
බොහෝ චිත්‍ර ශිල්පීන් කර ඇත්තේ ගොවියන් උදැල්ලෙන් මහපොළොව මත අඳින චිත්‍ර පින්සලෙන් කැන්වස් මත ඇඳීමයි. මනාව පෝරු ගා සමතලා කොට නියර කැඩපතක් මෙන් මඩ තියා සකස් කළ විට මුළු කුඹුරම වචනයෙන් කියා නිම කළ නොහැකි සිතුවමකි. මේ සිතුවම ගොවියා මහ පොළොව මත අඳින්නේ සායමෙන් හෝ පින්සලෙන් නොව උදැල්ලෙනි. පෝරුවෙනි. දහදියෙනි.
එසේ සැකසූ කඹුරුවල වී වපුරා කලක් ගත වන විට මුළු කෙත් යායම නිල්පැහැයෙන් සායම් ගැන්වේ. ළා නිල්ලෙන් වැසී ගිය කෙත් බිම් කොපමණ නම් චිත්‍රශිල්පීන් විසින් සිතුවමට නඟා තිබේ ද? එහෙත් චිත්‍ර ශිල්පියා කැන්වසය මත අඳින චිත්‍රය මෙන් නොව ගොවියා පොළොව මත අඳින චිත්‍රය හිරු එළියත් සමඟ වැස්සත් සමඟ සොබාදහමත් සමඟ දිනෙන් දින පැහැ ගැන්වේ. වෙනස් වේ. විසිතුරු වේ. රන්වන් කරලින් පැසුණු කෙත් යායවල් ලොව පුරා චිත්‍රශිල්පීන් විසින් සිතුවමට නඟා ඇත. එහෙත් ඒ චිත්‍රයේ සැබෑ හිමිකරුවන් වන්නේ පින්සලයක් අතින් නොඅල්ලා උදැල්ලම පින්සලක් කරගත් ගොවි ජනතාව විය හැකිය. එහෙත් ගොවිතැන කලාවක් වන්නේ මේ නිසා පමණක් නොවේ.
අද මෙන් නොව අතීතයේ දී ගොයම් කැපීම සංගීත හා නැටුම් සංදර්ශනයක් විය. ගොයම කැපුවේද නැටුමෙනි. ගැයුමෙනි. ගොයම් කැපීමට දෑකැත්ත පමණක් කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැත. ගොයම් කවි කීවේ නටමිනි. දෑකැත්ත සංගීත උපකරණයක් නොවුණත් කිසිදු සංගීත උපකරණයකට වඩා නැටුමටද ගැයුමටද තාල තබන්නට උපකාරී විය.
එපමණක් නොව කමතේ ගොයම් මැඩවීම නාට්‍ය සංදර්ශනයක් හා සමාන විය. එහි දී ගොවියෝ පමණක් නොව අම්බරුවෝද නළුවෝ වූහ. ඔවුන් කවි ගායනා නොකළත් කවි තාලයට පාද තැබූහ. හිස සැලූහ. නොඑසේනම් අම්බරුවන්ගේ තාලයට ගොවි මහත්තුරු කවි ගායනා කළහ. එහෙත් ගොවිතැන කලාවක් වන්නේ ඒ නිසා පමණක් නොවේ.
රාත්‍රී කාලයට මුළු හේන් යායම කවි මඩුවක් විය. කැත්ත උදැල්ලට සවිය තිබීම පමණක් හේන් ගොවිතැනට ප්‍රමාණවත් වූයේ නැත. කම්මැලි නොවන දෑතක් පමණක් නොව ගව්වක් දුරට ඇසෙන්නට කවි ගායනා කළ හැකි කම්මැලි නැති කටක්ද හේන් ගොවිතැනට අවශ්‍ය විය. කම්මැලි නැති කටක් පමණක් නොව රෑ පුරා අලූත් හා මිහිරි කවි තනන්නට හැකි කම්මැලි නැති හිතක් ද හේන් ගොවිතැනට අවශ්‍ය විය. හේනෙන් පීදුණේ කුරක්කන් මෙනේරි පමණක් නොවේ. හේනෙන් ලැබූ අස්වැන්නට බඩඉරිඟුවට වට්ටක්කා ගෙඩියට සීමා වූයේ නැත. කවි අස්වනුද හේනේ ඵල ගත්තේය. අදටද අපි ඒ අස්වනු භුක්ති විඳිමු. එහෙත් ගොවිතැන කලාවක් වන්නේ ඒ නිසා පමණක් නොවේ.
යන්තම් මෝරා එන මිරිස් පැළයක අතු ඉති අස්සෙන් මෝදුවෙමින් කුඩා මිරිස් කරලක් පාන රැඟුම වේදිකාවක් මත දී කවර තරම් හෝ දක්ෂ නළුවකුට නිරූපණය කිරීමට නොහැකි තරම් ම ආකර්ෂණිය වේ. පේර ගසක කොළ සමඟ පැහුණු පේර ගෙඩියක හැංගිමුත්තම තරම් අපූරු හැංගිමුත්තම් සෙල්ලමක් ලෝකයේ තවත් නැති තරම්ය. නැතිනම් එය සමාන කළ හැක්කේ කොළ අස්සේ සැඟවී සිටින ඉදුණු අඹ ගෙඩියක දඟකාරකමටය. එහෙත් ගොවිතැන කලාවක් වන්නේ ඒ නිසා පමණක් නොවේ.
ගහෙන් උඩින් මුවෙක් පැන්නා යැයි කතා හැදෙන්නේ කෙසෙල් කැනට පෙර එන කෙසෙල් මුව නිසාය. කවියන්ට කවදාවත් වඩා ලස්සන නාදලූද නැතිනම් යුවතියකගේ රතු දෙතොල් ද යන්න කිව හැකි වූයේ නැත. වඩා ලස්සන කිතුල් මලක්ද පිට දිගට මුදා හැරුණු යුවතියකගේ වරලසද යන්න කිව හැකි වූයේ නැත. කළේ උපමා කිරීම පමණි. එහෙත් ගොවිතැන කලාවක් වන්නේ මේ නිසා පමණක් ද නොවේ.
කවියන්ට කවි සිතිවිලි ගෙන ආවේ ඔවුන්ගේ හදවත්ද කිතුලෙන් නෙරළු තුරින් උපන් රසමදිරාවෙන් ඔවුන්ගේ හදවත්ට කාන්දු වූ රසයද යන්නද තවත් නොවිසඳුණු පැනයකි. ඕමාර් ඛයියම්ට මිදියුෂෙන් තොර කවි ලොවක් තිබුණේද නැත. එහෙත් ගොවිතැන කලාවක් වන්නේ මේ නිසා පමණක් ද නොවේ.
සැබවින්ම සියලූ කලාවන්ගේ මාතාව ගොවිතැන් කලාව යැයි කියන්නට මම කැමැත්තෙමි. අනෙක් අතට සියලූ කලාවන් ප්‍රගුණ කළද ගොවිතැන් කලාව මඳක් හෝ ආශ්‍රය නොකරන්නේ නම් එවන් හදවතක් රසය හඳුනන්නේ යැයි කීමටද මම නොකැමැත්තෙමි. මේගා නාට්‍ය වඩාත්ම ජනප්‍රිය ගහකට කොළයකට සාත්තු කර රසය හඳුනා නොගත් ජනතාව අතර යැයි මට සිතේ. අද අඳෝනා සින්දු හා වාක්‍ය රචනවලට තනු යෙදු සින්දු මෙතරම් ජනප්‍රිය ගොවිතැනින් මුදු මොළොක් වූ හා රසය හඳුනාගත් පරපුරක් වාසය නොකිරීම යැයි ද සිතේ. ඕනෑම අයෙකුගේ මුල්ම කලා ගුරුවරයා සොබාදහම හා ඒ සමඟ සබැඳි ගොවිතැනයි.
අද අපි චිත්‍රපට නරඹමු. ෆේස්බුක්හි විවිධ කලාවන් රස විඳිමු. ෆෝන් හා කම්පියුටර් ගේම් ගැසීම ද අද කලාවක් වී ඇත. ටෙලිනාට්‍ය ද ඕසෙට ඇත. හතර වටේම කලාව ඇත. එහෙත් ජීවිතයට අත්‍යවශ්‍යම වන කලාවක් අවශ්‍ය තරමට අපේ ජීවිතය ළගින් නැත. ඒ ගොවිතැනයි.
ගෙදර සීඩී ප්ලේයරයක් පමණක් නොව පෝච්චියක සිටුවූ මිරිස් පැළයක් හෝ තිබිය යුත්තේ කලාව එතැන ද පවතින බැවිනි. ඒ කලාව ද සීඩී ප්ලේයරයකින් ඇසෙන ගීතයක් සේ ම ජීවිතයට අත්‍යවශ්‍ය බැවිනි. ගෙදරක එල්ලා ඇති සිතුවමක් ලස්සනය. එය සමහරවිට වටිනාකමින් මිලියන ගණනාවක් විය හැකිය. එහෙත් පෝච්චියක සිටවූ කරලින් බරවූ වම්බටු පැළයක් ඊට වඩා ලස්සන විය හැකිය. එහෙත් එතරම් වියදමක් දරන්නට සිදුවන්නේ නැත. එහෙත් චිත්‍රයක් මිල දී ගන්නට සමහර විට අවශ්‍ය වන්නේ මුදල් පමණක් වුවත් පැළයක් හදා වඩා ගැනීමට දයාව ආදරය කරුණාව ද අවශ්‍යය. ගොවිතැන් කලාව ජීවිතයට අවශ්‍ය වන්නේ ඒ නිසාය.
කලාවෙන් කරනු ලබන්නේ ජීවිතයට ආදරය කරුණාව බලාපොරොත්තුව අන්‍යයන්ට සංවේ දී වීම ආදී ගුණාංග ගෙන ඒමය. මේ සියල්ල ම ගොවිතැනින් සිදුවේ. මිරිස් පැළයකට කරන සාත්තුව තුළ ඉවසීම ඇත. මක්නිසාද යත් මිරීස් පැළයක් දවසින් ඵල නොගන්නා බැවිනි. ගොවිතැන තුළ සංගීතය චිත්‍ර ශිල්පය ආදී සියලූ කලාවන් ඇත. එහෙත් නාගරික ජනතාව අනෙකුත් සියලූ කලාවන් ගැන දක්වන උනන්දුව ගොවිතැන් කලාව ගැන නොදක්වන බව පෙනේ. කොටින්ම ගොවිතැන කලාවක් යැයි නොසලකන බව ද පෙනේ. ලෝකය ද අපේ රට ද සංස්කෘතික කාන්තාරයක් වීමට මෙය ද බොහෝ සේ බලපා තිබේ.
ආදායම් මාර්ගයක් හෝ පරිභෝජනය උදෙසා හෝ නොවෙතත් වින්දනය උදෙසා හෝ ගොවිතැන් කලාව යම් තරමකින් හෝ ජීවිතයට සමීප කරගැනීමට සෑම අයෙකුම සිතිය යුතුය. එවිට මේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවටද මේ තරම් දොස් ඇසීමට සිදුවන්නේ නැත.
උදයසිරි වික්‍රමරත්න