සංස්කෘතික පුනරුදයේ වෙසක් පුරාණය | සිළුමිණ

සංස්කෘතික පුනරුදයේ වෙසක් පුරාණය

 ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ගේ අති උතුම්ම දිනය වෙසක් පුන්පොහෝ දිනයයි. එදින ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම බෞද්ධයන්ට අතිශයින් වැදගත් දිනය වේ. එයට හේතුව වන්නේ බෝධිසත්ත්වයන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන තෙමඟුල එදින සිදු වූ නිසයි. වෙසක් පසළොස්වක යෙදන්නේ මැයි මාසයටය. කලාතුරකින් එය අප්‍රේල් අගට හා ජුනි මුලට යෙදෙන අවස්ථාද ඇත. එසේම මැයි 01 දිනටත් මැයි 31 දිනටත් පසළොස්වක දෙකක් යෙදීමට ඉඩ ඇත. එවිට එක පොහොයක් “අධිවෙසක්” ලෙස සලකනු ලැබේ.

ලොව අන් බෞද්ධයන්ට වඩා ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් දිනය විශේෂයෙන් වැදගත් වන්නේ එදින සිංහල ජාතියේ ආරම්භය සිදු වූ දිනය ලෙස ද සැලැකෙන නිසාය. ක්‍රි.පූ. 536 වැන්නේදී සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණය දිනයේදී විජය කුමාරයා ඇතුළු පිරිස මේ දිවයිනට ගොඩ බට බව සඳහන් වේ. බුද්ධාගම ආරක්ෂා වන්නේ ශ්‍රී ලංකාවේ බැවින් විජය ඇතුළු පිරිස ආරක්ෂා කරන ලෙස බුදුරජාණන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයාට පැවැසූ බවත්, අනතුරුව ශක්‍ර දේවේන්ද්‍රයා විජය ඇතුළු පිරිසට ආරක්ෂාව සලසන ලෙස උපුල්වන් දෙවියන්ට බාර කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

ලංකාවට බුද්ධාගම හඳුන්වාදීමට පෙර ම තවත් කරුණකින් වෙසක් පෝය දිනය අප රටට වැදගත් දිනයක් විය. එනම්: දේවානම්පිය තිස්ස රජතුමාගේ අදෘශ්‍ය මිත්‍රයකු වූ ධර්මාශෝක රජතුමා විසින් එවන ලද පංච රාජ කකුධ භාණ්ඩ උපයෝගී කරගෙන දේවානම්පිය තිස්ස රජතුමා දෙවන වරට අභිෂේක ලැබුයේ වෙසක් පුර පසළොස්වක දිනයකය. (ක්‍රි.පූ. 250 - 210). ඒ අභිෂේකය සඳහා අදාළ වස්තූන් එවන ගමන් ම “මම බුදුන්, දහම්, සඟුන් සරණ ගියෙමි, ඔබද ඒ ත්‍රිවිධ රත්නය‍ කෙරෙහි සිත පහදවාගෙන සරණ යන්නැයි” සඳහන් කර එවූ බව මහා වංශයේ දැක්වේ.

මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පිය තිස්ස රජතුමා ලවා “අනාගතයේ ලංකාවේ රජ වන ගාමිණී අභය මහ රජ විසින් ස්වර්ණමාලී නම් චෛත්‍ය කරවන බවට” ලියා පිහිටුවූ ගල් ටැඹ දුටු දුටුගැමුණු රජතුමා අතිශයින් සතුටට පත්ව රුවන්වැලි මහාසෑය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ වෙසක් පොහෝ දිනයක විසා නැකතට. වර්ෂයක් පාසා වෙසක් පූජෝත්සව පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ ද දුටුගැමුණු රජතුමාටය. එතුමාගේ පින්පෙත අනුව වාර්ෂික වෙසක් පූජෝත්සව විසි හතරක් කරවූ බව මහාවංශයේ සඳහන් වේ.

මහා වංශයට අනුව ලක්දිව රජවූ සියලු රජවරු විවිධ පුණ්‍යෝත්සව මහා ඉහළින් පවත්වා ඇත. එම පින්කම් වෙසක් පින්කම් යැයි විශේෂයෙන් සඳහන් නොවේ. එහෙත් භාතිකාභය රජ්ජුරුවන් කරවූ පින්කම් අතර වෙසක් උත්සව විසි අටක් ම සිදු කළ බව මහාවංශය දක්වයි.

ක්‍රි.ව. 67 - 111 අතර කාලයේ රජ කළ වසභ රජතුමා අවුරුදු 44ක් රජ කළ අතර එතුමා කළ විවිධ පින්කම් අතර වෙසක් උත්සව ද 44ක් කළ බව මහාවංශයේ 35 පරිච්ඡේදයේ 100 ගාථාව අනුව‍ පෙනේ. මේ විස්තරවලට අනුව ලක්දිව රජ කළ සියලු රජවරුන් වාර්ෂික වෙසක් උලෙළ වෙනුවෙන් විවිධ පුණ්‍යකර්මයක් සිදුකොට ඇත.

දෙවැනි සේන රජතුමා වෙසක් උත්සවය වෙනුවෙන් දුගීන්ට කෑම බීම ඇඳුම් පැලඳුම් බෙදා දුන් බව සඳහන් වේ. පොලොන්නරු සමය වන විට වෙසක් උත්සවය ආගමික උත්සව දිනයක් පමණක් නොව, ජාතික උත්සව දිනයක් බවටද පත්ව ඇත. පළමුවන පරාක්‍රමබාහු රජ සමයේදී මේ තත්ත්වය ඇති වී තිබුණු බවට සාධක ඇත. එදා වෙසක් දින උපෝශථ සීලය සමාදන් වීම, දන්සල් පැවැත්වීම, ආලෝක පූජා සංවිධානය, පෞද්ගලික නිවෙස්වල පවා සැරැසිලි කොට පහන් දල්වා ආලෝකවත් කිරීම ආදී වෙසක් දිනයේ වර්තමානයේ කෙරෙන බොහෝ දේවල් කෙරී ඇති බවට සාධක ඇත.

මේ ලෙස බුද්ධාගම ලංකාවට හඳුන්වාදීමත් සමඟම ඇරැඹුණු වෙසක් උත්සව කටයුතු 16 වැනි සියවසේ (1505) පරංගීන්ගේ ආගමනයත් සමඟ ම පිරිහී යන ආකාරයක් පෙනේ. පෘතුගීසි, ලන්දේසි පාලකයන්ගෙන් මුහුදුබඩ බෞද්ධයන්ට එල්ල වූ බලපෑම් නිසා ඒ ප්‍රදේශවල ජනතාවට වෙසක් උත්සව පැවැත්වීමට බාධා ඇති විය. ඒ විදේශිකයන් පමණක් නොව ශිව ආගම වැලඳගත් පළමුවන රාජසිංහ රජු ද වෙසක් උත්සවය පැවැත්වීම තහනම් කොට රාජාඥාවක් පැනවීය. ක්‍රි.ව. 1770 දී මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ඕලන්ද ආණ්ඩුකාර “විලියම් ඉමාම් පෑල්ක්” විසින් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ප්‍රකාශ කිරීමත් සමඟම බුද්ධාගම මෙරට ආරම්භ කළ සිට වෙසක් දිනයට පැවැති විශේෂත්වය අහෝසි වී ගියේය.

19 වැනි සියවසේ අගභාගය වන විට මෙරට බෞද්ධ පුනර්ජීවනයක පෙර නිමිති පහළ විය. හික්කඩුවේ ශ්‍රී සුමංගල, රත්මලානේ ධම්මාරාම, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, බත්තරමුල්ලේ සුභූති වැනි සංඝ පිතෲවරු ඇරැඹූ බෞද්ධ පුනරුද වැඩසටහන නිසා බෞද්ධ ජනතාව අතර ප‍්‍රබෝධයක් ඇති වූහ.

විශේෂයෙන් 1865 දී පැවැත්වුණු බද්දේගම වාදයත්, 1850 පැවැත්වූ උදන්විට වාදයත්, 1871 පැවැත්වූ ගම්පොළ වාදයත්, 1873 පැවැත්වූ පාණදුරා වාදයත්, 1899 පැවැත්වූ ඌරුගොඩවත්තේ වාදයත් යන පංච මහා වාද නිසා කතෝලිකයන්ගේ දළ බිදුණු අතර බෞද්ධයන් තුළ නව ජීවනයක් ඇති විය. මෙම වාදයන්ගෙන් නැගුණ බෞද්ධ හඬ මෙරට පමණක් නොව, විදේශවල ද පැතිරිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1880 මැයි 17 දින කර්නල් ස්ටීල් ඕල්කොට් තුමා ලංකාවට පැමිණියේය. එතුමා 1880 ජුනි 17 දින පිහිටුවූ “කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම” මෙරට බෞද්ධ අධ්‍යාපනය සහ බෞද්ධ ව්‍යාපාරය පණ ගැන්වීමට මහත් උත්සාහයක් ගත්තේය.

මීට අමතරව සිංහල බෞද්ධ ගිහි නායකත්වයෙහි පැවැති අඩුව පුරවා ලමින් අනගාරික ධර්මපාල තුමා ඇරැඹූ සමාජ සංශෝධන ව්‍යාපාරය නිසා මුළු ගැන්වී සිටි බෞද්ධ ජනතාව තුළ පිබිදීමක් ඇති විය.

මේ වන විට බෞද්ධයන්ට පෙරහර ආදිය පැවැත්වීමට ඉඩක් නොවීය. පෙරහරක් කරතොත් රජයෙන් අවසර ගත යුතු විය. මෙසේ අවසර ලබාගෙන බොරැල්ලේ සිට කොටහේනේ දීපදුත්තමාරාමයට ගිය පෙරහරකට 1883 මාර්තු 25 දින එක්තරා පිරිසක් පහර දීම නිසා කීප දෙනකුට තුවාල සිදු වූහ. මේ අවස්ථාවේ ඇසෑමයට ගොස් සිටි ඕල්කොට් තුමා ලංකාවට පැමිණ කොටහේනේ සිද්ධිය ගැන බෞද්ධ නායකයන් සමඟ සාකච්ඡා කොට බෞද්ධයන්ට නැති වී ගිය අයිතිවාසිකම් ඉල්ලා යටත් විජිත බාර මහලේකම්ට සන්දේශයක් ඉදිරිපත් කිරීමට පිටත්ව ගියේය. මේ සන්දේශයේ ප්‍රධාන ඉල්ලීම වූයේ වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙසයි. 1884 නොවැම්බර් මස පෙරළා ලංකාවට පැමිණි ඕල්කොට් තුමා තමාගේ ගමනේ සාර්ථකත්වය පිළිබඳව බෞද්ධ නායකයන්ට දන්වා බොම්බායට ගියේය.

1885 මාර්තු 27 දින ‘ගෝර්ඩන්’ ආණ්ඩුකාරතුමා විසින් වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන ලදි. එය රජයේ නිවාඩු දිනයක් ලෙස නීති ගත වූයේ 1886 අංක 04 දරන ආඥාපනත මඟින්. 1885 වෙසක් පෝය යෙදී තිබුණේ අප්‍රේල් 28 දිනටය. මෙදින වෙසක් උත්සවය මහ ඉහළින් පැවැත්වීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ කටයුතු කළහ. එය සංවිධානය කිරීමට පත් කළ කොමිටිය මඟින් මෙකල අවශ්‍යතාවක්ව පැවැති බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට ද පියවර ගත්හ. එම කමිටුව මඟින් ෂඩ් වර්ණ බුදුරැස්මාලාව පදනම කරගෙන සකස් කළ බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට 1885 අප්‍රේල් 17 දින ප්‍රකාශයට පත් කළහ. 1885 වෙසක් දිනය යෙදුණු අප්‍රේල් 27 දින කොටහේනේ දීපදුත්තමාරාමයේදී ඒ කොඩිය උත්සවාකාරයෙන් ඔසවන ලදී. ඒ සමඟම කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම, විද්‍යෝදය පිරිවෙන, බොරැල්ල, හුනුපිටිය, කැලණිය යන ස්ථානවල පිහිටි විහාරස්ථාන අාදියේ ද එම කොඩිය ඔසවන ලදි. මෙදින කොළඹ පිහිටි විහාර සහ කැලණි විහාරය බෞද්ධ ජනතාවගෙන් පිරී ගියේය. කොළඹ කඩසාප්පු වසා දමන ලදී. බොරැල්ල පන්සලේ සුධර්මාධාර සමාගම මඟින් බෞද්ධ කොඩිය ඔසවා ආචාර වෙඩිමුර 32ක් පවත්වන ලදි.

‍කොටහේන දීපදුත්තමාරාමයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ධර්ම දේශනයක් පවත්වන ලදී. විද්‍යෝදය පිරිවෙනේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ධර්මදේශනා පෙළක් පවත්වන ලද අතර, එහි බෞද්ධ භක්ති ගීත ගායනයක් ද ඉදිරිපත් කළ අතර තොරණක්ද ඉදි කරන ලදී, මෙදින ගාල්ල, මාතර, මහනුවර යන නගරවලද වෙළෙඳසල් වසා දමන ලද අතර, රට පුරා පෙරහර කීපයක් පැවැත්විණි. සපරගමු මහ සමන් දේවාලයේ පහන් පූජාවක් පවත්වන ලදී.

විජේරත්න අතුරුපාන

Comments