
එක්සත් ජතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් වරයකු ලෙස ද කටයුතු කළ මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියකු වන ජයන්ත ධනපල මහතා විසින් පසුගියදා බණ්ඩාරනයක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ Doom King කෘතිය හඳුන්වාදීමේදී ඒ පිළිබඳව විශේෂ දේශනයක් කරන ලදි. මේ එහි සම්පින්ඩනයකි.
මෙරට වසර 2300ක් පැවති රාජකීයත්වය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අභාවයත් සමඟ සමාත්තියට පත්වේ.
ඇත්තෙන්ම එය අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ හමුවේ සමාප්තියට පත් වූවායැයි පැවසීම වඩාත් යෝග්‍යවේ. ඔවුන් කන්ද උඩරට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව මෙරට ජනතාව තුළ ඇති කර ඇති ආකල්පය එතරම් යහපත් එකක් නොවේ. ඒ පිළිබඳව ඉතාම විශ්වාසවන්තව අද අපට ප්‍රකාශ කළ හැක්කේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් ඉමහත් පරිශ්‍රමයකින් යුතුව විශ්වාසදායී තොරතුරු හා මූලාශ්‍ර ඇසුරු කරගනිමින් ලියා පළ කර ඇති 'ඩූම් කිං' කෘතිය පදනමේ තබාගෙනය. එතුමා කිසියම් දෙයක් කියන්නේ හෝ ලියන්නේ ඉතාමත් වගකීමකින් යුතුවය.
එමෙන්ම මහාචාර්ය ඔබේසේකරයන් යමක් පවසන්නේ බැරෑරුම්ව අධ්‍යයනය කර හොඳින් අවබෝධ කර ගත් පසුවය. එතුමා ලංකාවේ පමණක් නොව ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි පිහිටි ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වරයකු වශයෙන් කටයුතු කර ඇත්තෙකි. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වී ඇති එතුමා මේ වන විට පොත්පත් රාශියක් ලියා පළ කර ඇත.
එතුමාගේ වයස 87 වුවද ඉතාමත් වගකීමකින් යුතුව පර්යේෂණ සිදු කරමින් විත්ති පොත්, කඩයිම් පොත් හා වෙනත් පැරණි ලිපි ලේඛන හා ඊට සම්බන්ධ අත්දැකීම් ඇති පුද්ගලයින් සමඟ කතාබහ කර මෙම Doom King නමැති කෘතිය රචනා කර ඇත.
මීට අමතරව ඔහු මේ සඳහා මූලාශ්‍ර වශයෙන් එකල අධිරාජ්‍යවාදීන්ගේ සේවයෙහි නිරතව සිටි සිවිල් නිළධාරීන්ගේ දින පොත් පවා පරික්ෂා කර තිබේ. ඇත්තෙන්ම එය පහසු කාර්යයක් නොවේ.ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය. මෙම කෘතිය මගින් නිවැරදිව ඉතිහාසය දෙස බලන්නට අපව යොමු කරන අතර, ඒ සඳහා මහත් පිටුබලයක් ද සපයයි. අනෙක් පසින් බලන කල මෙය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලන සමය පිළිබඳව සිදු කරන සියුම් විවේචනයකි.
බොහෝ අය විවිධ අවස්ථාවල දී ආවේගශීලීව යම් යම් විවේචන සිදුකර තිබුණද පිළිගත හැකි කරණු මත පදනම්ව කරන ලද මෙවැනි විවේචනයන් විරල වේ. මේ ආකාරයට පිළිගත හැකි සාක්ෂිමත පදනම්ව කරන ලද ශ්‍රාස්ත්‍රානුකූල විවේචනයක් අපට හමුවන්නේ ඇල්ජීරියාවේ ෆ්‍රාන්ස් සැනොන් හා ඉන්දියාවේ යටත් විජිත අත්දැකීම් පිළිබඳව මෑත කාලයේ ශෂී තරූර් විසින් ලියන ලද ලේඛනවලය. ශෂී තරූර් ප්‍රකාශ කරන ආකාරයට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියනු වැසියන් මිලියන තිස්පහකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්කර ඇත. ඔබේසේකර මහතාගේ කෘතිය අධ්‍යයනය කර බැලිය යුත්තේ මෙවැනි කෘති හා සංසන්දනය කරමිනි.
කාල්පොපර් ප්‍රකාශ කරන ආකරයට ඕනෑම තර්කයක් විවේචනය කළ යුතුය. කෙනකු කී පමණින් එය පිළිනොගෙන තර්ක කරමින් අධ්‍යයනය කරමින් තත්කාලීන තොරතුරු හා සංසන්දනය කරමින් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ යුතුය. මාහාචර්ය ගණනාථ ඔබේසේකර ප්‍රකාශ කරන අකාරයට ඇහැලේපොළ කුමාරිහාමී ඇතුළු දරුවන් තිදෙනාට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දඬුවම් ලබා දී ඇත්තේ තම සිතැඟි මත නොව උඩරට නීති ප්‍රකාරවය. ඇහැලේපොළ රාජ ද්‍රෝහී කුමන්ත්‍රණ සිදු කර, ඉංග්‍රීසීන් ළඟට පලාගිය අවස්ථාවේ රජුගේ භාරයට ගෙන තිබූ ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට ඔහුට උරුම දඬුවම නියම විය. ඒ අනුව දඬුවම් ලබදීම සිදු කර ඇති අතර එහිදී බිළිඳා වංගෙඩියක දමා කෙටීමක් වැනි දඬුවමක් ක්‍රියාත්මක වී නොමැති බව මහාචාර්ය ඔබේසේකර පවසයි. එවැන්නක් අපගේ අධ්‍යාපන ග්‍රන්ථවල සඳහන් වී නොමැති බවත් එවැනි දේ ඇත්තේ ඉංග්‍රිසි ලේඛනවල පමණක් බවත් ඔහු සඳහන් කරයි. එනිසා ජනතාව රජුට එරෙහි වූ බව පැවසීම අසත්‍යයක් බවත් රජු ක්‍රියා කර ඇත්තේ රාජ නීතිය අනුව මිස වෙනත් අරමුණකින් නොවන බවත් ජනතාව දැන සිටියේය.
එමගින් හැඟී යන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ ඉතාම අමානුෂික කෘර පාලකයකු බව පෙන්වීමට ඔවුන් තුළ අශාවක් පැවති බවය. කොටින්ම මේ දේවල් ජෝන්ඩොයිලි ලියූවේ මෙම සිදුවීමෙන් වසර දෙකකට පසුවය. එහෙත් ඔහු එය සටහන් තබා ඇත්තේ ඇසින් දුටු සිද්ධියක් විලසය. ඇහැලේපොළ වර්ණනාවේ රජුට අපහාස උපහස කර තිබුණද මෙලෙස කෲර ආකාරයෙන් රජු ක්‍රියා කළ බවක් සඳහන්වී නොමැත. ඊට සමකාලීනව ලියන ලද කිරල සංදේශයේ පවා ඒ පිළිබඳව සඳහනක් නොමැත. මේ සියලු සිංහල කෘති හා කඩයිම් පොත්, විත්ති පොත් අධ්‍යයනය කරන ඔබේසේකරයන් පවසන්නේ රජු මෙලෙස කෘර දඬුවමක් ලබාදීම පිළිබඳව මෙම මූලාශ්‍ර මගින් කිසිදු සාක්ෂියක් නොලැබෙන බවයි. එමගින් ස්ඵුට වන්නේ මෙය ඩොයිලිගේ සැලැස්මේ තවත් එක් පරිච්ඡේදයක් වන බවය.
ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා පිළිබඳව ලියන බ්රෙන්ඩන් ගුණරත්න හා යස්වින් ගුණරත්න පවසන්නේ ඔහු ඔත්තුකාර සේවය සඳහා සිංහල උගත් බවත්, ගජමන් නෝනා සමග සමීප ඇසුරක් පැවැත් වූ බවත් පමණි. ඉන් එහාට ඩොයිලි පිළිබඳව බොහෝ දෙනා නොලියන්නේ යටත්විජීත ලැදිකමක් නිසාදැයි නොදනිමි. නමුත් මෙම පසු යටත්විජිත මනෝභාවයෙන් නිදහස්ව මහාචාර්ය ඔබේසේකරයන් පවසන්නේ ඩොයිලි පිළිබඳව නිවැරදි දේශපාලන වින්ශ්චයක් ලබාදිය යුතු බවය.
එවකට මෙරට ආණ්ඩුකාරවරයා වූ රොබට් බ්‍රවුන්රිග් ගේ අනුදැනුම මත කන්ද උඩරට රාජධානිය දියකර හැර ඉංග්‍රීසි ආණ්ඩුවේ අණසක පැතිරවීමට කටයුතු කළ අයකු ලෙස ඩොයිලිගේ ක්‍රියා පිළිබඳව සාධාරණ විනිශ්චයක් කළ යුතුය. ඇත්තෙන්ම සෛවරී රාජ්‍යයක් සිය බලාධිපත්‍යයේ අරමුණ වෙනුවෙන් මෙලෙස විනාශ මුඛයට ඇද දමීමේ අරමුණැතිව ඔහු සිදු කළේ වැරදි ක්‍රියාවකි.
මෑතකදි අනගාරික ධර්මපාලතුමා පිළිබඳව ලියන ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කරන්නේ අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලනය පිළිබඳව ඉතාම පැහැදිලි විවේචනයක් සිදු කර ඇති බවයි.
එහිදී අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රකාශයක් උපුටමින් ඔහු පවසන්නේ, සිංහල ජනතාව පරම්පරා තුනක් යනතුරු යටත්විජිත මානසික බැම්මේ සිරකර තබමින් ඔවුන් ඉංග්‍රීසීන් අනුව සිතන පතන ක්‍රියා කරන පිරිසක් බවට පත් කිරීමට කටයුතු කළ බවත්, එනිසාම මෙරට පාලකයා වූ ශ්‍රීවික්‍රම රාජසිංහ රජු කෘරතර මත්ලෝලී නොහික්මුණු ඒකාධිපති පාලකයකු ලෙස සිතන්නට ඔවුන් පෙළඹී සිටි බවත්ය. ඉංග්‍රීසීන්ගේ මානසික වහල්භාවට ගෙදුරුව ක්‍රියා කරන මේ පිරිස රජු රාජද්‍රෝහියෙකු ලෙස සිතමින් ක්‍රියා කිරීම ධර්මපාලතුමාගේ දැඩි දෝෂදර්ශනයට හේතුවිය.
එසේම බොහෝ දෙනා සිනමා කෘතිවලින් පවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මේ කෘරත්වය උත්කර්ෂයට නැංවීමට කටයුතු කළා මිස ඔහු නිර්මාණය කළ මාළිගා පරිශ්‍රය විශේෂයෙන්ම පත්තිරිප්පුව, නුවර වැව, පෙරාදෙණියේ පිහිටි උද්‍යානය, වලාකුළු බැම්ම ආදී වශයෙන් සෙන්කඩගල රාජධානිය මනෝරම්‍ය ආකාරයෙන් නිමවා තිබීම පිළිබඳව කිසිවක් නොපවසති. එය අප විසින් සිංහලේ අවසන් රජු ලෙස සැලකෙන ශ්‍රි වික්‍රම රාජසිංහ රජුට සිදු කරන ලද විශාල වැරද්දකි. එසේම අප රටට කර ගන්නා නින්දාවකි.
මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන් පෙන්වාදෙන පරිදි මෙහි වැදගත්ම සිදු වීම වන්නේ රජු අත් අඩංගුවට පත් වීමත් සමග එදා සිට මෙරට ස්වාධීනත්වය අහිමිව ගිය බවය. ඇතැම් දෙනා මේ ප්‍රකාශය පිළිබඳව නොසතුටු විය හැකි වුවත් මහාචාර්ය ඔබේසේකරයන්ගේ නිගමනය එය වේ.
මගේ නිරීක්ෂණය අනුව නම් ශ්‍රී වික්‍රම රාජසිංහ නමැති නායක රජු පැමිණියේ තමිල්නාඩුවෙන් නොව ආන්ද්‍රා ප්‍රදේශයෙන් වන බවයි.
ආන්ද්‍රා ප්‍රදේශය යනු නාගර්ජුන ආදී විශිෂ්ට බෞද්ධ භික්ෂූන් වාසය කළ බෞද්ධ සිද්ධස්ථානවලින් සුසැදි භූමියකි. ඉන්දියාවේ කටයුතු කරන කාලයේ නරසිංහ රාවෝ දිනක් මට පවසා සිටියේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශාල වශයෙන් බෞද්ධ සිද්ධස්ථාන පවතින බවත් බුද්ධගයාව, සාංචි, කුසිනාරාව...ආදී සිද්ධස්ථන වැඳ පුදා ගැනීමට ලංකාවෙන් පැමිණෙන බැතිමතුන් ඒවා දැක ගැනීමට නොපැමිණෙන බවත්ය.
එනිසා ඔවුන්ගේ ප්‍රදේශ තුළත් විශාල වශයෙන් බෞද්ධ ශිෂ්ටාචරයට අයත් පූජනීය ස්ථාන පිහිටා තිබෙන බවත් ඒවා දැක ගැනීමටත් පැමිණෙන ලෙසත් දන්වා සිටියේය.
මේ කරුණු මා සඳහන් කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඇති බෞද්ධ උරුමය සනාථ කිරීමටය. රජුට බිසෝවරු රැගෙන ආවේද ආන්ද්‍රා ප්‍රදේශයෙනි.
එමෙන්ම පිළිමතලාවේ පැමිණ ඇත්තේද එම ප්‍රදේශයෙනි. පුන්නසාමී නමින් ප්‍රකටව සිටි රාජාධි රාජසිංහ අවසන් රජුට දරුවන් නොසිටි බැවින් බිසවගේ සහොදරයාගේ දරුවකුට රජකම උරුමවිය. ඔවුහු පරම්පරාවෙන්ම බෞද්ධයෝය. ඔවුන් කතා කළේ තෙළිඟු භාෂාවය. මෙවැනි පරිවර්තනයක් සිදුවීමේදී ඔහු මෙරට අයකු නොවන බව කෙනකුට කිව හැකිය. නමුත් ඔහුගේ බෞද්ධ උරුමය මත පදනම්ව ඒ පරම්පරාවේ රෙගුලසිවලට යටත්ව එම පත් කිරීම සිදුවිය. එනිසා එය වැරැද්දක් නොවේ. එසේම මහාචර්යවරයා මීට පෙර කෘති මගින් පෙන්වාදී ඇත්තේ නුවර ජනතාව තුළ මනා සංහිඳියාවක් පැවති බවය.
ඕලන්ද සමයේ ජෝසප් වාස් නම් කතෝලිකයාට හිරිහැර සිදුවිය. මේ පිළිබඳව පැමිණිලි කිරීමට ඔහු උඩරට රාජධානියට පැමිණ තිබේ. ඒ අනුව බලන කල අනෙකුත් අාගම් පිළිගැනීම පිළිබඳව හා ඔවුන් වෙනුවෙන් රජුගෙන් සාධාරණයක් ඉටු වූ බවට මෙය කදිම උදාහරණයකි. ගෝලීයකරණ ක්‍රියාදාමය උපයෝගී කරගනිමින් ඇමරිකානු ජනපති ට්‍රම්ප් ගෙන ගිය අන්තවාදී ආකල්ප දැන් ක්‍රමයෙන් හීන වීමට පටන්ගෙන ඇත.
ප්‍රංශයේ මැක්‍රෝන්ගේ ජයග්‍රහණයත් සමග නැවතත් ලෝකයේ ජනතව තුළ සියල්ලන් සමානව සැලකුම් ලැබීමේ ප්‍රවනතාව ජයග්‍රහණය කර ඇත. මේ ආකරයටම බෞද්ධ රජෙකු වුවත් අනෙකුත් ආගම් පිළිබඳවද සංවේදීව කටයුතු කරමින් සහජීවනය අගය කළ පුද්ගලයකු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ නාමය වර්තමාන සන්දර්භය තුළ වඩාත් සාධනීය භූමිකාවක ගුණ සුවඳ වහනය කරන බව නොවලහා කිව යුතුය.
රසික කොටුදුරගේ