මට අමතක වූ සරලා | සිළුමිණ

මට අමතක වූ සරලා

 මා තුනේ පංතියේ ඉගෙන ගනිද්දී ඒ පංතියේ සිටි එක් ගැහැණු ළමයෙකුගේ නම වූයේ සරලා ය. මට සරලා කියන විට අද දක්වා සිහිපත් වනුයේ ඒ ගැහැණු ළමයා විනා ඒ වචනයේ අර්ථය නොවේ. මිනිස් ජීවිතයට අවශ්‍ය ම ගුණාංගය කුමක්දැයි යමෙකු ඇසුව හොත් එයට දියහැකි හොඳම හා සරලම පිළිතුර වන්නේ සරල බව යන්නයි. ඇගේ මව්පියන් ඇයට දී ඇත්තේ යම් දරුවෙකුට හෝ දැරියකට දිය හැකි හොඳම නම බව මට සිහිපත් වූයේ අද නැත්නම් ඊයේය. දරුවෙකුට දෙන්නට හැකි හොඳම අවවාදය ද ඇගේ දෙමාපියන් ඇගේ නම සමඟ දී ඇත.

මේ සියල්ල මට සිහිපත් වූයේ වෙනත් හේතුවක් නිසාය. එනම් වෙසක් උත්සවයේ දී එක්තරා තැනක සරල ආලෝක උපක්‍රම සහ සරල යාන්ත්‍රික උපක්‍රම සහ බෝනික්කන් වැනි සරල ද්‍රව්‍ය යොදාගෙන ඉදිරිපත් කර තිබූ පටාචාරා කතා වස්තුව දැකීමෙනි. පටාචාරා සරල කතාවක් වුවත් සරල කතාවක් නොවේ. හරියට සරල බව ජීවිතයේ ගැඹුරුම අර්ථය වන්නා සේ ය.

එහෙත් එය නරඹද්දී මට මෙනෙහි වූයේ පටාචාරා කතාවෙන් හොඳ වේදිකා නාට්‍යයක් හැදීමට කිසියම් නිර්මාණකරුවෙකු උත්සුක නොවන්නේ ඇයි ද යන්නයි. පටාචාරා කතා වස්තුව යොදාගෙන ජානකී හිල් මහත්මිය විසින් නෙළුම්පොකුණ වැනි රඟහලක පමණක් රඟ දැක්විය හැකි දැවැන්ත නාට්‍යයක් නිර්මාණය කර තිබිණ. එය ද හොඳ නිර්මාණයකි. එහෙත් මේ කතාව ඕනෑම රඟ හලක රඟ දැක්වීමට හැකි මනමේ, සිංහබාහු වැනි නාට්‍යයක් වශයෙන් නිර්මාණය නොවන්නේ මන්දැයි යන්න මා තුළ ඇති වූ ප්‍රශ්නයයි.

සිංහබාහු කතාව අප හොඳින්ම දන්නා සරල යැයි මතුපිටින් පෙනෙන කතාවකි. එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් එය සිංහබාහු නාට්‍යය බවට පත්කරනු තුරුම එවන් සරල කතාවකින් මෙතරම් විශිෂ්ට නාට්‍යයක් නිර්මාණය කළ හැකි යැයි කිසිවෙකුට සිතුණේ නැත. එය සිදුවූයේ ඒ සරල බව තුළ ඇති ගැඹුර සරච්චන්ද්‍රයන් විසින් හඳුනාගැනීම නිසාය. නරිබෑනා නාට්‍යය වුව ද එවැන්නකි. සරල ජනකතා දෙකක එකතුවකි.

එහෙත් අද නාට්‍යවේදියෝ සරල කතාවක් ඇසුරින් නාට්‍යයක් නිර්මාණය කිරීමට නොසිතති. එයට හේතුව සරල බව තුළ ඇති ගැඹුර හඳුනා ගැනීමට තරම් නුවණක් ඔවුන්ට නොවීම විය හැකිය. නොඑසේ නම් සරල තේමාවක ගැඹුර හඳුනා ගැනීමට තරම් ඔවුන් සරල නොවීම විය හැකිය.

කලාකරුවෙකුට අවශ්‍යම ගුණයක් වන සරල බව ඔවුන් තුළ නොවීම විය හැකිය. බොහෝ ගාම්භීර කලාකෘති නිර්මාණ වී ඇත්තේ සරල කතා හා තේමා තුළිනි. එයට හේතුවම සරල බව තුළම ලෝකයේ ඉහළම ගැඹුර ගැබ් වී තිබීමයි.

මේ වනාහී නිර්මාණකරුවා මුහුණ දෙන අභියෝගයයි. එනම් සරල බව තුළින් ම සියලූ සුන්දරත්වය මතුකර ගැනීමයි. සියලූ සත්‍යය සරලවම ඉදිරිපත් කිරීමයි.

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල බරවෙලා අතු
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි
හෙම නොවේ අපී

යන සරල කවිය තුළ ඇත්තේ පොතක් ලියා වුවත් නිම කළ නොහැකි ගම්භීර සත්‍යයකි. එහෙත් ඒ විස්තරාත්මක සත්‍යය ඉතා සරල සුන්දර කාව්‍යයක් තුළට කැටි කිරීමට නිර්මාණකරුවා සමත් වී ඇත. මෙසේ සරල නොවූයේ නම් මේ අදහස ම ඉදිරිපත් කිරීමට ඉතාම සංකීර්ණ පොතක් ලිවීමට සිදුවේ. එසේ පොතක් ලිවූවත් මේ කවියෙන් තරම් හොඳට මේ කතාව ඒ පොතෙන් නොකියවෙනු ඇත. සරල බවේ ප්‍රබල කම එයයි. රෝස මලේ නටුවේ කටූ යන්න ද එවන් සරල සුන්දර කවියකි. ඒ තුළ ‘සරලව සුන්දර ව ජීවිතයට මුහුණ දීම පිළිබඳ ගැඹුරු අදහසක් අන්තර්ගත වී පවතියි.

එහෙත් අපේ ජීවිත සරල නොවීම නිසා ම අප සරල බවින් ඈත් වී ඇති නිසා ම අපට මෙවන් සරල කවි තේරුම් ගැනීමට නොහැකි වී ඇත. එනම් අප විසින් අපේ ජීවිතය තුළ නිර්මාණය කරගෙන ඇති සංකීර්ණ බව නිසා අපට සරල කවි පවා සංකීර්ණ වී ඇත. ඒවායේ සරලව ඇති අරුත් පවා අපට ග්‍රහණය කරගැනීමට නොහැකි වී ඇත. මෙමගින් එක් අතකට වර්තමාන අපේ ජීවිතය පිළිබඳ පමණක් නොව අපේ වර්තමාන කලාව පිළිබඳ ඛේදවාචකය ද හෙළි වේ. එනම් අද බොහෝ විට බිහිවන්නේ සරල සුන්දර නිර්මාණ නොව සංකීර්ණ අසුන්දර නිර්මාණ වේ.

බොහෝ මෙවන් නිර්මාණවල ප්‍රහේළිකා හැර කිසිදු අර්ථයක් නැත. අප විසින් අපේ ජීවිත සංකීර්ණ කරගෙන ඇති නිසා ම මෙම නිර්මාණවල ඇති ‘ප්‍රහේළිකා ගතිය’ අපට රසවත් වී තිබේ. මෙහි ඛේදවාචකය නම් සත්‍යය සරලවීම නිසා ම අපට එය නොපෙනීමයි. මේ බොහෝ නිර්මාණවල සංකීර්ණ පටලැවිලි ඇත. අනෙක් අතට සංකීර්ණත්වයට කිව හැකි තවත් වචනයක් වන්නේ මුලාව යන්නයි. මුළාවට විනා සරල සත්‍යයට අප කැමති නැත.

මම යළිත් අර වෙසක් දිනයේ දුටු පටාචාරා වෙසක් නිර්මාණය ගැන සිතමි. අප දන්නා පටාචාරා කතාව අප තවමත් හරියට දන්නේ නැත.

එහි එන සත්‍යය අපට තවමත් සමීප වී නැත. ඒ එහි එන සත්‍යය ඉතා සරල හා පැහැදිලි වීම නිසාය. එය විශිෂ්ට නාට්‍ය නිර්මාණයක් බවට පෙරළිය හැක්කේ අති දක්ෂ නාට්‍යකරුවෙකුට පමණි. එනම් පටාචාරා හොඳ වේදිකා නාට්‍යයක් බවට පත්වීමට නම් එදිරිවීර සරච්චන්ද්‍රයන් වැනි ම නාට්‍යකරුවෙකු බිහි විය යුතුය.

 

Comments