නිසල වූ සත් සමුදුර | සිළුමිණ

නිසල වූ සත් සමුදුර

 සිරි ගුනසිංහයෝ මෙ ලොවින් සමුගෙන යෙති. දිගු කලක් මුළුල්ලෙහි සාහිත්‍ය කලා ලෝකයෙහි දැල්වුණු පහනෙකුදු නිවී යෙයි.‍ විශිෂ්ට ශාස්ත්‍රධරයකුගේ, කවියකු ගේ මෙහෙවරකුදු නිමා වැ යෙයි.

සිරි ගුනසිංහයෝ වනාහි අනූ දෙ වසරක් දිගු වූ සිය දිවියෙන් සප්ත දශකයකට දු අධික කාලයක් කලා සාහිත්‍ය නිර්මාණය, විචාරය පිණිස කැප කළ මහනීය විද්වතෙකි. ඉනුදු වඩාලාත් ඇගැයිය යුතු හැත්තෑවේ දශකයට පෙර ඔවුන් ගෙන් කැරුණු මෙහෙවර යි. කවර හෙයින් ද යත්, හැත්තෑවේ දශකයේ සිට ඔවුන් විදේශගත වැ සිටියෙ. එ වුව ද වරින් වර සිය නිජ බිමට පැමිණෙමින් නොයෙක් සාහිත්‍ය කලා සම්ප්‍රදානයෙහි යෙදුණු බව දු නොමතක කළ හැකි නොවේ.

ගුනසිංහයන් ගේ විශේෂ ලක්ෂණය වනුයේ තමන් යෙදුණු කවර කලා මාධ්‍යයෙහි වුව ද අප‍ූර්ව - පෙර නොවූ විරූ කාර්යයක් කොට නොමැකෙන සේ ස්වකීය ආගමනය සටහන් කිරීමෙහිලා දැක්වූ කෞශල්‍යය යි. කාව්‍යය, චිත්‍රපටය, නව කථාව, කලා විචාරය ආදියෙහි ඔවුන් කළ සම්ප්‍රදානය එ බවට මනා සාක්ෂ්‍ය වේ.

කවර අයුරෙකින් බැලුව ද සිරි ගුනසිංහයන් ගෙන් මහත් ම සම්ප්‍රදානය ලදුයේ සිංහල කාව්‍ය ක්ෂේත්‍රය බව ඉඳුරා කිය හැකි යි. ඔහු සිංහල කාව්‍ය ලෝකයේ විප්ලවයක් කළ හ. නිසඳැස් නොහොත් නිදහස් කවි නමින් හැඳින්වුණු ආර (ශෛලිය) සිංහල කාව්‍ය ලෝකයෙහි ප්‍රචලිත කිරීමෙහිලා පුරෝගාමී වූවෝ ඔහු ය. සේනානායකයන් විසින් ඇරැඹිණැ යි කියැවෙතුදු ‍මේ ආර සිංහල කාව්‍ය ලෝකයෙහි මුල් බැස ගතුයේ ද විචාරක අවධානයට පාත්‍ර වූයේ ද ගුනසිංහයන් ලියූ මස් ලේ නැති ඇට, අබිනික්මන, රතු කැකුල යන කාව්‍ය සංග්‍රහ නිසා වෙයි. මේ නිදහස් කවියෙහි මුඛ්‍ය ලක්ෂණය වූයේ එතෙක් සිංහල කාව්‍යයේ පද්‍ය කාව්‍යයේ පදනම වූ ඡන්දසත් එ බද්ධ පදං පද්‍යං’ යන සූත්‍රයෙහි පිහිටා නිර්මාණය වු ප්‍රාචීන පද්‍ය සම්ප්‍රදායය හා අත්‍යන්තයෙන් අනුගත වැ පැවැති සිංහල පැදියට ඉඳුරා පටහැණි වැ ගුනසිංහයන් ගත් මඟ සිංහල පැදියෙහි මුල් සිඳ බිඳ ලන්නක් වීය.

එ මතු ද නොවේ. ගුනසිංහයෝ චිරාගත පද්‍ය භාෂාව ද ඉවත ලූහ. නව උපමා රූපකාදියෙන් සපිරි, ගත් වහරට වඩා කට වහරට බෙහෙවින් අසල් වු නව පද්‍ය භාෂාවක් ඔවුන් අතින් බිහි විය. මේ දෙ කරුණෙහි දී ම ඔවුන් අතිශය ආභාසය ලදුයේ ප්‍රතිචීන (බටහිරි) පද්‍යයෙන් බව මැනැවින් පෙනී යයි.

පද්‍යය පෙරදිගු පැදිය විශේෂයෙන් ම වින්දනමූල කලාංගයක් වී ය. එ වුව ද ගුනසිංහයන් මතු කළ පද්‍ය සම්ප්‍රදායය චින්තනමූල වූවෙකි. එ ද ප්‍රතිචීන (බටහිරි) සම්ප්‍රදායය අනුයෑමක් වී ය. ඔවුන් යෙදූ උපමා රූපක පවා අපගේ වින්දනයට නො ව චින්තනයට තුඬු දිනි. වෙ සෙසින් බලන කල්හි, සිරි ගුනසිංහයන් විසින් මතු කැරුණු නිදහස් පැදිය අප ගේ සිංහල පද්‍ය සම්ප්‍රදායය මුළුමනින් නො තකා හැර බැහැරින් ගෙන අප ගේ සාහිත්‍ය ලෝකයට ගොඩ බැස්වූවක් සේ පෙනේ. එයින් වූ මහත් ම හානි නම් එ මඟ අනුගත විසල් පිරිසකුදු එ කල්හි පද්‍ය කරණයට ප්‍රවිෂ්ට වීමෙන් නියම සිංහල පද්‍යය යටපත් වැ යෑම යි; කලක් ගෙවෙන්නා හා ම සිංහල පද්‍ය ලෝකය ප්‍රධාන ධාරාව බවට මේ නිදහස් කවිය - සැබැවින් ම පද්‍යයන් නොවන නිදහස් කවිය - පත් වීම යි. එහි අනිවාර්ය ඵලය වූයේ වින්දනමූල කලාවට සහජයෙන් ම හුරු වැ සිටි මෙ රට ජනයා කවියෙන් ඈත් වීමයි‍. මෙබඳු අසාධු ඵලයක් ගෙන දුන්නේ වී නමුදු සිරි ගුනසිංහයන් ලියූ කාව්‍ය විමසන කල ඔවුන්ගේ අතුල ප්‍රතිභාව මැනැවින් විශද වේ. එහි ලා විශේෂයෙන් ඇගැයිය යුතු ඔවුන් ගේ අනනුකරණීය කවිත්වය යි. චින්තනය පුබුදුවාල නව දෘෂ්ටියෙහිත් ලෝකාවලෝකනය කිරීමට පොලඹවාලන තවානුක ඔවුන් ගේ කාව්‍යයට විෂය වී ය. එහෙත් නිදහස් පැදි ලොවම පසු කල ඇතුළු ව‍ූවන්ගෙන් නම් එ බඳු කවිත්වයක් කිසි විට දක්නා නොලැබිණ.‍

කවියෙහි මතු නොව, නවකථාව, චිත්‍රපටය ආදියෙහි දු ගුනසිංහයන් ගේ අතුල්‍ය ප්‍රතිභාව සමඟ ම, ප්‍රතිචීන ආභාසය ද සම්ප්‍රදායයට අනනුගත බව ද එකකින් ම කැපී පෙනිණ. එය අපගේ පාඨක - ප්‍රේක්ෂක ලෝකය විස්මය පත් කරවන්නා විය. එ වුව ද ගුනසිංහයන් ගේ ම බටහිර ඉගැන්ම ලද, ඒ ඔස්සේ ම ලොව දුටු පරපුරට විනා මෙ රට පොදු ජනයාට නම් එයින් වැඩක් වී ද යනු පැනයෙකි. ‘හෙවනැල්ල’ වැනි නවකථාවක් බොහෝ පාඨකයන් කෙරෙන් ප්‍රතික්ෂේප වීම එයට සාධකයෙකි. කලාකරුවකු වශයෙන් සිරි ගුනසිංහයන් ගෙන් උත්කෘෂ්ට සම්ප්‍රදානයක් ලදුයේ මිත්‍ර කලා විචාරණ ක්ෂේත්‍රය යි. එහි ලා ඔවුන් කළ මෙහෙවර ඉතා වැදගත් වුව ද කිසි විටෙක ඒ සුනිසි ඇගැයුමකට ලක් නො වී ය.

ශාස්ත්‍රධරයකු වශයෙන් තීක්ෂණ ප්‍රඥාවත් සාහිත්‍ය නිර්මාපකයකු වශයෙන් විශිෂ්ට කුසලතාවත් ප්‍රකට කළ සිරි ගුනසිංහයන් වැන්නෝ ඉතා දුර්ලභය හ. එ සමඟ දේශීය සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයත් එක් විණි නම්! අහෝ! අපගේ ජාතියේ අභාග්‍යයට එ වැන්නක් නො වී ය.

හිතමිතුරා 

Comments