
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු සිදු වූ මහින්දාගමනය මෙරට ඉතිහාසයේ සිදු වූ වැදගත්ම ඓතිහාසික සංසිද්ධියයි. එය වූකලී අහඹු සිදුවීමක් නොව, මනාව සිතාබලා සංවිධානාත්මකව කරන ලද දූත මෙහෙවරක් බව එම සිද්ධියට පසුබිම් වූ ඓතිහාසික කරුණු විමසන විට මනාව පැහැදිලි වේ.
මහාවංශයේ සඳහන් තොරතුරු විග්‍රහ කොට බැලීමේදී එම දූත මෙහෙවර සැලැසුම් කළ ආකාරය මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් මහාවංශය මේ සිද්ධිය උත්කර්ෂයෙන්ම වර්ණා කිරීමට නොහැකි පරස්පර විරෝධී කරුණුද දක්වන බව පැහැදිලි වේ. මහාවංශයයේ 13 පරිච්ඡේදයේ 15 ගාථාව අනුව මිහිඳු මාහිමියන් සිරිලකට වඩින්නේ ශක්‍රයාගේ ආරාධනයෙනි. එහි මෙසේ දැක්වේ:
''මහින්දෝ උපසං කම්ම - මහින්දත්ථෙර මුත්තමං
යාහි ලංකා පාසාදේතුං - සම්බුද්ධේභාසි ව්‍යාකතො"
(මහා ඉන්ද්‍ර නමැති සක් දෙව් රජ උතුම් වූ මිහිඳු හිමියන් වෙත පැමිණ, ලාංකිකයන් සම්බුදු සසුන කෙරෙහි පහදවන්නට ලංකාවට වඩිනු මැනවි. බුදුසසුන ලංකාවේ පිහිටුවන්නේ ඔබ වහන්සේ බව බුදු රජාණන් වහන්සේ අපට වදාළා)
එහෙත් මහාවංශයේ 11 පරිච්ඡේදයේ 19 ගාථාව අනුව දේවානම්පිය තිස්ස රජු හා ධර්මාශෝක රජු අදෘශ්‍ය මිත්‍රයන්ව කටයුතු කර ඇත. ඒ අනුව දේවානම්පිය තිස්ස රජතුමා තමාට පහළ වූ සම්පත් සිය බෑනණුවන් වන අරිට්ඨ කුමාරයා අතේ ධර්මාශෝක රජතුමාට යැවූ විට ධර්මාශෝක රජතුමා අරිට්ඨ අත තමා බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බව දන්වන පණිවිඩයක් එවීය.
''අහං බුද්ධංච ධම්මචං- සංඝංච සරණං ගතො
උපාසකත්තං දේසේසිං - සක්‍ය පුත්තස්ස සාසනෙ
ත්වම්පි මානි රතනානි - උත්තමානි නරුත්තම
මිත්තං පසාදයිත්වාන - සද්ධාය සරණං වජ"
(මහාවංශ 11 පරි.34, 35 ගාථා)
(මම තෙරුවන් සරණ ගියෙමි. බුද්ධ ශාසනයෙහි උපාසක බවට පැමිණියෙමි. නරෝත්තමය, ඔබද සිත් පහදා ඒ තෙරුවන් සරණ යන්න)
මිහිඳු මාහිමියන්ගේ් ලංකාගමනය සිදු වන්නේ අශෝක රජතුමාගේ ධර්මදූත ව්‍යාපාරය අනුවය. එම ව්‍යාපාරයට පසුබිම් වන කරුණු රාශියකි.
අධිරාජ්‍යයක් ගොඩනැඟීමේ ආශාවෙන් පෙළුණ අශෝක රජු ඒ සඳහා සිය සහෝදරයන්ද අනූනවයක්ම ඝාතනය කළ බවට ඉතිහාසයෙහි සඳහන් වේ.
මෞර්ය වංශයේ ශ්‍රේෂ්ඨතම පාලකයා වන අශෝක රජු සිය අධිරාජ්‍යය ගොඩනැඟීම සඳහා කළ සටන්වලින් දරුණුම සටන වූයේ කාලිංග රාජ්‍යයට එරෙහිව කෙරුණ සටනයි. මේ සටනේදී ලක්ෂයක් පමණ ජීවිත වැනසුණ අතර, එක් ලක්ෂ පනස් දහසක් සිරකරුවන් වශයෙන් අල්ලා ගනු ලැබිණි. තුවාල ලැබූවන් ලක්ෂ ගණනක් වූහ.
කාලිංග සටන සාර්ථක වුවත් එයින් අශෝක තුළ ඇති වූ මානසික කම්පනය අතිශයෙන් ප්‍රබල විය. එම චිත්ත පීඩාවෙන් පසු රජුට ශාන්ත ගමනින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දක්නට ලැබිණි. උන් වහන්සේ මාලිගයට කැඳවාගෙන ගොස් ඇසූ දහම අශෝකගේ සිතට පුදුම සිසිලක් විය.
ජෛන ආගමිකයකු වූ අශෝක නිග්‍රෝධ සාමණේරයන් හමුවීමෙන් පසු බුදුදහම වැලඳගෙන, එම ධර්මය පදනම් කොට ගෙන ජීවිතය සකස් කරගැනීමටත් මුළු මහත් ජන ජීවිතය ඒ අනුව සකස් කිරීමටත් ක්‍රියාමාර්ග රාශියක් ගත් බව වාර්තා වේ.
එම ක්‍රියා අතරින් මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථෙරවාදී තෙවන ධර්ම සංගායනාව පැවැත්වීම ප්‍රධාන තැනක් ගනී. භාරතයෙන් බැහැර බුද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමේ ප්‍රථම සාර්ථක ක්‍රියාමාර්ගයට මුල පිරුණේ එම සංගායනාව අවසානයේදීය. ඒ අනුව ලංකාවද ඇතුළත් විදේශ රටවල් 9කට යවන ලද ධර්මදූත කණ්ඩායම් 9 හා ප්‍රධාන භික්ෂූන් වහන්සේ මෙසේය:
1. කාශ්මීර ගාන්ධාර දේශය - මජ්ඣන්තික මහරහතන් වහන්සේ
2. මහිස මණ්ඩලය (මයිසෝර්) - මහාදේව මහරහතන් වහන්සේ
3. වනවාස දේශය - රක්ඛිත මහරහතන් වහන්සේ
4. අපරන්තය - ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ
5. මහාරාෂ්ට්‍රය - මහා ධම්මරක්ඛිත මහරහතන් වහන්සේ
6. යෝනක ලෝකය (ග්‍රීසිය) - මහා රක්ඛිත මහරහතන් වහන්සේ
7. හිමාල ප්‍රදේශය - මජ්ඣිම මහරහතන් වහන්සේ
8. ස්වර්ණභූමිය (බුරුමය) සෝන සහ උත්තර මහරහතන් වහන්සේ
9. ලංකාද්වීපය - මහා මහින්ද, ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන මහ රහතන් වහන්සේ
මේ අතරින් ලංකාවට එවූ මිහිඳු මහ රහතන් වහන්සේ අශෝක රජතුමාගේ පුතණුවෝය. අශෝක රජතුමාට දේවිවරුන් කීප දෙනෙකුම වූ බව ඉතිහාස මූලාශ්‍රයන්ගෙන් පැහැදිලි වෙයි.
බින්දුසාර රජතුමා ජීවත්ව සිටියදී අශෝක පුතණුන්ට යුුව රජ තනතුර පවරා උදේනි නුවර පාලනය බාර දෙන ලදී. එම කාලයේදී වේදිසාවේ සිටුවරයෙකුගේ දියණිය වූ 'දේවි' කුමරිය අශෝක සරණ කොට ගත් බව වංසත්ථප්පකාසිනී ඇතුළු ඓතිහාසික වාර්තා කීපයකම දැක්වේ.
ඒ හැරුණ විට අසන්ධිමිත්‍රා, කාරුවාකි, පද්මාවතී, තිෂ්‍යරක්ෂිතා යනුවෙන් තවත් දේවිවරුන් කීපදෙනකුම සිට ඇත. ඒ සැම අතුරින් අග්‍ර වූ වේදිසා දේවියගේ දරුවන් වශයෙන් මහින්ද හා සංඝමිත්තා හැඳින්වේ.
ලංකාවට එවූ දූත පිරිසේ නායකත්වය දරන ලද්දේ මේ මහින්දය. ඒ වන විට ඔහු පැවිදි වී උපසම්පන් වී දොළොස් වසක් ඉක්මවා සිටියේය.
ඉන්දියාවෙන් පිටත්ව ගිය අනෙක් ධර්මදූත හිමිවරුන්ට වඩා මිහිඳු මාහිමියන්ට තමා වෙත පැවැරුණු කාර්යය පහසුවෙන් ඉටු කිරීමට හේතුව වූ විශේෂ කරුණු කීපයක්ම ඇත.
උන් වහන්සේගේ ප්‍රඥාව, අප්‍රතිහත ධෛර්යය, දූරදර්ශී බව හැරුණු කොට කල්යල් බලා ලංකාවට වැඩම කිරීමත් යන කරුණු ඒවා අතර ප්‍රධාන වේ.
තෙවන ධර්ම සංගායනාව අවසන් වී දෙසතියක් ඇතුළත සෙසු රටවලට ධර්ම දූතයන් යවා මිහිඳු හිමි ලංකාවට වැඩියේ මාස කීපයක් වේදිසාවේ ප්‍රමාද වීමෙන් පසුවය.
එයට හේතුව වූයේ ඒ වන විට ලංකාවේ රජ කළ මුටසීවගෙන් පසු දේවානම්පිය තිස්ස රජ වන තුරු බලා සිටි බව මහාවංශය සඳහන් කරයි.
මෙහි මුලින් සඳහන් කළ පරිදි දේවානම්පිය තිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයාගේ බලපරාක්‍රමය දැන එතුමාගේ අදෘශ්‍ය මිත්‍රයකු ලෙස කටයුතු කළේය. මේ නිසා අන් කිසිදු රටකට නොයැවූ ලෙස රාජකීය සබඳතාවක් ලාංකික දූත පිරිස තුළ පැවැතිණි.
මිහිඳු හිමි අශෝක රජතුමාගේ පුතණුවන් බව ප්‍රසිද්ධ කරුණකි. මිහිඳු හිමියන් සිය දූත පිරිස තෝරාගැනීමේදී ඉතා දූරදර්ශී ලෙස කටයුතු කර ඇත. එම පිරිසට අයත් වූ සුමන සාමණේර හිමි මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තාවන්ගේ පුතණුවන්ය. මේ අනුව දූත පිරිසට අයත් වූ සත් දෙනාගෙන් තිදෙනකුට රජ පවුලේ අය වේ.
මහින්ද හිමි ලංකාවට වැඩම කිරීම කල් බලමින් පැළලුප්නුවර අශෝකාරාමයේ වැඩ සිටි සමයේ දේවානම්පිය තිස්ස රජතුමා යැවූ අරිට්ඨ ඇතුළු දූත පිරිස පැළලුප්නුවර අශෝක රජතුමාගේ මාලිගයේ පස් මසක් ගත කළ බව සඳහන් වේ. එසේ නම් අරිට්ඨ ඇතුළු පිරිස මිහිඳු හිමි මුණගැසී අදහස් හුවමාරු කරගත් බවට සැකයක් නැත. මේ අනුව මිහිඳු හිමියන්ට ලංකාවේ රජතුමා ගැන පමණක් නොව, ලාංකික සමාජය ගැනද අවබෝධයක් ඇති කරගැනීමට හැකි විය.
එම දූත පිරිස වෙසක් මස පුර පෑළවිය දින ආපසු ඒමට පිටත් වන විට ධර්මාශෝක රජතුමා තමා තෙරුවන් සරණ ගිය උපාසකයකු බව සඳහන් කළ පණිවිඩය දෙවනපෑ තිස් රජු වෙත එවීය. එම දූත පිරිස අත දේවානම්පිය තිස්ස රජතුමාගේ අභිෂේකයට අවශ්‍ය රාජකකුධ භාණ්ඩ එවූ අතර, ඒවා උපයෝගී කරගෙන දේවානම්පිය තිස්ස රජතුමා වෙසක් පසළොස්වක දින දෙවන වරට අභිෂේක ලැබීය.
'තම පිය රජ්ජුරුවන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දෙවන අභිෂේකය දේවානම්පිය තිස්ස රජු ලබාගනිත්වා! එසේම තුනුරුවන් ගුණ දැනගනිත්වා!' යනුවෙන් මිහිඳු මාහිමි අධිෂ්ඨාන කළ බව මහාවංශයේ සඳහන් වේ.
එහෙයින් මාසයකට පසු එළඹෙන පොසොන් පසළොස්වක දින මහින්ද හිමි මිහින්තලයට වඩින්නේ සැලැසුම් කළ පරිදි එදින රජතුමා මිහින්තලයට පැමිණෙන බව දැනගෙනය.
එබැවින් මහින්දාගමනය හොඳින් සැලැසුම් කළ දූත මෙහෙවරකි. දේවානම්පිය තිස්ස රජතුමා එදින මිහන්තලයට ගියේ අහම්බෙන් නොව, මිහිඳු හිමියන් ප්‍රමුඛ දූත පිරිස පිළිගැනීමටය. අනුරාධපුරය වැනි ජනාකීර්ණ තැනකට වඩා මිහින්තලය වැනි නිස්කලංක තැනක් මෙවැනි ශාන්තදාන්ත දූත පිරිසක් පිළිගැනීමට වඩා සුදුසුයැයි රජතුමා සිතන්නට ඇත.
විජේරත්න අතුරුපාන