කුරුල්ලෙක් පියාඹන්න පටන් ගත්තා... වසර තිහකට පස්සේ... | සිළුමිණ

කුරුල්ලෙක් පියාඹන්න පටන් ගත්තා... වසර තිහකට පස්සේ...

 පරිණාමවාදයට අනුව එක් ජිවාණුවකින් මිනිසා නිර්මිත වූ බව හෙළි කරයි. ඒ අනුව මිනිසාගේ ආදිතම මුතුන් මිත්තා මුහුදේ ජීවත් වු ඒකකෝෂික කුඩා සතෙකු බව පිළිගැනේ. වසර ගෙවී යත් ම මෙම කුඩා ජිවීයා කොඳු ඇට සහිත මත්ස්‍යයෙකු බවට පත් වී අවුරුදු ලක්ෂ ගණනක පරිණාමයෙන් පසුව ජලයේ සහ ගොඩබිමේ වාසය කළ හැකි ජීවින් වර්ධනය වී ඇත. ඉන්පසු නූතන මිනිසා දක්වා පරිණාමය සිදු වූ බව පරිණාමය වාදයේ සඳහන් වේ. මේ සියලු අදහස් මතවාද මගින් මිනිසාගේ විවිධත්වයත්, විශාලත්වයත්, පිළිබඳ සටහනක් මුණ ගැසේ.

මිනිස් දින 10,950 කුත්, මිනිස් පැය 2,62,800 කුත්, ගෙවා දමමින්, කූඩුවක හිටිය කුරුල්ලා, පියාඹන්න පටන් ගත්තා. උතුරෙන් දකුණටත්, දකුණෙන් උතුරටත්, ඊට පස්සෙ හැම දිශාවකම ත් ඌ පියෑඹුවා. ඒ පියාඹන හැම වෙලාවෙ ම මහා පොළොව දෙසට කුරුල්ලාගේ හිස නැමිලා තිබුණා.ඒ පොළොවෙ ඉන්න මිනිස්සු වෙතට කුරුල්ලා පියාඹන්න පටන් ගත්තා... කුරුල්ලා මිනිස්සුන්ට ඇහුන්කන් දෙන්නත්, මිනිස්සු දෙස විමසිලිමත්ව බලා හිඳින්නත් පුරුදු වුණා.

මිහිතලය මත මිනිසාගේ බිහි වීම මීට වසර මිලියනයකට ආසන්න කාලයකට පෙර සිදු වුවා යැයි විශ්වාස කෙරේ. ක්‍රම ක්‍රමයෙන් මානව පරිණාමය සිදුවෙමින් මේ මොහොත වන විට මිනිසා තාක්ෂණික මිනිසෙකු බවට පරිවර්තනය වෙමින් මානව ලෝකය ඉදිරියට මෙහෙයවමින් සිටී. මිනිසා ස්වභාවධර්මය තුළින් බිහි වී, ස්වභාවධර්මය සමඟ හැදී වැඩී, මිය යෑමෙන් පසුව ස්වභාව ධර්මයේ කොටසක් බවට පත් වේ. එය මිනිස් ජීවිතයේ ස්වභාවය යි. විශ්වයේ පවතින සියලු ම ජීවි අජීවි වස්තුන් සහ මිනිසා අතර අන්තර් සම්බන්ධතාවක් පවතී. එම අන්තර් සම්බන්ධතාව ගැන මිහිමඬලේ ගීතය යනුවෙන් ලියැවුණු සියැටල් ප්‍රකාශනයේ මෙසේ සඳහන් වී ඇත.

“අප දන්නා පරිදි මේ මහා පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහා පොළොවට අයත් ය.පවුලේ සියලු දෙනා එකම ලේ බැම්මකින් බැදෙන්නා මෙන් මෙලොව ඇති සියලු දෙයම එකට බැදී තිබෙන බව අපි දනිමු.

-සියැටල්-

“මනසින් උසස් සත්ත්වයා” යන අරුත ඇති මිනිසාගේ හටගැනීම පිළිබඳව විද්‍යාත්මක ගොඩනැඟිමක් ද, මිථ්‍යා විශ්වාස මත ඇදහීමක් ද, ඉතිහාසය පුරා පැවත ඒ. ආගම තුළින් පැන නැගි ආත්ම වාදය, නිර්මාණ වාදය තුළින්, මිනිසාගේ බිහි වීම පිළිබඳ මතයන් ඉදිරිපත් කර ඇත. ක්‍රිස්තියානි ආගමට අයත් ශුද්ධ බයිබලයේ සඳහන් වන පරිදි “ දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණිය ආත්මයක් ඇතුළු කළ බව සඳහන් වේ. එසේම මුස්ලිම් ආගමට අනුව කුරාණයේ සඳහන් වන්නේ “ ඔහු නිර්මාණය කළ හැම දෙයක්ම අංග සම්පුර්ණ විය. හෙ‍තෙම පළමුවෙන් ම මිනිසෙකු මැටියෙන් සෑදුවේය. අනතුරව කුඩා දිය බිඳුවක් මිනිස් පරපුර බිහි කළේය. අනතුරුව හෙතම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදීය. තමාගේ ජීවාත්මයෙන් කොටසක් ඔහුට පිම්බේය.” හින්දු ආගමට අනුව මහා බ්‍රහ්ම නම් සර්ව බලධාරී දෙවි කෙනෙකු විසින් ලෝකයත්, මිනිසාත්, මැවු බව සඳහන් වෙයි. බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී අාබස්වර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණ මිහිතලයේ ප්‍රභවය ලද බව සඳහන් කරයි. බුද්ධ දර්ශනයට අනුව ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන පංච මහා භූතයින් ගෙන් මිනිසා නිර්මාණය වී ඇති බව විශ්වාස කෙරේ.

පරිණාම වාදයට අනුව එක් ජිවාණුවකින් මිනිසා නිර්මිත වු බව හෙළි කරයි. ඒ අනුව මිනිසාගේ ආදිතම මුතුන් මිත්තා මුහුදේ ජීවත් වු ඒක කෝෂික කුඩා සතෙකු බව පිළිගැනේ. වසර ගෙවී යත් ම මෙම කුඩා ජිවීයා කොඳු ඇට සහිත මත්ස්‍යයෙකු බවට පත් වී අවුරුදු ලක්ෂ ගණනක පරිණාමයෙන් පසුව ජලයේ සහ ගොඩබිමේ වාසය කළ හැකි ජීවින් වර්ධනය වී ඇත. ඉන්පසු නුතන මිනිසා දක්වා පරිණාමය සිදු වු බව පරිණාමය වාදයේ සඳහන් වේ. මේ සියලු අදහස් මතවාද මගින් මිනිසාගේ විවිධත්වයත්, විශාලත්වයත්, පිළිබද සටහනක් මුණ ගැසේ.

...............

කුරුල්ල පියාඹන්න පටන් ගත්තා. මීදුම පිරුණු හීතල උදෑසනෙත්, ඉර පායලා තියෙන තද අව්වෙත්, වලාකුළු දියවෙලා අකුණු පුපුරද්දිත්, හඳ පායන් නැති ඝන කරුවලෙත් කුරුල්ල පියෑඹුවා.

කුරුල්ලට මහා පොළවෙන් හඬවල් ඇහෙන්න පටන් ගත්තා.පන්සල්වල ඝණ්ටාර හඬත් පිරිත් හඬත් එක්ක සාදු...! සාදු...! සාදු...! නාද ඇහෙන්න පටන් ගත්ත. මිනිස්සු බුදු පිළිමේ ඉස්සරහා දොහොත් මුදුන් දී වැඳගෙන ගාථා කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි...!

ඒත් එක්කම සීනු නාදයත් ඇහුණා. දෙවියන් වෙනුවෙන් පුජා පවත්වන තවත් මිනිසුන් පිරිසක් පොල් ගෙඩි අතේ අරන් බිම පෙරළෙනවා. සමහරු දෙවියන් ඉස්සරහ පොල් ගහනවා. මිනිසුන් පලතුරු වට්ටිවල අලුතින් ගත් කාර්වල යතුරුත්, විභාගවලට ලියන පෑනුත්, වෙච්ච භාරත් ලෙහලා දෙවියන්ට පුජා පවත්වනවා.

මිනිසුන් කටු ගහල කරත්තෙක බැඳලා මහා පාරේ අරන් යනවා. ඒ යන අතරේ හරෝ හරා...! හරෝ හරා...! යැයි, දෙවියන් ආමන්ත්‍රණය කරනවා. ඒ හැම මනුස්සයෙකු තුළම විශ්වාසයත්, බලාපොරොත්තුවත්, වෙනුවෙන් දෝංකාර දෙන හඬක් ඇසුණා. කුරුල්ලා ඒ තුළ අපුර්වත්වයක් දැක්කා.ඒ හැම හඬක් ම කුරුල්ලාගේ හිතට දැනුණා. ඒ දිහා බලාගෙන ටික දුරක් කුරුල්ල පියෑඹුව විතරයි.

පල්ලියේ හඬ දිගින් දිගටම ඇහෙන්න ගත්තා. හැම වතාවෙ ම ඇහුණේ එකම හඬ යි. ඒ තමයි අල්ලාහ්... හු අක්බර්! ...අල්ලාහ්! සුදු තොප්පි දාගෙන දෙවියන් යඳින මිනිස්සු දෑත් ඉහළට ඔසවමින් සිය නමස්කාරය දෙවියන් වෙනුවෙන් පුද කරනවා . යාච්ඤාවන් ඉවර වෙලා,“අස්සලාමු අලෛක්කුම්...! වලෛයික්කුම් අස්සලාම්”...! කියමින්, මුසල්මානුවෙක්, මුසෙල්මානුවෙකුට ආමන්ත්‍රණය කර ආශිර්වාද කරනවා.

කුරුල්ලා ඒ දිහා බලාගෙන පියෑඹුවා. ඒත් එක්කම පල්ලියේ ගීතිකා හඬ ඇහුණා. කුරුසයට තියලා ඇණ ගහපු ජේසුස් වහන්සේගේ පිළිමය ළඟ දණින් වැටිලා මිනිසුන් යාච්ඤා කරනවා. ඒත් එක්කම වම් අත පපුවෙ තියාගෙන, දකුණු අතින් නළලත්, ඉන්පසුව පපුවත්, වම් උරහිසත්, දකුණු උරහිසත්, ස්පර්ශ කරලා වඳින ගමන් සර්ව බලධාරී දෙවිදුන්ට ප්‍රශංසා වේවා ආමේන්...! යනුවෙන් යාඥා කරනවා.

ඒ හැම දේට ම උඩින් කුරුල්ල අහස පැත්තට වෙන්න පියාඹන්න පටන් ගත්තා. ඈතට ඈතට පියාඹ ගෙන සිතිජයට ළං වෙන තරමට ම පියෑඹුවා. කුරුල්ලට හැම හඬක්ම එකම සද්දයක් විදියට ඇහෙන්න පටන් ගත්තා. ඒ තමයි මිනිස් කටහඬ. මිනිසාගේ යහපත වෙනුවෙන් මිනිස්සු එකතු වෙලා යදින හඬ, ඒ හඬ තුළ කුරුල්ලට ඇහුණා. ඒ එක්කම මිනිස් හඬ විශ්වයත් සමඟ එකතු වෙලා මහා සංගීතයක් සේ වැයෙන්න පටන් ගත්තා.

කුරුල්ලට අවුරුදු තිහක් කූඩුවෙ ඉන්න අතර ඇහුණු, රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ගීතයක් මතක් වෙන්න පටන් ගත්තා. කුරුල්ලා ඉගිල්ලෙන එක මෙහොතකට නතර කරලා ගහක අත්තක ඉඳන් ගයන්න පටන් ගත්තා...

“ඉවත ලනු මැන මහත් බැතියෙන්
ගයන ඔබ බැති ගීතිකා
දෙතොල් මතුරා ගණින ඇටවැල
සමඟ යදිනා යාතිකා
දොර කවුළු හැම වැසුණු දෙවොලක
කාට දෝ මේ පුදන්නේ?
දෙනෙත් විදහා බලනු මැන ඔබ
දෙවිඳු අබියස නොවන්නේ
මං සදන්නන් ගල් කඩන තැන
බිම් කොටන්නන් සරන වැඩ බිම
දූලි තැවරුණු සළු දරා ගෙන
අව්වෙ වැස්සේ සිටිති දෙවියෝ”

(ගීතාංජලි කාව්‍ය සංග්‍රහය, පරිවර්තනය: කුසුම් දිසානායක, 11පිටුව)

කුරුල්ලට හරිම සතුටු යි. කුරුල්ලාට මුළු ලෝකයම අලුත් විදිහට පේන්න ගත්තා. ලෝකය සිය ශක්තියෙන් ගොඩනඟන්න වෙහෙසෙන, හුස්ම වැටෙන මිනිසුන්ම තමයි, දෙවියන් බව කුරුල්ලාට වැටහෙන්න පටන් ගත්තා. ඒ අදහසත් එක්ක කුරුල්ලා පොළොවට ළං වුණා. ඉන්පසු හැම උදේ පාන්දරම කුරුල්ලා ලෝකයට ඇහෙන්න මිනිස්සු ගැන ගීත ගැයුවා.

(දෙවන කොටස ඉදිරි සතියේදී)

ඩිලූෂා නදීකමාලී

Comments