රතිඤ්ඤාවල සංගීතයක් තිබේද? | සිළුමිණ

රතිඤ්ඤාවල සංගීතයක් තිබේද?

 ශබ්දය මගින් කරනු ලබන්නේ එතෙක් පැවැති දෙය අමතක කරවීම යැයි කිව හැකිය. සංගීතය මගින් ද මූලිකවම කරනු ලබන්නේ එය බව කිව හැකිය. නාට්‍යයක් ආරම්භ කිරීමට පෙර ආරම්භක සංගීතය මගින් කරනු ලබන්නේ එම මොහොත දක්වා ඔහු තුළ පවතින නොයෙක් විවිධ සිතිවිලි අමතක කරවා නාට්‍යය නැරඹීම සඳහා ඔහු සූදානම් කරවීමයි. සිනමා පටයක වුව ද ආරම්භක සංගීතයෙන් සිදුවන්නේ එයයි. එතෙක් පැවැති විවිධ සිතිවිලි අමතක කරවා කලා කෘතියක් වින්දනය කිරීම උදෙසා මනස සූදානම් කරවීමට අමතරව එම නිර්මාණයේ තේමාව පිළිබඳව යම් හැඟවීමක් කරවීම ද එම ආරම්භක සංගීත ඛණ්ඩය මගින් සිදුවේ. සෑම නාට්‍යයකම හා සිනමා පටයකම මුල් සංගීත ඛණ්ඩයක් ඇත්තේ මේ නිසාය. ඒ සමඟම මින් තවත් දෙයක් හැඟවේ. එනම් දෘශ්‍ය මාධ්‍ය හරහා එනම් ඇස් හරහා මෙවන් මානසික ඒකාග්‍රතාවක් ලබාදීමට හැකියාවක් නොමැති බවය. මනස සූදානම් කිරීමට හැකියාවක් නොමැති බවය. උදාහරණයක් වශයෙන් සිනමා පටයක් තුළ දෘෂ්‍ය රූප ඇත. එහෙත් දෘශ්‍ය රූපවලින් පමණක් එතෙක් මනසේ පැවැති සිතිවිලි හිස් කර සමනය කර මනස සූදානම් කිරීමට නොහැක. ශබ්දය නොඑසේනම් සංගීතය ඉවහල් කරගන්නේ ඒ නිසාය. ඕනෑම සින්දුවක වුවත් මුල් සංගීත කොටසින් සිදුකරනු ලබන්නේ සින්දුව අහන්නට මනස සූදානම් කිරීමයි.

රතිඤ්ඤාවල සංගීතයක් නැත. ඇත්තේ ශබ්දය පමණි. එහෙත් අවුරුද්දේ ආරම්භයට අදාළ තේමා වාදනය සපයනු ලබන්නේ රතිඤ්ඤා නමැති සංගීතය භාණ්ඩය මගිනි.

මේ රතිඤ්ඤා ශබ්දය මගින් එතෙක් පැවැති විවිධ සිතිවිලි ප්‍රශ්න පුපුරුවා හැර අවුරුද්ද උදෙසා අලූත් සිතක් නිර්මාණය කිරීම සිදුවේ යැයි කිව හැකිය. එතෙක් පැවැති බොහෝ දේ රතිඤ්ඤා ශබ්දය විසින් අමතක කරවනු ලැබේ.

අවුරුද්ද ගැන පමණක් හිතන තරමට, කැවුම් කොකිස් ගැන පමණක් හිතන තරමට, නෑයන් මිතුරන් ගැන පමණක් හිතන තරමට, බුලත් හුරුලු හා තෑගි බෝග දීම ගැන පමණක් හිතන තරමට, අවුරුදු කෙළි සෙල්ලම් ගැන පමණක් හිතන තරමට, එතෙක් පැවැති විවිධ ප්‍රශ්න සිතිවිලි අමතක කරවා දැමීම, ලිහිල් කර දැමීම මහ හඬින් වාදනය කරනු ලබන රතිඤ්ඤා මගින් සිදුවේ යැයි කිව හැකිය.

සැබවින්ම එය වෙනත් කිසිදු සංගීතයකින් කළ හැකි යැයි ද නොසිතමි. එය කළ හැක්කේ රතිඤ්ඤා සංගීතයෙන් ම පමණි. එසේම මේ නැවුම් බව විටින් විට අලූත් කිරීම, අන් සියල්ල අමතක කරවීම හා අවුරුදු බව නැවත නැවත මතක් කරවීම අවුරුදු කාලයේ විටින් විට පුපුරුවනු ලබන රතිඤ්ඤා මගින් සිදුවේ. ඒ අනුව රතිඤ්ඤාවල සම්භාව්‍ය හෝ ශාස්ත්‍රීය වෙනත් සංගීතයක් නැතත් එක්තරා ආකාරයක සංගීතයක් පවතින බව පෙනේ. රතිඤ්ඤා ද සංගීතයේ එක් ආකාරයක් වශයෙන් සැලකිය හැකිය.

හිත සූදානම් කරවීම උදෙසා ශබ්දයේ නොඑසේනම් නාදයේ ඇති ශක්තිය ආගමික කටයුතුවල දී ද බොහෝ විට යොදාගනු ලැබේ. විහාරස්ථානයක දී මනස නිවෙන්නේ බෝ සෙවණ හා සිසිල නිසා පමණක් නොවේ. හේවිසි හඬ ද අපේ සිත එක අරමුණකට ගෙන ඒමට උපකාරී වේ. පන්සලේ පල්ලියේ මෙන් ම කෝවිලේ ද ඝණ්ටාර හා සීනු නාදය රැව්දෙන්නේ ඒ නිසාය. චෛත්‍යය අපේ ඇසට පෙනෙන්නේ කනට ඇසෙන හේවිසි දවුල් හඩට මුසුවීය.

බොහෝ විට අප ප්‍රධාන තැන ලා සලකන්නේ ඇසයි. පෙනෙන දෙයයි. එහෙත් අප නොදැනුවත්ම කන නොඑසේනම් ශබ්ද විසින් ද ඊටත් වඩා වැදගත් හෝ සමාන කාර්යයක් ඉටු කරනු ලබයි. නොඑසේනම් ඇසට කළ නොහැකි දෙයක් කන අප වෙනුවෙන් ඉටු කරයි. පුංචි කාලයේ දී බිලිඳු වියේ දී අප ලෝකය හඳුනාගන්නේ ඇසට වඩා කන තුළින් යැයි සිතමි.

අම්මා මුලින් ම ඇසට වඩා ‘පෙනෙන්නේ’ කනට යැයි කීමට කැමැත්තෙමි. ඇත්තටම ඇගේ රුවටද වඩා හඬ අපට හැමදාමත් ආදර”ය වන්නේ ඒ නිසා විය හැකිය.

කෙසේ වුවත් මා ඇසට වඩා කන ඉහළින් තැබීමට අදහස් නොකරමි. එහෙත් ඇස හා පෙනීම අධිතක්සේරු වී ඇත්නම් එය නිවැරදි කරවීමට පමණක් උත්සාහ කරමි. ඒ අනුව මෙහි දී තවත් දෙයක් පෙනේ. එනම් අප දෘශ්‍යමාන දෙයට පමණක් ප්‍රධාන තැන දීමට ඉක්මන් නොවිය යුතු බවය. බොහෝ වැදගත් හා අර්ථවත් දේ සිතට පිවිසෙන්නේ මනසටත් වඩා කන තුළිනි.

ආගමික ශාස්තෲන් වහන්සේලා ප්‍රධාන වශයෙන් යොදාගත් මාධ්‍යය දේශනාවයි. එයින් අදහස් වන්නේ මානව ශිෂ්ටාචාරයේ පදනම හඬ බවයි. ශ්‍රවණ මාධ්‍ය බවයි. සොක්‍රටීස් ආදී දාර්ශනිකයන් යොදාගත්තේ ද එම මාධ්‍යයයි. බොහෝ දේශපාලන මතවාද පොත්පත් ඇති නමුදු දේශපාලන පෙරළිවලට බොහෝ විට හේතුවී ඇත්තේ දේශපාලන නායකයන්ගේ වාග් චාතූර්යයයි. වී. අයි. ලෙනින් මෙන්ම ඇඩොල්ප් හිට්ලර් ද උදාහරණ වේ.

ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වෙනවා යැයි කියමනක් තිබේ. එය මිනිසුන් නොව ගොනුන් මීහරකුන් දෙස බලා උපන් කියමනකි. මිනිසුන්ට කනත් ඇසත් ලැබෙන්නේ එකවරය. එහෙත් මව් කුසේ දී පෙනීම කෙසේ වුවත් ඇසීම ඇති බව කියැවේ.

මිහිරි ශබ්ද ඇසීම කුසේ සිටින දරුවාටත් හොඳ බව කියැවේ. ඒ අනුව ගත් විට කන ඇසට වඩා මුලින් එන බව කිව හැකිය.

කෙසේවුවත් කල් පසුවන විට දෙපැත්තෙන් ඇති කන්වලට වඩා ඉස්සරහින් ඇති ඇස්වලට ලැබෙන සැලකිල්ල වැඩි බව පෙනේ.

කෙසේ හෝ යළිත් කියන්නට ඇත්තේ මා මේ කියන්නට හදන්නේ ඇසට වඩා කන හොඳ බවක් හෝ කනට වඩා ඇස හොඳ බවක් හෝ නොවේ. ඒ දෙකම සංවේදන ඉන්ද්‍රියයන් වුවත් ඒ දෙකෙහිද වෙනස්කම් පවතින බව හා ඒ වෙනස්කම් තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු බවයි.

උදයසිරි වික්‍රමරත්න

Comments