අහස යට... | සිළුමිණ

අහස යට...

ඊයම් පාටට දිලිසුණ අහසේ අළුපාට තවරන්න මහ වෙලාවක් ගෙවුනෙ නැහැ. සමහර ගස්කොළං කරටිය නමල හුළඟට අවනත වුණත් එහෙම නොවුන ඒව බිමට ඇද වැටුන. හතර පැත්තම කළුවරින් වට වෙද්දි විදුලිය විසන්දිවෙලා තවත් කරුවල වුණා. අහස තමන්ගෙ අණසක පතුරවන්න පටන්ගත්ත.

ජනෙල් තිරය පැත්තකට ඇදල බැලුව. වෙනදට කොළ පාටට දිලිසුණ වෙල් යාය වැව් දියක් වගේ පෙනුණ. වෙරළු ගෙඩි තරම් ලොකු වැහි බින්දු නතර කරන්න එතකොටත් අහසට ඕනැ වෙලා තිබු‍ෙණ නැහැ.

‘පාරවල් යටවෙලා”

ඒක ඉතින් අලුත්ම ආරංචියක් නෙමෙයි, අවුරුද්දකට හමාරකට පාරක් මිනිස්සු වගේම කළුපාට පාරත් මහ වැස්සට හුරුවෙලා.

ඒත් වැඩි වෙලාවක් ගෙවුණෙ නැහැ,

“ පවුල් තුනක් එකම තැන පස් කන්දකට යටවෙලා, මැරිච්ච දෙතුන් දෙනෙක් ස්පිරිතාලෙට ගෙනල්ල”

“තවත් තැනක දොළොස් දෙනෙක්”

“කදු පාමුල හැමෝම ස්කෝලෙට ඇවිත්”

අහස තවත් නපුරුවෙලා , අහස යට මිනිසුන් සී සි කඩ වෙලා, එන්න එන්නම නරක ආරංචි හතර වටෙන්ම.

රෑ දහයට විතර ගෙදර දොරට තට්ටුකරන සද්දෙ ඇහුන.

කුකුළන් දෙන්නක් වගේ තෙමුණ කොල්ලො දෙන්නෙක් දොරකඩ.

“ඇයි , කරදරයක්ද” මම ඇහුව,

“ඔව් , ඒත් අපිට නෙමෙයි, අහල පහළ ගම්වල මිනිස්සුන්ට, ඒ මිනිස්සු වෙනුවෙන් අපිට කරන්න දෙයක් නැද්ද” උන් දෙන්නා මගෙන් ඇහුව.

ඊයෙ පෙරේද වෙනකම් ඉස්කෝලෙ ගිය කොල්ලො දෙන්නගෙ ප්‍රශ්න ගෙදරට වෙලා අහස දිහා බලාගෙන හිටපු මට ලැජ්ජාවක් දැනුණත් “ඔව් , අපි මොනව හරි කරමු” කියල උත්තර දුන්නා.

යන්තම් පොළවට එළිය වැටුණා විතරමයි, හාල් , එළවලු, වළං මුට්ටි, ගෑස් සිලින්ඩර් කරගහ ගෙන ආපු ගැටව් දහ පහළොස් දෙනා මෙහෙයුම ඉවර කරද්දි රසම රස ව්‍යාංජන තුනක් එක්ක පාර්සල් කෙරුණු බත් පාර්සල් හාර සියයක් ලොකු පෙට්ටිවල පුරවල.

ජීවිතේ කිසිම දවසක තව එකෙකුට අතපාල කුස පුරව නොගත්තු, තමන්ගෙ සරුසාර ඉඩම්වල ආදායමෙන් ජීවිතේ ගැට ගහගත්තු, ඒත් අහස කරපු නපුරුකම හින්ද කුසගින්නෙ ජීවත්වෙන මිනිසුන් හොයාගෙන , මහ කඳු ගැලවිලා රූටල බිමට පාත්වුණ , මහා ජල කද ගෙවල්වල වහලවල් යට කරගෙන වියරුවෙන් වගේ ගලාගෙන ගිය බිම් මැදින් අපි ගියා.

ඒ වෙද්දිත් සංවේදි මිනිසුන් විපතට මැදිවෙච්චි අහිංසකයින් වෙනුවෙන් පෙළගැහිල. හතර පැත්තෙන්ම වතුරෙන් යටවුණ මිනිස්සුන්ට ජීවිතය දෙන්න, පස්කඳු යට හැංගුණ අය හොයාගන්න , තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතපු උතුම් මිනිසුන්.

ග්‍රාමසේවක මහත්තයගෙ ඉඳං දිසාපතිවරයා වෙනකම් තමන්ගෙ වගකීම් යුතුකම් වෙනුවෙන් වෙහෙසෙන හැටි වගේම මිනිස්සුන්ගේ ඡන්දයට සාධාරණයක් ඉෂ්ට කරන්න තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතල ජල කඳත් එක්ක පොර බැදුව මනුස්සකම් පිරුණු දේශපාලකයිනුත් දකින්න ලැබුන එකත් සතුටක්.

සපත්තු දෙකේ මඩ ගෑවෙන හින්ද කැබ් එකෙන් නො බැහැපු ප්‍රාදේශීය ලේකම් තුමෙක් වගේම ලොකු බැනර් ගහපු ලොකු ලොරිවල පොඩි පෙට්ටි දෙක තුනක් අරගෙන ඇවිත් ලොකුවට පොටෝ ගත්තු ටයිපටි දාගෙන ආපු ඇත්තො වගේම අනාථ වෙස් අරගත්තු අපතයො සහනාධාර මංකොල්ල කනව දකින්නත් ලැබුණ.

අඩි දෙතුන් සියයක් උස මහ කන්ද ගස් කොළන් ගෙවල් දොරවල් ගලවගෙන මහපාරට උඩින් ගගට විසිකරල තිබුණ තැනකදි මොහොතකට බොර පාට චීත්තයක් ඇදපු අවුරුදු හැට හැත්තෑවක ගැහැනියක් දොඩමළුවුණා,

“ මහත්තයො , මේ තමයි ස්වභාව ධර්මයා නඩුවක් විසඳපු හැටි”

“අවුරුදු ගණනාවක් ඉඩමෙ අයිතියට ආරවුල් කරගත්තු නඩු හබයකට උසාවි තීන්දුවට ඉස්සල්ල ස්වභාව ධර්මයා තීන්දුව දුන්නා, ඉඩම , ගේ දොර විතරක් නෙමෙයි ඒ මිනිස්සුත් එක්කම පොළොවෙන් උගුල්ලලා ගං දියට විසිකරල දැම්ම”.

තවත් තැනකදි සතයෙන් සතය රුපියලෙන් රුපියල එකතුකරපු , වාහන හතඅටක්, තට්ටු කිහිපයක නිවසක් , හිමිව තිබුණ කෝටිපතියෙක් නිදි ඇද පිටින්ම ගං දියෙහි ගිල්වා දමා තිබුණේ ඔහුගේ වත්කම් සියල්ල මහා පස්කන්දක් බවට පත්කරලයි.

පුංචි පහුරක් බැඳගෙන කොටු වෙචිච් මිනිසුන්ට අපූරු අවශ්යපතාවයක් ඉටු කරපු කෙනෙකුත් හම්බවුනේ අහම්බෙන් වගේ.

“ මොනවද , ඔරුවෙ ගිහින් මිනිස්සුන්ට බෙදුවෙ” මම ඇහුව.

අතේ තිබුණ හබල පැත්තකින් තියල කැහැපට ගහපු සරමෙ තිබුණ ෂොපින් බෑග් දෙක දිග ඇරිය.

එකක බුලත් විට , අනිකෙ බීඩි

මේව මිනිස්සුන්ට දෙන්න හොද ජාති නෙමෙයි නේද?

“නරක දේ නම් තමයි, ඒත් බුලත් විටට හරි දුම්බීමට හරි ඇබ්බැහි වෙච්චි එකාට බුරියානි දුන්නට වැඩක් නැහැ මහත්තයො” කියල මළු දෙක සරමෙ කැහැපටට දාගෙන ආයිත් හබල අතට ගත්ත.

“මුහුදෙන් කොටසක් ගත්තොත් ඒකට පොළවෙන් වන්දි ගෙවන්න වෙන බව දන්නවද” මෙහෙම ඇහුවෙ අඩියක් විතර මඩ පිරිණු පාර දිගේ පස් කන්දක් යට ජීවිතේ අවසන් කරපු අහිංසකයකුගේ අවසන් කටයුතුවලට යන ගමන් හම්බවුණ වැඩිහිටියෙක්,

“ ඒ කියුවෙ”

“ හිතන්නකො , කොළඹ මුහුද ගොඩ කරනව, හැබැයි ඒ ගොඩ කරන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් මේ මහා ජලකඳත් එක්ක මුහුදට ගලාගෙන ගියෙ නැද්ද”

“ මුහුද වන්දි ගත්තු කතාව විතරක් නෙමෙයි, ස්වභාව ධර්මයට එරෙහි වෙන කාටත් වන්දි ගෙවන්න වෙනව. සමහර විට අපි කරන වැරැදි වලට , අපේ දරුවන්ට” කියල එයා කකුලෙ තිබුණ මඩ තට්ටුව තණකොළ බිස්සෙ ඇතුල්ලුව.

කිසිම දෙයක් නොවුන වගේ අහස ආයෙත් ඊයම් පාටට දිලිසෙනව. කදු පාමුල , ගංඉවුරු වල ජීවත්වුන මිනිස්සු ආයිත් එයාල ජීවත්වුණ බිම්වලට යනව.

ඒ අහස ගැන විශ්වාසයකින් නම් නෙමෙයි ..................

චන්දන ගුණසිංහ


එම්බා ගංගා

මහ විපතක් කළ සැඬයකු කෙමෙන් පසු බැස යන්නාක් මෙන් ගංවතුර ද කෙමෙන් බැස යයි. ‍ෙම සැඬයා ගත් මිනිස් බිලි ගණන දෙසියය දු ඉක්මවයි. තව ද සැත්තෑ ගණනක් අතුරුදන් වැ ඇතැ යි කියැවේ. දේපළ වනස තව දු නිසි ලෙස ගණන් බලා නැත්තේ ය.

දේපළ පසෙක ලමු. මෙතරම් මිනිස් පිරිසක් සුනාමියෙන් පසු වැ, අර බිහිසුණු කොටි උවදුරින් පසු වැ එක් වර මරු මුව වන් අන් අවස්ථාවක් නො වී ය. අහෝ, දෛවයෙක සැටි!

දැන් ගංවතුරත් මඳක් බැස ඇති හෙයින්, අලුතින් නාය යන බවකුත් නොපෙනෙන හෙයින් එ ගැන සන්සුන් වැ හැරී බැලිය හැකි ය. සියලු කල්හි අප රටට කරදර කරන බෙංගාල බොක්ක මෙ වර ද මෙ මහ විපතට මුල් වූයේ ය. බෙංගාල බොක්ක ඇත්තේ ඉන්දියාවේ යි. මේ පොසොන් සමයෙහි එ රටින් එන සුළඟකට වත් කෙසේ නම් දොස් කියමු ද? වෙසෙසින් ශ්‍රීමත් මෝදි තුමාණන් එ රට රජයන මෙ කල්හි නම් එබන්දක් කරනු තබා සිතීම ද මහ පවෙකි. බැලුව මැනැවි, එතුමාණන් මෙ රැටියන් කෙරෙහි දක්වන අමෝඝ වූ කරුණාවෙක මහිමය. එ තුමෝ අපේ මාධ්‍යකාර පින්වතුනට ද පෙර ම ගංවතුර විපතට පිහිට වූ හ. නැව් දෙකක් පුරා බඩුත් සේවකයනුත් වහා ම එවූ හ. එ ද සිතට මඳ වූ හෙයින් දෝ යළි දු තව නැවක් එවන්නට සිතූ හ. රජකු තම රටවැසියන් කෙරෙහි දක්වන දයාවේ මහිමය අපි එයින් දකුමු.

ඇරැඹුම හොඳ වූ කල්හි සියල්ල හොඳ වන්නේ ම ය. එතැන් සිට අර ගංවතුරට ද වැඩි වේගයෙන් විදෙසි උදවු ගලා එන්නට වී ය. ඉන්දියාව එ සේ කරන කල චීනය කෙසේ නම් නො කරයි ද? ඕස්ට්‍රේලියාව, ජපානය, පකිස්ථානය, මතු නො ව ඇමෙරිකාව, නැත එමෙරිකාව පවා මහා පරිමාණයෙන් අප රටට උදවු දෙන්නට ඉදිරිපත් වූ අයුරු! බලව, බලව මේ කා ගේ නම් මහිමයක් ද? හැම කළු වලාවෙක ම රිදී රේඛාවක් ඇතැ යි කියැවේ. මෙ මහ විපතින් අපි සැබෑ මිතුරෝ නම් කවුරු දැ යි මැනැවින් හඳුනාගතුමු. එ මතු ද? සංහිඳියාවට මෙයින් වූ මෙහෙවර ද ඇගැයිය යුතු ම ය. අපේ උතුරු මිතුරෝ, යාපනයේ ජනයා තමනට හැකි පමණින් සපයා දුන් උදවු රත්නපුරයේ විපත් පත් ජනයාට බෙදා දෙන ලදි. අපේ විපක්ෂ නායකතුමාණනුදු මේ නහින දෙහින කාලයේ බැරි බැරි ගණනේ නමුදු ඒ සත්කාර්යය සඳහා පැමිණීම වෙසෙසින් අගය කළ යුත ය. මෙ රටත් විපක්ෂයක් ඇති බව වත් එයින් ලොවට පෙනී යේ නො?

අප ගේ මාධ්‍ය හිතවතුන් ගේ සැබෑ හැකියාව මෙ වර ද අපි ඇස් පනා පිට ම දුටුවමු. රජයට ද තව ආත්ම කිහිපයෙකින් ඔවුන් ගේ තතුවට පත් විය නොහැක්කේ නො වේ. දැන් වසරකට වරක් නො වරදවා ම ගංවතුර පැමිණෙනුයෙන් ලබන වසරේ වත් ඔවුන් පරදවන්නට උත්සාහ කළ මනා ම ය. හැම දා මිනිසුන් ගෙන් ‍දොස් ම අසන ඔවුන් මෙ සේ හෝ කිත් පැසැසුම් ලැබීම කො තරම් අගී ද? යටත් පිරිසෙයින් අපේ මාධ්‍ය පින්වතුනට මොළයක් කෙසේ වතුදු හදවතක් වත් ඇති බව පෙනීයාම ම මඳ ද? අපි දු හැකි තරම් බඬු රැස් කොට අන් තැන්වලට නොදී මාධ්‍ය වලට ම දුනුමු. වෙසෙසින් රූපවාහිනී මාධ්‍ය ම සොයා සොයා දුනුමු. ඒ සියලු බඬු ගංවතුරින් විපත් පත්තවුන් ගේ අතට ම ලැබුණු බව නම් නිසැක ම ය. විදෙසින් ලද බඬු ඔවුන් අතට ලැබුණු බව එයට ද වඩා නිසැක ය. ග්‍රාම නිලධාරීන් ගේ සිට ඉහළට සිටුනා අපේ කිසි දු රාජ්‍ය නිලධාරියකු කිසි දු දිනෙක දිවි ගියත් වංචාවක් නම් නොකරන හෙයිනි.

ඇතැම්හු ගංවතුරේ හිඳගෙන ම මෙ බඳු ගංවතුරක් ඇති වීමට හේතු ද විමසති. මැනැවි, මැනැවි. ගංවතුර බැසගිය පසු වැ අපට එය මුළුමනින් අමතක වැ යන හෙයිනි. ඇතැම්හු ‍ලෝක දේශගුණයෙහි විපරීතතාවට ශාප කෙරෙති. ඇතැම්හු කඳු කැපූවනුට, ගස් කැපූවනට, ගොඩනැඟිලි ඉදි කළවුනට ශාප කෙරෙති. කෙළෙහි ගුණ නොදන්නා ඇතැම්හු දෙස්පලු උතුමනට ද ශාප කෙරෙති. පාලකයන් අධර්මිෂ්ට වන කල්හි දෙවියනුදු කිපෙන බව ද අවු වැසි සුළං පවා විසම වන බව ද සොබාදහමින් මහත් විපත් පැමිණෙන බවද බුදුගුණ අලංකාර ආදි පොත්හි ඇත්තේ ය. එ වුව ද මේ අප ගේ සිරිලකෙහි නම් එ බන්දක් කිසි දු කලෙක්හි නො විය හැක්කේ ම ය. අප ගේ පාලකයෝ වනාහි පරම ධර්මිෂ්ටයෝ ය. රටවැසියන් ගේ යහපත තකා මුළු දිවියම කැප කළෝ ය. ඔවුන් ගේ දුකෙහි වෙඬරු පිඬක් මෙන් උණු වන හද ඇත්තෝ ය. සිහිනයෙන් වත් රටවැසියා සතු කිසිවක් නොපැහැරගන්නෝ ය. පොදු දේපළ ගසා නොකන්නෝ ය. සිය දේපළ රට දැය උදෙසා වැය කරන්නෝ ය. බැලුව මැනැවි, ගංවතුර විපත් පත් කෙණෙහි සිය වැටුප පිරිනැමූ සැටි, තමනට වාහන ගෙන්වීම් නැවැත්වූ සැටි. ලොවට කො තරම් ආදර්ශයක් ද?

ඉතින් මෙ බඳු පරම ධාර්මිකයන් ගේ පාලන කාලයෙක්හි දු මෙ බඳු මහ විපත් පැමිණෙන්නේ සොබාදහමේ දොසින් ම ය. එ ද කම් නැති. ලබන වසරේ එන ගංවතුර අප ගේ මැති ඇමැතිනට ලෙඩ නැති, පිටරට සමුළු නොයෙදෙන, මාධ්‍යකාරයනට වඩා වැඩ පෙන්විය හැකි කලෙක ම පැවිණේ වා යි අපි හැමම ඉත සිතින් පතමු.

හිත මිතුරා 

Comments