කලංසූරිය මුදලාලී හෝටල් සහ බේකරි කර්මාන්තය ආරම්භ කෙළේ සුල්තානා බනිස් ගෙඩි හතරකිනි. බුලත් දුංකොළ බීඩී සුරුට්ටු සහ වෙනත් අඩුම කුඩුම සහිත කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ඔහු දිනක් පිටකොටුවට ගොස් සිටි අවස්ථාවකදී ආපන ශාලාවකට ගොඩවැදී බනිස් ගෙඩියක් හපමින් කිරි කහට කෝප්පයක් බීවේය. රටඉදි වියළි මිදි සහ සුදුතල ඔබ්බවන ලද බනිස් ගෙඩිය පුදුමාකාර ප්‍රණීත රසයකින් යුතු වූ හෙයින් ඊට ආශක්ත වූ ඔහු' ..මේ මොන බනිස්දැයි 'වේටර්වරයකු ගෙන් විමසුවේය. එවිට 'ආ ඕවා සුල්තානා බනිස්නේ' යැයි වේටරයා ඕනෑවට එපාවට උත්තර දුන්නේ ය. කෙසේ නමුත් තවත් සුල්තානා බනිස් ගෙඩි තුනක් මිලට ගත් කලංසූරීය 143 හංවැල්ල බසයකට නැග කැලණිමුල්ල හංදියෙන් බැස්සේය.
ඊට මාස හයකට පසුව සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය විසින් කෙටි තරංග ඔස්සේ විසුරුවා හරිනු ලැබූ හිමිදිරි පාන්දර සෙත් පිරිත් සජ්ජායනාව මැද කලංසූරිය තම සිල්ලර කඩයේ ලෑලි පියන් එකින් එක විවෘත කෙළේ ය. පැට්‍රෝල් මැක්ස් ලාම්පුවේ එළිය එසැණින් තාර පාරට වැටුණේ කඩය
විවෘතව ඇති බැව් ඒ වනවිටත් අහල පහළ ගැවසෙමින් බීඩීයක් හෝ බුලත් විටක් හෝ මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටින සුපුරුදු ගැනුම්කරුවන්ට නිහඬ ඇරියුමක් කරමිනි.
පිටකොටුවේ මැනිං වෙළෙඳපොළට සහ සාන්ත ජෝන් මාළු කඩේට යෑම සඳහා බස්රථය එනතුරු බලා සිටින කිහිප දෙනාගේ තිප්පොළ වූයේ කලංසූරීයගේ සුරුට්ටු කඩය යි. මෙදින සුරුට්ටු කඩය විවෘත කරනවාත් සමඟ ම එහි පැමිණි අයට අමුත්තක් නෙත ගැටිණ. උණු උණුවේ සුවඳ හමන නැවුම් සුල්තානා බනිස් ගෙඩි හතරක් එහි විකිණීමට තබා තිබිණ. ඒ දුටු සියලු දෙනාම බනිස් ගැන කලංසූරිය සමඟ ඉතා උද්යෝගයෙන් කතා කළා මිස කිසිවකුත් ඒවා මිලට ගත්තේ නැත.
පාන්දර පහේ සිට උදේ අට දක්වා බලා සිටිය ද බනිස් ගෙඩි හතරින් එකක් වත් අලෙවි නොවූ හෙයින් ඉන් එකක් අතට ගත් කලංසූරිය මහත් අභිරුචියෙන් එය කෑවේය. උදේ දහය වන විට ඉතිරි බනිස් ගෙඩි තුන එසේම තිබූ හෙයින් එයින් එකක් අතට ගත් ඔහු එය ද මහත් ආසාවෙන් කෑවේය. උදේ එකොළහ වෙත්දී කලංසූරීය තුන්වැනි බනිස් ගෙඩිය ද කා හමාර කෙළේ ය. ස්වදේශීය සේවයේ මධ්‍යහ්න ප්රවෘත්ති ප්‍රකාශයට සවන් දෙමින් සිටින අතරතුර අවසන් බනිස් ගෙඩිය කෑමට ගත් ඔහු එයින් අඩක් පමණ අනුභව කොට ඉතිරිය දඩාවතේ යන බල්ලෙකුට දුන්නේ ය.
පසුදින සුපුරුදු ලෙස රේඩීයෝවේ සෙත් පිරිත් සජ්ජායනා හඬ සමඟ කලංසූරිය තම කඩය විවෘත කළ අතර මෙදින ද එහි පැමිණි අයට උණු උණුවේ නැවුම් සුවඳ හමන සුල්තානා බනිස් ගෙඩි හතරක් දැක ගන්නට ලැබිණ. එහෙත් එක් බනිස් ගෙඩියක්වත් අලෙවි නොවූ හෙයින් ඉන් තුනක් කෑමට ගත් කලංසූරිය ඉතිරි බනිස් ගෙඩිය ම බල්ලාට දුන්නේ ය.
තුන්වැනි දිනයේදී කලංසූරිය කඩය විවෘත කරන විට එහි අලුත් ම අලුත් සුල්තානා බනිස් ගෙඩි හතරට අමතරව ගොජ ගොජ ගා දුම් දමමින් නටන අලුත් ම තේ
බොයිලේරුවක් ද දැක ගන්නට ලැබිණ. ඉඟුරු දැමූ තේ කහට දුටු එහි පැමිණි දවසේ මුල් ම ගනුදෙනුකරුවන් සියලු දෙනා ම පාහේ මහත් අභිරුචියෙන් තේ පානය කළෝය. දවසේ මුල් ම පැය ඇතුළත තේ කහට කෝප්ප දහයක් දොළහක් අලෙවි කෙරුණු අතර සුල්තානා බනිස් ගෙඩි හතරින් දෙකක් ම ඒ සමඟ විකිණිණ. උදේ අට වෙත්දී එක් බනිස් ගෙඩියක් කෑමට ගත් කලංසූරිය හරියට ම උදේ එකොළහට අවසන් බනිස් ගෙඩිය බල්ලාට දුන්නේ ය.
හතරවැනි දිනයේ පළමු පැයේදී ම තේ කහට සමඟ බනිස් ගෙඩි හතරම විකිණී අවසන් වූ අතර කලංසූරියට හෝ බල්ලාට හෝ කෑමට කිසිවක් ඉතිරි නොවිණ.
පස්වැනි දිනයේදී කලංසූරිය විසින් සුල්තානා බනිස් ගෙඩි අටක් නිෂ්පාදනය කරනු ලැබූ අතර එදින ද ඔහුට හෝ බල්ලාට හෝ කෑමට එකම බනිස් ගෙඩියක් වත් ඉතිරි නොවිණ. හයවැනි දිනයේදී ඔහු විසින් බනිස් ගෙඩි විස්සක් නිෂ්පාදනය කරන ලද අතර එදින ද ඔහුට හෝ බල්ලාට හෝ කෑමට එකම බනිස් ගෙඩියක් වත් ඉතිරි වූයේ නැත. හත්වැනි දිනය ඉරිදා දවසක් වූ හෙයින් කිසියම් අඩමානයකින් යුතුව බනිස් ගෙඩි හතරක් පමණක් නිෂ්පාදනය කළ කලංසූරීය ; ' අද නං තමාට සහ බල්ලාට බනිස් ගෙඩි දෙකක් ඉතිරි වනු ඇතැයි සිතුවේ සුපුරුදු ගනුදෙනුකරුවන් ඉරිදා දිනවල කඩයට නො එන බව අත්දැකීමෙන් දැන සිටි හෙයිනි. එහෙත් ඔහුට වැරදිණ. දවසේ පළමු විනාඩීයේදී බනිස් ගෙඩි හතර ම තොගයට විකිණී අවසන් විණ. එදින කලංසූරීයට සහ බල්ලාට පමණක් නොව ඔහුගේ සුපුරුදු ගනුදෙනුකරුවන් දහ පහළොස් දෙනෙකුට ම කෑමට කිසිවක් ඉතිරි නොවිණ.
පසුදින ඔහු සුල්තානා බනිස් ගෙඩි පණහක් නිෂ්පාදනය කළ අතර පුදුමයකට මෙන් උදෑසන හය වෙත්දී ඒ සියල්ල විකිණී හමාර විය. ක්‍රමයෙන් සිය ගණන්වල සිට දහස් ගණන් දක්වා සුල්තානා බනිස් නිෂ්පාදනය ඉහළ නැග්ගේ කලංසූරිය මුදලාලි කැලණිමුල්ලේ පමණක් නොව මුළු රටේ ම හතර දිග් භාගයේ විහිදී පැතිර ගිය බේකරි සහ හෝටල් ජාලයක අධිපතිවරයා බවට පත් කරමිනි.
වසර ගණනාවක් එක දිගට අවිවේකී වෙහසකර ජීවිතයක් ගත කළ කලංසූරිය මුදලාලි රෝගාතුරව ඇඳට වැටුණු මුත් ඔහුගේ ව්‍යාපාරය නම් තව තවත් සරුසාර විය. මෙකල ඉතා ප්‍රසිද්ධ ජනප්‍රිය සති අන්ත පුවත්පතක 'දිරියෙන් දිවිමග දිනූවෝ' යනුවෙන් විශේෂාංගයක් පළ කෙරුණු අතර එකී පුවත්පතේ කතුවරයකු දිනක් කලංසූරිය මුදලාලි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය.
'ඔබතුමා කොහොමද මේ ව්‍යාපාරය පටන් ගත්තේ?' යි කතුවරයා සාමාන්‍ය සාම්ප්‍රදායක ප්‍රශ්නයක් නැගුවේය.
'මං මුලින්ම හැදුවේ බනිස් ගෙඩි හතරයි .. එහෙම තමා පටන් ගත්තේ'
'ආ එතකොට මේ තරම් දැවැන්ත ව්‍යාපාරයක් පටන් ගත්තේ බනිස් ගෙඩි හතරකින්..? තමාගේ ලිපියට නැගලා යන සිරස්තලයක් ලැබුණේය යන සතුටින් යුතුව කතුවරයා එයම ප්රතිරාවය කෙළේය. එහෙත් ඔහුගේ උද්දාමය හීන කරවමින් කලංසූරිය මුදලාලි උත්තර දෙන්නට විය.
' එහෙම් ම ම කියන්නත් බෑ ... මොකෝ මං මුලින් ම හදපු බනිස් ගෙඩි හතර කිසිම කෙනෙක් කන්න කැමති වුණේ නෑ නේ .. ඉතිං වීසී කරන්න බැරිකම නිසා ඒකෙන් තුනහමාරක් මං ම කෑවා. ඉතිරි වෙච්ච කෑල්ල දුන්නා දඩාවතේ යන බල්ලෙකුට .. '
'ඉතිං ඊට පස්සේ මොකද වුණේ..' යි කතුවරයා නැවත ප්‍රාණවත් වෙමින් ප්‍රශ්න කෙළේ ය.
'ඕ..ව් දෙවැනි දවසෙත් බනිස් ගෙඩි හතරක් හදලා හිතා ගත්තා එකක් වත් විකිනුණේ නැත්තං ආයේ නං මේක කොරන්නේ නෑයි කියලා... ඒ හිතුවා වගේම එකක් වත් විකුණුෙණ් නෑ
...මට මහා අනුකම්පාවක් මා ගැනම උපන්නා. මං ඉතිං මං හදපු බනිස් එකින් එක මං ම කෑවේ හිතේ දුකට නෙවෙයි කේන්තියට. ඔහොම ඉන්න කොට තව එක බනිස් ගෙඩියක් විතරයි ඉතිරි වෙලා තිබුණේ ... ඔන්න ඔය වෙලාවේ හරි පුදුම දෙයක් සිද්ධ වුණා. කලින් දවසේ මගෙන් බනිස් කෑල්ලක් කෑව අර දඩාවතේ යන බල්ලා හරි පුදුම ළෙංගතුකමකින් කඩේ ළඟට ඇවිත් බොහෝම උනන්දුවෙන් අර ඉතිරි වෙලා තිබුණ අන්තිම බනිස් ගෙඩිය දිහාටයි මගේ දිහාටයි
ඇස් මාරු කර කර බලන්න තියා ගත්තනේ .. මං බනිස් ගෙඩියම ඌට දුන්නා. අන්න ඒ වෙලාවේ මට හිතුණා මං තනිවෙලා නෑ නේද කියලා .. මං හිතා ගත්තා කවුරු
නොකෑවත් මටයි බල්ලටයි හෙට උදෙත් බනිස් හදනවාය කියලා .. '
'එතකොට ඔබතුමාට ශක්තියක් වුණේ දඩාවතේ යන බල්ලෙක්..? ගින්දර වගේ හෙඩිමක් ලැබුණා ය යන උද්යෝගයෙන් යුතුව කතුවරයා එය ම ප්රතිරාවය කෙළේ ය. එහෙත් එවරද කලංසූරිය මුදලාලි උත්තර දුන්නේ එය නිශේෂධනය කරන ස්වරයෙනි.
' එහෙම් ම ..ම කියන්න බෑ මොකො බල්ලා මගේ දුක බෙදා ගත්තා මිසක් මේක ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න ඒක හේතුවක් වුණේ නෑනේ .. '
' හොඳයි එතකොට මේක ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න කවුද උදව්වට ආවේ ? ' යි කතුවරයා වේගවත් හඬින් ප්‍රශ්න කෙළේය.
' ඕ..ව් මේක ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න මට උදව් කෙරුවේ තේ බොයිලේරුවක් ' යි කලංසූරීය මුදලාලි ඉතා සැහැල්ලුවෙන් කීවේය.
ඒ උත්තරයත් සමඟ තව දුරටත් කිසිදු ප්‍රශ්නයක් නොනගා විමතියෙන් මෙන් තමා දෙස බලා සිටින කතුවරයා අමතමින් කලංසූරිය මුදලාලි ඉතා සැහැල්ලුවෙන් මෙසේ කීවේය.
' ඕ....ව් උදේ පාන්දරින් සුල්තානා බනිස් කන පුරුද්දක් මෙහෙ මිනිස්සුන්ට නැති බව මට තේරුණා. නමුත් ඉඟුරු දාපු තේ කහට කෝප්පයකට නං මේ ගොල්ලෝ ඕනෑ වෙලාවක ලෑස්ති බවත් මට ටක් ගාලා ඔළුවට ආවා. ඉතිං මං පහුවෙනිදා ඉඳන් පටන් ගත්තා තේ බොයිලේරුවක් .. ඒකෙන් මේකෙන් තේ කහට බොන අතරේ සුල්තානා බනිස් කෑල්ලක් හපන්නත් මිනිස්සු පුරුදු වුණා. කෙනෙකුට නුහුරු දෙයක් පුරුදු කරන්න ඕනේ හුරු වෙච්ච දෙයක් එක්ක නෙ මහත්තයෝ .. අන්න ඒකයි වුණේ .. '
ගල් ගැසුණාක් මෙන් ඇසි පිය නොසලා තමා දෙස ම බලා සිටින කතුවරයාගේ තියුණු නෙත් පහරින් පසු බා යන්නාක් මෙන් හිස බිමට නැඹුරු කරගත් කලංසූරිය මුදලාලි පහත් ස්වරයෙන් යළිත් කතාව පටන් ගත්තේ ය.
' .. මේකේ හොඳම හරිය ඔය එකක්වත් නෙවෙයි ... සුල්තානා බනිස්වලට ඉල්ලුම වැඩිවෙලා එත්දී මට අර බල්ලව අමතක වුණා. ඌ හාමතේ මැරෙන්න ඇති. නමුත් ව්‍යාපාරය දියුණු වුණා. ඊ ළගට තේ බොයිලේරුවට මොකක් වුණාද කියලා මට මතක නෑ .. ඒකත් දිරාපත් වෙලා යන්න ඇති .. නමුත් ව්‍යාපාරය දියුණු වුණා .. දැං මේ මම මේ ඇඳක් උඩ දිරාපත් වෙනවා .. නමුත් ව්‍යාපාරය දියුණු වෙනවා අද මගේ ව්‍යාපාරය මිස කිසි කෙනෙකුට මාව වැදගත් නෑ .. ඔන්න ඕකයි මහත්තයෝ ලියනවා නම් කතාව අපි කවුරුවත් ඔය හිතා ඉන්න තරමට වැදගත් නෑ .. '
කේ.සී.ජේ. රත්නායක