේතුව නිසාවෙනි. එසේ විෂය නිර්දේශ ආවරණය කිරීම පසු පස යන විට විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම්වලට කාලය නොමැති වේ. බොහෝ දරුවන් ක්‍රීඩාවෙන් ඈත් වන්නේ මේ හේතුව නිසාවෙනි. අධ්‍යාපනයේ බැංකු සංකල්පය වෙනුවට දැනුම හුවමාරු කර ගැනිමේ ප්‍රශ්නාභියෝගී අධ්‍යාපන ක්‍රමය ඇති කළ යුතු අතර ගුරුවරයා උගන්වන අතර ඉගෙන ගන්නා කෙනකු විය යුතුය. සිසුවා ඉගෙන ගන්නා අතර උගන්වන්නකු විය යුතුය. මේ සඳහා විෂය නිර්දේශ පෙළ පොත් ගුරු අත් පොත් අලුතින් සංවිධානය විය යුතුය.

04 පාසල් තුළ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්

කෙතරම් චක්‍රලේඛන උපදෙස් ලබා දුන්න ද පාසල්වල බාහිර ක්‍රියාකාරකම් හොඳින් සිදු නොවේ. එසේම අභිමත ඉලක්ක සාධනය වෙනුවට ප්‍රදර්ශන අකාරයේ ක්‍රියාකාරකම් දැකිය හැකිය. මේ නිසා විධිමත් ලෙස සිසු සිසුවියන්ගේ අභ්‍යන්තරික විභව ශක්තීන් ප්‍රකාශයට පත් කරමින් පුද්ගල වටිනාකමක් ලබා දිය හැකි ආකාරයට විෂය භාහිර ක්‍රියාකාරකම් සකස් විය යුතුය. ක්‍රීඩාව ජාතික තලයේ දී තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ පාසල් ක්‍රීඩා දුර්වල විමය.

05 පාසල් වර්ගිකරණය

දැනට තිබෙන වර්ගිකරණය අනුව සම්පත් බෙදී යෑමේ දැඩි විෂමතාවක් පවතින අතර සමහර පාසල්වලට අධික සම්පත් ප්‍රමාණයක් ලැබෙන අතර සමහර පාසල් වලට මූලික පහසු කම් වත් නොලැබේ. මේ නිසා පාසල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාව අවම වන ලෙස කටයුතු කළ යුතු වේ. පාසල් වර්ගීකරණය සරල ලෙස සිදු කළ යුතුය.

06 විදුහල්පතිවරුන් මත ඇති කර ඇති අනවශ්‍ය පීඩනය ඉවත් කර චක්‍ර ලේඛණවලින් සිදු කරන බලපෑම් අවම කළ යුතුයි.

බොහෝ විදුහල්පතිවරුන් තවමත් කටයුතු කරන්නේ පෙර සිරිත අනුවය. එනම් කලින් විදුහල්පති කටයුතු කළ අකාරය. මේ නිසා පාසල් පද්ධතිය නවීකරණය නොවන අතර අනවශ්‍ය ගැටලු ඇති කරනු ඇත. එසේ ම පරිපාලකයකු ලෙස ක්‍රියා කිරීම නිසාවෙන් මානව සම්පත කලමනාකරණයේදි දුර්වල වේ. මේ නිසා මානව සම්පත් කලමනාකරණ කුසලතා ගැටුම් නිරාකරණය සහ කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියාකරන කණ්ඩායම් සාමාජිකයකු ලෙස ක්‍රියා කළ හැකිය.

07 සිසුන් මත විභාග කෙරෙහි තබා ඇති අනවශ්‍ය බර

පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දෙක වසරේ සිට සුදානම් වන අතර අධික පිඩනය නිසා දරුවන් මානසික පිඩනයේ ගොදුරු බවට පත්වේ.එසේම සා.පෙළ උසස් පෙළ විභාග සඳහා දැඩි තරගයක නිරත විමට සිදුවිම අධ්‍යාපනයේ පරමාර්ථ ළඟා කර ගැනිමට බාධා පමුණුවයි. මේ නිසා විභාග කේන්ද්‍රීය අධ්‍යානය වෙනුට කුසලතා ආකල්ප දැනුම මැනිය හැකි ක්‍රමවේදවලින් සමබර පෞරුෂයක් සහිත පුරවැසියන් බිහි කළ හැකි වේ.

වජිරකාන්ත උබේසිංහ 

Comments