ගජමන් නෝනා ඩොයිලිට ඔත්තු දුන්නේ නෑ | සිළුමිණ

ගජමන් නෝනා ඩොයිලිට ඔත්තු දුන්නේ නෑ

 මහාචාර්ය ගණනාථ ඔබේසේකර විසින් රචිත ඩූම්ඩ් ද කිං(ග්)( The Doomed King) කෘතියේ සිංහල පරිවර්තකයා වන දයාසිසිර හේවා ගමගේ මහතා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකි,

• මේ පොත සිංහලට පරිවර්තනය කළ යුතු යැයි සිතුවේ ඇයි?

මේහි මුල් කෘතිය සඳහා මහාචාර්ය ඔබේසේකරයන්ට සහය දැක්වීමට මට අවස්ථාව සැලසුණා. මම කාලයක සිට එතුමා සමඟ කටයුතු කරනවා. මේ කෘතිය සඳහා තොරතුරු සොයද්දි, ඒවා අධ්‍යයනය කරද්දි, එතුමා ලියූ සටහන් කියවද්දි මට හිතුණා මෙහි සිංහල පරිවර්තනයතක් සිදු කිරීම වඩාත් උචිත බව. ඊට මහාචාර්යතුමා බෙහෝසෙයින් කැමැති වුණා. ඒ අනුව ඉංග්‍රීසි පිටපත හා සමගාමීව සිංහල පිටපතත් ලියැවුණා. සිංහල පොත මම පරිවර්තනය කරලා තියෙන්නේ 'නෙරපූ රජ' රාජසිංහ ප්‍රත්‍යවලෝකනය නමින්. තවම එය නිකුත් වී නැහැ. මම මේ සඳහා නම තබද්දී ද ඩූම්ඩ් ද කිං(ග්) (The Doomed King) කියන වචනය අර්ථ ගන්වන්න 'නෙරපූ රජ' කියන නාමකරණය යෙදා ගත්තා. නමුත් 'ඩූම්' කියන අර්ථය හෙන ගැහුවා වගේ අදහසක් මතුව එනවා. ඒ කියන්නේ ප්‍රබල කම්පනයක්. මමත් මේ කෘතිය එක්ක වැඩ කරද්දි ඒ කම්පනය ඇති වුණා. ඒ නිසා එය සිංහල පාඨකයන්ට සමීප කළ යුතු යැයි හැඟුණා.

• ශ්‍රී වික්‍රම රාජසිංහ කියන කොට අපේ හිතේ ඇඳෙන්නේ ඒ තරම් හොඳ චිත්‍රයන් නෙමෙයි?

ලංකාවේ බොහෝදෙනා රාජසිංහ රජු පිළිබඳව තිබෙන්නේ ඉතාම කළු චිත්‍රයක්. අපි ඔහුව හඳුනා ගන්නේ බොහොම පවිටු, මත්පැන්වලට ඇබ්බැහි වුණු බේබදු සල්ලාල මිනීමරු රජ කෙනෙක් ලෙසයි. ඉංග්‍රිසී ජාතිත රොබට් බ්‍රවුන්රිග්, ජෝන් ඩොයිලි වගේ අය රජු පිළිබඳව සටහන් තැබූ අාක­ාරය මීට බෝසෙයින් සමානයි. ඒ ආකාරයටම රටේ ජනතාවත් රජු පිළිබඳව සිතන්න පුරුදු වී තිබෙනවා. ඊට ආසන්න කාලයක වැලිගල කිවිඳු නම් කවියකු අතින් ලියවුණු ඇහැළේපොල වර්ණනාව (වඩිග හටන), කිරළ සන්දේශය ආදී කෘතිවලත් මොහු ඉතා පාපී දුෂ්ට රජකු ලෙස මතු කර දක්වා තිබෙනවා. ඉතාම දැඩි විදියට දෙමළ විරෝධයක් මේ කෘති තුළ ඉස්මතු වී පෙනෙනවා. රුදුරු දෙමළා, පවිටු දෙමළා, නපුංසක දෙමළා ආදී වශයෙන් ඉතාම නරක ආකාරයකටයි ඒ තුළ සඳහන් වන්නේ.

• ඇහැළේපොල කුමාරිහාමි ඇතුළු දරුවන්ට ලබාදුන් දඩුවම් නිසා තමයි වැඩි වශයෙන්ම මේ ජනතා විරෝධය මතුව එන්නේ.

ඔව්, ඔහු බේබද්දෙක්, සල්ලාලයෙක් නිකං නිස්කාරනේ අහිංස මිනිසුන් මරාදැමුවා. පුංචි කිරිසප්පයෙක් වංගෙඩියක දාල කොටන්න නියෝග කළා කියන කාරණා වැඩි වශයෙන් ප්‍රකටව පවතිනවා. මේ ආකාරයට ඔහුගේ ප්‍රතිරූපය කැලැල් කර කළු චිත්‍රයක් ගොඩනගන්න ඉංග්‍රීසින් විසින් හිතමතාම ඉතාම සැලසුම් සහගතව ගෙන ගිය බොරු ප්‍රචාරණ බව මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගෙ කෘතිය තුළින් මනාව තහවුරු කර තිබෙනවා. ඒ සඳහා මහාචාර්යතුමා දේශීය මූලාශ්‍ර වගේම ඒ හා සමකාලීනව ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ සේවය කළ අප්‍රකට සිවිල් සේවකයින් ලියූ ලේඛන අධ්‍යනය කර තිබෙනවා. ඒ අනුව යමින් ශ්‍රී වික්‍රම රාජසිංහ බේබද්දෙකුවත්, සල්ලාලයකුවත් , ස්ත්‍රී සොඬෙකුවත්, ඔය කියන ආකාරයේ මිනීමරුවකුවත් නොවන බව එතුමා තහවුරු කර තිබෙනවා. එනිසා අප තුළ ඇති කර තිබෙන මේ කළු චිත්‍රය ඇත්තෙන්ම මුළාවක්.

• ඔබ කියන ආකරයට අප මුළාවක නම් ඉන්නේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙවැනි අයෙක්ද?

රජු සිරභාරයට ගෙන කොළඹට රැගෙනවිත් කොළඹ කොටු පවුරට ඇතුල් කරන වෙලා‍වේ කොටු පවුර උඩ සිටින පිරිස බිමට බස්සන්නේ නැතිව ඒතුළට ඇතුළු වීම රජු ප්‍රතික්ෂේප කරනව. එමඟින් වැටහෙනවා සිරකරුවකු වුවත් රජු තම පෞරුෂය රැකගෙන තිබෙන බව. ඒ වගේම රජු පිටුවහල් කිරීම සඳහා නැවට නංවන විට එතනට පැමිණෙන එක්නැලිගොඩ ඉතාම දරුණු අන්දමින් රජුට පහර දෙනවා. රජුගෙ බිසෝවරුන්ගේ කණකර ආභරණ කොල්ල කාගෙන ඔවුන්ගේ සලුපිළි පවා ගලවාගනිමින් නිරුවත් කරනවා. ඒ මොහොතේ පවා රජු උපේක්ෂාවෙන් ඔහුදෙස බලා විමසා ඇත්තේ 'රජකුට මෙහෙමද සලකන්නේ' කියල. නැවේදි රජුව භාරව සිටි මාර්ෂල් කියන වෛද්‍යවරයා රජු පිළිබඳව සටහන් තබමින් පවසන්නේ රජු ඉතාම උදාරම් විශිෂ්ට පෞරුෂයකින් හෙබි පුද්ගලයකු බවයි. ඔහු සුරාසොඬෙකු ලෙස සැලකුවත්, මාර්ෂල් කියන්නේ රජු මත්පැන් තියා අඩුම තරමින් ඔවුන්ගේ දරුවන් බොන වයින් පවා ප්‍රතික්ෂේප කළා කියලයි. මේ තුළින් මනාව වැටහෙනවා රජු මත්පැන් පානය නොකළ පුද්ගලයකු බව. ඉංග්‍රීසි ලේඛකයන් තුන්දෙනෙක්ම හොඳින්ම අවධාරණය කර සිටිනවා රජු ආඥාදායක ස්වරූපයෙන් කටයුතු නොකළ බව. ඔහු දඬුවම් නියම කරා නම් ඒ උඩරට පැවති රාජ නීතියට යටත්ව බව ඔවුන් අවධාරණය කර කියා සිටිනවා.

• එහෙම නම් මේ කුමන්ත්‍රණය සිද්ධ වෙන්නේ කෙහොමද?, මේ ක්‍රියවලිය පිටුපස සැබැවින්ම සිටින්නේ කවුද?.

ශ්‍රි වික්‍රම රාජසිංහ රජු බලයට පත්වන්නේ වයස අවුරුදු 18දී හිරිමල් තරුණයෙක් විදියට. 1836දි ඔහු රටින් පිටුවහල් කරනවා. ළමා කාලයේ සිටම රජුට පිළිමතලාවෙගෙ දැඩි ග්‍රහණයට ලක්ව කටයුතු කරන්න සිදුවනව. නමුත් කල්යත්ම රජු පිළිමතලාවට අවනත නොවන විට ඔහු රජුට එරෙහිව ද්‍රෝහිකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට ඇහැළේපොල, එක්නැළිගොඩ වැනි ප්‍රභූ පිරිස් පිළිමතලාවගෙ පාර්ශ්වය ගෙන රජුට එරෙහිව කටයුතු කරනවා. එහෙත් මේ සියල්ල පිටුපස සිටින කුමන්ත්‍රණ කරුවා තමයි ජෝන් ඩොයිලි. 1798 දී රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වී ලංකාවට එනවා. ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කා‍ෙල් ප්‍රංශයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදු වුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහිදී ඉන්දියන් සාගර කලාපයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි රටක් ලෙස මුලින්ම ඔවුන්ට යටත් කර ගතයුතු රට වූයේ ලංකාවයි. ඒ අනුව ආසියාවේ මුල්ම ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාවයි. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජකෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියමවෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්ර්ග්ගේ සැලැසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යාමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා. මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂ්ම වැඩපිළිවෙල නිසා. ඒ අනුව 1803දී ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස මුලුමනින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි, හොඳින් පුහුණු කළ රහස් පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේන්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් බුද්ධිමත් දැනුමැති සටකපට පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය ක්‍රමානුකූලව දුර්වල කර දියකර හැරීම.

ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් උඩරට ප්‍රභූ පිරිස් සමඟ හොඳ සබඳතාවයන් පැවති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්මට අනුව බව. ඒ අනුව ඔහු භික්ෂූන්වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. බුලත් විටක් කාලා සරමක් ඇඳලා සිංහල උරුවට හැඩගැහිලා සිංහලයෙක් වගේ ගම්මුන් එක්ක කුළුපග වෙනවා. ඔවුන්ගේ කටයුතු සඳහා උදව් පදව් කරන්න පටන් ගන්නවා. එය සම්පූර්ණයෙන්ම රහස් ඔත්තු කරුවකුගේ ක්‍රියාන්විතයක් බව ඉතාම පැහැදිලියි. භික්ෂූන් වහන්සේලා මෙයාට රැවටෙනවා. ඩොයිලි කියන්නේ බෞද්ධ උත්තමයෙක් ඔහු ඇවිත් තියෙන්නේ බුදු දහම ආරක්ෂා කරන්න බුද්ධ ශාසනය බේරගන්න කියලා හාමුදුරුවරු හිතනවා. ඔහු බුදු සසුන රැකගන්න ආ උත්තමයෙක් බව කිරළ සන්දේශයේ පවා සටහන් වී තිබෙනවා. ඒ අරමුණ ඇතිව ඩොයිලිට උදව් කරන්න භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවා. එතනදි ඩොයිලිට උඩරට නායකයින් සමඟ සබඳතා වර්ධනය කර ගන්න භික්ෂූන් වහන්සේලා තමයි මුල්වෙන්නේ. (භික්ෂූන් ගේ නම් හා මේ ක්‍රියාවලිය පිළිබඳ දීර්ඝ විස්තරයක් කෘතියේ දැක්වෙනවා) එපමණකින් නොනැවතී ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහි බලවේගයක් ගොඩනගන්නත් ඔවුන් මූලිකත්වය සපයනවා. එහි අවසාන ප්‍රතිඵලය වුණේ අවුරුදු දහයක් වැනි කෙටි කාලයක් ඇතුළත උඩරට රාජ්‍යය දියවී යෑමයි. මේ නිසා මේ සියලු දේම සැලසුම් කරන්න ඔහුට මූලික අඩිතාලම වැටෙන්නෙ පන්සල හරහා. එමගින් උඩරට නායකයින් හා රජු අතර මෝදුවෙමින් තිබෙන විරසකය ඔහු දැන ගන්නවා. ඒ අනුව ඔහු තම පිඹුරුපත සකස් කරනවා. අනතුරුව ක්‍රමයෙන් මෙරට රාජ්‍ය පාලනය දිය කර හැරීම පිළිබඳව ඉතාම පැහැදිලි නිරවුල් කරුණු මත පදනම්ව මහාචාර්ය ඔබේසේකරයන් මේ කෘතිය රචන කර තිබෙනවා.

• ජෝන් ඩොයිලි හා ගජමන් නෝනා අතර පෙම්සබඳතාවක් පැවති බව කියැවෙනවා. ඒ සම්බන්ධයෙන් මේ කෘතිය තුළ සඳහනක් නැහැ?

ඔව්, එහෙම ආදර සම්බන්ධතාවයක් ගැන සඳහනක් මෙහි දක්වා නැහැ. එහෙත් මනරම් ලෙස ඩොයිලිව වර්ණනා කරමින් ගජමන්නෝනා ඩොයිලිට කවි පන්තියක් ලියා යවනවා. ඒවා ඉතාම රසවත් කවි. මෙහි එම කවි අන්තර්ගත කර තිබෙනවා. එහෙත් එවැනි සබඳතාවයක් තිබුණු බවට මේ කවි පාදක කර ගනිමින් බ්‍රෙන්ඩන් ගුණරත්න සහ යස්මින් ගුණරත්න 'This Inscrutable Englishman', Sir John D’Oyly, කියලා කෘතියක් ලියා තිබෙනවා. එහෙත් එය එතරම් යථාර්ථවාදී කියැවීමක් ලෙස පිළිගන්න අමාරුයි. මොකද ඇයට ප්‍රශ්නයක් මතුවී තිබුණා ඉඩමක් සම්බන්ධව. එය නිරාකරණය කරගැනීම සඳහා උදව් කරන ලෙස ජෝන්ඩොයිලිට ඇය ලියා තිබෙනවා. එහිදී තම කාර්ය සඵල කරගැනීම උදෙසා ජෝන් ඩොයිලිව වර්ණනා කරමිනුයි ඒ කවි ලියා තිබෙන්නේ. ස්ත්‍රියකගේ ආලවට්ටම් කතා කාව්‍යයට රිංගා තිබෙනු විනා වෙනත් සම්බන්ධයක් නිසා එසේ ලියූවායැයි සිතීමට පුළුවන් කමක් නැහැ.

• මේ කෘතිය තුළ සිංහල දෙමළ භේදයේ ඓතිහාසික මුහුණුවර පිළිබඳ කිසියම් විවරණයක් ගෙන ඒමට උත්සාහ කළ බවක් පේනවා.

සත්තකින්ම ඔව්, මේ කෘතියේ වැදගත්ම තැනයි ඔබ අල්ලාගෙන තිබෙන්නේ. මම කලින් සඳහන් කළ ආකාරට රජු සමඟ ජනතාව වෛරයක් ඇති කිරීම සඳහා ඔවුන් සිංහල දෙමළ භේදයක් උත්සන්න කරනවා. ඒක හරි බල සම්පන්න භේදයක්. ඇත්තෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ රජ කෙනෙක් නෙවෙයි. ඔහු 'වඩුග ර‍ෙජක්. 'වඩුග' කියන වදනේ නිරුක්තිය 'උතුරු වැසියා' කියන එකයි. තෙළිඟු කියනනේ දෙමළ භාෂාවට නෙමෙයි. එය ද්‍රවිඩ භාෂා කුලකයට අයත් උපභාෂාවක්. ලංකාවේ නම ඇතුළුව සිංහල භාෂාවේ 70%ක් පමණ තිබෙන්නේ තෙළිඟු වචන. 'ලංකා' කියන වචනයේ තෙළිඟු නිරුත්තිය 'දූපත' කියන එකයි. එතනින්ම තේරෙන්න ඕන මේ සම්බන්ධතාවයේ පවතින ඓතිහාසික ස්වරූපය කෙතරම් වැදගත්ද? එය අප කොතෙක් දුරට ගවේෂණය කර තිබෙනවාද කියන කාරණය. අනික තෙළිඟු භාෂාව කතා කළ මේ පිරිස බෞද්ධයින් බව හොඳින්ම සනාථවන කාරණාව වන්නේ තෙළිඟු භික්ෂූන් අනුරධපුරයට පැමිණ බෞද්ධ ග්‍රන්ථයන්ට අටුව ටීකා ලිවීමට දායක වීමයි. එහෙම දායක වීමට ඔවුන්ට පුළුවන් කම ලැබුණෙ තෙළිඟු හා සිංහල භාෂව අතර පවතින ඥාතීත්වය නැත්නම් සමාන කම නිසයි. අදටත් සිංහල අකුරුවල හා තෙළිඟු අකුරුවල හැඩය එකහා සමානයි. ඒ නිසා අනුරාධපුර යුගයේ සිටම තෙළිගු භාෂාව කතා කරන අය හා සිංහල අය අතර ඒ තරම් දුරස්ථභාවයක් තිබී නැහැ. ඒ සමීපතාවය බාධාවකින් තොරව පැවති නිසා තෙළිඟු භාෂාව කතා කරන නායක්කාර් වංශිකයින්ට උඩරට පාලන බලය හිමිවීම ගැටළුවක් වූයේ නැහැ. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන කුණ්ඩසාල රජු මියගියායින් පසුව මදුරා පුරයෙන් ගෙනා රජුගේ නායක්කාර් වංශික බිසවගේ මලනුවන් වන විජය රාජසිංහ උඩරට රජකමට පත්කිරීමේ කටයුත්ත සඳහා මුල්වන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්. එදා සිට වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව වසර 400ක පමණ කාලයක් උඩරට රජ්‍යය නායක්කාර් වංශිකයින් යටතේ පැවතුණා. එහෙම වුණාය කියලා කවුරුවත් ඔවුන් සමග ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. ඒ ප්‍රශ්නය මුලින්ම ගොඩනගන්නේ ජෝන් ඩොයිලි. මොහු දෙමළෙක්, ආක්‍රමණිකයෙක් කියලා මතයක් ජනතාව තුළ ගොඩනගන්නේ ඩොයිලි. නමුත් මහාචාර්ය ඔබේසේකරයන් පෙන්ව දෙනවා රජු කෙතරම් බෞද්ධ වත්පිළිවෙත් සමඟ බැඳී සිටියද කියන කාරණාව.

විශේෂයෙන්ම දළදා මාළිඟා පරිශ්‍රය නවීකරණය කරලා, පත්තිරිප්පුව හදලා, වළාකුළු බැම්ම හදලා, නුවර වැව සහ බෝගම්බර වැව් හදලා නුවර වීදි සැලැස්ම හදල අද ලෝක උරුමයක් වෙච්ච මහනුවර නගරයේ සැලැසුම් කරුවා ඔහු බව. රජුලෙස ඔහුගේ මෙහෙය වීමෙන් මේ දෙවල් නිර්මාණය වී තිබෙන බව. එහෙත් මේ සියල්ලක්ම වැරැදි ලෙසයි ඇහැළේපොල වර්ණනාවේ සහ කිරළ සංදේශයේ සඳහන්ව ඇත්තේ. ඒ තුළ අපට දෙමළ විරෝධය ඉතා හොඳින් දැක ගන්න පුළුවන්. එනිසා නැවතත් අපි දිහාම අාපසු හැරී බලන්න කියලා මම මේ රටේ පුරවැසියන්ට ආරාධනා කරනවා. එ් සඳහා එබී බලන්න හොඳ කවුළුවක් මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් ඩූම් කිං(ග්) කෘතිය හරහා නිර්මාණය කර දී තිබෙනවා.

 

වසින් සක රජ එක් දහස් සත් සිය විසිවන වස පෙ මා
මෙවන් සිරි ලක සතුන් පෙර කළ පවක් පල දෙන විලස මා
නපුං සක දිටු අරිටු මිසදිටු කුදිටු දෙමළෙක් රජව මා
සසුන් වවමැ'යි කියා සිරි ලක නැසී මෙලෙසින් දින හැ මා

එතැන් සිට ලක මිනී මැරුමට පටන්ගෙන විලසට සො රා
ඔවුන් සන්තක මුදල් ගම් බිම් මරාලෙට ගෙන වැඩි ක රා
බුදුන් දෙවියන් සතුව තිබු ගම් රැගෙන එහි දෙමළුන් පු රා
ලෙවන් සිත් බිය ගන්වමින් පත් ලෙසින් අංගුලි මල් සො රා

ඇහැළේ පොළ වර්ණනාව - වැලිගල කිවිඳු
(මුල්කාලීන කාව්‍යය පිළිබඳව ලියැවී ඇති කෘතියකිනි)

සංවාද සටහ
රසික කොටුදුරගේ

Comments

1 මෙම ලිපියේ නැවට නගින අවස්ථාවේ එක්නැළිගොඞ රජුට හිංසා කළ බව සටහන්ව ඇත එය රජු අල්ලා ගන්නා අවවස්ථාවේ ලෙස නිවැරදි විය යුතුය 2 රජුව පිටුවභල් වසර වැරදියට සටහන්ව ඇත එය 1826 විය යුතු ය

පිටු