
චැම්පියන්ස් ශූරතාවලියට ගිය සිරි ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගවලටවත් නැතුව ආවා. කලින් ම කට්ටිය ආපු නිසා වැඩි සද්ද බද්ද එහෙම නැතුව හීනියට වගේ ප්‍රෙස් එකකුත් තිබ්බා.
මම කවුරුවත් කියන දේවල් ගණන් ගන්නේ නෑ. ග්‍රව්න්ඩ් එක මැද කරන්න ඕනෑ මොනවද නැත්තේ මොනවද කියලා කවුරුවත් මට කියන්න ඕනා නෑ කියලා මැතුවා කියන කොට ප්‍රෙස් එකේ හිටපු අනිත් පොරවල්ලා හතර අතේ ඇඹරෙනවා.
මැතුවාට පහුගිය දවස්වල කැපිල්ලකුත් තිබ්බනේ. මැතුවා කොහොමත් බල බල හිටියේ තොපිට ඇට්ටි හැලෙන්ඩ දෙනවම කියලා.
ඒකනේ ඉන්දීය මැච් එක දිනලා ඉවර වුණාට පස්සේ මැතුවා පස්ස හරවා හරවා මම කවුද කියලා හරියට බලාගනිල්ලා කියලා චැම්පියන්ස් ශූරතාවලිය බලන්න පැල්බැඳගෙන සිරි ලංකාවෙන් ගිහින් හිටිය සෙට් එකට පෙන්නුවේ.
ඒකනේ මැච් පැරදුණා කියලා නායකත්වයෙන් අයින් වෙන්න ඕනාද කියලත් ඇහුවේ. කොහොමත් ඉතින් මේ කතා නම් මැතුවාට කපන්න බලන් හිටපු අයට නම් නියම කණේ පාරවල් වගේ වදින්න ඇති නේද ජෙරියෝ.
නැතුව... නැතුව... කොහොමත් කට්ටිය බල බලා හිටියේ ආබාධ පිට දාලා හරි මැතුවා එළියෙන් තියලා චැම්පියන්ස් ශුරතාවලියේ පුළුවන් තරම් දුර යන්න තමයි.
ඒක එහෙම වෙන්නේ කොහොමද ටොමා, සාමාන්‍යයෙන් විනාඩි හතරකින් විතර ඉවර කරන්න ඕනා ඕවරයක් විනාඩි හයක් අටක් ඇරගෙන දාලා හරි කට්ටිය හිත නිවෙන විදියට උපුලව තරගාවලියෙන් ම එළියේ තිබ්බේ.
මේවා හුඟක් අයට පේන්නේ නැති වුණාට, ඇතුළේ සුපිරි ගේම් ගහනවා මචං කට්ටිය එකතු වෙලා.
ඒකනේ මචං ලසියා කිසි ගේමක් නැතුව ම කියන්නේ කැච් මිස් කළාට මැච් පරදින්නේ නෑ කියලා. මේ කතා රටක් නියෝජනය කරන අය කියන කතා ද කියලා හිතපන්කෝ.
ඒක ඇත්ත මචං, මේ කතා එළියට එන්නේ ම කල්ලි නියෝජනය කරන අයගෙන් මිසක් රටක ජාතික කණ්ඩායම නියෝජනය කරන අයගෙන් වෙන්න බැහැනේ.
ඇයි බන් ලසියා කිව්ව අනිත් කතාව මතකද. මේ රටේ ඉන්න බුද්ධිමත් ජනතාව අපි ක්‍රීඩා කරපු ආකාරය ගැන හරි වැරැද්ද තේරුම් ගනියි කියලත් කිව්වේ.
ඔව්... ඔව්... බුද්ධිමත් ජනතාව අතරට බැහැලා බැලුවා නම් දැන ගන්න පුළුවන් වෙයි ඇඳන් ඉන්න ඒවා ඔළුවෙන් ගලවලා පැම්පස් අන්දලා එවයි කියලා නම් ඉර හඳ වගේ ෂුවර්.
මොනව වුණත් මචං, ක්‍රිස් ගේල් තමයි පොර. කිසිම අවුලක් නැතුව ඉන්දියාව හරි පාකිස්තානය හරි දිනනවා කියලා කිව්වා. මේ ටීම් දෙකම අවසන් තරගයට ආවා. සංගාත් ඉතින් ලාවට වගේ ගිය පාර වගේ ඉන්දියාව දිනයි කියලා කිව්වා. මොනව වුණත් අන්තිම ටීම් හතරටවත් සිරි ලංකාව ගැන කතා නොකරපු එක ගැන නම් සිරිලංකාවේ අයට ලොකු අවුලක් තිබුණා.
එහෙම අවුල් වෙන්න දෙයක් නෑනේ මචං, සංගලා මෙච්චර දවස් වගා කරපුවා තමයි අනාගතයේ නෙළන්න වෙන්නේ කියන එක රහසක් නෙවෙයිනේ. සංගලා, මහේලලා - මුරලිලා ගහන කාලෙත් මචං කාටවත් අනාගතයක් තිබ්බේ නෑනේ. ක්‍රිකටර්ස්ලාගේ ඉඳලා පාලකයන්ට තිබුණේ වර්තමානයක් මිසක් අනාගතයක් නෙවෙයිනේ. සංගලාට වුණත් මෙතැනින් එළියට ගිහින් මහා ලොකුවට කියන්න තියෙන්නේ ඔය කටුක ඇත්ත සහ පරම සත්‍යය මිසක් වෙන මොනවද බං.
මේ යන විදියට නම් එංගලන්තයේ තියෙන ලෝක කුසලාන තරගාවලියේ සිරිලංකාවට අබම තමයි. දැන්වත් හරියට පය ගහලා නැඟිට්ටේ නැත්නම් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ගිහින් මිසක් ලෝක කුසලානයට නම් එන්න ලැබෙන්නේ නැතිවෙයි.











