සූර්ය සිද්ධාන්තය එන්නේ ද්වාපර යුගයෙන් ද? | සිළුමිණ

සූර්ය සිද්ධාන්තය එන්නේ ද්වාපර යුගයෙන් ද?

 පැරැණි සංස්කෘතීන් වන මායන්, හෝපි සහ ඉන්කාවරුන්, බැබිලෝනියානුවන්, යවනයන් (ග්‍රීකයන්), හින්දුන්, බෞද්ධයන්, කාලය චක්‍රීය බව කියන්නේය. එහෙත් ඒබ්‍රහමික ආගම් වන යුදෙව් ආගමේ සහ කිතුනු ආගම් කාලයට සමාප්ත ලක්ෂ්‍යයක් ඇති බව කියන්නේය. ඒ පසුව කී ආගම් කොපි කළ ඉස්ලාමයද , එය අනුමත කරන්නේය. නමුත් නවීන විද්‍යාවට වඩාත් සමීප වන්නේ ‘කාලය චක්‍රීය වේ’ යන සංකල්පයමය. එනම් ‘මහා පිපිරුම’ (Big ban) යන්න අනුව සොයාගත් සසඳන විට කාලය චක්‍රීය බවට අදහසක් එන්නේය

වසන්ත විෂුවයේ පසු ගමනෙන් යන බව සොයා ගත් ‘හිපාකුස්’, ඒ ගණනයන්ට භාවිතා කළේ ඉන් පෙර බොහෝ කලකට පෙර මෙසපොටේමියාවේදී සොයා ගත් තාරකා කියවීම් සහ, ඛණ්ඩාංක ගණනයන් වේ. අනෙක් අතට ඉන්දියානු උප මහාද්වීපයේ මේ කාලයන් මැනීමේ කාල පරාසයන්, ද්වාපර යුගයටත් වඩා ඈතට යයි. මෙහිදී මේ ඉහත කී ‘මහා යුගයන්’ මොනවාදැයි සිතීමත් වැදගත් වේ. ඒවා මෙන්න මේ ශ්ලෝකයෙන් පෙන්වනවා

“යුගස්‍ය දශමොභාග - ශ්වතෘස්තිද්වක සධ්ගුනහ්”

“ක්‍රමාත් කෘත යුගාදිනන් - ශ්‍යාටාන්ශහ් සන්ද්‍යා ස්වතහ්”

මෙහි තේරුම යුගයෙහි දශවෙනි කොටස හෙවත් දහයෙන් පංගුවක් පිළිවෙලින් හතරෙන්, තුනෙන්, දෙකෙන් එකෙන් ගුණ කල කල්හී ‘කෘත’ යනාදී යුග ලැබේ. ඒ ඒ යුගයේ සන්ධ්‍යා කාලය යුගයේ 6න් පංගුව වේ. මේ මුළු යුග හතරේ එකතුව ‘දිව්‍ය වර්ෂ 12,000 ක් වේ. එක් දිව්‍ය වර්ෂයක් යනු, මනුෂ්‍ය වර්ෂ 360 කි.

එවිට මේ යුගයන්හී ප්‍රමාණය මෙසේ වේ.

කෘත යුගයේ ආදී සන්ධිය 400.

මැද සන්ධිය 4000.

අන්ත සන්ධිය 400.

එවිට මුළු දිව්‍ය වර්ෂ 4800 යි. එනම් සූර්ය වර්ෂ 17,28,000.

ත්‍රේතා යුගයේ ආදී සන්ධිය 300

මැද සන්ධිය 3000.

අන්ත සන්ධිය 300.

එවිට මුළු දිව්‍ය වර්ෂ 3600 යි. එනම් සූර්ය වර්ෂ 12, 96,000.

ද්වාපර යුගයේ ආදී සන්ධිය 200.

මැද සන්ධිය 2000.

අන්ත සන්ධිය 200.

එවිට මුළු දිව්‍ය වර්ෂ 2400 යි. එනම් සූර්ය වර්ෂ 86,4000.

කලි යුගයේ ආදී සන්ධිය 100.

මැද සන්ධිය 1000.

අන්ත සන්ධිය 100.

එවිට මුළු දිව්‍ය වර්ෂ 2200 යි. එනම් සූර්ය වර්ෂ 7,92000 .

සම්පූර්ණ චතුර් යුගයේම කාලය වන්නේ = දිව්‍ය වර්ෂ (4800 +3600 + 2400 + 2200) = දිව්‍ය වර්ෂ 13,000. එනම් සම්පූර්ණ සූර්ය වර්ෂ ගණන වන්නේ = 13,000 X 360 = සූර්ය වර්ෂ මිලියන 4.68 කි. වසන්ත විෂුවයේ පසු ගමන සිදුවී ලෝකයේ අක්ෂය මගින් උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන් හී ඇති කරන මනඃකල්පිත රේඛාවෙන් ඇති කරන වෘතය ඇඳීමට යන කාලාවර්ථය වසර 25, 920 කි. එනම්, කෘත යුගයේ මුල සිට කලි යුගයේ අවසානය තෙක් යනවිට එසේ ඇඳි වෘත ප්‍රමාණය වන්නේ {(සූර්ය වර්ෂ මිලියන 4.68)/25, 920 } = වෘත 180.5 කි...

හින්දු මතය අනුව මහා භාරත යුද්ධය සිදුවූ ක්‍රිස්තු පූර්ව 3102 අනුව ද්වාපර යුගයේ අවසානය වූවායයි කියවේ. එසේම ඉන්දු නිම්නයට ආර්යයන්ගේ පැමිණීම වූයේ ක්‍රිස්තු පූර්ව 3000 -1500 යන කාලයේ බවද කියවේ. මේවා සෑහෙන තරමකට සනාථ කළ හැකි සාධක වශයෙන් ගත හැකි නිසා, ඉහත කියන ලද කෘත, ත්‍රේතා යුගයන් හී ජීවත් වන්නට ඇත්තේ ආර්යයන් නොවන්නට ඇත. ‘බුදුන් වහන්සේ’ ගේ ආගමනය ගැන අනාවැකි කී ‘මය’ නම් සෘෂී වරයා ‘ආර්යයෙක්’ නොවන බව පැහැදිලිය. කොහොමත් ආර්යයන් එන්නට පෙර, මොහොන්දොජාරෝ හරප්පා සංස්කෘතීන් ඉතා දියුණුව පැවතුණු බවට සාධක ඇත. ඔවුන්ගේ යුද දැනුම හැර අන් සියලු දැනුමෙන් ඔවුන් පරිපූර්ණව සිටි බව කියවේ. එසේ හෙයින් ඉහත ලියන ලද ගණනයන් පැහැදිලිවම ඉතා ඈත අතීතයේ තිබුණු කිසියම් පැරණි භාෂාවකින් සංස්කෘත වලට කොපි කරගත් දේ වෙන්නට බොහෝ ඉඩකඩ ඇත.

මෙහිදී ජ්‍යෝතිෂය ගැන කීවොත්, කෘත ත්‍රේතා යන යුගයන්හී ජීවත් වූයේ අධි මානසික බල ඇති සෘෂීන් යන මතය ගැන සැලකුවහොත්, ඒ යුගයන්හී ජීවත් වුවන් සඳහා ජ්‍යෝතිෂයෙන් ඇති පලක් නැත. මක්නිසාද යත් එම යුගවල සිටි සැම කෙනෙකුටම ත්‍රිකාලයම දකින්න වුන් හෙයිනි. එසේ හෙයින් ජ්‍යෝතිෂයේ මුදුන් මල් කඩ වැනි සූර්ය සිද්ධාන්තය ඇති වූයේ, ද්වාපර යුගයේ යන්න පිළිගත හැකිය.

මෙතනට නවීන විද්‍යාව ඇද ගන්නට අකමැති වුවත්, මිනිසාගේ ප්‍රගමනය ඇති වූයේ මිලියන හතරක පමණ කාලය තුළ යයි කියන්න කැමැත්තෙමි. එහෙත්, ඔවුන් ගල් යුගයේ සිටි නොදියුණු මිනිසුන් වීම සහ, සංස්කෘත ග්‍රන්ථ වල ඇති ‘කෘත’ යුගයේ සිටි මනස දියුණු කල සෘෂීන් හා සංසන්දනය කිරීමට පරස් පර විරෝධතා ඇත. නමුත් මේ කාලය පො‍ළොව, මනුෂ්‍ය වාසයකට සුදුසු තැනක් වෙනවා යන්න ඔප්පු වේ. කෙසේ හෝ මේ මුල් සාකච්චාව කරන කාලයේ, සංස්කෘත එතරම් පැරුණි නැති, සෘග් වේදය ඇති වූ කාලයට යන භාෂාවක් බව ප්‍රශ්නයක් පැන නැගුණි. මේ තොරතුරු සංස්කෘත වලට පෙරලුණේ, වෙනත් ඉතා පැරණි ‘දේව නාගර’ , හෝ කරෞශ්ථි වැනි භාෂාවක් හරහා යයි අනුමාන කළ හැක. අප මෙහිදී භාෂාවන් අමතක කළ යුතුය. එම දැනුම් සම්භාරයේ පදනම සෙවීමම ප්‍රඥාගෝචර වන්නේය.

උදාහරණයක් ලෙස, පෙර අපරදිග දෙකෙහිම මහත් ගෞරවයෙන් සලකන ජ්‍යෝතිෂවේදී ‘සූර්ය නාරායන් රාඕ’ මහතා කියන ආකාරයට, ද්‍රවිඩ භාෂාවෙන් කිසිම මුල් ජ්‍යෝතිෂ ග්‍රන්ථයක් ලියවී නැත. එනම්, අද දකුණු ඉන්දියාවේ හෝ යාපනයේ භාවිතා කරන සියලුම ජ්‍යෝතිෂ සිද්ධාන්ත කොපි කර ඇත්තේ පැරණි සංස්කෘත වේද පොත් වලිනි. මෙහිදී භාෂාවන් අමතක කර, ඒ දැනුම් සම්භාරයේ ඇති සංකල්ප ගැන පමණක් සිතිය යුතු වේ. මේ ජ්‍යෝතිෂ සහ ගණනයන් ඇති තවත් ග්‍රන්ථ මෙන්ම කතෘ වරුද සිටිති. ඒ අය සමහරක් නම්, බ්‍රහ්ම, ව්‍යාස, අත්‍රි, පරාශර, කාශ්‍යප, නාරද, ගර්භ, මරිචි, මනු, අංගීරස, ලොමාස, චයවන, යවන, බ්‍රුන්ගු , සොම යන අය වේ. මේ සෘෂී වරු තුන් කල් දක්නා අය යයි කියන්නේය.

මේවා හුදෙක් ජනකතා, ඉතිහාස කතා, ජන ප්‍රවාද මෙන් පැමිණියා වෙන්නට පුළුවන. එහෙත් මේ සියල්ල අතරේ කිසියම් සංකල්පයක් ඇත් නම් එය ගත යුතුය යන්න සලකා බැලිය යුතු වේ. කෙනෙක් පුරා විද්‍යා සාධක මේ සඳහා වඩා වැදගත් දේ කියන්නේය යන මතයේ සිටින්නට පුළුවන. එහෙත් එම පුරා විද්‍යාත්මක සාධක වලින් නිවැරදි රූපය අපට දෙන්නේද...? උදාහරණයක් කියමි.

අවුරුදු දහස් ගණන් පැරණි පිරමීඩ තැනුවේ, කිසියම් බල සම්පන්න රජෙකුගේ දේහයක් ආරක්ෂා කර ගැනීමටය කියා කිව හැකිද? මිනිහෙක් මිය ගිය පසු කොතරම් හොඳින් ආරක්ෂා කළද එය ක්ෂය වී විනාශවන බව නොදත් අය සිටියේද ? නැතිනම්, කාලයේ අන්තයේ ඒ රජු සහ පිරිසට පණ එන්නේය කියා සිතන මුග්ද මතයක් විශ්වාස කළ නිසා යයි සිතීමටද නොහැකිය.

එය එසේ නම් මේ මහා දැවැන්ත පිරමීඩ වලින් ගම්‍ය වන්නේ වෙනස් දෙයක් විය යුතුය. ලෝකයේ අක්ෂයක් සොයාගත නොහැකි හෙයින්, ඉතා ඈත අවකාශයේ සිටින දියුණු සත්වයන් පිරිසක් විසින්, මේ විශාල පිරමීඩ ‘වසන්ත විෂුවයේ පෙර ගමන’ වැනි දෙයක් පෙන්වන්නට, මෝඩ ඊජිප්තු රජවරුන් ගොනාට අන්දා කල , කිසියම් ආකාරයක ඇන්ටෙනා වර්ගයක් වත්ද?

ඉහත ලියූ සියල්ල හුදෙක් මනස්ගාතයක් යයි සිතමු. පුරා විද්‍යාත්මක සාධකද මඳක් විමසා බලමු. ජර්මනියේ ගල් ගුහාවක තිබී සොයාගත් ‘ඔරායන්’ හෙවත් ‘දඩයක්කාරයා’ ගේ ඇත් දත් කැටයම අවුරුදු 32,000 සිට 38,000 ක් පමණ පැරණි යයි සැලකේ. එනම් එදාද මානවයා අහස පරීක්ෂා කර ඇත. එසේම නූතනයේ ග්‍රහ චලිත සඳහා සොයාගෙන ඇති ගණනයන් සහ නිගමන ගැන සිත යොමු කරමු. මේ අනුව ලෝකයේ වසන්ත විෂුවයේ පෙර ගමන වන අතර තුර පින්තුරයේ ආකාරයට පොළොවේ අක්ෂය මගින් ඇති කරන එම මනඃකල්පිත වෘතය මගින් විශාල කාලාන්තර මැනීමට මිම්මක් ගත හැකිය. අතුරු කතාවක්:- එය සර්ව සම්පූර්ණ වෘතයක් නොවේ. ඒ වෘතය ‘ලිසාජු රූපයක් ‘ වේ. එනම් ඒ රවුමේ කම්පන පවතී. මෙන්න මේ කම්පන වලට Nutation යයි කියනු ලැබේ. මේ කම්පන සොයා ගත්තේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වූ ඩේවිඩ් බ්‍රැඩ්ලි ය. විශේෂයෙන්ම මේ Nutation නම් කම්පන ඇති වන්නට හේතුව සඳ ගමන මෙන්ම, ලොව මධ්‍යයේ ඇති නිකල් කොබෝල්ට් වැනි ලෝහ වලින් අන්‍ය ග්‍රහ වස්තූන්ට ඇති කරන ආකර්ෂණය වේ .

තත්පරයක් යනු කුමක්ද ? එය සූර්ය දවසක 1/86, 400 ප්‍රමාණය වේ. එහෙත් මේ තත්පරයේ කාලය ඉලාස්ටික් වැනි වැඩි අඩු වෙන දෙයක් වේ. එනම් ඉතා කුඩා ප්‍රමාණවලින් වෙනස් වේ. මක්නිසාද යත් පොළොව කැරකෙන වේගය යම් යම් හේතු නිසා ඉතාමත් සුළු වශයෙන් වෙනස් වීම හේතුවෙනි. උදාහරණයක් ලෙස ආසියාවේ පසුගිය කල ඇති වූ සුනාමියෙන් ලෝකයේ වේගය මයික්‍රෝ තත්පර 0.3 ක අඩුවක්ද, ජපානයේ සිදු වූ සුනාමියෙන් මයික්‍රෝ තත්පර 1.8ක් ද අඩු විය. එසේ හෙයින් වඩා නිවැරදි තත්පරයක් සඳහා නවීන විද්‍යාවේ වෙනත් ක්‍රම භාවිතා වේ. එක් ක්‍රමයක් නම්, ‘සීසියම්’ පරමාණුවේ කම්පන වල ගුණාකාරයක් ලෙස තත්පරය ගැනීමය. අනෙක් ක්‍රමය ‘තාරකා කාලය’ වේ (Sidereal time) එනම් මෙහිදී කාල මානය ගන්නේ, සූර්යයාට සාපේක්ෂව ඈත ඇති තාරකාවක් ඇසුරෙනි ...

මෙසේ Time warp වැනි ඉතා නවීන ක්‍රමයකින් අතීතය වෙත යන්නට ක්‍රමයක් හදා ගත හැකි නම්, ඉහත වේද පුරාණයන්හී ඇති තොරතුරු සත්‍ය වේදැයි සොයාගත හැකි වනු ඇත.

ලලිත් කරුණාරත්න

Comments