ශ්‍රී ලාංකිකයන් ගොඩනැඟීමෙන් ශ්‍රී ලංකාව ගොඩනැඟේ | සිළුමිණ

ශ්‍රී ලාංකිකයන් ගොඩනැඟීමෙන් ශ්‍රී ලංකාව ගොඩනැඟේ

 සමාජයේ මූලික අභිප්‍රාය විය යුත්තේ සමාජ සාධාරණත්වය ඉටුකිරීමයි. සමාජ සාධාරණිත්වය මෙන්ම සමාජ සුභසාධනය ද ජනතාවට අවශ්‍යය. ජෙරිකෝවට යෑමට ඇත්තේ එක් මඟක් නොවේයැයි කියමනක් තිබේ. මේ සුභ සාධන අරමුණ වෙත ළඟාවීමට පරික්ෂාකාරී විය යුතුය.

මිනිස් සමාජයේ අත්‍යවශ්‍ය සාධකයකි සුභසාධනය. තරගය මොහොතකට නතර කළ විට එකිනෙකා මිනිසුන් බව පැහැදිලිය. පුද්ගලවාද පෞද්ගලික න්‍යාය පත්‍ර එකිනෙකට වෙනස් වුවත්, සෑම දෙනාටම පොදු අවශ්‍යතා ඇති බව පැහැදිලිය. දර්ශන, විප්ලව මේ සියල්ල එකිනෙකාගෙන් ඉවත් කළ විට සියලුදෙනම පොදු මිනිස් සමාජයේ කොටස්කරුවෝය. බොහෝදෙන තමා කවුරුද හෝ තමන්ගේ කොටස කුමක්ද යන්න නොදැනීම නිසා සමාජයේ අතරමං වෙති.

ජනවාර්ගික හා සංස්කෘතික වශයෙන් අනන්‍යතා ඇති සුළු ජන කණ්ඩායම්වල විෂමතාවන් තිබිය හැකිය. එහෙත් මේ සියලු උපකුලක එක් කළවිට මිනිසා නැමැති සර්වත්‍ර කුලකයේ අවයව බව පැහැදිලිය. විවිධාකාර සිතුම් රටාවන් ඇත්තා වුවත්, අවසානයේ මිනිසත් බව සමස්ත සමාජයට අවැසි බව තහවුරුවේ. මේ නිසා සියලුමදෙනාට සමානාත්මතාව අවශ්‍ය බව ද පැහැදිලි වේ.තර්ක විතර්ක කෙසේ වුවත්, මිනිස් අවශ්‍යතා ඉටුකරගනිමින් සහයෝගීත්වයෙන් ජීවත්විමට ඕනෑම කෙනෙකුට ඉඩහසරක් තිබියයුතුය. ස්ටීවන්, ලූක්ස් වැනි සමාජ විද්‍යඥයන් මිනිස් සමාජයට අවශ්‍ය සමානාත්වය පිළිබඳව න්‍යාත්මක කරුණු මඟින් පැහැදිලි කර මෙය ප්‍රායෝගිකරණය විය යුතු බව ද පෙන්වා දී තිබේ.

එළඹෙන සමාජ ආර්ථික නොසන්සුන්තා මත ඇති වෙන්නා වූ විෂමතා හේතුවෙන් ගැටුම් ඇති වේ. බොහෝ පවුල් ආරවුල්වලට හේතු වේ. මෙවැනි බොහෝ ගැටුම් නිරාකරණයට මිනිස් ආයාසයෙන් නොහැකිය. මැවුම්කාරයාගේ ප්‍රේමය මේ සියල් ගැටුම් අබිිබවා ප්‍රේමයම ජනිත කරයි.

වර්තමානයේ අනෝන්‍ය අවබෝධය නොමැති කල්හි මිනිස්සු මිනිසුන්ටම එරෙහි වෙති. මැවුම්කාරයාගේ නීතිය හෙවත් ප්‍රථම ආඥාව රැකීමට ඔවුන්ට නොහැකි වේ. මිනිස් අවශ්‍යතා, සමාජ විවිධාංගිකරණය, නොයෙක් බෙදීම් ගැටුම් අතර අනෝන්‍ය සුහදත්වය අහෝසි කරයි. එකිනෙකා තේරුම් ගැනීමෙන් මේ සියල්ල අවසන් කර දැමීමට හැකියාව ඇති වේ.

වර්තමානයේ බොහෝ දෙන යහපත් ශ්‍රී ලංකාවක් පිළිබඳ අපේක්ෂා තබති. එහෙත් යහපත් ශ්‍රී ලංකාවක් බිහිවීමට යහපත් ශ්‍රී ලාංකිකයන් අවශ්‍ය බව බොහෝදෙනාට අමතක වෙති. නැතහොත් අමතක කර දමති. එහෙත් යහපත් ශ්‍රී ලංකාවෙක් ගොඩනැඟීමට යහපත් ශ්‍රි ලාංකිකයන් අවශ්‍ය බව අප පැහැදිලිව අවබෝධ කරගත යුතුය. මේ සඳහා අප කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය අපට මතුවේ. අඳුරයැයි පවසමින් අඳුරේ සිටීමෙන් ඇතිවන ඵලය කුමක්ද? මේ නිසා පුද්ගල සහයෝගීත්වය ඇති කිරීම පිණිස අපට හැකි ලෙස අසාධාරණයට ලක් වූවන්ට සාධාරණය ඇති කිරීම උදෙසා අපේ පල්ලියෙන් වොයිස් පදනම පටන් ගැනුණි. මේ පදනමේ මූලික පරමාර්ථය අන්අයට උදව් කිරීමය. මෙහිදී පුද්ගලයන්ගේ ආගම ජාතිය පිළිබඳ අපට අවශ්‍ය නොවේ. සියල්ලෝම මනුෂ්‍යයෝය. ඔවුන් සියලුදෙනාටම එකිනෙකාගේ උපකාරය අවශ්‍යයැයි යන පදනම මත එකිනෙකාට උපකාර කිරීමට අපි අරමුණු කරගතිමු.

වර්තමානයේ කාන්තාවෝ සමාජීය වශයෙන් හිංසා පීඩාවට ලක්වෙති. මෙහිදී ගෘහස්ථ හිංසනය අද ප්‍රබල වී තිබේ. මේ තත්ත්වයට හේතුව එකිනෙකා තේරුම් නොගැනීමයි. මේ නිසා පවුල් ආරවුල් ඇති වේ. පවුලක් මෙන් ජීවත් වීමට බොහෝදෙනාගේ අවබෝධයක් නොමැතිවීම කනගාටුවට කරුණකි. සංකීර්ණ සමාජයේදී එකිනෙකා ගරු කිරීම් නොමැත. එකිනෙකා අබිබවා යෑමට ඔවුහු උත්සාහ දරති. මේ තරගෙය හඹා යාමේදී බොහෝදෙනාට මනුෂ්‍යකම පිළිබඳ අමතක වෙති. මේ නිසා අරවුල් ඇති කරගනිති. මෙවැනි ආරවුල්වලින් අවසානයේ කාන්තාවෝ ද දරුවෝ ද අසරණ වෙති. වර්තමානයේ ළමා නිවාස දරුවන්ගෙන් පිරී තිබේ. නොයෙක් ප්‍රශ්න ගැටලුවට පත් වූ දරුවෝ ළමා නිවාසවල හු‍ෙදකලා ජීවිත ගත කරති. මේ දරුවන්ගේ මනස, ජීවන රටාව හෙට සමාජයට මොවුන් පුරවැසියන් ලෙස මුහුණ දෙන්නේ කෙබඳු ආකාරයට යන ගැටලුව මතුවේ. මේ නිසා මෙවැනි දරුවන් වෙනුවෙන් අපි අපේ කාලය සහ ශ්‍රමය යොදවන්නෙමු.

පීඩා විඳින දරුවන් කාන්තාවන් වෙනුවෙන් වොයිස් පදනම නොයෙක් සැලැසුම් සූදානම් කරයි. මෙහිදී ආගමික භේදයක් නොසලකන අතර හුදෙක් මනුෂ්‍යත්වයේ පදනම මතම කටයුතු කරයි.

පසුගිය කාලපරිච්ඡේදයේදී අපි පවුල් පන්සිය පනහකට සෙත සලසන සේවා රැසක් කළෙමු. හුදෙක් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිහිනය දුටු බොහෝදෙනා උදෙසා අපි සේවය කළෙමු. මෙහිදී පන්සල ද පල්ලිය ද යන්න වැදගත් නොවේ. අවශ්‍යතාව ඇති වන්නේ කාටද යන්න මෙහිදී ප්‍රමුඛ වේ. අනෙකුත් ආගමික මධ්‍යස්ථාන දේවස්ථාන සමඟ එකට එක් වී කටයුතු කිරීම අපේ අරමුණ වී තිබේ. මේ අපේ පදනම මනුෂ්‍යත්වය පිළිබඳ සැලැකීම පමණි.

ගංවතුර ස්වභාවික විපත් පිළිබඳ සැලවූ වහාම වොයිස් පදනම ක්‍රියාකාරී වේ. මෙහිදී සියලුදෙනාට අවශ්‍ය ආහාර පාන සැපයීම, රෙදිපිළි සැපයීම උදෙසා වොයිස් පදනම මූලිකත්වය ගනියි

මේ පදනම උදෙසා උදව් උපකාර කරන බොහෝදෙනෙක් වෙති. හුදෙක් ඔවුන් තමන්ගේ සේවය ප්‍රමුඛකොට මේ සම්බන්ධව යොමු වී සිටිති. ශ්‍රමයෙන් ද මුදලින් ද ආධාර කරන්නන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා මේ වන විටත් වොයිස් සංවිධානයෙන් කාර්ය භාර්යය රැසක් ඉටු වී ඇත.

වොයිස් සංවිධානයේ නිර්මාතෘ දේවගැති ඩිෂාන් ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කෙරිණි.

රූපාන්ති බුලත්සිංහල

Comments