අහස අපෙයි පොළොව අපෙයි අපේ තමයි අපි විතරයි | Page 6 | සිළුමිණ

අහස අපෙයි පොළොව අපෙයි අපේ තමයි අපි විතරයි

යසයි.. යසයි..! රසසි.. රසයි...!

කුරුල්ලා දැක්කා අහසේ විශාලත්වයත්, පොළොවේ විශාලත්වයත් මිනිස්සු අත්පත් කරගෙන ඉන්නවා. සීමා මායීම් දාලා රේඛාවලින් වෙන් කරලා සෑම උදෑසනක්ම, දහවලක්ම, රාත්‍රියක්ම මිනිසුන් අත්පත් කරගෙන. හැමදේට ම මිනිස්සු මැදිහත් වෙන්න පටන් අරන්, ඒ නිසා ම ඉර පායන හැටි වෙනස් වෙලා. පොළොවට ඉරේ රස්නේ වඩා වැඩියෙන් දැනෙන්න අරන්. ඉර ඇවිත් උණුසුම වැඩි වෙන විට, උණුසුමත් එක්කම සීතලත් වැඩි වෙලා. ඉර එළියට යටත් වන සියල්ලම ඒ අනුව වෙනස් වෙමින් පවතින්න පටන් අරන්.

වලාකුලට ඔරොත්තු නොදෙන බරක් වැහි බිංදුවලට එකතු වෙලා. අහස කකියනවා අහසටත් දරන්න අමාරුයි. දවසින් දවස, කළු පාට වලාකුළුවල සීතල වැඩිවෙන්න පටන් ගත්තා. ඒ සීතල වැස්ස වෙලා මහා පොළොවට ඇදහැලෙන්න පටන් ගත්තා. මොහොතින් මොහොත, පැයෙන් පැය, වැස්සේ වේගය එන්න එන්නම වේගවත් වුණා. වැස්ස වැහැලා, වැහැලා පොළොව පිරෙන්න පටන් ගත්තා. ගංඟා උතුරලා වතුර ගලාගෙන ගලාගෙන ගියා. කඳු දියවෙලා ඇදහැලෙන්න පටන් ගත්තා. ඒ හැම දෙයටම මිනිස්සුන්ගේ ම ජීවිතවලින් මිනිස්සුන්ට ම වන්දි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා කුරුල්ලා දැක්කා.

වැස්ස වැටුණේ පෘථිවියට. වැස්සට තෙමුණේ මහා පොළොවේ මිනිස්සු. විවිධ ජාතින්ට අයිති වුවත්, නොයෙක් ආගමි අදහමින් සිටියත්, කුමන භාෂාවක් කතා කළත්, කවරාකාර සංස්කෘතියකට හුරු වුණත්, කුමන භූමියක ජීවත් වුවත්, වැහි බින්දු හැම මනුස්සයෙක්ම තෙමුවේ එකම විදිහට.ඒ වැස්සෙන් විශ්වයේම කොටසක් වෙච්ච මහා පොළොවේ හැම ජිවී අජීවී දෙයක්ම යට වුණා...වැස්සට, මහා ගස් කඩා වැටුණා, විශාල ගල් පර්වත කඳු මුදුන්වල ඉඳන් පෙරළිලා පහළ බිම්වල තිබුණු ලා තණ කොළත්, මල්පැළෑටිත්, මිනිසුන් ඇතුලු තව බොහෝ සතුනුත්, එකම විදිහට මිහිදන් කරන්න පටන් ගත්තා. කුරුල්ලා කෑ ගැහුවා. පියාඹන්න හැදුවට අත්තටු වදින් නෑ. වැස්සේ සැර හොඳටම වැඩී.

සිකුරාදා පල්ලි ගිය මුෂානු යි , හකීමු යි සරම කැහැපොට ගහලා දණක් වතුරේ බැහැගෙන පාරේ යන හැම වාහනයක්ම නතර කරන්න කියලා කෑ ගහනවා.

“යන්න එපා. ගංවතුර ගලනවා, වාහන පෙරළෙයි.මිනිස්සු ගිලෙයි”.

ඒ හඬට කන් දීපු හැම මනුස්සයෙක්ම ආපහු හැරිලා ඒ මිනිස්සුන්ට ස්තූති කර කර ආපහු යන්න පිටත් වුණා. ඒ අය අතරේ රමේෂ්ලත්, අසීම්ලත්, පතිනායකලත්, නිශාන්තිනීලත්, සේනාරත්නලත්, හිටියා. ඒත් යන්නේ කොහේට ද? හැම තැනක්ම වතුරෙන් යට වෙන්න පටන් අරන්. වාහන ඇතුළේ හැම වයසකම මිනිස්සු හිටියා. ඒ හැමෝම කලබල වෙලා. හැම මනුස්සයෙක්ටම බය දැනෙන්න පටන් ගත්තා. වැස්ස වේගවත් වෙන්න වෙන්න. ජීවිතයට තියෙන ආශාව වැඩිවෙන්න පටන් ගත්තා. තමන්ගේ අම්මට, තාත්තට, බිරිඳට, ස්වාමියාට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, ප්‍රේමවන්තයාට, ප්‍රේමවන්තියට, නෑදැයන්ට, අසල්වැසියන්ට, ගම් වැසියන්ට විතරක් නෙමෙයි පිටරැටියන්ටත් කතා කරන්න, ඔවුන් ගැන හොයා බලන්න පටන් ගත්තා.

ඒත් එක්කම කුරුල්ලට මහ පොළොවෙන් මිනිස්සුන්ගේ විලාප හඬ ඇහුණා. ඒ වෙන කොටත් බොහෝ මිනිසුන්ගේ ස්වාමියා, බිරිඳ, දරුවෝ, නෑදෑයෝ, ගම් වැසියෝ, ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය, සහෝදර සහෝදරියෝ එහෙමත් නැත්තම් ගම් වැසියෝ, ඒ කවුරුම හරි වතුරට යටවෙලා මිය ගිහින් තිබුණා. සමහරෙක්ගේ සියලු ආදරණීයයන් නැති වෙලා ඔහු විතරක් ඉතුරු වෙලා හිටියාෙය්.

වතුරවල බොර පාට තවත් වැඩි වෙලා වේගයෙන් ගලන්න වුණා. පන්සල් වත්තේ එකතු වෙච්ච වතුර, බෝමළුව හෝදගෙන ගලන්න පටන් ගත්තා, ඒ වතුරේ බුදුන් වෙනුවෙන් මිනිස්සු පූජා කරපු මල්, දැහැත්විට, පැන්, ගිලන්පස විතරක් නෙමෙයි පොල්තෙල් තට්ටුවක් වතුර උඩ මිදිලා පාවි පාවී තිබුණා. බෝධිය නාවන කල ගෙඩිත් ගසා ගෙන, ඒ වතුර කෝවිල් මායිම ළඟට එකතු වුණා. කෝවිලේ පිරිච්ච වතුරවල දෙවියන් වෙනුවෙන්, මිනිස්සු පුජා කරපු පූජා වට්ටි පාවෙමින් තිබුණා.ගොතපු මල්මාල පැටලි පැටලී වතුර මත ගලාගෙන ගියා. ඒ වතුර පල්ලියේ මිදුලේ එකතු වෙච්ච වතුරත් එක්ක එකතු වුණා. දෙවියන් වෙනුවෙන් මිනිස්සු පත්තු කරපු ඉටිපන්දම් වතුර උඩ පාවෙලා තාප්පේ උඩින් ගියා. මුස්ලිම් පල්ලියේ දෙවියන් යදින්න, ස්ත්‍රීන් වෙනුවෙන් වෙන් වුණු පුජා භූමියේ පොළොවෙ තිබුණු වතුර එකතු වෙලා පල්ලිය තුළ පුරුෂයන් දෙවියන් යදින තැනට ගලාගෙන ගියා. මිනිස්සුම එකතු වෙලා වෙන් කරලා සීමා ලකුණු කරලා තිබුණු හැම සීමාවක්ම වතුර මකා දැම්මා. පන්සලත්, කතෝලික පල්ලියත්, මුස්ලිම් පල්ලියත්, කෝවිලත්, වතුරින් යට වුණේ එකම විදිහට. ඒ වතුර ඔක්කෝම එකතු වෙලා මහා මුහුදට ගසා ගෙන ගියා.

රගුණාදන්ලත්, ජයවර්ධනලාත්, මොහොමඩීලාත් එක බත් පත බෙදාගෙන කෑවා. එකම පැදුරේ නිදා ගත්තා. විදුලිය නැති, වතුර නැති පැය ගණන්, දින ගණන් ගෙවා දාන්න සිද්ධවෙලා. ආ ගිය තොරතුරු හුවමාරු කරගනිමින් හිතවත්කම් හුවමාරු කරගන්නවා. කුරුල්ල බලා හිටියා, මිනිස්සුන්ට තවත් මනුස්සයෙක් එක්ක කතා කරන්න අදහස් හුවමාරු කරගන්න වෙලාවක් හම්බවෙලා. පොළොවේ ජීවත්වෙන හැම මනුස්සයෙක්ම කොන්දේසී විරහිතව එකිනෙකා ගැන හොයා බලන්න පටන් අරන්. එකිනෙකාට ඇහුම්කන් දෙන්න පටන් අරන්. හතිවැටිච්ච ජීවිත යන්තන් වත්තන් කරගෙන හුස්ම හොයා ඇවිදිනවා. සමහර ජීවිත හැමදාම වතුරෙන් යට වුණා වගේම සීතල වෙලා අප්‍රාණික වෙලා තිබුණා. හිනා වෙන්න කොහොමත් අමතක වෙච්ච මුණුවලට ගංවතුරට තවත් අමුතුවෙන් කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නෑ. දැනෙන බඩගින්නට ඇහුම්කන් දීපු හැම මනුස්සයෙක් තුළම මිනිස්සු වෙනුවෙන් සංවාදයක් ආරම්භ වෙලා තිබුණා. කුරුල්ලාට ඇහුණා අතීතයෙන් කට හඬක්. ඒ හඬ මේ දැනුත් හරිම ළඟින් ඇහෙනවා වගේ කුරුල්ලට දැනුණා.

‘‘මාටින් : ඇහුණ ද චුට්ටේ මල්ලී, මේ ගංවතුර මගේ ජීවිතෙත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.මං රූපවතිත් එක්ක යාළුවුණේ ගිය ගංවතුර කාලෙ. ඒකිත් මේ අපි වගේ ගේ කඩා වැටිලා පාලම උඩ පැලක් අටව ගෙන හිටියේ. උන්ගෙ අම්මත් එක්ක. උඹ දැකලා තියෙනවා නේද අපි බත් උයන ඇලුමිනියම් මුට්ටිය. ඒකත් ගංවතුරට ගහ ගෙන ආපු එකක්. අපේ ලොකු අයියා හතළිස් හතේ ගංවතුර කාලෙ යාළුවෙක් බේරගන්න ගොහින් දියේ ගිලිලා මැරුණා. පුංචි සන්දියේ අපේ අම්මත් එක්ක මං යනවා ගඟට. අවුරුදු පහේ හයේ දී මං එහා ඉවුරේ ඉඳලා මෙහා ඉවුරට පීනන්න ඉගෙන ගත්තා. මං ගංවතුරට බය නෑ. ඕනෑම සැඩ පහරක් එක්ක පොර බදන්න මට පුළුවනි. ඒ වුණාට චුට්ටේ මට බඩගින්න එක්ක පොර බදන්න බෑ”.

(1978, කැලණි පාලම නාට්‍යයේ ආර්.ආර් සමරකෝන්, 22 පිටුව)

ඉර පායපු හැම දවසකම බඩ ගින්න නිවාගන්න ධෛර්ය ගන්න අහිංසක මිනිස්සු දවස් ගණන් වෙහෙසිලා මහන්සියෙන් එකතු කරගත් සියලු දෑ ආයෙත් ගොඩ නඟා ගත යුතුව තිබුණා. වතුර බැහැලා ගියාට පස්සේ මිනිස්සුන්ට නැවත මිනිස් ශ්‍රමයෙන් නැගී සිටින්න කොහේ හරි තැනක ඉඳන් පටන් ගන්න සිද්ධ වෙනවා. වැස්ස ඒ වන විටත් මිනිස්සුන්ට උගන්නලා තිබුණා.මිනිස්සුන්ගේ හදවතේ භාෂාවෙන්, මනුෂ්‍යත්වයේ ආගම අදහන්න. හැම භූමියකම පණ බේරගන්න නතර වෙච්ච මිනිස්සු හුස්ම ගන්න හඬ ඇහුණා. ඒ හැම තැනකම පණ ගැහෙන මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි විශ්වයේ පවතිව සෑම දෙයකම හදවත් ගැහෙමින් තිබුණා. කුරුල්ලා වේගෙන් අහසට පියාඹලා කිව්වා...

වැස්ස හොඳටම ඇති, දැන් නතර වෙන්න... ඉර ඉක්මණට ඇවිත් පායන්න .. පොළොවට හුස්මක් ගන්න.

(ඉදිරි කලාප හා සම්බන්ධ වේ.)

ඩිලූෂා නදීකමාලී 

Comments

පිටු