තක-තීරැව | සිළුමිණ

තක-තීරැව

‘ගිවිසුම්’ සහ ‘කොමිසන්’ ගැන අපිට ගහන්ට ජාතියක් නැතැයි තකතීරුවාට නොසිතේ. මෙහෙම හිතුණේ ‍ෙමයට මසකට පෙර මාර්තු දෙවැනිදා ය.

එදාට ‘සුප්‍රසිද්ධ’ කියනවාට වඩා ‘කුප්‍රසිද්ධ’ යි කිව හැකි උඩරට ගිවිසුම අත්සන් කර අවුරුදු එකසිය දෙකක් පිරුණ බැවිනි. පළමු වැනි විමලධර්මසූරිය රජ්ජුරුවන් ගෙන් පටන් ගන්නා කන්ද උඩරට රාජ්ජය සියවස් ගාණක් ම ලෝකයේ බලගතුව ජාතීන් තුනක් සමඟ ‘උරුට්ටු අල්ලමින්’ සිය ‘පතිවත’ රැකගෙන සිටියේය. කිසිදු සතුරෙකුට බලන කපොල්ලෙන් උඩට හොඳින් මිස නරකින් එන්නට ඉඩ දුන්නේ නැත.මේ කාලාන්තරයේ ‘ප්‍රබල’ මෙන් ම ‘දුරුවල’ රජවරු සිටියත්, ‘ස්වාධීනත්වය’ රැකුණේ ය.

මෙය සුළු පටු කාරණාවක් නොවේ. මන්දයත්, මේ ස්වාධීනත්වය රැක ගත්තේ, පෘතුගීසීන්, ලන්දේසීන් මෙන් ම ඉංග්‍රීසීන් සමඟ නිසා ය‍. මෙයින් ‘පරංගියෙක්’ නැතිනම් ‘පුරුතුගීසි’ කාරයෝ එච්.ආර්. ජෝතිපාල කියනවා වගේ ම, ‘රටවල් අල්ලන්ට සූරයෝ’ වූහ.

එසේ ම ‘අණක් ගුණක්’ නැති ජාතියක් වූහ. ඕලන්දක්කාරයෝ නොහොත් ‘ලන්දේසි’ ඊට වඩා ‘කොලිටි’ ජාතියක් වූ අතර වඩා උපායශීලී වූහ. ‘ඉංග්‍රීසි කාරයා’ නැතිනම් ‘සුද්දා’ නොහොත් එංගලන්ත කාරයෝ පෙර දෙජාතියටම වඩා, දක්ෂයන් මෙන් ම උපාය ශීලීන් ද වූහ. එසේ ම ලෝකයෙන් බාගයක් ම යටත් කරගත්, ප්‍රබලතම ජාතිය ද වූහ.

එදා ඔවුනට කීවේ ‘හිරු නොබසින අධිරා‍ජ්‍යය’ කියාය. ලෝකයේ බලගතුම ‘පුහුණු හමුදාව’ හිටියේ ද ඔවුන්ට ය. එවන් ‘හිරු නොබසින අධිරාජ්‍යයට’ ‘තරු පෙන්නන්නට’ එදා කන්ද උඩරට සිංහලයෝ සමත් වූහ. ලෝකයේ උන් අත ගැසූ හැම රටක් ම, ගෙඩිය පිටින් අල්ලා ගන්නට හැකි වුව ද, මෙහිදී රටේ ‘කහ මදය’ අල්ලා ගන්නට බැරි විය.

තකතීරුවාට හිතෙන අන්දමට ‘සුද්දා’ උඩරට අල්ලා ගන්නට දන්නා ජාති හැම එකක් ම දැම්මේ ‘විලිලැජ්ජාව’ නිසා ය.

දෙවැනි ප්‍රධාන කාරණාව වුණේ රට මැදින් කොළඹ සිට ත්‍රිකුණාමලේට පාරක් කපා ගන්නට ය. මේ කාරණාව ‘අවියෙන්’ ඉෂ්ට කරගන්නට බැරි බව දැන ගත් ඔවුහු ‘කුමන්ත්‍රණයක්’ ඇරඹූහ. මේ කටයුත්ත භාර දුන්, ඉංග්‍රීසි ජාතිකයා ජොන් ඩොයිලිය. එවකට පහත රට සිටි උගත් ම සංඝයා වහන්සේලාගෙන් සිංහල බස ඉගෙන ගත් උන්නැහේ, සිංහලෙන් කවි ලියන්නට තරම් සිංහලය උගත්තේ ය.

මුන්නැහේ තම ක්‍රියාන්විතය මෙහෙයැවීමට උවමනා සූත්‍රය සොයාගත්තේ අපූරු පරීක්ෂණයකින් යැයි කියති. එහි ප්‍රතිඵලය කියවෙන්නේ මෙහෙමය.

“ඉංග්‍රීසි ජාතිකයො දහදෙනෙක් එක පෙළට හිටෙවුවොත් එක වගේ, ජපන්නු, චීන්නු, අප්‍රිකානුවෝ ඒ කොයි අයත් එසේ ය. එහෙත් සිංහලයන් දහ දෙනෙක් පෙළට තැබු‍වහොත් දහ ආකාරයකි!

මතුපිට තැනෙන්නේ ඇතුළාන්තය අනුව ය! මේ කාරණාව ඔස්සේ සිය මෙහෙයුම දියත් කළ ඩොයිලි උන්නැහේ උ‍ඩරට ප්‍රධානීන් අතර පැවැති ‘විරසක’ මෝදු කරන්නට කටයුතු කළේ ය.

මෙහිදී මුන්නැහේ හඳුනාගත් ප්‍රධාන තම විරසකය. අගමැති ඇහැලේපොළ සහ රාජසිංහ රජු අතර වූ විරසකයයි.

නායක්කර් වංශික වඩුග රජවතුන්ට සින්න වී තිබුණ උඩරට කිරුළ ‘සිංහල බෞද්ධයන්’ අතට ගැනීමේ මෙහෙයුම ඇරඹූ හිටපු අගමැති පිළිමතලවුවේගෙන් අනතුරුව එම තනතුරට පත් ඇහැලේපොළ ද ඒ මග ඔස්සේ ම ගිය අයෙකි.

ඒ වුණාට ඇහැලේපොළ උන්නැහෙ කටයුතු කළ ආකාරය හරි මදි ය.

ඔහු ‘බලය’ ලබා ගැනීම සඳහා කටයුතු කළේ ‘ඉවක් බවක්’ නැතිව ය.

තම බිරිය දරුවෝ රජ්ජුරුවන්ගේ ‘නිවාස අඩස්සියෙ’ හිදිද්දී හතර කෝරලේ සිට ඔහු කළ කී දෑ එතරම් මනෝඥ යැයි නොසිතේ.

රාජසිංහ රජු ඇහැලේපොළ කුමාරිහාමිය හා දරුවන් මරවන්නේ එනිසා ය.

හටන් කර අයිති කරගන්නට බැරි වුණ කන්ද උඩරට ගිවිසුමක් ගසා අත්පත් කරගන්නට ‘සුද්දාට’ හැකි වෙන්නේ මේ සිද්ධිය නිසා බව තකතීරුවාගේ අදහසයි. ඒ මන්ද කියනවා නම්, කන්ද උඩරට වැසියන් තුළ එතුවක් තිබුණා වූ හැඟීම මුලිනුපුටා දමන්නට සමත් වූයේ මේ සිද්ධිය වීමයි.

ඇහැලේපොළ දරුවන් කෙටවීමට පසු කන්ද උඩරට වැසියෝ පුරා දින තුනක්, (ඇතැම්මු හතක් කියති)

“ළිප ගිනි නොදල්වා, ගෙයි පහන් නොදල්වා” සිටියහ. නැතිනම් ‘හර්තාල්’ එකක් කළහ. මෙලෙස එදා ප්‍රකාශයට පත් වු‍ෙණ් රජු හා රාජ්‍යය කෙරේ ජනතාව තුළ ඇති වූ අප්‍රසාදයයි. මේ වෙලාවේ මේ අප්‍රසාදයට නායකත්වය දෙන්නට කිසිදු නායකයෙක් හිටියේ නැත.

ඇහැලේපොළ කුමාරිහාමියගේ එක්කුස උපන් සහෝදරයා වූ ‘කැප්පෙටිපොළ මහ නිලමේ’ මේ වෙලාවේ හුන්නේ රාජසිංහගේ ඇමැති මණ්ඩලයේ ය.

තමන්ගේ එක් කුස උපන් නැගණිය හා ඇගේ දරුවන් මෙතරම් ම්ලේච්ඡ ඝාතනයකට ලක් වෙද්දී උන්නැහේ කළ දෙයක් නැත. මෙලෙස ලීවා කියා ‘ජාතික වීරයන්ට’ අපහාස කරනවා යැයි සමහරු මා සමඟ “ඔරොප්පු’ වන්නට ද ඉඩ ඇත.

ඒත් ‘තකතීරුන්නැහේ’ හිතනාකාරයට ඒක ‍එහෙම විය යුතු ය. අද අපෙ රටේ බොහෝ දෙනෙක්, රූපවාහිනී නාළිකාවල, ගුවන් විදුලි නාළිකාවල පත්තර සඟරාවල ‘අපේ ඉතිහාසය’ ගැන සාකච්ඡා, දෙසුම්, ලිපි, සංවාද’ පළ කරති. අපේ ඉතිහාසයේ අයගේ කෙරුවාවල් ගැන, උදම් අනති. අපේ ඇත්තො ඒ කාලේ වැට බැන්දාහ. සත් මහල් ප්‍රාසාද තැනවූහ. ප්‍රතිමා ඇඹූහ.

ගුවනින් ගියහ, මුහුදෙන් ගියහ. උමං තැනූහ.

ලෝකයේ පළමු අහවල් එක, ලෝකයේ දිගම, නැත්නම් උසම, පළලම මේ ආදී වශයෙන් ඒවා උදන් ඇනීම පිණිස භාවිතා කරමු.

ඒ ගැන ආඩම්බර වෙමු. සාඩම්බර වෙමු‍. ලෝකයට පාරට්ටු කරන්නෙමු.‍

එසේ කර ‘පානුයි පරිප්පුයි’ කන්නෙමු!

තකතීරුවා මෙසේ කියන්නේ අඩසිය වසක් පමණ වූ ඔහු දන්නා ප්‍රයෝගික ඉතිහාසය තුළ මේ දැ අපමණ අසා දැක ඇති නමුත්, ඒ ඔස්සේ රටට ජාතියට සිද්ධ වූ යහපතක් නොදුටු නිසාවෙනි. ඒ ‘පාරම්බෑම්’ ‘පාරට්ටු කිරීම්’ පළ දැරුවා නම් අද රට මෙතැන තියෙන්නට හැටියක් නැත. මෑත කාලීන දන්න ඉතිහාසයේ අපේ රටට පිටිපස්සෙන් හිටි රට රාජ්ජය ගණනාවක් බලා ඉන්දැද්දී වාගේ අපේ රට පසු කොට ගව් ගාණක් ඉස්සරහින් සිටී.

අප දවසෙන් දවස පාතාලය කරා ගමන් කරමු. මේ නිසා තකතීරුන්නැහේ යෝජනා කරන්නේ ඉතිහාසය දිහා අලුත් මානයකින් බලමු යන්නයි. එය නම් “ඉතිහාසය ඇත්තේ අනාගතය සඳහා ‘යූස්’ කිරීමට ‘ජූස්’ එක ගත යුතු දෙයක් ලෙස දැකීම ය!

කමල් පී අලහකෝන්

Comments