බසෙහි පරිණාමයට මුල් වූ 'සිරිගේ කවිය' | සිළුමිණ

බසෙහි පරිණාමයට මුල් වූ 'සිරිගේ කවිය'

මහාචාර්ය සිරි ගුනසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද සත් සමුදුර චිත්‍රපටයෙනි.

සිරි සිය නිබන්ධ ලිවීම සඳහා තෝරාගත්තේ භාරතීය චිත්‍රකලාවේ විධි නියම පිළිබඳ පර්යේෂණ කිරීමටයි. ප්‍රංස සරසවි ක්‍රමය තුළ එවැනි නිබන්ධ පර්යේෂකයන්ගේ මහාචාර්යවරුන් විසින් කියවන අතර එය විශිෂ්ට, සාර්ථක, හොඳ, හා සාමාන්‍ය යනුවෙන් ඔවුන් විසින් වර්ගීකරණය කරනු ලැබුවා මෙන් මතුරුණු තුරුණු සිරිගේ නිබන්ධය විශිෂ්ට ගණයේ එකක් සේ තෝරාගන්නා ලද එකක් පමණක් නොව, එය ප්‍රංස සරසවියේ මුද්‍රණාලයේ පළ කිරීමටද යෝජනා කරන ලදී.

අභාවප්‍රාප්ත මහාචාර්ය සිරි ගුනසිංහ මා පළමුවෙන් දැනඇඳිනගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙනි. සරසවියක විශිෂ්ටතම ලකුණ වන්නේ එහි සිසුන්ට තම ගුරුවරුන්ගෙන් ගුරුහරුකම් පමණක් නොව, ඔවුන්ගේ ඇසුරෙන් උසස් සාහිත්යික හා විද්‍යාත්මක හරයන්ද නිරායාසයෙන් උකහාගැනීමට ලැබීමයි. එවැනි අත්දැකීම් අපට සලසා දීම ගැන පේරාදෙණියේ සිටි විශිෂ්ට ගුරුවරුන් බොහෝ දෙනකුට අප ණයගැති වුවද ඔවුන් අතුරිනුත් විශාලතම බලපෑම කිරීමට තරම් පෞරුෂයක්, දැනුමක් හා මිත්‍රශීලී බවක් තිබුණේ සිරි ගුනසිංහටයි.

එම යුගයේ ප්‍රාචීන භාෂා පිළිබඳ උසස්ම මට්ටමේ දැනුම හිමි වූයේ ඔහුටය. සංස්කෘත පිළිබඳ මහාචාර්ය බෙටී හයිමන්ගේ ප්‍රියතම ශිෂ්‍යයා වූ ඔහු සෑම තරග විභාගයකින්ම උසස් ලෙස සමත් වී සරසවියේ කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීම ලැබුවේය. සංස්කෘත අංශයේ මුල් යුගයේ ප්‍රධාන දක්ෂයන් දෙදෙනා වූයේ සිරි හා ආනන්ද ගුරුගේය. එහෙත් සිරි අන් සියලු දෙනා අබිබවා ලකුණු ගනිමින් පන්තියේ පළමු වැනියා විය. ඉන් වසරකට පසු ආනන්ද ගුරුගේ ලංකා සිවිල් සේවයට බැදුණේය.

සිරිගේ පියා දකුණෙන් පැමිණ රුවන්වැල්ල ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන ගමේ වෙළහෙළෙඳාම්වල යෙදී සිටියේය. රුවන්වැල්ලට ගොස් ගඟකින් එතෙර වී යා යුතු ඒ ගමට මා සිරි සමග කිහිපවිටක්ම ගොස් තිබේ. මට මතක හැටියට සිරිගේ පියාගේ අවමඟුලටත් අප කීප දෙනකු ඔහුගේ සහෝදරයා වූ ධර්මා සමඟ ගමට ගොස් ඇත.

දෛවයේ බලපෑම කෙසේද යත්: මේ දක්ෂ කොලුපැටියා සිය පියාගේ ගාල්ලේ ඥාතීන් විසින් අධ්‍යාපනය සඳහා දකුණු පළාතට ගෙන යන ලදි. මුලින්ම අක්මීමන පාසලකට ඇතුළු කරන ලද දරුවා පසුව එකල බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සුප්‍රසිද්ධ පාසලක් වූ මහින්දයට ඇතුළතුරුණු ත් කරන ලදි. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍ය‍ාලයේ උපධිධරයකු වූ වුඩ්වර්ඩ් නමැති ඉංග්‍රිසි ජාතිකයා එම පාසල ඉහළම පෙළේ ශාස්ත්‍රාලයක් බවට පත් කළේය. එපමණක් නොව, වුඩ්වර්ඩ් පාලි භාෂාව පිළිබඳ විශේෂඥයකුද වූයෙන් පාලි ග්‍රන්ථ කීපයක් ඉංග්‍රිසියට පෙරළීය. සිරි මහින්දයට යන කල එහි ප්‍රධානාචාර්යවරයා වූ විජේසූරිය මුළු රටේම උසස්ම ගුරු නායකයකු හැටියට පිළිගන්නා ලදි. ඔහුද එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබා පාසල් දරුවන්ට බටහිර මෙන්ම ප්‍රාචීන භාෂා ඉගැනීමට සුදුසු පරිසරයක් ඇති කළේය.

සිරි උත්පත්තියෙන්ම භාෂා ඉගෙනීම පිළිබඳ පුදුම හැකියාවක් තිබූ කෙනෙකි. ඔහු එකල දීපව්‍යාප්ත පාලි භාෂා විභාගයෙන් මුළු රටේම පළමුවැනියා විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රිසි, ප්‍රංස සහ ජර්මන් වැනි භාෂා සියල්ල ඔහු දැන සිටියේය.

මේ කරුණු මා ගෙනහැර දැක්වූයේ කොළඹ කවීන්ගෙන් ඇතැම් අය ඔහු බටහිර භාෂා හැදෑරීම නිසා ප්‍ර්‍රාචීන සම්ප්‍රදායන් උල්ලංඝනය කර ඇති බවට චෝදනා නැ‍ඟෙන නිසාය. මාර්ටින් වික්‍රමසිංහ පවා ඔහුගේ 'නව පද්‍ය සිංහලයේ' එවැනි හැඟීමක් ඉස්මතු කරයි. ඇත්ත වශයෙන් ඔවුන් සියලු දෙනාම අබිබවා ප්‍රාචීන භාෂා පිළිබඳව දැනුමක් සිරි සතු විය. වරක් සමන් මුද්‍රණාලයේ ආරාධනයෙන් ඔහු හා මා 'සාහිත්‍ය විචාර' නමින් සඟරාවක් සංස්කරණය කළෙමු. එහි ඔහු සිංහල කාව්‍ය පිළිබඳ ලියා ඇති රචනාව අද වුවත් විචාරකයන් විසින් කියවිය යුතුයයි මම සිතමි.

සිරීගේ පාසල් දිවිය ගැන තවත්කරුණක් ගැන සටහනක් තැබිය යුතුය. එනම්: ඔහු එකල ප්‍රබල තරුණ සංවිධානයක් වූ බෞද්ධ ශිෂ්‍ය මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයකු වීමයි. එම බෞද්ධ ශිෂ්‍ය කණ්ඩායමේ ඉතිහාසය ගැන බොහෝ දෙනා නොදනිති. වැන් සයිස්ට් නම් වූ ඕලන්ද ජාතිකයකු භික්ෂු ධර්මපාල නමින් සසුන්ගත වූයේය. බුද්ධාගම ගැන ගැඹුරු දැනුමක් තිබූ වැන් සයිස්ට් ඔහු වටා බුද්ධිමත් තරුණ සිසු කණ්ඩායමක් රැස් කර ගත්තේය. ඔවුන් අතුරින් ප්‍රධාන තැනක් ගත්තේ එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයකු වූ ආනන්ද මීවනපලානය. මීවනපලාන බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කළ අතර ක්‍රිෂ්ණමූර්තිවාදියෙක්ද විය. බුද්ධාගම ගැන අලුතින් සිතීමට අනුබල දුන් මෙම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූයේ සිරි ගුනසිංහයි.

පේරාදෙණියේ මුල් අවදියේ සිසුහු සිංහල, පාලි, සංස්කෘතික හා බෞද්ධ ශිෂ්ටාචාරය ගැන සියලු විෂයයන් 'ඉන්දු-ආර්ය' යන මාතෘකාව යටතේ පරිශීලනය කළහ. සංස්කෘත භාෂාව තම ප්‍රධාන විෂයය හැටියට තෝරාගත්තද, ඉහත සඳහන් සෙසු විෂයයන් සඳහාද සාමර්ථ්‍යයක් ගැනීම සිරිට අවශ්‍ය විය. මේ සියල්ල භාර අංශ ප්‍රධානියා හැටියට කටයුතු කළේ මහාචාර්ය ගුණපාල මලලසේකරයි. සරසවිය තුළ ඔහු හරියට උදේ නවයට සිය දේශනය ආරම්භ කරන අතර දහයට (ඇතැම් විට 9.45ට) එය අවසන් කර සරසවියෙන් පිට වී ගොස් ඔහුගේ ජාතික මෙහෙවර ආරම්භ කරන්නේය. දිනක් මලලසේකර කඩිමුඩියේ දේශනය අවසන් කර එළියට එන විට කොරිඩෝවේ කරක් ගසන සිරි ගුනසිංහ සිසුවා හමු විය. “රත්නපුරේ බෞද්ධ උත්සවයකට යන්ඩ තියෙනවා, තමුසේත් එනවා” කියමින් ඔහු සිරීද රථයට නංවාගෙන රත්නපුරය බලා පිටත් විය. එකල ගුරුවරුන් හා සිසුන් අතර එවැනි ළබැඳියාවක් තිබිණි. තම මිත්‍ර සිසුන් සිය රථයේ නංවාගෙන කොළඹ එක්කරගෙන යෑම සිරිගේද සිරිත විය. එම ගමන යන අතර සිරි කී කතා දැන් වුව මට හොඳින් මතකය. ඔහුගේ ජීවිතයේ විවිධ පැතිකඩ ගැන අපට දැනගන්නට ලැබුණේ මේ ගමන් අතරදීය. අමරදේව, මඩවල රත්නායක, සේකර, එච්.එම්. ගුණසේකර හා ඔස්ටින් ජයවර්ධන වැනි මිතුරන් සති අන්තයේ පේරාදෙණියට පැමිණ සිරි සමඟ ඔහුගේ රථයෙන් ආපසු කොළඹ යෑමට කැමැති වූයේ එවැනි රසවත් කතා ඇසීමටය.

ලංකා විශ්වවිද්‍ය‍ාලයේ වාර්ෂික අවසාන විභාගයෙන් ඉහළින්ම සමත් වන සිසුවාට හෝ සිසුවියට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරේ. සිරි ගුනසිංහ අවසාන විභාගට පෙනී සිටි වර්ෂයේ ප්‍රාචීන භාෂා පීඨයෙන් ශිෂ්‍යත්වය හිමි වූයේ සිරිටය. එකල සිසුන්ගේ උත්තර පත්තර පළමුවෙන්ම තම ගුරුවරුන් විසින් ලකුණු කරන අතර, ඉන් පසු එම උත්තර පත්තර බාහිර (එකල යුරෝපයේ) පරීක්ෂකවරයකු වෙත යවනු ලැබේ. ඒ අනුව එකල සරසවියේ ඉහළම පන්තියේ සාමර්ථ්‍යයක් ලබන ශිෂ්‍යයයා දේශීය මෙන්ම විදේශීය ශාස්ත්‍රඥයන් විසින් තෝරාගනු ලැබූ කෙනෙකි. තරුණයකු හැටියට සිරිට එම ගෞරවය ලැබීම සුවිශේෂ සුදුසුකමක් හැටියට මෙහි සඳහන් කළ යුතුයි.

ශිෂ්‍යත්වලාභී සිරි ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත අංශයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීමක් ලැබුවා පමණක් නොව, වැඩිදුර ඉගැනීම සඳහා යුරෝපයට යෑමටද හිමිකම් ලැබුයේය. යුරෝපයට යෑම සඳහා නැව් නැඟි සිරි මුලින්ම සෙන්දු වූයේ ලන්ඩන් නුවරටයි. ලන්ඩන්හි පිහිටි ප්‍රාචීන භාෂා විද්‍යාපීඨයේ ඔහුට තැනක් වෙන් කර තිබුණේය. එහෙත් උසස් අධ්‍යාපනය සඳහා යුරෝපයට පිවිසෙන තරුණ බුද්ධිමතුන්ට මුහුණ පෑමට සිදු වන අකරතැබ්බයකට සිරිටද මුහුණපාන්නට සිදු විය. එනම් මහාචාර්යවරයාට වුවමනා වූයේ තමා ප්‍රිය කළ විෂයය වූ සංස්කෘත ව්‍යාකරණය තුළ සිරි කොටු කර තැබීමටය.

ලන්ඩනයට පැමිණි සිරි සංස්කෘත ව්‍යාකරණය ගැන නිබන්ධයක් ලිවීමට අකැමැති විය. ඔහුට වඩාත් ප්‍රිය වූයේ ප්‍රංසයේ සෝබොන් සරසවියේ පෙරදිග අංශයේ මහාචාර්යවරුන් කීප දෙනකු සමඟ සිය ශාස්ත්‍රීය ගවේෂණ කිරීමටයි. සිරි පැරිසියට පැමිණෙන්නට ටික කලකට පෙර වල්පොල රාහුල හිමියෝද ලන්ඩනය අතැර පැරිසියට පැමිණ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය කටයුතුවල යෙදී සිටියහ.

රාහුල හිමියන් සහ සිරි අතර සම්බන්ධතාවක් ගොඩනැඟුණේ පැරිසියේ සිටි කාලයේ පටන්ය. ඉන් පසු කලෙක රාහුල හිමියන් විද්‍යෙ‍ා්දය විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් පත් කරන ලදි. උන් වහන්සේ සිරීට තම විශ්වවිද්‍යාලයට බැඳෙන්නට ආරාධනා කළේය. පැරිසියේ සිසුවකු ලෙස ගත කළ වසර සතර ගැන සිරි ඉතා ආසාවෙන් කතා කළේය. ශාස්ත්‍රීය කටයුතු පමණක් නොව, ඔහු සිය මිතුරුමිතුරියන් සමග ප්‍රංසයේ විවිධ පළාත්වල සංචාරය කළේය. ඔහු වඩාත් පර්යේෂණ කළේ පෙරදිග හා වෙසෙසින්ම භාරතීය චිත්‍ර කලාව කෙරෙහිය. ඒ සඳහා හේතු පාදක වුයේ පැරිසියේ අයිෆල් කුලුනට නුදුරින් පිහිටා ඇති මුසී ගිමේ නමැති කෞතුකාගාරයයි.

සිරි සිය නිබන්ධ ලිවීම සඳහා තෝරාගත්තේ භාරතීය චිත්‍රකලාවේ විධි නියම පිළිබඳ පර්යේෂණ කිරීමටයි. ප්‍රංස සරසවි ක්‍රමය තුළ එවැනි නිබන්ධ පර්යේෂකයන්ගේ මහාචාර්යවරුන් විසින් කියවන අතර එය විශිෂ්ට, සාර්ථක, හොඳ, හා සාමාන්‍ය යනුවෙන් ඔවුන් විසින් වර්ගීකරණය කරනු ලැබුවා මෙන් මතුරුණු තුරුණු සිරිගේ නිබන්ධය විශිෂ්ට ගණයේ එකක් සේ තෝරාගන්නා ලද එකක් පමණක් නොව, එය ප්‍රංස සරසවියේ මුද්‍රණාලයේ පළ කිරීමටද යෝජනා කරන

ලදී. එය විශාල ගෞරවයක් පමණක් නොව ඉහළම තත්වයේ ග්‍රන්ථවලට පමණක් සීමා වන වරප්‍රසාදයකි.

සිංහල සාහිත්‍යය ගැන සිරි තුළ ආසාවක් තිබිණි. එහෙත් ඔහු අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන්නේ පෙරදිග චිත්‍රකලාව පිළිබඳ විශේෂඥයකු හැටියටයි. මම පැරීසියේ යුනෙස්කෝ සංවිධානයේ සේවය කරන කාලයේ ඔහු යුනෙස්කෝ කලා අංශයට කැටුව ගොස් එහි නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමි. ඔවුන් ගරුසරු ඇතිව සිරීම පිළිගත් අයුරු තවමත් මගේ සිතේ සටහන් වී තිබේ.

සරසවියේ භාෂාව හදාරන සිසුන්ගේ විශේෂිත ලකුණක් වන්නේ ඔවුන් වචන හා එහි භාවිතය පිළිබඳ අවධානය යොමු කිරීමයි. එහෙත් ඔවුන්ගෙන් බොහෝදෙනා වචන විමසන්නේ ඒවායේ නිරුක්තිය විස්තර කරමිනි. සිංහල උගන්වන මහාචාර්යවරුන් බොහෝ දෙනකු වචනවල ඉතිහාසය, නිරුක්තිය, පරිණාමය ආදිය ව්‍යක්ත ලෙස හඳුන්වා දුන්නද ඒවා යොදා ගොඩනැ‍ෙඟෙන සාහිත්‍යයේ පදනම ගැන ඉගැන්වූයේ නැත.

එසේ වුවද සිරි හා තරමක් දුරට සරච්චන්ද්‍ර වෙනස් මඟක් ගත් අය වූහ. ඔවුහු සංස්කෘත පඬිවරුන්ගේ විචාර සංකල්ප යොදාගනිමින් නූතන සාහිත්‍ය කෘති විභාග කිරීමද ආරම්භ කළෝය. සංස්කෘත භාෂාව පිළිබඳ දැනුමෙන් මෙන්ම නූතන බටහිර සාහිත්‍ය ඇසුර අතින් සිරි, සරච්චන්ද්‍රට ඉදිරියෙන් සිටියේය. කාව්‍ය රස විඳීම පිළිබඳ සංස්කෘත බසින් ඉදිරිපත් කරන ලද න්‍යායන් යොදා ගනිමින් සිරි 'මේඝදූතය' සිය සිසුන්ට ඉගැන්වූ හැටි ගැන විමල් දිසානායක වටිනා රචනාවක් සපයා ඇත. ඇත්ත වශයෙන් 'කල්පනා ලෝකය' තුළින් සරච්චන්ද්‍ර ඉදිරිපත් කරන සංස්කෘත ශ්ලෝක තේරීම හා ඒවායේ අරුත පැහැදිලි කිරීමේදී සිරි ඔහුට බෙහෙවින් උපකාරී වූවා යැයි සිතමි. එම රචනා කරන කාලයේ සිරි හා සරච්චන්ද්‍ර ළඟින් ඇසුරු කළ බව මට මතක් වෙයි. ඔවුන් තරම් සකු බස් දැනුමක් නොතිබි මාර්ටින් වික්‍රමසිංහද ‘රසවාදය’ පිළිබඳ විවාදයට එක් වුණේය.

එළිසමය මත රැඳුණ 'කොළඹ කවිය' සිරි විසින් විවේචනය කරන ලද්දේ ඔහු කාව්‍ය පිළිබඳ සංස්කෘත පඬිවරුන්ගේ වැකි අතැඹුලක් සේ දැන සිටි බැවිනි.

විවිධ කලාත්මක කටයුතු කෙරෙහි සිරි ගුනසිංහ බලපෑ නමුත් මෙරට ජනයා ඔහුව හඳුනාගෙන ඇත්තේ කවියකු, නවකතාකරුවකු හා විචාරකයකු ලෙසයි. ඇතැම් අවස්ථාවල මේ හැකියාවන් සියල්ල එක් මිටකට ගනිමින් සිරි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේය. චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර නාටක සකස් කිරීම, ගීත රචනය, සංගීත ඛණ්ඩ තෝරාගැනීම වැනි අනේකවිධ කුසලතා ඔහු අධ්‍යක්ෂණය කළ 'සත් සමුදුර' චිත්‍රපටයෙන් දැකගත හැකිය. ඊට එකල චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ ව සිටි විශිෂ්ටයන් සියල්ල එක්රැස් කරගැනීමට සිරිට හැකි වූයේ ඔවුන් සියල්ල ඔහු කෙරේ දැක්වූ ගෞරවය නිසාය. අමරදේව, මහගම සේකර, සෝමදාස ඇල්විටිගල, ඩී.බී. නිහාල්සිංහ හා වසන්ත ඔබේසේකර වැනි අය මේ නිෂ්පාදනයට දායක වූහ. සිංහල චිත්‍රපට ඉතිහාසයේ සත් සමුදුරට ගෞරවනීය තැනක් හිමි වේ. එපමණක් නොව, ස්වර්ණා මල්ලවාරච්චි ලාංකික නරඹන්නන්ට හඳුන්වා දෙනු ලැබුවේ මේ චිත්‍රපටයෙන්ය. කිසිම සිංහල චිත්‍රපටයක ආරම්භය සත්සමුදුරේ මුල් දර්ශනය අබිබවා යෑමට සමත් වී නැතැයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මට වරක් පැවසීය. 'සිනිඳු සුදු මුතු තලාවේ' ගීතයත් නිහාල්සිංහගේ කැමරාකරණයත් මේ ආරම්භය විචිත්‍රවත් කරයි.

දැන් අපි සිරි ගුනසිංහගේ සාහිත්‍ය කෘති දෙස හැරෙමු. ඔහුගේ මුල් කාව්‍ය සංග්‍රහය වූ 'මස් ලේ නැති ඇට' මුද්‍රණද්වාරයෙන් එළි දැක්වූයේ අප පේරාදෙණියේ සරසවි සිසුන් හැටියට උන් කාලයේයි. එම කාව්‍ය සංග්‍රහය බොහෝ දෙනකුට අභියෝගයක් වූවා පමණක් නොව, පේරාදෙණියේ සාහිත්‍ය ළැදි සිසුන් කාණ්ඩ දෙකකට බෙදී යෑමටද හේතු වූයේය. වික්‍රමසිංහ මහතා ඔහුගේ ‘නව පද්‍ය සිංහලයෙන්’ නිසඳැස් කවි විවේචනයට ලක් කළේය. එපමණක් නොව, කොළඹ මාධ්‍යවේදීන්ද එම කෘති දෙස බැලුවේ වපර ඇසිනි. මානවසිංහ එම කවි ගැරහුවේය. එකල ලංකාදීපයේ නියෝජ්‍ය කර්තෘ වූ කේ.ඇම්. සිරිසේන පමණක් පේරාදෙණි සාහිත්‍යය අපක්ෂපාතී විචාරයට ලක් කළේය. එහෙත් සිරිටත් අනුගාමිකයෝ සිටියෝය. ලංකා ගුවන්විදුලි සේවයේ එච්.එම්. ගුණසේකර, මහගම සේකර හා මඩවල රත්නායක ඔහුට ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගී වීමට ඉඩ සලසා දුන්නෝය.

ඔවුන්ට වඩා සිරිගේ සහායට පැමිණියෝ තුරුණු සරසවි සිසුවෝය. අපි කීපදෙනෙක් එක්වී 'නිසඳැස' නමින් සඟරාවක් ආරම්භ කළෙමු. එය කොළඹ කවියන්ගේ කෝපය තවත් තියුණු කිරීමට හේතු විය. ඒ කෙසේ වුව මෙරට ඉංග්‍රිසි හා සිංහල පුවත්පත් මේ විවාදය ඉදිරියට ගෙන යෑමට පසුබට වූයේ නැත.

1963 සාහිත්‍ය දිනයේ මේ පිල් බෙදීම ගුටි කෙළියක් දක්වා වර්ධනය විය. එදින මුල්ම දේශනය සඳහා ආරාධනා කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහටය. ඔහු දීර්ඝ දේශනයක් කළද පැමිණ සිටි කොළඹ කවීහු සහ ඔවුන්ගේ අනුගාමිකයෝ එයට විරුද්ධත්වය දක්වමින් වේදිකාව දෙසට පුටු විසි කිරීමට පටන් ගත්තෝය. සංවිධායකවරු වික්‍රමසිංහ මහතා වාරු කරගෙන එළියට ගෙන ගියෝය. සවස දේශනය වෙන් කරන ලද්දේ මටය. කොළඹ කවීන්ගේ ඇතැම් වටිනා කෘති ගැන මා කතා කළද අල්විස් පෙරේරා නායකත්වය දුන් කණ්ඩායම ඒ කතාවට එකඟ වූයේ නැත. කර්කශ උපහාසයෙන් යුතු කතාවක් අල්විස් පෙරේරා කළ නමුත් සභාව ඒ ගැන ප්‍රතිචාරයක් නොදැක්වූයේ උදෑසන ඇති වූ පුටු හරඹය නැවතත් ආරම්භ කිරීමට අකැමැති නිසා විය යුතුය (එදා මා කළ කතාව 'සිංහල සංස්කෘතිය, සමාජය හා පරිසරය' යන පොතේ ඇතුළත් කර තිබේ). සිරි ගුනසිංහගේ කාර්යභාර්ය ඇගයීම අවසන් නිරීම සඳහා නැවතත් සිංහල බසේ පරිණාමය වෙත පැමිනීමට සිදු වේ.

නවසිය හැට ගණන් වන විට රටේ සමාජීය ප්‍රශ්න මෝදු වෙමින් පැවතිණි. එක් අතකින් මෙරට උසස් පසල් හා සරසවි තුළින් භාෂාව පිළිබඳ නව අදහස් එළිදැක්වුණේය. එයට ප්‍රධාන සාධකය වූයේ බටහිර භාෂාව මෙරට අධ්‍යාපන ක්‍රමය තුළ ව්‍යාප්ත වීමයි. එතෙක් කල් කොළඹ කවීන් බොහෝ විට නියෝජනය කළේ සිංහල බස පමණක් දත් අයයි. සරල ඉංග්‍රිසිය ගැන ඔවුන් තුළ දැනුමක් නොතිබුණේයැයි ඉන් නො කියවේ.

එකල ජනප්‍රියත්වයේ ඉහළම තලයට ගොස් තිබූ කේයස්ගේ 'සුදෝ සුදු' වැනි කවි ඉංග්‍රිසි කවි කාණ්ඩයක අනුවාදයක් විය. එහෙත් එවැනි අනුකරණ සඳහා යොදාගන්නා ලද්දේ ළාමක අදහස් හා ළාමක බසකි. මහා යුද්ධ දෙකක් හා දේශපාලන විප්ලව කීපයක්ම අත්විඳි යුරෝපය ඊට වඩා ගැඹුරු මානුෂීය හා සංස්කෘතියකට ඒ වන විට මාරු වී තිබුණේය. එවැනි විපර්යාසයක් ලංකාවට එන්නට පෙර එම අදහස් යුරෝපය සාහිත්‍යිකව ලෝකය දෙවනත් කළේය.

නූතනවාදී (මොඩර්නිස්ට්) සාහිත්‍යය ලොව පුරා පැතිරී ගියේය. එහි ලාක්ෂණික ස්වරූපයකට පෙරළීමයි. රුසියානු සාහිත්‍යය කෙරෙහි ප්‍රංස බස බලපෑවේය. එංගලන්තයේ නූතනවාදීන් වූ එලියට්, ඕඩන් හා ස්ටීවන් ස්පෙන්ඩර් වැනි කවියන් ප්‍රංස හා ජර්මන් සාහිත්‍යය පමණක් නොව, පෙරදිග සාහිත්‍යය පිළිබඳ නිරන්තර අත්හදා බැලීමක යෙදුණි. එස්රා පවුන්ඩ් නූතනවාදී කවියන්ට ආදර්ශයක් දුන්නේය. එලියට් තම කෘතියක් පිරිනමන්නේ “මට වඩාත් හොඳ බස පිළිබඳ වඩුබාස් කෙනෙක් වූ” එස්රා පවුන්ඩ්ටයි.

ඒනයින් බලන කල සිරි අයත් වන්නේ සිංහල බස පරිණාමයට ලක් කිරීමට මුල් වූ කවීන් අතරටයි. එකල සිංහල කවීන් විසින් යොදාගන්නා ලද බොලඳ බස වෙනස් කිරීමට ඉදිරිපත් වූ පළමුවැනි විශාරදයා ඔහු නොවේ. මුනිදාස කුමාරතුංග එම කාර්යයට අතගැසීය. ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් එකල භාවිත වූ සිංහල බස (විශේෂයෙන්ම කොළඹ කවීන්ගේ) 'හඩු බසක්' යැයි නම් කළෝය. සිංහල පුවත්පත්වල දිගු කලක් සේවය කළ මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක හා චන්ද්‍රරත්න මානවසිංහ වැනි අයද නව සරල බස් රටාවක් නිර්මාණය කිරීමේ කාර්යයට අත ගසා තිබිණි. අපේ කාලයේ ඉහළම ද්විභාෂා වියතුන් හැටියට සැලකිය හැකි සෙනරත් පරණවිතාන, චාල්ස් ගොඩකුඹුර හා එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අය නූතන ලොවට සරි ලන සිංහල බසක් නිර්මාණය කිරීමට වැර දැරුවෝය. සිරි ගුනසිංහද එම සම්ප්‍රදායේ අග්‍රඵලයකි.

ආචාර්ය සරත් අමුණුගම

Comments