ඉස්තෝප්පු කෑල්ලෙ වම් අත පැත්තෙ මුල්ලෙ තියෙන පුටුවෙ ඇලවෙලා පත්තරේ කියවන්න අරගෙන වැඩි වෙලාවක් ගියෙ නැහැ. බොල්හේනෙ කන්ද පැත්තෙන් පාත්වුන මහ වරුසාව ගෙදර වහලෙ උඩට කඩා වැටුන. මුලින්ම වතුර බින්දුව දෙක වහලෙන් බේරුනත් දිය ඇල්ලක් වගේ කඩා හැලෙන්න ගද්දි පත්තරේ අනික් පුටුව උඩට අත ඇරල වැස්ස දිහා බලාගෙන හිටිය.
‘මාර වැස්සක්නෙ එක පාරටම කඩා වැටුනේ‘ කියල ඔළුවට වැක්කෙරිල තිබුන වැහි වතුර ගේ කුරුල්ලෙක් වගෙ ගසල දාපු වත්ත පල්ලෙහා තේ දළු නෙළපු නන්දසේනත් ස්තෝප්පු කෑල්ලට ගොඩ වැදුන.
ටිකක් වෙලා බිත්තියට හේත්තු වෙලා හිටපු නන්දසේන පුටුව උඩ විසිරිලා තිබුන පත්තරේ මුල් පිටුව අතට අරගෙන “වැඩවර්ජන , උද්ඝෝෂණ, අනේ මන්ද කවද ඉවර වෙන ඒවද” කියල වැස්ස පායනකම් කතා කරන්න මාතෘකාවක් පටන් ගත්ත.
“නන්දසේනට මොකද හිතෙන්නෙ මේ ස්ට්‍රයික් ගැන” කියල අහද්දි තනි කකුලෙන් බිත්තියට බරදීල හේත්තුවුනා.
“කොයි එක ගැනද මහත්තයා අහන්නෙ, දොස්තර මහත්තුරුන්ගෙ එක ගැනද?” අහල, සාක්කුවෙන් එළියට ගත්තු කොළයක ඔතල තිබුන බුලත් විට ලිහන්න පටන්ගත්ත.
“මහත්තයා දන්නවද රට මහත්තයව, අපේ ගෙට හැරෙන තැන ම ගෙදර ඉන්නෙ, මහත්තයා කොහෙ දකින්නද, අපි දකින්නෙත් අවුරුද්දකට දෙහෙකට පාරයි. දන්න දවසෙ ඉදලම ඉන්නෙ පිටරට. ඒ නෝන හැමදාම කෙරුවෙ දුවරු දෙන්න අතින් අල්ලගෙන ස්කෝලෙ නැත්නම් පන්ති දුවන එක. ඒ දරුවන්ගෙ හීනෙ වෙලා තිබුනෙ දොස්තර නෝනල වෙන එකලු . මහත්තයත් අවුරුදු ගානක් පිටරට දුක්වින්දෙ දූවරු දොස්තරල කරන්නලු .ලොකු දුව තුන්වෙනි පාර උසස් පෙළ කරලත් වෛද්‍ය විද්‍යාලෙට යන්න ලකුණු මදි වෙලා. ඒ පාර තමයි ලංකාවේ තියෙන සල්ලි ගෙවල දොස්තර විභාගෙ කරන්න පුළුවන්, ඔය දැන් දොස්තර මහත්තුරු විරුද්ධව ස්ට්‍රයික් කරන එකට දාල තියෙන්නෙ. අනික් දුවට ලකුණු මදිවුනාම එයාව වෙන කොහේදෝ රටකට යැව්වලු දොස්තර විභාගෙට. දැන් ලංකාවේ සල්ලි ගෙවල කරපු දුව දොස්තර වෙන්න බැරුව හිටියත් ඊට පස්සෙ පිටරට ගිහිල්ල විභාගෙ කොරල ආපු දුව දැන් දොස්තර විභාගෙ සම්පූර්ණ කරල, කොළඹ මහ ඉස්පිරිතාලෙ වැඩලු. ඉතින් මහත්තයො, දරුවො දොස්තරල වෙන්න පිටරට යනව වෙනුවට ඒක අපේ රටේදි ම කොරගන්න පුළුවන් නම් එකේ ඇති වැරැද්ද මොකක්ද” කියල මගෙන් ප්‍රශ්නයක් ඇහුව.
“මහත්තයා දන්නවනෙ අපේ මහ ඉඩම. තවමත් ඒකට කියන්නෙ පතල්වත්ත කියලනෙ. අපේ සීයල මේ ගමට ඇවිල්ල තියෙන්නෙ මිනිරන් ගොඩ දාන්න. සීයල ඒ කාලෙ ලොකු සල්ලිකාරයො වෙලා හිටියට දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙ මිනිරන් කර්මාන්තෙ නතරවුනාම නට්ටන් වෙලා ගිහිල්ල. අපේ පරම්පරාවට ඉතිරිවුනේ ඔය පාළුවට ගිය පතල් වලවල් විතරයි. පහුගිය දොහක ඕස්ටේලියාව ද කෙහෙද රටක සුද්දො දෙන්නෙක් ආව අපේ මිනිස්සුත් කට්ටියක් එක්ක අපේ පතල් වලවල් බද්දට අරගෙන මිනිරන් ගොඩ දාන්න. අපේ තාත්තව මුණ ගැහිල ඔය කාරණාව කීව විතරයි තාත්ත ඒ මිනිස්සුන්ගෙ ඇඟට ගොඩ වැදිල එක්කගෙන ආපු මිනිස්සුන්ට හොදටම බැන්න. තාත්තලගෙ සීයලගෙ දේවල් විකුනන් කන පුරුද්දක් අපිට නැහැ කියල”.
“එහෙම නිධානයක් තියාගෙන අපි දැන් අනුන්ගෙ ඉඩම්වල කුලී වැඩ කරනව කියල” කටස් ගාල පුවක් කෑල්ලක් දතකට තියල හැපුව.
“නන්දසේනට මොකද එක පාරටම මිනිරන් පතල් ගැන මතක් වුනේ” කියල මම අහද්දි “නෑ මම කීවෙ තිරිකුණාමලේ තෙල් ටැංකි කතාවත් ඒ වගේ හින්දනෙ” කියල කහට පිරුණු දත් ටික විරිත්තල හිනාවක් දැම්ම.
කතාව තවත් දිග් ගැහුනෙ බඩු මිල ගැන කතාව පටන්ගත්තම
“අපේ ගෙදර ඉන්නෙ මමයි ගෑණියි කොල්ලයි විතරයි, තුන් වේලටම බත් කෑවත් මාසෙටම හාල් කිලෝ දහයක් දොලහක් අපිට හොදටම ඇති. දැන් හැමෝම කතා කරන්නෙ හාල් ගාන ගැන නෙ. කිලෝ එකක් රුපියල් විස්සක් වැඩිවුනත් මාසෙටම රුපියල් තුන්සියයයි අපිට නම් වැඩි වෙන්නෙ.
ගෑස් සිලින්ඩරයක් මාස දෙකක් විතර අපිට පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් විසිපහකින් ඒක අඩු වුනාට තේරෙන්නෙ නැහැ. පෙට්රල්, ඩීසල් අඩුවනාට අපිට බස්ගාස්තු සතයක්වත් අඩුවුනේ නැහැනෙ. ඒත් බෙහෙත් මිල අඩුවුන එකනම් අපිට ලොකු සහනයක්. අපේ ගෙදර එක්කෙනා දියවැඩියාවට යි මම ප්‍රෙෂර් එකට යි බේත් බොන හින්දා,”
වහලෙන් වැටෙන වැහි බින්දු නතරවෙලා. නන්දසේන නැමිල අහස දිහා බැලුව.
“මොකද හිතෙන්නෙ ආණ්ඩුව ගැන” අහල මම ප්‍රශ්නාර්ථයක් තිබ්බා.
“මම නම් මහත්තයො, හාල්වල මිලෙනුයි , පාන්වල මිලෙනුයි නෙමෙයි ආණ්ඩුව හොද ද නරකද කියන්නෙ, අවුරුදු තිහක් ගහ මරාගත්තු රටක මිනිස්සු ආපහු හුස්ම ගන්න හදන කොට ජාතිවාදය වපුරන මිනිස්සු, අහිංසක මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට තියල ඉල්ලීම් දිනාගන්න හදන දොස්තරලයි මට්ටුකරන්න බැරිනම් ආණ්ඩුවක් මොකටද” කියල මිදුලට බැස්සෙ ආයිත් තේ දළු නෙලන්න යන්නයි.
ගොඩාක් වෙලාවට පොත පත කියවන, රටේ ලෝකේ වෙන දේවල් ගැන අවදියෙන් ඉන්න, එහෙමත් නැත්නම් රූපවාහිනීවල තර්ක විතර්ක ගෙනෙන මිනිස්සුන්ගෙ මතවාද වලට වඩා එදිනෙදා ජීවිතය ගැට ගහගන්න වෙහෙසෙන මින්ස්සුන්ගෙ අදහස්වලට ඇහුම්කන් දෙන එකත් මොන තරම් අපූරුද කියල හිතුනෙ ඒ වෙලාවෙදිමයි.
චන්දන ගුණසිංහ