මෝදි කී ජායි! | සිළුමිණ

මෝදි කී ජායි!

 අඛිල භාරත මෝදි නරශ්‍රේෂ්ඨයාණෙනි, ස්වකීය දේශයෙහි උපන් ඒ මහා වීරයාණන් ගේ ත්‍රිවිධ මංගල්‍යය වෙනුයෙන් සිය අසල්වැසි දිළිඳු රටෙහි පැවැත්වෙන අන්තර්ජාතික වෛශාඛ්‍ය මහෝත්සවයෙහි අග්‍ර ආරාධිතයාණන් වීමේ හුදු පිරිසුදු අරමුණින් ම යුතු වැ මෙහි සැපත් ඔබ, භක්ති පූර්වක ශීර්ෂප්‍රණාම අභිවාදනයෙනුදු සමාදර බහුමාන පුරඃසර අත්‍යන්ත ගෞරවයෙනු මෙ සේ පිළිගනුම් හ.

ඔබ අග්‍රාමාත්‍ය ධුර ප්‍රාප්ත වූ දා සිට ම මේ දුගී අසල්වලයා කෙරෙහි දැක්වූ අමෝඝ කරුණාව අප ගේ හෘදයාභ්‍යන්තරයෙහි ම සටහන් වැ ඇත්තේ ය. එ හෙයින් මේ ලංකා ධරණීතලය මත ඔබ යළි දු පා තැබීම අපට මහත් සුවයෙකි, සොම්නසෙකි. ඉතින් ඒ වෙනුවෙන් අපට‍ නොකළ හැකි කිමෙක් ද? නො දිය හැකි කිමෙක් ද? ඔබට යමක් රිසියේ ද එය අපි නො වළහා ඔබට පුදමු.

මහාශයාණෙනි,

අපි වනාහි අනාදි කාලයෙක පටන් ම ඔබ ගේ දේශයට අත්‍යවනත වැ සිටිමු. සිහි කළ මැනැවි, එ දා විජයසිංහයාණෝ සපිරිවරින් මෙහි පැමිණ මෙහි වූ නායකයන් මුල්සුන් කොට රාජ පද ප්‍රාප්ත වූ හ. එ තැන් සිට අපි ඔවුන් අපේ ජාතියේ ආදිතමයාණන් කොට පුද හරසර දක්වමු. අපේ දැය විජයයන් ගෙන් ඇරැඹිණැ යි අපේ දරුවනට දු දැනුදු කියා දෙමු. බැලුව මැනැවි, ඔබ ගේ දේශයට අප දක්වන ගරුවෙක මහත. එ මතු ද? නැති. වරක් අභිෂේක වැ මෙ රට රජය දු කරවමින් සිටි තිස් මහ රදාණෝ ඔබ ගේ ඉහළතම මුත්තණුවා වැ දිග් විජයෙන් මතු නො වැ ධර්ම විජයෙනුදු ලෝකය අභිභවනය කළ මහාධිරාජ අශෝකයාට අවනත වැ, ඔවුන් ගේ දේවානම්පිය යන විරුදය දු ලබා නැවැත වරක් අභි‍ෂේක වූ හ. ඔබ ගේ දේශයට කො තරම් අභිමානයක් ද?

ඔබ ගේ දේශයෙන් ආ බුද්ධඝෝෂයන් අප ගේ හෙළටුවා සියල්ල පාලියට පෙරළා අනාගතයෙහි උපදින්නකුට වුව ඒ හෙළටුවා නොදක්නා ලැබෙන පරිදි ගිනි ලූ අපි නිහඬ වැ සිටියමෝ නොවමෝ ද? අදත් ඒ පාලි අට්ඨකථා මහත් හරසරින් වර්ණනා නොකරන්නමෝ ද?

ඒ යේ වා! ඔබ ‍ගේ දේශයෙන් ආ ඒ වීර රාඝවන් නම් වීණා වාදකයා ගේ වාදන මාධුර්යයෙන් මුසපත් වූ අපි නිකම් සෙසු යමක් නො ව අප රටින් ‍කොටසක් ම ඔහුට නොදුන්නමෝ ද? දුම් වතු වගාව පිණිස ඔබ ගේ දේශයේ දක්ෂිණාපථයෙන් ලන්දේසීන් ගෙන ආ ජනයාට මෙහි ම ස්ථිර වාසස්ථාන සලසා නොදුන්නමෝ ද? එ දෙසෙ‍හි ම යන එන මං නැති වැ සිටියවුන් වතු වගාව පිණිස ඉංගිරිසීන් මෙහි ගෙන් වූ කල, අප ගෙන් බලයෙන් මුඬු බිම් පනත යටතේ ගත් ඉඩම් ඔවුනට පවරා දෙන කල, යළි දු ඔවුන් ඔබ ගේ රටට යවන්නට ඔබ ගේ ම නායකයන් හා ගිවිසුම් ගසා තිබිය දී ඔවුන් කෙරෙහි ළෙහි උපන් කුලුණින් යුතු වැ අප ගේ නායකයන් ඔවුනට මෙ රට පුරවැසි බව දෙන කල අපි විරුදු වූවමෝ ද? නැති. නැති!

එ ද මතුත් නො වේ. බැලුව මැනැවි. අප ගේ වර්තමාන සංස්කෘතියෙහි හැඩ ගැස්ම පිණිස ඔබ ගේ දේශයට අපි කො තරම් ණයගැති ද? ඔබ ගේ දේශයෙහි නළුවකුට නිළියකට නිකම් කැස්සක් ඇති වුවත් අපි අපේ පුවත්පත්හි පිටු ගණන් පුරවමු. ඔවුන් ගේ නවතම තොරතුරු ශ්‍රී සද්ධර්මයට ද වඩා අභිරුචියෙන් කියවමු. ඔවුන් රඟ පෑ (රූපවාහිනී) නාටක නො කා නො බී නිඳි වරා නරඹමු. අපි අප ගේ අසල්වැසි මහා රාජ්‍යයට, ඔබ ගේ ආධිපත්‍යය යටතේ පවත්නා ‍දේශයට දක්වන අත්‍යවනත ගෞරවය එ සේ ය.

ඔබ ගේ දේශයෙහි උපන් ඒ මහා වීරයාණන් ගේ ශාසනය ජන්ම භූමියෙනුදු අන්තර්ධාන වන කල අප එ රක්නා සෙයක් බැලුව මැනැවි. එයින් අපට ලැබෙන අන්තර්ජාතික ගෞරවය බැලුව මැනැවි. දාන - ශීල - භාවනායෙහි යෙදෙන්නට අප සේ වූ ජාතියක් ලොව අන් තැනෙක්හි දුටු විරූ ද? බත් පතකට හිස දන් දුන් රජුනුදු වූ‍යේ මෙ දෙස්හි ය. සිය හිස මතු නො ව රටෙහි හිස වුව ද නො බෝ දන් දෙන්නට නැ‍ඟෙන අප දෙස්පලුවන් දසත දන්සල් දෙන මෙ කල්හි ඔබ මෙහි ආ සේ මනා ම ය. ඔවුහු ඔබට කුමක් නො දෙත් ද? ඔබ වෙනුයෙන් කුමක් නො කෙරෙත් ද? ඔවුන් ඔබ කෙරෙහි දක්වන බහුමාන්‍ය වාග් විෂයාතික්‍රාන්ත වේ.

එ හෙයින් නර ශ්‍රේෂ්ඨයාණෙනි,

ඒ ගෞරවය, බහුමානය නොසිස් වන පිණිස ඔබ ඔවුනට නුවණ දුන මැනැවි. ඔබ ගේ දේශයෙහි උපන් ඒ ජගද්භාප මහා වීරයාණන් සතල ලෝකයට ඥානය දානයකළ මෙ කල්හි ම මෙ රටට ආ ඔබ අප ගේ දේශපාලකයනට නුවණ දුන මැනැවි. ඔබ කියන්නක් ඔවුහු මැනැවින් අසත් ම ය. දේශපාලනය උදෙසා ම දේශපාලනය කරන අප ගේ දේශපාලකයනට රට දැය වෙන‍ුවෙන් දේශපාලනය කරන දේශපාලනඥයන් වන්නට කියාදුන මැනැවි. මෙ කුඩා රටට ගැළැපෙන්නේ ඔබ ගේ රටට මෙන් සන්ධීය ආණ්ඩු ක්‍රමයක් නොවනා බව කියා දුන මැනැවි.

රජයෙන් රජයට පිළිවෙත් වෙනස් කැර රටෙහි සම්පත් නාස්ති නො කොට ඔබ රටෙහි මෙන් පස් අවුරුදු, දස අවුරුදු සැලැසුම් ඇති කොට රජය වෙනස් වුව ද, සැලැස්ම වෙනස් නො කොට පෙරට ගෙන යන්නට කියා දුන මැනැවි. ඔබ මෙන් ම, දේශීය සම්පත් සුරකිමින්, රට වෙනුයෙන් සිතා, රට වෙනුයෙන් තීරණ ගෙන ක්‍රියාවට නංවන්නට කියා දුන මැනැවි.

එ කල්හි අපි ඔබ ද ගාන්ධි, නේරු, චන්ද්‍රභාසු, පාතෙල් වැනි විරුවකු කොට සලකමු.

Comments