‘ගලන නදිය හැම විටම අලුත් වේ එහෙත් නදිය එතැනම වේ’ | සිළුමිණ

‘ගලන නදිය හැම විටම අලුත් වේ එහෙත් නදිය එතැනම වේ’

 ‘කැලෑව අත්විඳින නර්තන ශිල්පීන් දෙදෙනෙක් අතරින් කෙනෙක් කැලෑව ආස්වාදනය කරයි. ඒ තුළින් ඔහුගේ යටගියාවේ ස්මරණයන් නිදහස්ව ගලා යයි. මිනිසා කැලය තුළදී හොඳින් වැඩුණු ගහ කොළ ද, ඉර එළිය ද, ඉතා ළඟින් අත්විදී. ඔහු තව දුරටත් එහි සෙල්ලම් කරමින් සිටී. විටෙක දුවමින් ද විටෙක රූරා වැටෙමින් ද දඟලමින් සහ පනිමින් ඔහු කැලය සමග ස්මරණ වින්දනයක සැරිසරයි.‘

‘අනෙකාට අනුව කැලය යනු සැඟවීමටත්, සතුරාගෙන් ආරක්ෂා වීමටත් සතුරාට පහරදීමටත් ඉතාමත් ආරක්ෂිත කලාපයකි. ගස්වැල් සහ ගල්මුල්, සිය සතුරාගෙන් ආරක්ෂාවීම සඳහා නිර්මාණය කර ඇති වස්තුන් ලෙස ඔහු දකී. ඔහු නිරන්තරයෙන් සතුරාට පහරදී ඔහු පරාජය කිරීමට අවශ්‍ය ආයුධයන්ගෙන් සන්නද්ධවී අවධියෙන් සිටී. ඔහු කැලය තුළදී සතුරා සොයයි. අනපේක්ෂිත බව අනතුරු දායකබව බිය, සැක, සියලූ මතකයන් සමඟ ඔහු කැලය තුළ සැරිසරයි.‘

සමාජසත්‍ය මත ජීවත්වූ සාමාන්‍ය පුරවැසියෙකු සහ සැබෑ යුද සෙබළෙකු සිය ජීවිත අත්දැකීම් සත්‍යය භූමීය තුළත්, රංග භූමිය තුළත් අත්විඳීම මෙම නිර්මාණය මඟින් ප්‍රතිනිරූපණය කරයි.

මෙහි එන යුද සෙබළා තිස්වසරක් පැවති යුද්ධයේදී රැකියාවේ යෙදී සිටින අතරතුර ආබාධයට ලක් වුවෙකි. පසුව ඔහු නර්තන ශිල්පියෙකු ලෙස පුරුදු පුහුණු වී නර්තනයේ යෙදේ. මෙම නිර්මාණය තුළදී සමාජසත්‍ය තුළදී සිය ශරීරය යුද සෙබළෙකු ලෙස සටන් කිරීමටත්, සතුරාව පරාජය කිරීමටත්, කායික මානසික පුහුණුව ලැබූ යුද සෙබළාගේ අරගලය, සිවිල් පුරවැසියෙකු ලෙස හුවමාරුවේ. කෘතිය ආරම්භයේදී යුද මානසිකත්වයෙන් යුතු ජීවිතයට හුරුවුණු යුද සෙබළා කැලය තුළදී බිය, සැක, අනාරක්ෂිතභාවය, ම්ලේච්ඡත්වය මත පීඩනයටත් වේදනාවටත් ලක් වේ. එය කෘතිය අවසානයේදී ආගම තුළින් සිය ආත්මය නිදහස් මානසිකත්වයක් කරා ගමන් කිරීමට පුරුදු පුහුණු කරන්නෙකුගේ මානසික තලය දක්වා පරිවර්තනය වේ.

මෙහි එන නර්තන ශිල්පියා නර්තනය හැදෑරූ ශිල්පියෙකි. නර්තන විෂයට අදාළව සිය ශරීරය රිද්මය, තාලය, රේඛා මත, ශරීරයත් චලනයත් පුරුදු පුහුණු කළ අයෙකි. ඔහුගේ රංගනය තුළින් නර්තන ශිල්පියාගේ වින්දනාත්මක අරගලයත්, දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික සහ සදාචාරාත්මක බැඳීම් තුළට සිරව නිදහස නොලබන මිනිසාගේ ආධ්‍යාත්මයේ සැබෑ සත්‍යය පිළිබඳ වේදනාව නිරූපණය වේ.

එම කියවීම ‘‘ගර්දා කුනින්’’ නම් රංග වින්‍යාස ශිල්පිනිය DINA 13 නර්තන සමාගම එක්ව නිර්මාණය කළ ශරීර සත්‍ය (Body Realities) නර්තන සහ වීඩියෝ රංග කලා නිර්මාණ පිළිබඳවයි. ලෝකයේ ප්‍රමුඛ පෙළේ මිශ්‍රක්ෂමතා නර්තන වෘන්දයක්වන DINA 13 නර්තන සමාගම, 1995 වසරේ ජර්මනියේ කොලෝ නගරයේ ආරම්භ කරන ලද ශරීර ආබාධ සහිත සහ රහිත ශිල්පීන් යොදාගෙන නිර්මාණය කර ඇත.

ශ්‍රී ලාංකික සමාජය දේශපාලනික කැරලි සහ යුද්ධ මගින් පරිවර්තනයට භාජනයවූ සමාජයකි. එම සමාජ යථාර්තය මත සිවිල් පුරවැසියාත්, යුද සෙබළාටත් ආගම සහ යුද්ධය මගින් සිදුකර ඇති බලපෑම පිළිබඳ පර්යේෂණාත්මක අත්දැකීමේ නිර්මාණාත්මක ප්‍රතිඵලයක් ශරීර සත්‍ය (Body Realities) නර්තන සහ වීඩියෝ රංගකලා නිර්මාණ තුළින් නිරූපිතය. යම් පුද්ගලයෙකු ජීවත්වන සමාජ පරිසරයත්, පාරිසරික අවකාශයත් ඒ තුළින් ඔහු ලබන්නාවූ අත්දැකීම් සහ අත්විඳීම් සිය ශරීර මතකයන් කෙරෙහි කෙසේ බලපා ඇත්ද යන්න මෙහිදී පර්යේෂණයට භාජනයකර ඇත. වසර ගණනාවක් ගතවුණුපසුවඑමඅතීත මතකයන්නැවත එම ස්ථානයන් තුළදී ශරීර චලනයන් මගින් කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න කලාව තුළින් සොයා යයි.

තිස් වසරක් යුද්ධය පැවැති ලාංකේය පොළොව මත දී කැලෑව යනු හුදු ස්වභාව සෞන්දර්ය මත ආස්වාදනය කළ හැකි භූමීයකට වඩා, මරණයේ දෝංකාර මත අන්ධකාර සෙවනැලි වැටුණු ස්ථානයක් වශයෙන් අර්ථ ගැන්විය හැක්කේ කැලය තුළ යුද්ධය පැවතුණු නිසාය. එම සමාජ සත්‍යය මත යුද්ධය පැවතුණු කැලෑවේ සත්‍ය වීඩියෝ දර්ශනයන් වේදිකාව මත ප්‍රදර්ශනය කරයි. ඒ තුළ නර්තන ශිල්පීන් නර්තනයේ යෙදේ, සංගීතය, රංග කලාව, ශබ්ද ප්‍රයෝග සහ චිත්‍රපට මාධ්‍ය භාවිතය මගින් රංගභූමිය තුළ ෙප්‍ර්්‍රක්ෂාවක් ගොඩනඟයි. රංගභූමිය තුළ රූප සංරචනයේ ගැඹුර මගින් ජීවිතයේ තල තුනක් නිර්මාණය කර දක්වා ශරීර අත්විඳීම් සහා ප්‍රතිචාරයන් තුළින් සමාජ අත්දැකීම්, හෙළිවීමට අවශ්‍යය අවකාශය ෙප්‍ර්රක්‍ෂකයා තුළ ගොඩනැගෙන ලෙස මෙම පර්යේෂණාත්මක සහ නිර්මාණාත්මක අත්හදා බැලීම මගින් සිදු කර ඇත.

යුද්ධය දේශසීමාවකට යටත් නොවේ. එය ඕනෑම තැනක ඕනෑම ආකාරයකින් දෘශ්‍යමානව ද අදෘශ්‍යමානවද පැවතිය හැකිය. යුද්ධයට හසුවන මිනිසාගේ අත්විඳීම් මිනිස් සංහතියටම පොදු වේ. යුද්ධයේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස මිනිසා ආබාධයට ලක් වීමත්, සරණාගතයින් ඇතිවීමත් යන අනවරත ඛේදවාචකයට මුහුණදීමට සිදුවේ.

ලෝකයේ සිදුවූ ලෝක යුද්ධයන්ගෙන් පසු ශුන්‍යතාවයටත් අපේක්ෂා භංගත්වයටත් පත් මිනිසා එවැනි දෑ නැවත ඇති නොවීම සඳහා විවිධාකාර උපක්‍රම භාවිතාකර ඇත.

ශිෂ්ටාචාරය ශිෂ්ටත්වයෙන් ගෙවා දැමීම සඳහා කලාකෘති, කෞතුකාගාර, ස්මාරක ඔස්සේ යුද්ධයේ පවතින කුරිරු ම්ලෙච්ඡත්වය සිහි ගන්වමින් වර්තමානයත් අනාගතයත් යහපත් කිරීමේ අභිලාෂයෙන් ප්‍රදර්ශනයට තබා ඇත. ඒ අතර පෝලන්තයේ අවුෂ්විට්ස් ඝාතන කඳවුරු සහ ජර්මනියේ සැක්සස් හවුස් ඝාතන කඳවුරු ද වියට්නාම යුද්ධයෙන් මියගිය මිනිසුන්ගේ ශරීර අවයව ඇතුළත් කෞතුකාගාර ද, සුවිශේෂී වේ. ඓතිහාසික සත්‍යයේ බිහිසුණු බවත් භයංකාරයත් ප්‍රචණ්ඩත්වයේ මිලේච්ඡත්වයත් වේදනාවේ දෝංකාරයත් පිළිබඳ පහන් සංවේගයක් මෙම සිහිවට නැරඹීම තුළින් මිනිසා තුළ ඇතිවේ. මානව ශිෂ්ටාචාරයේ ශිෂ්ටත්වයත්, අශිෂ්ටත්වයත් පිළිබඳ ගැඹුරු පාඩමක් අප්‍රසන්න අතීතයෙන් උගනී. ඒ තුළින් ශිෂ්ටාචාරය ශිෂ්ටත්වය කරාම රැගෙන යාමේ නොතිත් පෙලඹවීමක් මිනිසාගේ සිත තුළින් ගලා යනු ඇත. වරෙක හර්මන්හෙස නැමති කවියා සිය කවියක මෙසේ සඳහන් කර ඇත.

ගලන නදිය හැමවිටම අලූත් වේ. එහෙත්, නදිය එතැනම වේ. එයට ඇත්තේ වර්තමානයක් පමණි. අතීතය හා අනාගතය පිළිබඳ ඡයාමාත්‍රයක්වත් එයට නැත”

ලෝකය අලූත් වීමට නම්,මිනිසා යහපතත් සතුටත් තුළින් මානව ප්‍රේමය කරා ගලා යා යුතු වේ.‘

ඩිලූෂා නදීකමාලී

Comments