
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කළ රාජතාන්ත්‍රික ආරාධනය ඓතිහාසික සිදුවීමක් බවට බොහෝ විචාරකයෝ මත පළ කරති. රාජ්‍යතාන්ත්‍රික ආරාධනාවකට අනුව මීට වසර 43ට පෙර අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රුසියාවට පිවිසියාට පසු සිදු වූ ආරාධනය නිසා බොහෝදෙනා මේ දෙස විමසිල්ලෙන් බලන්නට වූහ. වර්තමානයේ රුසියාව සම්බන්ධව පවතින විවිධ දේශපාලන මත සහ සිදුවීම් හමුවේ මේ ආරාධනාව ගැන විවධ පැතිවලින් කරුණු දැන්විය හැකිය. කෙසේ වුවත් මේ ආරාධනය සහ ජනාධිපතිවරුන්ගේ හමු වීම ශ්‍රී ලංකාවට සුබදායී ප්‍රතිඵල ගෙෙනන බව වැඩි දෙනාගේ අදහස වන අතර, ඊට හේතුව වන්නේ ලෝක දේශපාලනය සහ භූ දේශපාලනය පරිවර්තනයට පත්වෙමින් පවතින හෙයිනි.
මේ පරිවර්තනයට රුසියාව පමණක් සීමා කළ නොහැකිය. ලෝකය සමඟ ඉදිරියට යෑමට නම් මේ පරිවර්තනයේ සුබදායී ප්‍රතිඵල ලංකාව ද ලබා ගත යුතුය. සිදුවන පරිවර්තනයට මුහුණ දිය යුතුය.
ස්වාධීන රාජ්‍යයක් අයුරින් කිසිම රටකට අද තනිව නැඟී සිටිය නොහැකිය. ඒ සඳහා සාමූහික ක්‍රියාදාමයක් තිබිය යුතුය. එසේ ඉදිරියට යෑමේ ප්‍රගතිගාමී සංකල්පය ශ්‍රී ලංකාවේ ස්ථිර කිරීමේ කාලය එළඹ ඇත. ජනාධිපති පුටින්ගේ ද ආකල්පය එයයි. රටවල් අතර සාමූහීක බව ජනාධිපති පුටින් අපේක්ෂා කරයි. තම අපේක්ෂාව ඉටු කිරීම තීරණාත්මක කාර්යයක් බවත් එහි වාසිදායී ප්‍රතිඵල ඇති බවත් ඔහු ඔප්පු කර ඇත. ඔහු සූක්ෂ්ම නායකයකු බව ඇත්තයි. එහෙත් ඔහු ගොඩ නඟන සබඳතා ගැන පුළුල්ව සැලකිල්ලට ගත යුතුයි.
මේ වන විට සෝවියට් දේශයේ බිඳ වැටීම සිදු වී අවුරුදු විසි පහක් පමණ වේ. ඒ බිඳ වැටීමෙන් පසු රුසියාව ලෝක දේශපාලනය සමඟ සම්බන්ධවීම ගැන විශ්ලේෂකයෝ විශේෂ උනන්දුවක් දක්වති. උදාහරණයක් ලෙස 2014 ක්‍රිමියාව ආක්‍රමණය කිරීමත් 2015දී සිරියාවේ අභ්‍යන්තර ගැටුමට සම්බන්ධ වීමත් විග්‍රහ කළ හැකිය.
සිරියාවේ ප්‍රශ්නයට රුසියාව සම්බන්ධ වූයේ සිරියාවේ සිද්ධියට සම්බන්ධ වී කණ්ඩායම් හැඟීමකින් සහාය දීමකට මිස අන් දෙයකට නොවන බව විචාරක මතයයි. මේ සෑම දෙයකින්ම පුටින් සාදාගත් එක්තරා රාමුවක් පිළිබඳව හෙළිදරව් විය. මේ රාමුව ජනාධිපති පුටින්ට පමණක් ආවේණික වූවකි. මේ රාමුව ලෝකයට එතරම් විවෘත නොවූවත් මින් අත්වෙන ප්‍රතිපලය පිළිබඳව කිසිවෙකුට සිතා ගැනීමට පවා නොහැකිය. පුටින් ජනාධිපති පදවියට පත් වීමෙන් පසු අවස්ථාව සහ පදවියේ මුහුකුරා යෑමෙන් පසු ගන්නා තීරණවල වෙනසක් පවතින බව පැහැදිලිය. මෙය තරුණ මාක්ස් සහ වයෝවෘද්ධ මාක්ස් අතර ඒකාබද්ධ දර්ශනයක් නිරූපණය කරන පැහැදිලි චිත්‍රයකි. මේ අනුව පුටින්ගේ තීරණ ද එදාට වඩා අද වෙනස් විය හැකිය. පසුකාලීනව පුටින් උත්සාහ කළේ බටහිර සමඟ සම්බන්ධ වීමටයි. එහෙත් කිසිවිටකත් බටහිරවාදී වීමේ අදහසක් ඇති බව ප්‍රායෝගිකව ඔප්පු නොවුණි. ලෝකයේ සිදුවෙන සෑම සිදු වීමක්ම තම අභිප්‍රාය ඉටු කිරීම උදෙසා ඉතා තීක්ෂ්ණ ලෙස අර්ථ දැක්වීමට පුටින් සමත් විය.
මේ අනුව 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට සිදු වූ ප්‍රහාරය නිසා පුටින් ඇමෙරිකාවට පැවැසුවේ රුසියාවට සහ ඇමෙරිකාවට ඉන්න පොදු සතුරා ත්‍රස්තවාදය බවයි. මේ තත්ත්වය සත්‍යයක් බව ඇමෙරිකාවට ඒත්තු ගන්වන්නට රුසියාව සමත් විය.
තම රටවල් දෙකටම ඇත්තේ පොදු අනතුරු බව රුසියාව තහවුරු කරන්නට සමත් වුණි. මේ තත්ත්වය මුලින් පිළිගැනීමට ඇමෙරිකාව අකමැති විය. එහෙත් ක්‍රමයෙන් මේ තත්ත්වය වටහා ගැනීමට බොහෝ සාධනීය කරුණු සිදු විය. එහෙත් රුසියාව දිගින් දිගට සතුරෙක් ලෙස සැලැකීම විනා තම තීරණය වෙනසක් කිරීමට බටහිර කිසිවිටකත් අදහස් නොකළේය. හැමවිටම රුසියාව බටහිර කඳවුරෙන් පරිබාහිර කෙනෙක් විනා තම හිතවතෙකු ලෙස ඇමෙරිකාව නොසැලැකුවේය. මේ නිසා පුටින්ගේ තීක්ෂණ බුද්ධිය ඇමෙරිකාවේ ජනාධිපතිවරණය දෙසට යොමු වුණා විය හැකි බව විචාරක මතතයි.
ඇමෙරිකාවේ තිබූ අභ්‍යන්තර වාතාවරණය පුටින් තේරුම් ගැනීමම ඇමෙරිකාවේ ජනතා මතය වෙනස් කිරීමට හේතුවක් වූවා විය හැකිය. ඇමෙරිකාව හැමවිටම බාහිර ආරක්ෂාව පිළිබඳව කරුණු විමසීය. එහෙත් තම අභ්‍යන්තර ගැටලු නිර්ණය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳ හැරී බැලීමක් නොවීය. මෙය දුර්වලකමකි. හොඳම උදාහරණය ඩිමොක්‍රොටිස් හා රිපබ්ලිකන් පක්ෂ අතර සංහිඳියාව බිඳ වැටීම දැක්විය හැකිය. මුල් කාලයේ මේ පක්ෂ දෙකේ අය අතර පොදු එකඟත්වයක් තිබුණත් වර්තමානය වන විට ඒ තත්ත්වය ගිලිහී ගොස් ඇත. ඇමෙරිකාවේ මැතිවරණයට රුසියාව දැක්වූ අවධානය ඉදිරියේ දී ප්‍රංසයට සහ ජර්මණියට ද සිදුවිය හැකිය. හුදෙක් දේශපාලන ක්‍රියාදාමයක් ලෙස නොපෙණුනත් රුසියාවේ මැදිහත්විම සම්බන්ධයෙන් විවිධ අරුත් ගැන්වීම් තිබුණි.
ලංකාවේ සිදු වූ ආණ්ඩු මාරු වීමත් සමඟ ලංකාව එක් කඳවුරකින් තවත් කඳවුරකට මාරු වූවායැයි යන්න සමහරු අර්ථ දක්වති. චීන කඳවුරෙන් බටහිර කඳවුරට ලංකාව මාරු වුණා විය හැකි ද? ඇත්තෙන්ම නැත. මෙහි සරල අර්ථ දැක්වීමක් කිසිසේත්ම තිබිය නොහැකිය. එනම් ශ්‍රී ලංකාව එක් බල කඳවුරක සිට තවත් බල කඳවුරකට මාරු වීමක් හැටියට රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන නිල ආරාධනය අර්ථ දැක්විය නොහැකියි.
සංකීර්ණ ලෙසින් ලෝකය සමඟ බද්ධ වීමක් පමණි මෙහිදී සිදු වූයේ. මේ බද්ධ වීම සිදුවන්නේ කුමන ආකාරයට යන්න ලෝක දේශපාලනය තුළ විවිධ කෝණවලින් විග්‍රහ කළ හැකියි. එහෙත් මතුපිටින් පෙනෙන ආකාරයෙන් ඒ ගැන තීන්දු ගැනීම සුදුසු නොවේ.
වත්මන් ලෝකයේ සාම්ප්‍රදායික කඳවුරු න්‍යායක් නැහැ. පවතින්නේ සංකීර්ණ බල පරිභෝජනයක් පමණි. කිසිදු රටක් කිසිදු කඳවුරක ගැත්තෙක් තත්ත්වයට වර්තමානයේ පත් කළ නොහැකිය. මේ නිසා කඳවුරකින් කඳවුරකට මාරුවීමක් ලෙස රුසියානු සබඳතාවට අර්ථ දැක්විය නොහැකිය. අන්තර්ජාතික සම්බන්ධතා යනු ජාල ගත බැඳීමක්. රුසියානු විදේශ ඇමැති ලැබ්‍රෝ මියුනික් මහතා ආරක්ෂක සමුළුවේදී පැවැසුවේ අපි දැන් අන්තර්ජාතික ප්‍රජාවක් වශයෙන් බටහිර මාදිලියෙන් පිටතට පැමිණ පශ්චාත් බටහිර මානසිකත්වයකට ඇතුළත් විය යුතුයි යනුවෙනි. මෙයින් අපට පැහැදිලි වන්නේ රුසියාව අතට බලය යනවා කියන කාරණයම නෙමෙයි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර භූ දේශපාලනය බිඳ වැටෙනවා කියන එක තහවුරු වීමයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ අනාගතතයේදි කිසිම රටක් ලෝකය පාලනය නොකරන බවයි. රුසියාවේ නැඟීමත් සමඟ අපට පෙන්වන්නේ සාම්ප්‍රදායික කඳවුරු නැති බවයි.
බල මර්මස්ථානයක් හැමතැනම ස්ථාන ගතවේ. මේ නිසා ලංකාවට සාම්ප්‍රදායිකව ලෝකය දෙස බැලීම අවාසි සහගතයි. මේ බල පරිපථයේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස අවබෝධ කරගත යුතුයි. ඒ නිසා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සම්බන්ධතාව දෙස වඩාත් සුබවාදීව අප බැලිය යුතුයි. හුදෙක් පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් නොව රාජ්‍යතාන්ත්‍රික අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමේ ක්‍රමවේදයකට අනුව හැඩ ගැසිය යුතුයි.
කුමන ආකාරයේ මත වාද නිර්මාණය වුවත් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව නව මාර්ගයකට පිවිසීමක් ලෙස දැකිය හැකිය. මේ නිසා ලංකාව උදෙසා විවර වන දොරටු බොහෝමයක් තිබිය හැකිය. රුසියාවට බල කඳවුරක් නිර්මාණය කිරිමේ අපේක්ෂාවක් ඇති බවට අස්ථාන බියක් පවතින නමුත් එහි කිසිදු ප්‍රායෝගීකරණයක් නැහැ. අන්තර්ජාතික සංහිඳියාවක් පැවැතිය යුතු බව රුසියාව පිළිගනු ලැබුවත් මෙය ඇති කරගත යුත්තේ බටහිර විසින් සාදා දෙන රාමුවකට අනුව නොවන බව ඔවුන්ගේ මතයයි. එහෙත් රටවල්වල සාමූහිකත්වයෙන් සංහිඳියාව පිළිබඳ සාදාගත් රාමුවක් තිබිය යුතුය.
බැරී බූසාන් නම් අන්තර්ජාතික දේශපාලන විචාරකයා පවසන්නේ පවතින අවසාන බල කඳවුර ඇමෙරිකාව බවයි. එහෙත් ඇමෙරිකාවේ පසුබෑම පිළිබඳව අප සතුටු වෙනවා මෙන්ම බිය විය යුතු කාරණාද ඇත. එයට හේතුව ඊළඟට පැමිණෙන නායකයා කවුද යන්නයි. නායකයෙකු පසු බසින විට ඒ හිඩැස පිරවීමට බොහෝදෙනෙක් ඉදිරිපත් වෙති. මේ අරගලය ආරම්භ වන්නේ ලෝකය අත්පත් කරගැනීමට නොව කලාපීය වශයෙන් බලවත් වීමටය. අයිඑස්අයිඑස් සංවිධානය නිර්මාණය මැද පෙරදිග අර්බුදය තනිකරම සෞදි ආරබිය ඉරානය තුර්කිය අතර පැවැති බල අරගලයක ප්‍රතිඵලයක්. ෂියා මුස්ලිම් ඉරානයත්, සුන්නි මුස්ලිම් බල කඳවුර නිර්මාණය කරන සෞදියත්, සුන්නි මුස්ලිම් තුර්කියත්, ආගම්වාදී බෙදීමේ දී ආගම්වාදී බලවතා වන්නේ ද කවුරුන් ද යන තරගයක නිරත වේ. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ ඇමෙරිකාව මැද පෙරදිගින් ඈත් වීම සඳහා උත්සාහයක සිටින බවයි.
භූ දේශපාලනය අනුව ඇමෙරිකාව සාමකාමී රටක් වුවද එරට ලෝකයට මැදිහත්වීම අර්බුදකාරී වේ. ආසියාතික රටවල් වුවත් කලාපීය වශයෙන් එක් එක් අර්බුදකාරී වාතාවරණවලට පිවිස සිටියි. උදාහරණ ලෙස ඇමෙරිකාව තමන්ගේ ගුවන් බලය නිසා විවිධාකාර ගැටලුවට මුහුණ පෑවත්, මේ හැම දෙයක්ම මනා කළමනාකරණයකට හසු කරගැනීමට පුටින් සමත් වී තිබේ. මේ කළමනාකරණය නිසාම කලාපීය වශයෙන් ඔබ්බට ගොස් සෙසු රටවල් සමඟ සංහිඳියාවක් ඇති කරගැනීමට රුසියාව සමත් වී තිබේ. මේ නිසා රුසියාව සමඟ ඇරඹුණු නව මිත්‍ර සබඳතාව සංහිඳියාව අරමුණු කරගත් වත්මන් රජයටද ශක්තිමත් අත්වැලක් වන බව නිසැකය.
රූපාන්ති බුලත්සිංහල
සේයාරුව විමල් කරුණාතිලක