ජනමාධ්‍ය ගැන ජනතාවට විශ්වාසයක් නෑ | සිළුමිණ

ජනමාධ්‍ය ගැන ජනතාවට විශ්වාසයක් නෑ

 සංවාදයට විවෘතයි‍...

 මෙරට ජනමාධ්‍ය භාවිතය හා එයින් ජනතාවට ඇතිවන බලපෑම පිළිබඳ 'සිළුමිණ' විමසීම් පෙළක් කිරීමට අරමුණු කර තිබේ. රාජ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය තරගකාරී ලෙස තම මතය තහවුරු කිරීමටත්, දේශපාලනඥයන්ගේ කතා මත යැපීමටත් වීම නිසා මහජනතාව සැබෑ තොරතුරුවලට කෙතරම් විවෘත වන්නේද යන්න සොය‍ා බැලීම මෙහි මූලික අරමුණයි. එසේම වර්තමානයේ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත නැටවෙන මාධ්‍යායතන නිසා ජනතාව පත්ව ඇති අපහසුව පිළිබඳ සංවාදයක් ගොඩ නැඟීම ද මෙහි තවත් අරමුණකි. එහි සමාරම්භය කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මානව ශාස්ත්‍ර පිඨාධිපති සහ සිංහල අංශයේ හිටපු විඥාපක මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා දැක්වූ අදහස් සමඟින් මෙසේ සටහන් තබමු.

ලෝකය පෙරට වඩා දැනුම හා තාක්ෂණය අතින් බොහෝ වෙනස් වී තිබෙන බව අපි දනිමු. ඒ සමඟම මිනිසුන්ගේ නිහතමානීකම, සරල අව්‍යාජබව නැති වී ගොස් තිබේ. අප අද භාවිත කරන භාෂා අර්ථ පවා වෙනදා‍ට ව‍ඩා වෙනස් ‍තේරුම් ගෙන දෙයි. මෙය ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන ප්‍රවණතාවකි. එය ස්වාභාවිකව සිදු වූවකට වඩා යම් පිරිසක් විසින් සිතාමත‍ා මෙහෙයවීමෙන් ඇති වූවක් යැයි යමෙකුට තර්ක කිරීමට ද පුළුවන.

මානව ඉතිහාසයේ පසුගිය වසර පන්සියයක පමණ කාලය ගෙන බැලුවහොත් ඊට පෙර වසර දෙතුන්දහසකදී ශිෂ්ටාචාරගතවී ලද දියුණුවට වඩා අධික වේගයකින් මානව සමාජයේ දියුණුව සිදු වූ බව පෙනී යයි. ගුවන් ගමන්, ගුවන් විදුලි පණිවුඩ, ගුවන් තරංග ආදිය නිසා ‍ලෝකය කුඩා ස්ථානයක් බව‍ට පත් වී එකිනෙකා අතර කිට්ටුවන්තබව වැඩි විය. එහෙත් ඒ සමඟම භෞතික වශ‍යෙන් මිනිසුන් දුරස්ථ වීමද එකවර සිදු වීම වි‍ශේෂිතය. මේ සන්නිවේදන කාර්යක්ෂමතාව නිසා සිදු වූ සුවිශේෂීත්වය වන්නේ මිනිසුන් දැන ගත යුතු නොවන සියල්ල සීමාව ඉක්මවා දැනගැනීමට ලැබීමයි. එයින් එක්තරා ආකාරයකට අනවශ්‍ය අවශ්‍යතා මිනිස් මනස තුළ ඇති කෙරිණි. මේ තත්ත්වය අද ජන මාධ්‍යවල ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

මෙහි දරුණුම බලපෑම බවට පත්ව තිබෙන්නේ අද 'ඇත්ත' සහ 'බොරුව' යන්න පැහැදිලිව හඳුනා ගැනීමට ජනතාව අපොහොසත් වීමය. එයට හේතුව අර්ධ සත්‍ය ලෙස හඳුනා ගත හැකි ඇත්ත හෝ බොරු නොවන අතරමැදි අවස්ථා තොරතුරු අතර සැරිසැරීමයි‍. භාෂාවේ වෙනස් වූ භාවිතය නිසා මෙය තවත් වියවුලක් බවට පත්ව තිබේ. අප බොහෝ ‍වචන භාවිත කරන්නේද වැරැදි අයුරිනි. මාධ්‍යය, මාධ්‍ය භාවිතය, පාරදෘශ්‍යබව, වගකීම, වගවීම, අවංකකම වැනි දේ පිළිබඳ නිවැරැදි අර්ථය ජනතාවට නොහැ‍‍ෙඟේ. ඇතැම්විට අප ‍හොඳ යැයි කියූ දේ නරක ලෙසත් නරකය කියූ දේ හොඳ ලෙසත් ඒත්තු ගැන්වීම දක්නට ලැබේ. ඇතැම් වෙළෙඳ දැන්වීම්වලින් මවා පාන අනවශ්‍ය ප්‍රමිතීන් පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිත පවා විහිළුවට ලක් වන මට්ටමට ඇද වට්ටා ඇති අයුරු පිළිබඳ කතා බොහෝය. පෙර යුගයේ මෙවැනි තත්ත්වයක් ඇති වූ විට 'සත්‍යය' නිවැරැදිව දැකීමට හා එය පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වීම නිසා ජනතාව මේ තරම් මුලාවට පත් වූයේ නැත. එහෙත් මේ වනවිට ඇත්ත නැත්ත වෙන් කිරීම‍‍ට ඇති අපහසුව නිසාම මේ මහ වියවුලට සමාජය ඇද වැටෙමින් පවතියි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය කුමක්ද යන සරල ඇත්ත හඳුනා ගැනීමට පවා අපහසු තත්ත්වයක අද ජනතාව පසුවෙයි.

මෙහිදී පවතින සහ පැවැතුණු ආණ්ඩු පිළිබඳවද අප ඍජුව සලකා බැලිය යුතුව තිබේ. ඒ කිසි ආණ්ඩුවක‍ට මාධ්‍යවල මේ ගමන් මඟ නිවැරැදි කිරී‍මේ අවශ්‍යතාවක් පැවැතියේ හෝ පවතින්නේ නැත. මේ ව්‍යාකූලත්වයෙන් රට මුදවාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ හැඟීමක් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පවතින බවක් නොපෙනේ. මෙය කෘත්‍රිමව අැති කරන ලද්දක් නම් එය ඇති කළේ කවුද? කුමන අපේක්ෂාවක් ඇතිවද? එයින් ඔවුනට ඇති ප්‍රයෝජනය කුමක්ද? යන්න පිළිබඳ නිවැරැදි නිගමනයකට එන තුරු මේ ගැටලුව විසඳා ගත නොහැකි බැවින් ඒ පිළිබඳ සොයා බැලීම සමාජයේ යහපත වෙනුවෙන් ඇති දැඩි අවශ්‍යතාවක් බවට පත් ව අැත.

මෙහිදී මාධ්‍යවේදියා යන භූමිකාව පිළිබඳවද කතා කළ යුතුය. 'මාධ්‍යවේදියා' යන්න භාවිත වන්නනට වූයේ මෑත කාලයේදී වුවත් අප ඊට පෙර ඔවුන් හැඳින්වූයේ පුවත්පත් කලාවේදියා, පුවත්පත් වාර්තාකරු, සංස්කාරකවරයා ආදී වශයෙනි. එහෙත් මාධ්‍යවේදීන් ලෙස හඳුන්වා ගන්නා ඇතැමුුන් තමන්ගේ සමාජ වගකීම හා වෘත්තීය ගුණාත්මකභාවය පිළිබඳ අබමල් රේණුවක දැනුමක් සහිතව කටයුතු කරන්නේ්ද යන්න සැක සහිතය‍. විශේෂයෙන් ප්‍රවීණ මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා ඇතැම් අය පිළිබඳ උපහාසයට ලක් කරන්නන් පවසන්නේ මරණ දැන්වීමක් ලියූ පමණින් තමන් ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙස හඳුන්වා ගන්නට උත්සාහ කරන බවයි. එ‍මෙන්ම ඇතැම් ප්‍රදර්ශනවලදී නිවේදක නිවේදිකාවන් තෝරා ගන්නා අයුරු අප අසා දැක ඇත්තෙමු. නිවේදකයකු යන්න පිළිබඳ මූලික අවශ්‍යතාව වන්නේ කොළයක ලියා ඇති දේ කියවීමට හැකි වීම යන්න පමණක් ප්‍රමිතිගත වීම මෙවැනි දේ නිසා සිදුවේ. එහෙත් සැබෑ නි‍වේදකයකුගේ භූමිකාව එසේ පහසුවෙන් කළ හැකි දෙයක් නොව මනා පුහුණුවත් පරිචයක් සමඟ කළ යුතු වෘත්තියක් බව මෙවැනි කටයුතු නිසා අමතක වී යයි.

මෙවැනි ක්‍රම මඟින් මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන්නන් නිසා අද ජන මාධ්‍ය කෙතරම් පහළ මට්ටමකට වැටී ඇත්ද යන්න රූපවාහිනී නාලිකා නරඹන, ගුවන් විදුලිවලට සවන් දෙන ඕනෑම අයකුට වටහ‍ා ගැනීම එතරම් අපහසු නොවනු ඇත‍. බීබීසී වැනි ආයතනවල නිවේදකයන්ගේ හඬ කිසිදු වෙළෙඳ දැන්වීමකට නොයොදයි. එහෙත් අපේ නිවේදකයන් සිය හඬට ඇති ජනතා විශ්වාසය වෙළෙඳ දැන්වීම් නිසා අහිමි කරගෙන තිබේ. ඇතැමුන් වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටීම මෙහි අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි. ඔවුන් පසුව මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටීමේදී ඒ චරිතය පිළිබඳ ජනතාවට ඇති වන විශ්වාසය කෙබඳු විය හැකිද යන්න ඔවුන් සිතන්නේ නැත.

සිංහල අවුරුද්ද ගෙවී ගොස් සති දෙකක් වන විටත් අපේ රූපමාධ්‍යවල ප්‍රචාරය වන්නේ අවුරුදු උත්සව හා සම්බන්ධ වැඩසටහන්ය. ඇත්තෙන්ම අලුත් අවුරුදු යනු කුඩා දරුවන්ගේ උත්සවයකි. අලුත් ඇඳුම්, රස කැවිලි, සෙල්ලම් ආදිය පිළිබඳ වඩාත් උනන්දු වන්නේ කුඩාවුන්ය. එහෙත් මහ මිනිසුන් මේ සෙල්ලම් කරතිය‍ාගෙන ජනමාධ්‍ය නාලිකාවල අතොරක් නැතිව කාලය කා‍ දැමීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ මානසික මට්ටම පවතින තලය කුමක්ද යන්නයි.

ඕසන් වෙල්ස් නම් මාධ්‍යවේදිය‍‍‍ා වරක් පිටසක්වළින් විශාල සතෙකු පැමිණ නගර විනාශ කරන බව කීමත් සමඟ ඉගෙනීම, සාක්ෂරතාව සහ බොහෝ දේ අතින් ඉහළ, දියුණු යැයි කියන ඇමෙරිකානුවන් කලබල වී මහා විශාල පාඩුවක් කර ගැනීම සලකා බැලීමේදී අපට වැටහී යන්නේ ජනමාධ්‍ය යනු මිනිසුන් 'ගොනාට ඇන්දවීම' පහසුවෙන්ම කළ හැකි ක්‍රමයක් බවයි. ඇති දේ නැති කරන්නත් නැති දේ ඇති කරන්නත් මාධ්‍යායතන හිමිකරුවන් සහ ඒවාට බලපෑම් කළ හැකි අය උත්සාහ කරන්නේ එයින් ලැබෙන වාණිජ වාසි සහ ආත්මාර්ථකාමී පරමාර්ථ වෙනුවෙන් බව ඉතා පැහැදිලිව ජනතාව අවබෝධ කරගත යුතුය.

මේ වන විට ම‍ාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින ඇතැමුන් ‍හොඳින් ඇසූ පිරූ තැන් ඇති, පිටකොන්දක් සහිත අපක්ෂපාතී පුද්ගලයන්ද යන්න පිළිබඳවත් මේ වන වි‍ට ඇත්තේ සැකයකි‍. එදා ඇමෙරික‍ාවේ වොටර්ගේට් සිදුවීම වැනි කරුණක් ජනතාවට නිවැරැදිව හෙළි කිරීම නිසා ඇති වූ සමාජ ප්‍රගතිය කෙතරම්ද? එහෙත් අපේ රටේ එවැන්නක් කිරීමට මාධ්‍යවේදීන් ඉදිරිපත් වේ යැයි සිතිය හැකිද?

ජනමාධ්‍ය මේ අයුරින් වැරැදි ලෙස හසුරුවන්නන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ තමන්ගේ මනෝරථ පූරණය සඳහා ජනතාවට වැරැදි අදහස් ලබ‍ාදෙමින්, වැරැදි ආකල්ප පතුරුවා තමන්ගේ පැත්තට සිත් හරවා ගැනීමයි. මෙය අපේ රටට පමණක් විශේෂිත ප්‍රශ්නයක් නොවේ. සියලු රටවල් පාහේ මේ තත්ත්වයට ගොදුරු වෙමින් පවතියි. මෙය පාලනය කළ හැක්කේද මේ තත්ත්වය යටතේ ඇති වූ විද්‍යාත්මක දියුණුවම යොදාගෙනය. නිදසුනක් ලෙස අන්තර්ජාලය වැනි දේ යොදාගෙන මෙයට විරුද්ධව විශේෂයෙන් කටයතු කළ හැකිය. එහෙත් එයින් අප නොසිතන දුර්විපාක ඇතිවන්නටද පුළුවන.

අප නොදැන අප විකිණෙන සමාජයක ජනමාධ්‍ය මඟින් කෙරෙන මේ කටයුත්තෙන් ගැලවීමක් අපට නැතුවා සේම ගැලවීමට ඉඩ දෙන්නේද නැත. මෙහිදී රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අතරද යම් තරගයක් පවතී. එහිදී බොහෝ විට ජනතාව පෞද්ගලික මාධ්‍ය වෙත ඇදී යන්නේ රජයේ මාධ්‍ය මඟින් බොරු ප්‍රචාරය වන බවට ඇති මතය නිසාය. එහෙත් පැවතුණු හෝ පවතින කිසිදු රජයකින් ‍‍මේ තත්ත්වය වෙනස් කිරීමට කිසිදු උත්සාහයක් දරන බව පෙනෙන්නේද නැත. නිවැරැදි දේ ජනතාවට ඒත්තු ගැන්වීමේ කිසිදු උත්සාහයක් මේ රාජ්‍ය මාධ්‍ය වෙත පවතින බවක් හැ‍ඟෙන්නේද නැත.

සයිටම් ප්‍රශ්නයේදී මාධ්‍ය හැසිරුණු ආකාරය, මීතොටමුල්ල ප්‍රශ්නයේදී විවිධ මාධ්‍ය හැසිරෙන ආකාරය මේ තත්ත්වය මැනවින් පැහැදිලි කිරීමට ඇති ආසන්නතම නිදසුන් ලෙස දැක්විය හැකිය. සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ඇමෙරිකාවේ මාධ්‍ය වාර්තා කළ ආකාරයත්, මීතොටමුල්ලේ කසළ කන්ද නාය යෑම අප වාර්තා කළ ආකාරයත් සසඳන විට අප රටේ ජනමාධ්‍යවල ස්වභාවය පිළිබඳ අමුතුවෙන් කියන්නට යමක් ඉතිරිව තිබේද? එමෙන්ම දේශපාලනඥයන් මෙහිදී ක්‍රියා කළ ආකාරය පිළිබඳව මාධ්‍යවලින් දැක්වූ විවේචනයක් තිබේද? ඉන්දියාව වැනි දේශපාලනය අතින් ඉතාම දුර්වල රටක වුව දුම්රියක් පෙරළුණු විට අදාළ ඇමැතිවරය‍‍ා ඉල්ලා අස් වීම අගය කළ යුතුය. එහෙත් අපේ මාධ්‍ය මඟින් එවැනි වගකීම් සහගත හැසිරීමක් පිළිබඳ අදහසක් ජනතාවට ලබා දෙන්නට කළ බලපෑම කුමක්ද?

එසේම ජනතාවක් ලෙස අප රටට වගකීමට පුරුදු වී ති‍බේද යන්න තවත් බරපතළ ප්‍රශ්නයකි. සංහිඳියාව පිළිබඳ බොහෝ සෙයින් කතා කරන යුගයක, අප ශ්‍රී ලාංකිකයන් යැයි පැවසීමට නම් එක්කෝ සිංහලයන් විය යුතුය. නැතහොත් දෙමළ හෝ මුස්ලිම් විය යුතුය. එහෙත් වලිගයේ වැරැදි කොනින් අල්ලාගෙන සිටින අපට ඒ හැඟිම හෝ නිවැරැදිව ලබා දීමට ජනමාධ්‍ය මඟින් දැනුම්වත් කිරිමක් නිවැරැදිව සිදුව තිබේද?

ධර්මිෂ්ට රාජ්‍යයක්, අාසියාවේ ආශ්චර්යයක් හෝ යහපාලන ආණ්ඩුවක් ආදි වශයෙන් පත්වන රජයන් ඉදිරිපත් කරන ආදර්ශපාඨවල නිවැරැදි තේරුම, අදහස ඒ ඒ දේශපාලකයන්ගෙන් හා ජනතාවගෙන් විමසා අවබෙ‍ා්ධ කරදීමට ජනමාධ්‍යවලින් කෙබඳු දායකත්වයක් දැක්වූයේද යන්න ඊළඟ පැනයයි.

මේ සියල්ල ඉටු කිරීමට මාධ්‍යවේදියාද විනය හා ශික්ෂණය සහිතව විධිමත් අධ්‍යාපනයක් ලැබූවකු විය යුතුය. උපාධියක්ම නොවූවත් සාමාන්‍ය දැනීම, කැපවීම, උද්යෝගය, ඉව සහිත විධිමත් අධ්‍යාපනික පසුබිමක් තිබිය යුතුය. මේවා නොමැතිවීම අද මාධ්‍යවේදීන්ගෙන් නිවැරැදි මාධ්‍ය කලාවක් බිහි නොවීමට හේතු සපයයි. පුවත්පත්වල ශීර්ෂපාඨ රූපවාහිනී මාධ්‍යයෙන් කියවන එකම රට ලංකාව විය යුතුය. මේ නිසා සාමාන්‍ය ජනතාව පුවත්පතක ඇති අනෙක් හරවත් ලිපි කියවීම වැළැකී ගොස් තිබේ. එසේම මෑත භාගයේ පුවත්පත්වලින් අතොරක් නැතිව මිථ්‍යාව වැපිරීම නිසා ජනතාව ක්‍රමයෙන් පුවත්පතින් ඈත්වීමද දැකිය හැකිය. යම් සංවර්ධන ප්‍රවෘත්තියක් පළවීම ආණ්ඩුවට කත් ඇදීමක් ලෙස සැලකීමටද වර්තමාන පාඨකයන් හුරුවී ඇත.

දේශපාලන පක්ෂ උත්සාහ කරන්නේ මොන ආකාරයකින් හෝ තමන්ගේ බලය වැඩි කරගැනීමට, ජනතා මතය තමන් වෙත ලබ‍ා ගැනීමට මාධ්‍යවල සහාය ලැබීමය. මේ නිසා ජනතාව විශාල ගැටලුවකට මුහුණ පා තිබේ. ඒ කවුරුන් කියනා දේ පිළිගත යුතුද යන්න පිළිබඳවය.

මේ තත්ත්වයෙන් මිදීමට ජනමාධ්‍ය මුලින් කළ යුතුව ඇත්තේ ජනතා විශ්වාසය තහවුරු කරගැනීමයි. එය එක රැයකින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ.

තම යුතුකම් හා වගකීම් නිවැරැදිව ඉටු කරනතුරු ජනතාව ජනමාධ්‍ය කෙරෙහි ඇති වී තිබෙන අවිශ්වාසය ඉවත් වන්නේ නැත. මුද්‍රිත මාධ්‍ය පමණක් තිබියදී ආණ්ඩු පෙරළීමට තරම් බලයක් තිබූ ජනමාධ්‍යය අද එක්තරා විහිළුවක් බවට පත්ව තිබේ. එබැවින් අවංකව, අපක්ෂපාතීව, නිවැරැදි තොරතුරු ඉදිරිපත් කරන පුවත්පතක් හෝ අන් මාධ්‍යයක් මඟින් ප්‍රවෘත්ති, විශේෂාංග මෙන්ම චිත්‍රපට, නවකතා, නාට්‍ය ආදී අනෙක් ක්ෂේත්‍ර පිළිබඳවද ජනතාව අතර උනන්දුවක් ඇති වන පරිදි කටයුතු කරමින් ජනතා විශ්වාසය දිනා ගන්නා තුරු මේ ඇති වී තිබෙන අවිශ්වාසය නැති කළ නොහැකිය.

අරුණි මුතුමලී
සේයාරුව - විමල් කරුණාතිලක

Comments